මේ මැතිවරණයේදී අපේ කඳවුර ඉතා පැහැදිලි ජයක් ලබනවා


​අගමැති මහින්ද රාජපක්ෂ  

  • අපට බලය දීපු කිසිදවසක ජනතාවට වැරදිලා නැහැනේ  
  • රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් අපි හදන්න ඕනෑ  

 

 

මහ මැතිවරණයට තව දින තුනකි. මහ මැතිවරණ උණුසුම ගංවතුරක් මෙන් ගම් නියම්ගම් නගර ජනපද සිසාරා ගලා යමින් තිබේ. එළැඹෙන බද‌ාද‌ා රටේ සාතිශය බහුතරයක් ජනයා ගනු ලබන තීරණය කුමක් ද? මේ ඒ ගැන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවකි.  


ප්‍රශ්නය:- මහ මැතිවරණයට දවස් තුනයි. ඔබට දැනෙන තත්ත්වය කොහොමද?  


පිළිතුර:- පැහැදිලි ජයග්‍රහණයක් ලබනවා. අද දේශපාලනය ඉතාම පැහැදිලිව කඳවුරු දෙකකට බෙදිලා තියෙනවා. ඒක බොහොම විවෘතව සිද්ධ වෙලා තියෙනවා. රටට හිතැති කණ්ඩායම, රටට වැඩ කරපු කණ්ඩායම, රටට ආදරේ කරපු කණ්ඩායම. ඒක බොහොම බලවත් කඳවුරක්. අනික් පැත්තෙන් තියෙන්නේ අවුරුදු පහක් බලයෙ ඉඳලා. රටට කිසිම දෙයක් නොකරපු ජාතික සම්පත් විකුණපු සියලු තොරතුරු ලැබිලා තිබුණත් පාස්කු ප්‍රහාරකයන්ට මරාගෙන මැරෙන්න ඉඩ දීලා අපේ රටේ මිනිස්සු විදේශිකයෝ අමු අමුවේ මරාද‌ාන්න ඉඩ දීපු කණ්ඩායමක්. එ් වගේම ඒ කණ්ඩායමට අත්වැල් අල්ලපු කණ්ඩායමක්. මේ රටේ ජනතාව බොහොම බුද්ධිමත්. අත්දැකීම්වලින් ඉගෙන ගත් ජනතාවක්. ඒ නිසා මේ මැතිවරණයේදී අපේ කඳවුර ඉතාම පැහැදිලි ජයග්‍රහණයක් ලබනවා. ඒක තමයි ඇත්ත.  


ප්‍රශ්නය:- සටන ආරම්භයේදී ඔබ ඉල්ලා සිටියේ තුනෙන් දෙකක බලයක්. ඔබ හිතනව ද ජනතාව එතැන ඉන්නේ කියලා?  


පිළිතුර:- අගෝස්තු 6 වැනිදාට බලාගන්න පුළුවන් මේ රටේ ජනතාව කොතැනද ඉන්නේ කියලා. අපි තිස් අවුරුද්දක් පුරා තිබුණ යුද්ධය අවසන් කළා. මාතෘ භූමියට සාමය ගෙනාවා. ඒක දකුණට විතරක් නොවෙයි උතුර හා නැගෙනහිර ඇතුළු මේ රටේ සෑම බිම් අඟලකටම ඒ සාමය උද‌ාවුණා. උතුරට උතුරු වසන්තය අරගෙන ගිහින් ඒ ජනතාවගේ ජීවිත සැපවත් කරන්න ජීවනෝපාය සරිකරගන්න සියලු පහසුකම් දුන්නා. නැගෙනහිර නවෝදය හරහා නැගෙනහිර ජනතාවගේ ජීවිතවලට අලුත් ආරම්භයක් අරන් දුන්නා. අපට ඕනෑ කළේ මේ රටේ දුවා දරුවන් නැවත කිසිදිනෙක අවි අතට අරගෙන සටන් නොකරන රටක් නිර්මාණය කරන්නයි. ඒ රට අපි හැදුවා. යහපාලනය කට්ටිය ඒ රට සම්පූර්ණයෙන්ම විනාශ කළා.  

