සජිත් ඉදිරිපත් නොවුණානම් අපි හේදිලාම යනවා


එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා   

ජනාධිපතිවරණයෙන් පසු දේශපාලන තත්ත්වය පිළිබඳ මේ කතාබහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සමගයි.


ජයග්‍රහණයට පියවරු බොහෝ වුණත් පරාජය අවජාතකයි කියනවනේ. යූඑන්පීයේ පරාජයේ පියවරු කෝ? 


පරාජය සමස්තයක් හැටියට අපි ඔක්කොම බාර ගන්නවා. මේක තනිකරම සජිත් ප්‍රේමදාසට පටවන්න අපි සූදානම් නෑ. සජිත් ප්‍රේමදාස නෙවෙයි මෙතන පැරදුණේ. මෙතන ඇත්තටම පැරදුණේ පරණ එක්සත් ජාතික පක්ෂය. අලුත් එක්සත් ජාතික පක්ෂය නෙවෙයි පැරදුනේ. ඇත්තටම මේ පරාජයේ ආරම්භය මේ ඡන්දයම නෙවෙයි. මේ පරාජයේ මුල 2015. 


2015 ඉඳල වෙච්ච දේවල්වල ප්‍රතිඵලය තමයි මේ ඡන්දයෙන් එළියට ආවේ. ඒක සජිත් ප්‍රේමදාස කරපිටින් ගියා. එක පැත්තකින් අපි දීපු සමහර පොරොන්දු අපිට ඉෂ්ට කරගන්න බැරි වුණා. හොරු අල්ලන එක හරියට කෙරුවෙ නෑ. ඒ වගේම අපේ පැත්තෙ සමහරු හොරු බවට පත්වුණා. එක්සත් ජාතික පාක්ෂිකයාගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු හරියාකාරව ඉටු කරන්න මේ අවුරුදු පහට අපි අපොහොසත් වුණා. පාක්ෂිකයින් ඒකෙන් යම් කලකිරීමකට පත්වෙන්න ඇති. 


රාජපක්ෂ කඳවුර විසින් ගෙනගිය ඇතැම් වැරදි මතවාද ජනතාව පිළිගත්තා. විශේෂයෙන් යූඑන්පීය සිංහල බෞද්ධ මතය සමග නෑ වගේ ඒවා. ඒකට නිසියාකාරව අපිට උත්තර දී ගන්න බැරි වුණා. ඒ වැරැද්ද නිවැරදි කරගන්න අපිට බැරි වුණා. අන්තිමට සජිත් ප්‍රේමදාසට මාසයක කාලයක් දීලා දිනන්න කිව්වට ඒක පහසු දෙයක් නෙවෙයි. ඒකයි මම කියන්නේ මේක සජිත් ප්‍රේමදාසගේම පරාජයක් නෙවෙයි කියලා. සජිත්ගේ ඉදිරිපත්වීම හරහා තමයි මේ තරම් විශාල ඡන්ද ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන් වුණේ. සජිත් මේ වෙලාවෙ ඉදිරිපත් වුණේ නැත්නම් අපි හේදිලාම යනවා. 


දැන් බොහෝදෙනා අහන්නේ මැතිවරණයෙන් පස්සේ සජිත් වැඩිය පේන්න නැත්තේ මොකෝ කියලා. ඇත්තටම සජිත් කෝ? 


සජිත් ඉන්නවා. අපේ මේ සාකච්ඡාව ඔබේ පුවත්පතේ පළවෙලා පත්තරේ වෙළෙඳපොළට එන මොහොත වෙද්දී මේ රටේ විපක්ෂ නායක හැටියට සජිත් ප්‍රේමදාස පත්වෙලා ඉඳීවි කියන විශ්වාසය මට තියෙනවා. ඒක මම වගකීමෙන් කියන්නේ. නායකතුමා තේරුම් අරගෙන තියෙනව තවදුරටත් ජනතා මතයට ඉඩ නොදී පක්ෂය ඉදිරියට යන්න බෑ කියලා. සජිත් ප්‍රේමදාසට විපක්ෂ නායක තනතුර ලැබීමත් සමග අපිට ලොකු ප්‍රබෝධයක් ලැබෙනවා. ඊට පස්සේ ඡන්දය දීපු නොදීපු හැම දෙනාගෙම අලුත් බලාපොරොත්තුවක් ඔහු පිළිබඳ ඇති වෙනවා. මේ තත්ත්වය කළමනාකරණය කරගන්න අපිට ටික දවසක් ගියා තමයි. ඒත් හෙට අනිද්දා ඉඳලා ආපහු අලුත් බලාපොරොත්තුවක් එක්ක අපි වැඩ කරන්න පටන් ගන්නවා. 


රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකකම වෙන කෙනෙකුට දෙන්න ලේසියෙන් සූදානම් නැද්ද? 


විපක්ෂ නායකකම රනිල් වික්‍රමසිංහට දෙන්න කියලා අකිල විරාජ් ලියුමක් ගහලා තියෙනවා. ඒත් පක්ෂය එහෙම කිසිම තීරණයක් අරගෙන නෑ. අකිල විරාජ්ගෙ මතය තමයි ඔහු ඉදිරිපත් කරල තියෙන්නේ. ඒක අපිත් එක්ක පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පනස් හත් දෙනෙක් ලියුමක් ඇරලා කිව්වා සජිත් ප්‍රේමදාස මැතිතුමාට තමයි විපක්ෂ නායකකම ලැබිය යුතුයි කියලා. අපේ අතිබහුතරයකගෙ මතය ඒක. 


රනිල් වික්‍රමසිංහ කියන්නේ පක්ෂය මෙතෙක් කල් රැකගෙන ආපු නායකයා. මම කැමති නෑ එතුමා ගැන වැරදි කියන්න. ඒත් ඕනෑම දේක කාලයේ සීමාවක් තියෙනවනේ. ඒ සීමාව පැන්නම තවත් කෙනෙකුට අවස්ථාව ලැබිය යුතුයි. අපිට පුද්ගලිකව ඔහු එක්ක ප්‍රශ්නයක් නෑ. ඔහු තමයි මාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවටත් ගෙනාවේ. ඔහුට ලොකු ගරුත්වයක් මගේ ළඟ තියෙනවා. මේ ප්‍රශ්න ඉක්මනින් ඉවරයක් කර ගන්නෙ නැති එකෙන් හානි වෙන්නේ පක්ෂයටමයි කියන කාරණය කවුරුත් අවබෝධ කර ගන්න ඕනෑ. විපක්ෂ නායකකම සජිත් ප්‍රේමදාසට ලබාගත්තට පස්සේ නුදුරු අනාගතයේම පක්ෂ නායකත්වයත් ඔහුට ලැබෙනවා. 


එතනින් පස්සේ රනිල් වික්‍රමසිංහගෙ දේශපාලන අනාගතයට මොනව වෙයිද? 


ඒක ඉතිං එතුමා තමයි තීරණය කරන්න ඕනෑ. බොහෝ දෙනාගෙ අදහස දැන් මේ පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාසට ලැබිය යුතුයි කියන එක. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පක්ෂය එක්ක තවදුරටත් ඉන්න පුළුවන්. ඔහුගේ දේශපාලන අත්දැකීම් සහ උපදේශය පක්ෂයට අවශ්‍යයි. අපි ඒක ඔහුගෙන් බලාපොරොත්තු වෙනවා. එතුමා වටේ ඉන්න කීප දෙනෙක් මෙතන ප්‍රශ්නයක් ඇති කරනවද කියලත් අපිට හිතෙනවා. ඔවුන් කලබල වෙලා ඇති රනිල් වික්‍රමසිංහ නැති දවසකට ඒ අයගෙ අනාගතය පිළිබඳව. ඒ අය පුද්ගලික වාසි තකා මේ තැනට තල්ලු කරනවා වෙන්න පුළුවන්. ඒත් ඒක පක්ෂයට හානියක්. 

 

2015 ඉඳල වෙච්ච දේවල්වල ප්‍රතිඵලය තමයි මේ ඡන්දයෙන් එළියට ආවේ. ඒක සජිත් ප්‍රේමදාස කරපිටින් ගියා. එක පැත්තකින් අපි දීපු සමහර පොරොන්දු අපිට ඉෂ්ඨ කරගන්න බැරි වුණා. හොරු අල්ලන එක හරියට කෙරුවෙ නෑ. ඒ වගේම අපේ පැත්තෙ සමහරු හොරු බවට පත්වුණා. එක්සත් ජාතික පාක්ෂිකයාගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු හරියාකාරව ඉටු කරන්න මේ අවුරුදු පහට අපි අපොහොසත් වුණා. පාක්ෂිකයින් ඒකෙන් යම් කලකිරීමකට පත්වෙන්න ඇති.


