මේ ආණ්ඩුවෙන් යුක්තිය ඉටුනොවුණත් සොබාදහමෙන් යුක්තිය ඉටුවේවි


දේශපාලනය දිනෙන් දිනම ගිනියම්ය. මේ ඒ ගිනියම් දේශපාලන වටපිටාව පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක රංජිත් සොයිසා මහතා සමග කළ සාකච්ඡාවකි.

 

 ප්‍රශ්නය - ඒකාබද්ධ විපක්ෂය මොනවද කරමින් ඉන්නේ.  
පිළිතුර - මේ රජයට දැන් වසර දෙක හමාරක් ගත වෙලා තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව මේ කාලය තුළ කරලා තියෙන දේවල් ගැන ජනමතය විමසා බැලීමට මැතිවරණයකට යන්න කාලය ඇවිත්.  



අපි අලුතෙන් මැතිවරණයක් ඉල්ලනවා නොවෙයි. මේ රටේ තියෙන නීතිරීති යටතේ පැවැත්වීමට නියමිතව තිබෙන පළාත් පාලන මැතිවරණය පවත්වන්න කියලයි අපි ඉල්ලීමක් කරන්නෙ. දැනට අවුරුදු දෙකකට වැඩි කාලයක් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු කාලය ඉක්ම ගිහින් තියෙනවා. එහෙම නම් පළාත් පාලන මැතිවරණය වහාම පවත්වන්න කියලා අපි රජයට බලකර සිටිනවා.  

 


 ප්‍රශ්නය - ජනාධිපති මෛත්‍රී කියනවා ජනවාරියේ දී පළාත් පාලන මැතිවරණය තියන්න පුළුවන් කියලා?  
පිළිතුර - ජනාධිපතිතුමාත්, විෂය බාර ඇමැතිවරයත් තවත් අයත් විටින් විට එකිනෙකාට පරස්පර ප්‍රකාශ කරනවා. නමුත් මැතිවරණය අවුරුදු දෙකයි මාස දෙකක් කල් තැබීම තුළ ඔය කරන ප්‍රකාශය ගැනත් විශ්වාසයක් තියන්නේ කොහොමද?  
මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. ඒ නිසා වහාම මැතිවරණය තියලා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න කියලා අපි ඉල්ලනවා.  

 


 ප්‍රශ්නය - සැප්තැම්බරය වෙනකොට පළාත් සභා මැතිවරණය පැවැත්වීමටත් නියමිතයි.  
පිළිතුර - ඔව්! සැප්තැම්බරය වෙනකොට සබරගමුවත්, උතුරු මැදත්, නැගෙනහිරත් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි. අපි කියන්නේ විවිධ හේතු දක්වලා මේ මැතිවරණය කල් දාන්න එපා කියලයි. මේ මැතිවරණ ඉල්ලලා අපි රටපුරා සංවිධාන කටයුතු කරනවා. ඒ වගේම පවත්වන මැතිවරණයකදීම පරාජයට පත් කිරීමට අපි සූදානම් බවත් කියනවා.  

 


 ප්‍රශ්නය - ඔබ මෙතැන රජය කියලා කිව්වේ යූඑන්පීයද? ශ්‍රී ලංකා එකද?  
පිළිතුර - මේ යහපාලන ආණ්‍ඩුව. එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දෙකම එකට ඡන්දය ඉල්ලුවත් පරාජය කරන්න පුළුවන් ආකාරයට අපේ සංවිධාන ශක්තිය දියුණුයි. ඒ ගැන සැකයක් ඇති කරගන්න එපා.  

 


 ප්‍රශ්නය - ඔබ ‘‘අපි’’ කියලා කියනවා. අපි කියන්නේ මොකද්ද? මොකක්ද පක්ෂය.  
පිළිතුර - ඒකාබද්ධ විපක්ෂය තුළ පක්ෂ ගණනාවක් නියෝජනය වෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ වගේම පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂත් ඒ අතර තියෙනවා. අපි ඔක්කොම එකතු වෙලා කණ්ඩායමක් විදියට ශක්තිමත්ව ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වෙනවා. ඒ වගේම ඒකාබද්ධ විපක්ෂය තවත් පැත්තකින් ශක්තිමත් වෙනවා. ඒ ඇමැතිකම් දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අපිත් එක්ක අනිවාර්යයෙන්ම එකතු වන නිසා.  