 

ප්‍රශ්නය:-මගේ ප්‍රශ්නය වුණේ ජනතාව ඔබලාට තුනෙන් දෙකක බලයක් දෙයි ද කියලායි

 
පිළිතුර:- අපට බලය දීපු කිසි දවසක ජනතාවට වැරැදිලා නැහැනේ. අපට බලය නොදුන්න හින්දනේ මේ රටේ ජනතාවට අවුරුදු පහක් දුක් විඳින්න වුණේ. මේ රටේ මිනිස්සු බයක් නැතිව හුස්ම ගනිමින් හිටියා. ඒකත් මේ යහපාලනය නැති කළා. වැඩිය ඕනැ නෑ. කොවිඩ් 19 වසංගතය ගන්න. යහපාලනය තිබුණා නම් අපට මොකක් වෙයිද කියලයි ජනතාව කල්පනා කරන්නේ? එහෙම නම් ඉස්සෙල්ලාම ලොක්කො ටික හද‌ාගන්නවා. අපිට වෙන්නේ මළ කඳන් ගණන් කරන්න තමයි. නමුත් අපි ජනතාවගේ ජීවිත ආරක්ෂා කළා. රටේ ආර්ථිකය ආරක්ෂා කළා. පීඩාවට පත්වෙච්ච ජනතාවට සහන දුන්නා. මරණ සංඛ්‍යාව අඩුම ප්‍රතිශතයක් වාර්තා වෙච්ච රටවල් අතර අපේ රට පෙරමුණේ තියෙනවා. ඊයේ පෙරේදා ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් 19 මාරක වසංගතයට අද‌ාළව මාර්ගෝපදේශන සංග්‍රහයක් නිකුත් කළා. ඒකේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ අපි ක්‍රියාත්මක කරපු හා කරමින් ඉන්න වැඩපිළිවෙළ. දැන් ඔබ අහනවා මිනිස්සු අපට තුනෙන් දෙකක බලයක් දෙයිද කියලා. ඇයි නොදිය යුත්තේ? මේ තියෙන අවම බලයෙන්. මතක තියා ගන්න පාර්ලිමේන්තුවකුත් නැතිවයි මේ කාර්යභාරය අපි ඉෂ්ට කළේ. සෞඛ්‍ය අංශ ඒ වගේම යුදහමුද‌ාව, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ඉමහත් කැපවීමක් කළා. අපට මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණේ ඒ කැපවීම නිසයි. ඒ නිසා ඔක්තෝබර් 16 වැනිද‌‌ා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කරලා ආරම්භ කළ නොනවතින ජයග්‍රහණ මාලාවේ ඊළඟ විජයග්‍රහණය අගෝස්තු 5 වැනිද‌ා මේ රටේ ජනතාව වාර්තා කරනවා. මට නම් ඒක ස්ථිරයි.  


ප්‍රශ්නය:- විපක්ෂය නම් කියන්නේ තුනෙන් දෙක නෙවෙයි අඩුම තරමින් 113 අරගෙන පෙන්වන්න කියලයි?   


පිළිතුර:- විපක්ෂයක් අද රටේ නැහැනේ. කෝ විපක්ෂය. එක පැත්තකින් ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කරලා ඉවරයි. දැන් ඒ ගොල්ලෝ දෙකට තුනට බෙදිලා මරා ගන්නවා. ඒ නිසා ඔය ඔබ කියන විපක්ෂයට පදනමකුත් නෑ. පැවැත්මකුත් නෑ. අද ආණ්ඩුව හැටියට අපි කියන්න ඕනෑ දේවල් ඒ ගොල්ලෝ ඒ ගොල්ලෝ කියා ගන්නවා. ඒ නිසා පදනමක් නැති පැවැත්මක් නැති විපක්ෂය කියන කතා අපි එච්චර තියා කොහොමටවත් ගණන් ගන්නේ නෑ.  


ප්‍රශ්නය:- මම මෙහෙම ඇහුවොත්. ඇත්තටම ඇයි ඔබ තුනෙන් දෙකක බලයක් ඉල්ලන්නේ?  