රනිල් වික්‍රමසිංහම ඕනෑ කියන පිරිස කවුද


මම නම් කියන්න ඕනැ නෑ කවුද කින්ද මන්ද කියලා. නමුත් ඒ අය අපිටත් විවිධ චෝදනා කරනවා. සීමිත පිරිසක් එතන ඉන්නෙ. ජනතා නියෝජනයක් නැති අයත් ඔතන ඉන්නවා. 


අතිවිශාල මුදලක් මැතිවරණ කැම්පේන් එකට වියදම් කරලත් මේ විදියේ පරාජයක් ලැබුවෙ ඇයි? 


අපි කවුරුත් දැනගෙන හිටියා අපි හිටපු තැන. නමුත් අපි උත්සාහ කළේ කැම්පේන් එක හරහා මේ පරතරය පුළුවන්තරම් අඩු කර ගන්න. අපි මේ සියලු දේ කෙරුවෙ විද්‍යාත්මකව. අපේ සමීක්ෂණවලට අනුව මේ ප්‍රතිඵලය පුදුම සහගත එකක් නෙවෙයි. අපි දැනගෙන හිටියා අපි කොතනද ඉන්නේ කියලා. කැම්පේන් එකට වියදම් කළේ ඒ ඉන්න තැනින් පුළුවන් තරම් උඩට එන්න. 


එ්ත් දැන් පරාජයේ වගකීම ගැන බෝල පාස් කිරිල්ලක් අපිට පේන්නේ...... 


ඔව්. දැන් මේ ප්‍රශ්න එක එක්කෙනාට දාල ඇඟ බේරගෙන වැඩක් නෑ. අපිට වැරදුණු තැන් හදාගෙන සියලුදෙනා එකතුවෙලා, ඉදිරියට යන්නයි ඕනෑ. පක්ෂය අලුත් වෙන්න ඕනෑ කියන මතයේ බහුතරයක් ඉන්නවා. එතනදී කවුරුවත් කාටවත් පුද්ගලිකව පහර දීගෙන වැඩක් නෑ. අපි හැමදෙනාම මේ පරාජයේ වගකීම බාර ගත යුතුයි. 


මැතිවරණ ව්‍යාපාරයට ආපු මුදල් මාටියා ගැහිල්ලක් ගැනත් කතන්දර කිය වෙනවා..... 


ඒක බොරු කතාවක්. එහෙම දෙයක් වෙලා නෑ. ඒ මුදල් සියල්ල විනිවිදභාවයෙන් තමයි වියදම්වෙලා තියෙන්නේ. 


ඔබලගෙ කඳවුරේ ඉඳපු රිෂාඩ්, හකීම් වැනි අය නිසාත් පරාජයේ පරතරය වැඩි වුණා කියලා සමහරු කියනවා.....


අනෙක් පැත්තෙන් මවපු වැරදි මතවාද විශාල ප්‍රමාණයක් තිබුණා. මේ අය ගැනත් බිල්ලෙක් මැව්ව. දැන් ඔය ඒ ඒකාලෙ කරපු චෝදනා ඔප්පුවෙලා තියෙනවද? ඩොක්ටර් සාෆිගෙ ප්‍රශ්නය බලන්න. එහෙම අම්මල දහස් ගණනක් වඳ වෙලාද? මාධ්‍ය හරහා අසත්‍ය වැපිරුවා. අපිට මේවට උත්තර දෙන්න මාධ්‍යයක් තිබුණෙ නෑ. මාධ්‍යවල ඉඩ වෙන්වුණු විදිහ බලන්න. අනිත් කඳවුරේ හිටියෙ නැද්ද චෝදනාවලට ලක්වුණු අය? අපිට අපේ පණිවුඩය ජනතාව අතරට ගෙනියන්න ඉඩකඩ තිබුණානම් මේ අසත්‍ය ප්‍රචාරවලට උත්තර දෙන්න තිබුණා. 


මංගල සමරවීරටයි රන්ජන් රාමනායකටයි නොමිනේෂන් නොදුන්නැයි කියනවා. ඔක්කොම හරිද දැන්? 