 


 ප්‍රශ්නය - ඔබේ පිළිතුරෙන් පැහැදිලි වෙන්නේ මොනම විදියකින්වත් ශ්‍රී ලංකා එකත් එක්ක එකතු වෙන්නේ නෑ කියලයි.  
පිළිතුර - අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භයේදීම තිබූ ප්‍රතිපත්ති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු අප කණ්ඩායම ආරම්භ කරමින් ඉන්නවා. නමුත් පක්ෂයේ ප්‍රතිපත්තිවල මූලික අරමුණුවලින් බැහැරව ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයත් එක්ක සම්මුතියකට පැමිණීමත් එක්ක පක්ෂය විනාශ වුණා කියලා අපි විශ්‍වාස කරනවා.  


ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට සිටින ප්‍රධාන ලේකම්වරයා ප්‍රකාශ කරලා තියෙනවා ඉදිරි මැතිවරණයකදී යළිත් මහින්ද රාජපක්‍ෂට කිසිසේත්ම නාමයෝජනා දෙන්න ඉඩ දෙන්නේ නෑ කියලා. ඒ නිසා අපි ඉතාම පැහැදිලිවම කියනවා මහින්ද රාජපක්‍ෂ මහත්මයා තව බොහෝ කාලයක් දේශපාලනයේ ඉන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් හැටියට අපි දිගින් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අරමුණු ඔස්සේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති ඔස්සේ මහින්ද චින්තනයත් එක්ක අපි රැඳී සිටිනවා කියලා.  


අපි ඉතාම පැහැදිලිව කියනවා මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මේ පක්ෂයෙන් පිටමං කරන්නේ කවදාද? එදාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වනු ඇත. එය තීරණය කරනු ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් විසිනුයි.  


යම් හෙයකින් මහින්ද රාජපක්‍ෂ මහතා සමග අපේ මන්ත්‍රී කණ්ඩායම ඉවත් කිරීමට තීරණය ගන්නා වූ මොහොතෙම පක්ෂය දෙකඩ වෙනවා. ඒ පාප කර්මයේ වගකීම පක්ෂයේ වත්මන් නායකයන් බාර ගත යුතුයි.  

 


 ප්‍රශ්නය - ශ්‍රී ලංකා එකේ මැති ඇමැතිවරුන් 18ක් ආණ්‍ඩුවෙන් ඉවත් වෙනවා කියලා කියනවා. ඒක එහෙම වෙයිද?  
පිළිතුර - මේ වෙනකොට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්‍ඩුවට සම්බන්ධව සිටින මැති ඇමැතිවරුන් සමග යහපත් සබඳතා පවත්වාගෙන යමින් සාකච්ඡා වට ගණනාවක් පවත්වලා තියෙනවා. ඒ මැති ඇමැතිවරු ජනාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි ආණ්ඩුවට සම්බන්ධ වුණ අයයි. නියමිත කාලයකට හා යම් අරමුණු කිහිපයකට. මේ වනවිට ඒ බලාපොරොත්තු සියල්ල බිඳවැටුණා කියන එක ඒ අයම ප්‍රකාශ කරනවා. ඒ නිසාම යහපාලන ආණ්ඩුව ජනතාව අතර බරපතළ ලෙස පිරිහිලා කියලා ඔවුන් පිළිගන්නවා. ජනතාවගේ වෛරයට බඳුන් වූ පිරිසක් බවට මුළු ආණ්ඩුවම පත් වෙලා තියෙනවා.  

 


 ප්‍රශ්නය - නමුත් ආණ්‍ඩුව කියන්නේ ජාත්‍යන්තරය දිනාගැනීම වැනි මෙතෙක් නොතිබි ජයග්‍රහණ රැසක් දිනා දෙන්න මේ ආණ්‍ඩුව සමත් වූ බවයි.  
පිළිතුර - මේ අය මහින්ද රාජපක්‍ෂ පාලනයට ‘‘හොරා හොරා.....’’ කියලා නිතර දෙවේලේ ජප කළත් බලයට ඇවිත් දවස් 35ක් ඇතුළත එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ කරපු දරුණුම මුදල් මංකොල්ලය විදියට මහ දවාලේ මහ බැංකුව කොල්ලකෑවා. රජයක් කරපු හොරකමක් සම්බන්ධයෙන් නිවැරදිම තොරතුරු සහිතව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වෙච්ච පළමු අවස්ථාව මේකයි.  
ජනාධිපති කොමිසන් සභාව හරහා ඒක අගේට අනාවරණය වෙලා තියෙනවා. ඒ නිසාම ජනතාවගේ වෛරයට පාත්‍ර වූ මේ ආණ්ඩුව තුළ තවදුරටත් ඉඳීමේ හැකියාවක් ඇත්ත ශ්‍රී ලංකා කාරයන්ට නෑ. මේ අවුරුදු දෙකත් මේ විදියටම ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තටම නැති වෙනවා. මෙන්න මේ තත්ත්වය තේරුම් ගත්ත මහ පොළොවේ පය ගහලා ඉන්න ජනතාව අතර දේශපාලනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්‍ඩුවෙන් ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා. ඉදිරි කාලයේදී ඒක ස්ථිර වශයෙන්ම සිද්ධ වෙනවා.  