පිළිතුර:- පැහැදිලි අවශ්‍යතාවක් තියෙනවනේ. ව්‍යවස්ථාව හරහා යහපාලන කණ්ඩායම රට සම්පූර්ණයෙන්ම අවුල් කරලනේ තියෙන්නේ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ එහෙම් පිටින්ම අවුල් ජාලයක්නේ. අපි ඒක හොඳට දැක්කනේ පහුගිය යහපාලනය කාලේ. මෙහෙම අවුල් තියාගෙන රටකට ඉස්සරහට යන්න බැහැ. ඒ නිසා රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් අපි හදන්න ඕනෑ. මේ යහපාලන කණ්ඩායම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවේ රටේ එක පවුලක් දිහා බලාගෙනනේ. ඉතිහාසයේ කවද‌ාවත් එහෙම වෙලා නෑ. මේ අවුල ඒකයි. අනික් අතට නව ව්‍යවස්ථාවක් හදනකොට අපට අන්තවාදී කණ්ඩායම්වල සහයෝගය ගන්න වුණොත්, ත්‍රස්තවාදී ක්‍රියාවන්ට අනුබල දෙන වක්‍රව හරි සහයෝගය දෙන කණ්ඩායම්වල සහයෝගය ගන්න වුණොත්, ඊට වඩා හොඳයි ව්‍යවස්ථා සංශෝධනයක් නොකර ඉන්න එක. ඒ කණ්ඩායම්වල සහයෝගය ගන්න වුණොත් කවද‌ාවත් රටට හිතකර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හද‌ාගන්න ලැබෙන්නේ නෑ. අපි කරන හැම දෙයක්ම මේ රටේ අනාගතයට බලපානවා. අපි බලන්න ඕනෑ රටේ අනාගතය දෙසයි. ඇත්තටම අද අපිට ඕනෑවටත් වඩා අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම්වලින් අපි ඉගෙන ගත යුතුයි. රජයක් කටයුතු කරන්න ඕනෑ ඒ විදියටයි. ඒ නිසා රටේ පැවැත්මට අහිතකර බාධාවන් පළමුව ඉවත් කළ යුතුයි. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තු බලයක් අපට තිබිය යුතුයි.  


ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වත් නැවත මේ යන්නේ පැරැණි ඒකාධිපති පාලනයකට බවයි අනතුරු අඟවන්නේ?  


පිළිතුර:- මොකක්ද ඒකාධිපති පාලනයක් කියල කියන්නේ? මාධ්‍යයෙන් ඔහොම අහනවා. ‘නැවත’ කියලා ඔබ අහන්නේ ඇයි? ඒ කියන්නේ එහෙම ඒකාධිපති පාලනයක් අපේ තිබුණේ නෑනේ. අපි කවද‌ාවත් ඒකාධිපති වුණේ නැහැනේ. මේ ගොල්ලන්ගෙනේ තිබුණේ ඒකාධිපති පාලනය. ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා කැබිනට් එකටත් උඩින් මර්දනකාරී ආයතන පිහිටුවාගෙන දවස ගානේ රාජපක්ෂවරුන් අත්අඩංගුවට අරගෙන. යහපාලනයට විරුද්ධව මහපාරේ උද්ඝෝෂණ කරපු දේශපාලන නායකයන් අත්අඩංගුවට අරගෙන යහපාලන නඩය දැක්කනේ ඒකාධිපති වෙච්ච හැටි. මහ රෑ උසාවි අැරගෙන ඉඳලා තමයි නඩු ඇහුවේ. කිසිම චෝදනාවක් නැතිව රජයේ සේවකයන් අමාත්‍යාංශ ලේකම්වරු, මේ ජනාධිපති ලේකම්තුමාව හිරේ ද‌ාලා යහපාලනේ කොහොමද ඒකාධිපති පාලනයක් ගෙනිච්චේ කියලා මේ රටේ ජනතාව දන්නවා. හාමුදුරුවරු කී නමක් හිරේ දැම්ම ද?  

 


ප්‍රශ්නය:- නමුත් ඔබේ දස වසරක පාලනය ‘කළු දශකය’ කියල හඳුන්වන පිරිසකුත් ඉන්නවා?  