ඔය කතාවත් අමූලික බොරුවක්නේ. එහෙම කිසිම තීරණයක් පක්ෂය අරගෙන නෑ. නොමිනේෂන් දෙන වෙලාවක් නෙවෙයිනෙ මේක. තවම මැතිවරණය ගැන කිසිම සූදානමක් නෑ. ඉතිං නොමිනේෂන් දෙන්නෙ කාටද නොදෙන්නෙ කාටද කියලා තීන්දුවක් තාම අරගෙන නෑ. මේ අය ගැන අපිටත් විවේචන තියෙනවා. ඒ අය කරපු ඇතැම් ප්‍රකාශ ආන්දෝලනයට තුඩු දුන්නා. ඒකෙන් ඡන්ද ප්‍රතිඵලයටත් යම් බලපෑමක් වෙන්න ඇති. ඒත් අපි ඔය කියන තීන්දුවක් අරගත්තෙ නෑ. පවතින නායකත්වය විවේචනය කරනවා කියලා අපිටත් නොමිනේෂන් ලැබෙන එකක් නෑ එහෙම නම් ඕවා බොරු ප්‍රවෘත්ති. 


අලුත් ආණ්ඩුව අලුත් ජනාධිපති ගැන මොකද හිතන්නේ? 


තාම විනිශ්චයක් දෙන්න පුළුවන්කමක් නෑ. කොහොම වුණත් කරපු හොඳ දේවල් ඉදිරියට කරගෙන යනවනම් හොඳයි. අපෙන් වුණු අඩුපාඩුත් හදාගෙන ගියොත් හොඳයි. කොහොමත් ඉදිරි මහ මැතිවරණයතෙක් මේ ආණ්ඩුව ලොකු අවුල් හදාගන්න එකක් නෑ. මේ ආණ්ඩුව ආවා කියල ආර්ථික අමාරුකම් නැති වෙන්නෙ නෑ. පෙන්නපු කැරට් අල තරම් ඉදිරි ගමන සුන්දර වෙන එකක් නෑ. අපි දැන් ඒවා ගැන විවේචන කරන්න යන්නෙ නෑ. ගැටලු එද්දී අපි ඇත්ත තත්ත්වය ජනතාවට පහදලා දෙන්නම්. 


හැබැයි අර කාන්තාවො හයිහීල්ස් දාන එකෙනුත් ආර්ථිකය මැන ගන්න පුළුවන් කියලා වගේ කතා කියපු ඔබ කියන ඒවා මිනිස්සු අහයිද? 


ඒ කතාව සම්පූර්ණ විකෘතියක්. මම කියපු දීර්ඝ අදහස් දැක්වීමකින් කෑලි කපලා පූට්ටු කරලා දාපු එකක් ඕක. මම ඔය කතාව කරුණු ගණනාවක් ඔස්සේ ගොඩනගාගෙන ආපු එකක්. ඕක තමයි අද මාධ්‍යයේ තියෙන සදාචාරය. අපිට මේවා නිවැරදි කරන්නවත් මේ මාධ්‍ය ඉඩක් දුන්නේ නෑ. ඒක මැතිවරණය කාලේ සිද්ධවුණු සංවිධානාත්මක වැඩපිළිවෙළක්. 


අලුත් ඇමැති මණ්ඩලය ගැන අදහසක් තියෙනවද? 


පහළොවක් දානව කියලා පනස් හතරක් දාලා. එච්චරයි. වෙන දෙයක් නෑ. ඇමැති මණ්ඩලේ අඩු කරලා ඒ මුදලින් බඳු සහන දෙනවා කියලනේ කිව්වෙ. ඒත් අපි දන්නවා කැබිනට් ඇමැතිවරුයි රාජ්‍ය ඇමැතිවරුයි අතරේ වියදම්වල හෝ පහසුකම්වල වෙනසක් නෑ. මේ ලොකු ඇමැති මණ්ඩලය නඩත්තු කරන්න වෙනවා ජනතාවට. 


තව මාස කීපයකින් මහ මැතිවරණයක් එනවා. යූඑන්පියට නැගිටින්න පුළුවන්ද? 


යූඑන්පී එකට නැගිටින්න පුළුවන්ද බැරිද කියන එක තීරණය වෙන්නේ ඉදිරියේදී සිදුවන ව්‍යුහාත්මක වෙනස මත තමයි. මේ යන විදියටම ගියොත් නම් පක්ෂයට නැගිටින්න පුළුවන් ද කියන එක ප්‍රශ්නයක්. ඉක්මන් වෙනසකට යා යුතුයි. 


ඉදිරි මහ මැතිවරණයෙන් අපේක්ෂා කරන ජය කොයි වගේ එකක්ද? 


ඒක දැන්ම කියන්න බෑ. ඒත් උපරිම ජයක් ලබන්න ඕන. පක්ෂයේ සිදුවෙන වෙනස්කම් එක්ක ඒ ජයග්‍රහණයේ ප්‍රමාණය තීරණය වෙනවා. 

 

ප්‍රියන්ත කොඩිප්පිලි