පිළිතුර:- කළු දශකය කියලා නොවෙයි සුදු දශකය කියලා තමයි ඒක හඳුන්වන්න ඕනෑ. ඒ දශකයේදී තමයි යුද්ධය අවසන් වුණේ. අර මායිම් ගම්මාන කියලා හඳුන්වපු ගම්මානවල ජීවත් වෙච්ච මිනිසුන් මරණ බියෙන් මුදවා ගත්තේ ඒ දශකයේදී. සාමය මේ රටට ලැබුණේ සෑම පුරවැසියකුටම බියෙන් තොරව ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙන්න පටන් ගත්තේ ඒ දශකයේදී. උතුරේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ලැබුණේ ඒ දශකයේදී. යුද්ධය ඉවර වුන ගමන් මම උතුරු පළාත් සභා මැතිවරණය තිබ්බා. සමහරු කිව්වා ‘දැන්ම පළාත් සභා ඡන්දය තියන්න එපා’ කියලා. ඒත් මම පළාත් සභා ඡන්දය තිබ්බා. මම දන්නවා යුද්ධය දිනුවත් ඒ වෙලාවේ උතුරු පළාත් සභා මැතිවරණය අපි පරදිනවා කියලා. ඒත් තමන්ගේ ඡන්දයෙන් ඒ පළාතේ තමන්ගේ නියෝජිතයෝ තෝරා ගැනීමේ අවස්ථාව ඒ ජනතාවට දිය යුතුයි.

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒකනේ. උතුරේ පළමු පළාත් සභා මැතිවරණයෙන් පස්සේ පළාත් සභා මැතිවරණයක් තිබ්බේ මගේ කාලයේදී. ඉතින් ඒක කළු දශකයක්ද? ඕවා මේ දේශපාලනිකව මුකුත් කර කියාගන්න දෙයක් නැති අනාථයන්ගේ වචන.  


ප්‍රශ්නය:-නමුත්...?  


පිළිතුර:- පොඩ්ඩක් ඉන්න, ඔය ඔබ කියපු කළු දශකයේදී තරම් මේ රට සංවර්ධනය වෙච්ච දශකයක් තිබුණ ද? යුද්ධය තියෙද්දීත් අපි රට පුරාම අධිවේගී මාර්ග පද්ධතියක් ආරම්භ කළා. දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කළා. ගුවන් පාලම් හැදුවා. අපේ රටට අත්‍යවශ්‍ය වෙලා තිබුණ ගුවන් තොටුපළක් හැදුවා. අලුතෙන් වරායක් හැදුවා. මුළු රටේම මාර්ග පද්ධතිය හැදුවා. යහපාලන කණ්ඩායම අලුතෙන් එක ගොඩනැගිල්ලක්වත් හැදුවද? අපි හදලා තිබුණ ඒවා ඒ ගොල්ලො බෝඩ් ගහලා විවෘත කර කර ගිය එකනේ වුණේ. පෞද්ගලික අංශයේ දැන් හැදීගෙන යන ගොඩනැගිලි පටන් ගත්තෙත් අපේ කාලයේ. ඇත්තටම ඒ යුගය තමයි අපේ රටේ ඉතිහාසයෙ ස්වර්ණමය යුගය.  


ප්‍රශ්නය:- ඒ කාලේ තිබුණෙ මෙගා ඩීල්. කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් ගසා කෑවා කියලයි චෝදනාව?  


පිළිතුර:- හරි හරි. මිනිස්සු ගෙවල් හැදුවම ගොඩනැගිලි හැදුවම මට ගාන හම්බ වෙනවනේ. ඔයා ගේ හදන කොට මට ගානක් එනවනේ. ඒ වගේ කතාවක්නේ ඔය. ඔය විදියට මඩ ගහනවා හැර ඒ අයට වෙන කියන්න දෙයක් නැහැනේ. ඒ වෙලාවේ ජනතාව පිළිගන්න ඇති ඔය මඩ. නමුත් හොයලා බලනකොට තේරෙනවා මේවා මඩ කියලා. ඊට පස්සේ ජනතාව ආපහු නිවැරැදි තැනට එනවා. ඒකනේ වුණේ. ගෝඨාභය ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය ඒක බොහොම පැහැදිලිවම ඔප්පු කරලා තියෙනවා. මීට අවුරුදු පහකට කලින් කියපු කතාව දැන් ආපහු කියාගෙන යනවා. දැන් පේනවනේ අර සංස්කෘතික අරමුදලේ සල්ලිවලට කරලා තියෙන දේ. මට ඒ වාර්තාව බාර දුන්නනේ. 2016 ඉඳලා 2019 දක්වා කාලය ඇතුළත මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි 1100 ක මුදලක් වංචා කරලා තියෙනවා. ජනාධිපතිවරණය කට ළඟ තිබියදී ස්ථාවර ගිණුමෙන් විතරක් රුපියල් කේටි 40 ක් නිදහස් කරගෙන තියෙනවා. කිසිම මූල්‍ය පාලනයක් තිබිලා නැහැ. පුදුම ගැහිල්ලක් ගහලා තියෙන්නේ.  


ප්‍රශ්නය:- සමගි ජන බලවේගය කියනවා මහ මැතිවරණය කට උඩ තියාගෙන මේ ගහන්නේ මඩක් කියලා?  


පිළිතුර:- මම නොවෙයිනේ කියන්නේ. දේශපාලකයෝ නොවෙයිනේ කියන්නේ. මේ සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළා. ඒ කමිටු වාර්තාව එනකොට මහ මැතිවරණයක් තියෙනවා. එහෙම නැතිව මැතිවරණ කාලේ අපි මේවා කළේ නෑ. අනික ඔබ දන්නවා මේ මැතිවරණය තියන්න තිබුණේ අප්‍රේල් මාසෙ 25 වැනිද‌ා. කොවිඩ් 19 නිසානේ මැතිවරණය මෙච්චර කල් ගියේ. එහෙම නම් අපි මේ වාර්තාව එළියට ද‌ාන්න ඕනෑ ඒ කාලයේ. වාර්තාව හා මැතිවරණය අතර කිසිම සම්බන්ධයක් නැහැ.  


ප්‍රශ්නය:- ඔය පරීක්ෂණ වාර්තා හරියට වල්ගා තරු වගේ. කාලයකට එනවා. ඊට පස්සේ නැහැ. දෙගොල්ලොම ගජ මිතුරෝ. ඒ නිසා මුකුත් වෙන්නේ නැහැ.  


පිළිතුර:- ඒක සම්පූර්ණ බොරු කතාවක්. අපි කිසිම දෙයක් වහන්නේ නැහැ. දැන් මේ වාර්තාව නීතිපතිට යවන්න ඕනෑ. ඊට පස්සේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ නීතිපති දෙපාර්තමේන්තුව. ඒවා ස්වාධීනව සිදුවෙනවා.  


ප්‍රශ්නය:- එතකොට බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන්?  


පිළිතුර:- ඒ සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ග යනවා. දැන් ඒකේ ලොකුම චූදිතයා රටින් පැනලා යනකම් ඒගොල්ලෝ බලාගෙන හිටියනේ. දැන් මිනිහා නමත් වෙනස් කරගෙනලු. නමුත් කාටවත් පැනලා යන්න දෙන්නේ නැහැ. ඒ අයට නීතිය ක්‍රියාත්මක කරනවා. නමුත් අපි නඩු අහන්නේ අරලියගහ මන්දිරයේ නෙවෙයි. යහපාලන කාලේ නඩු අහලා තියෙන්නේ, හිරේ ද‌ාන්න ඕනැ කවුද කියලා තීරණය කරලා තියෙන්නේ අරලියගහ මන්දිරයේ ඉඳගෙනනේ. ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවලදී ඒවා හෙළිවෙනවනේ. ඒ කාලේ ආණ්ඩුවයි නිල විපක්ෂයයි එකට වාඩි වෙලා තමයි නඩු අහලා තියෙන්නේ. අපි එහෙම කරන්න යන්නේ නෑ. අපි හැමද‌ාමත් අධිකරණයෙ ස්වාධීනත්වය ආරක්ෂා කරනවා. ඒ පිළිබඳ ජනතාවගේ විශ්වාසය වැඩිදියුණු වෙන විදියට විනිවිද භාවයෙන් යුතුව තමයි අපි හැමද‌ාමත් වැඩ කරන්නේ. අපි නීතිය අතට ගන්න යන්නේ නැහැ. එහෙම කරලත් නෑ.  


ප්‍රශ්නය:-යහපාලනේ ජනාධිපති අද ඔබේ සන්ධානයේ සභාපති  


පිළිතුර:- ඔව්. ඔව්. අපි මේ පාර මැතිවරණයට ඉදිරිපත් වුණේ සන්ධානයකින්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ සන්ධානයේ ඉන්නවා. සන්ධානයේ සභාපතිකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දුන්නා. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිට තමයි ඒ තනතුර යන්නේ. එතැන එයා හිටියා. ඒ නිසා සභාපති වුණා.  


ප්‍රශ්නය:-ශ්‍රී ලංකා එකේ අපේක්ෂකයන් මේ පාරත් පරාජය කිරීමේ මෙහෙයුමක් යනවා?  


පිළිතුර:- මට පරාද කරන්න බැහැනේ. මම ඡන්දය දෙන්නේ නෑනේ. ඡන්දය දෙන්නේ ජනතාවනේ. ඔබ මේ පාරත් කියලා අහනකොට ගිය පාරත් පරාජය කළා වගේ හැඟීමක් එනවා. අපි නොවෙයිනේ පරාජය කළේ. ජනතාවනේ පරාජය කළේ. ජනතාව දන්නවා කාවද දිනවන්න ඕනැ●, කාවද පරාජය කරන්න ඕනෑ කියලා. ඒක ජනතාවගේ තීරණයක් මිසක් අපේ තීරණයක් නොවෙයි.  


ප්‍රශ්නය:- එහෙම නම් ශ්‍රී ලංකා එකේ හිටපු අයට හූ කියන්නේ?  


පිළිතුර:- ඒවා මේ මනාප ක්‍රමය නිසා වෙන දේවල්. ඒවා පාලනය කළ යුතුයි. අපි කියනවා අපේ කට්ටියට සමගියෙන් යන්න ඕනෑ කියලා. නමුත් පොඩි පොඩි දේවල් වෙනවා. ඒවා ඉතින් මේ මනාප ක්‍රමය ඇතුළේ සිද්ධ වෙන දේවල්.  


ප්‍රශ්නය:-ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගන්න කියලා ඔබට ආරාධනාවකුත් තියෙනවා?  


පිළිතුර:- බැහැනේ. මමනේ පොදුජන පෙරමුණේ නායකයා. අපි මේ පක්ෂය හදලා මාස එක හමාරකින් පළාත් පාලන ඡන්දය දිනුවා. ප්‍රධානම මැතිවරණය වන ජනාධිපතිවරණය ඉහළින්ම ජයග්‍රහණය කළා. මේ මහ මැතිවරණයත් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරනවා. අලුත් පක්ෂයක් එක දිගට ප්‍රධානම මැතිවරණ තුන ජයග්‍රහණය කරන පක්ෂය අපි. ඉතින් වෙන මොකටද වෙන පක්ෂයක්.  


ප්‍රශ්නය:- නමුත් ඔබේ පියාත් සම්බන්ධ වෙලයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කළේ. ඔබ දේශපාලනයට ආවෙත් ඒ පක්ෂයෙන්?  


පිළිතුර:- ඔව්. අැයි මගේ පියා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වුණේ. ඒ පක්ෂය අධිරාජ්‍යවාදී නිසා. එක්සත් ජාතික පක්ෂයට විකල්ප බලවේගයක් හැටියටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගුවේ. 2015 දී මොකද වුණේ? ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළිත් වතාවක් එක්සත් ජාතික පක්ෂයත් එක්ක ගැට ගැහුවා. එහෙම පක්ෂයක අපට ඉන්න බැහැනේ. ඒ අශුද්ධ හවුලට එරෙහිව තමයි අපි පොහොට්ටුව පක්ෂය පිහිටෙව්වේ.  


ප්‍රශ්නය:-සියලු උපාධිධාරීන්ට රැකියා දෙනවා කිව්වා. අඩු ආද‌ායම්ලාභී පවුල්වල සාමාන්‍ය පෙළ අසමත් දරුවන් ලක්ෂයකට රැකියා දෙනවා කිව්වා. මේවා ඡන්ද ගුණ්ඩු නොවෙයි ද?  


පිළිතුර:- නැහැ. අපි රස්සා දුන්නනේ. රස්සාවල් දීගෙන ගියා. සමහර අයට පත්වීම් ලිපි ලැබුණටත් පස්සෙනෙ තහනම් කළේ. මැතිවරණ කොමසාරිස්තුමානේ එපා කිව්වේ. අඩුගානේ පුහුණුවටවත් එන්න දුන්නේ නැහැනේ.  


ප්‍රශ්නය:- ඔබේ ආණ්ඩුව ආපු ගමන්ම ධනපතියන්ට අසීමිත බදු සහනයක් දුන්නා?  


පිළිතුර:- එහෙම බදු සහන දුන්නේ ඇයි? අනවශ්‍ය බදු නිසා රටේ සංවර්ධනයට මුදල් නැති වෙනවා. බදු සහන දුන්නාම රටේ ආර්ථිකයට නව පණක් ආවා. ව්‍යාපාරිකයන් බය නැතිව ආයෝජන කරනවා. කොවිඩ් වසංගතය ආපු නිසා ඒක නතර වුණා. නමුත් තව ටික දවසකින් බලන්න මොකද වෙන්නේ කියලා. බදු ගැහුවම ව්‍යාපාරිකයො ආයෝජන කරන්නේ නැහැ. එතකොට කොහොමද රටක් සංවර්ධනය වෙන්නේ?  


ප්‍රශ්නය:- ආණ්ඩු බලය ගත්ත ගමන් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන බව ආරංචියි?  


පිළිතුර:- අපි එම්.සී.සී. ගිවිසුම ගැන අධ්‍යයනය කරන්න විද්වත් කමිටුවක් පත් කළා. දැන් ඒ වාර්තාව ලැබිලා තියෙනවා. දැන් මේ ගොල්ලෝ අපිට හැමදාම ගැහුවේ ඒකාධිපතියෝ කියලනේ. නමුත් අපි මොකද කළේ. ඒ වාර්තාව කැබිනට් එකට දැම්මා. අපි තීන්දුවක් ගන්නකොට ඒක බොහොම ප්‍රජාතන්ත්‍රවාදීව ගන්න ඕනෑ.  


ප්‍රශ්නය:-ඒ කියන්නේ එම්.සී.සී. ගිවිසුම අත්සන් කරනවා කියන්නෙත් නෑ, අත්සන් කරන්නෙ නැහැ කියලා කියන්නෙත් නෑ.  


පිළිතුර:- එහෙම නෑ. අපේ පෞද්ගලික අදහස් තියෙනවා. පොදු අදහස් තියෙනවා. මම ඔබට මෙහෙම කියන්නම්. මේ ගිවිසුම නම් අත්සන් කරන්නේ නැහැ. ඒකෙන් කියන්නේ නැහැ අපි ජාත්‍යන්තර ගිවිසුම්වලට යන්නේ නෑ කියලා. අපි වැඩක් කරනකොට ඒකට ක්‍රමවේදයක් තියෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ජනතාවට ඉදිරිපත් නොකර මොනම ගිවිසුමක්වත් අත්සන් කරන්නේ නැහැ කියන සහතිකය නම් මට ඔබට දෙන්න පුළුවන්.  


ප්‍රශ්නය:- රනිල් වික්‍රමසිංහ කියනවා එක පවුලකට රුපියල් 10,000 ක් දෙනවා කියලා. සජිත් ප්‍රේමද‌ාස කියනවා රුපියල් 20,000 ක් දෙනවා කියලා. ඔබ කීයක් දෙනව ද?  


පිළිතුර:- ජනතාව අමාරුවේ වැටුන හැම අවස්ථාවකදීම අපි ජනතාවට සහන දීලා තියෙනවා. කොවිඩ් වසංගතයේදී රුපියල් පන්ද‌ාහ දුන්නේ කාටවත් කියලා නොවෙයිනේ. අවශ්‍යතාව දැකලා ඒක දුන්නා. සජිත් මුලින්ම කිව්වේ හැටද‌ාහක් කියලනේ. මහා භාණ්ඩාගාරය ගැන අවබෝධයක් නැහැ. ආර්ථිකය ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා කටට එන ගණන් කියනවා. එහෙම කියන්නත් භයක් නෑනේ. මොකද කවද‌ාවත් බලයට එන්නේ නැහැනේ. බලයට එන්න පුළුවන් කියලා හිතන කිසි කෙනෙක් ඔය වගේ ගොං කතා කියන්නේ නෑ. සංස්කෘතික අරමුදල කළමනාකරණය කරගන්න බැරි වෙච්ච කෙනා කොහොමද රටේ ආර්ථිකය කළමනාකරණය කරන්නේ?  


ප්‍රශ්නය:- ඔබ දෙන්නේ කීයද කියලා කිව්වේ නෑ?  


පිළිතුර:- ඔබ ලියන්න මම දෙන්නේ මගේ ජනතාවට ‘ජීවිතය’ කියලා. මේ මහින්ද රාජපක්ෂ එදත් එහෙමයි. මම මේ රටට අභය ද‌ාන්න දුන්නා. ජනතාවට සතුටෙන් ඉන්න පුළුවන් මරණ බය නැතිව ජීවත් වෙන්න පුළුවන් රටක් මම හැදුවා. ඉදිරියටත් එහෙමම තමයි. ඒ සහතිකය මම දෙනවා.

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්