 


 ප්‍රශ්නය - මීට කලින් ප්‍රියංකර ජයරත්න රාජ්‍ය ඇමැතිවරයා ආවා. නමුත් ඔහු නැවතත් ජනාධිපති මෛත්‍රී ළඟට ගියා?  
පිළිතුර - ප්‍රියංකර ජයරත්න රාජ්‍ය ඇමැතිතුමා එතුමා, දරණ ඇමැති ධුරයෙන් ඉවත් වුණා. එතුමා අදටවත් තනතුරක් බාර අරගෙන නෑ. එතුමා විපක්ෂය පැත්තේ වාඩි වෙලා ඉන්නවා. ඒ වගේම එතුමා මේ පැත්තට එනවත් එක්කම මුළු රටම දන්නවා මන්ත්‍රීවරයෙක් එනකොට ඔහු වළක්වන්න ගන්නා වූ ක්‍රියාමාර්ගත්, විපක්ෂයෙ ඉන්න මන්ත්‍රීවරයෙක් ආණ්‍ඩුව පැත්තට බිලි බා ගැනීමේදී ගන්නා වූ උපක්‍රමත් පිළිබඳව. විපක්ෂයේ ඉන්න කෙනෙක් ආණ්‍ඩුවට ගන්නකොට නොයෙක් තාන්න මාන්න වරදාන, මිල මුදල් පඬුරු පාක්කුඩම්වලින් සතුටු කරලා තමයි ගන්නේ.  


ඒවට කැමැති අය ඒ පැත්තට යනවා. ඒ වගේම ආණ්ඩුවේ ඉන්න කෙනෙක් විපක්ෂයට යනකොට තර්ජනය, මර්දනය, එල්ල කරලා බියවද්දලා නතර කර ගැනීමේ උත්සාහයක් තියෙනවා. මෙන්න මේ තත්ත්වය මැද තමයි ප්‍රියංකර ජයරත්න ඇමැතිතුමා හිර වෙලා ඉන්නේ.  

 


 ප්‍රශ්නය - ‘‘දෙසැම්බර් වන තුරු ඉවසන්න’’ කියලා ජනාධිපති මෛත්‍රී ශ්‍රී ලංකා එකේ මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලුවා?  
පිළිතුර - ඔව්. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දන්නවා එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වුණාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් පාක්ෂිකයන් දිනාගන්න බැරි වෙලා තියෙනවා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ සමස්ත ඡන්දදායකයන්ගෙන් සියයට 10ක්වත් එතුමාට නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ගෙන් සියයට 90ක් ඡන්දය දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පරාජය අපේක්ෂාවෙන්. මේ කතා කරන මම ජනාධිපතිවරණයේදී මගේ හැම ශක්තියක්ම යෙදෙව්වේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පරාජය කිරීමටත්, මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ජයග්‍රහණය කරවීමටත්. මේක තමයි ඇත්ත තත්ත්වය.  


ඒ නිසා තමන්ට නැති ජනතා කැමැත්තක් දිනාගන්න උත්සාහ කරන සිරිසේන මහතා මේ පැත්තේ ඉන්න මන්ත්‍රීවරු කුමන තත්ත්වයක් තුළ හෝ ඒ පැත්තට ගත්තත් ඒ අයව රඳවාගෙන ඉඳීමේ අභියෝගයට මුහුණ දීලා ඉන්නවා. ඒ අයත් ආණ්ඩුවෙන් ගැලවිලා මේ පැත්තට ආවොත් ඉතා අසරණ වෙනවා. ඒ නිසා දවසින් දවස මොන මොනවා හරි කියමින් ඒ අයව තියා ගන්න උත්සාහ කරනවා.  
අපි දැකලා නෑ ඉතිහාසයේ කවදාවත් විධායක ජනාධිපතිවරයෙක්, පක්ෂ නායකයෙක් මේ තරමට මන්ත්‍රීවරුන් ඉස්සරහා වැඳවැටිච්ච අවස්ථාවක්. දෝෂාභියෝගය ඉදිරිපත් වෙච්ච වෙලාවේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පඩි පෙළ උඩ වාඩිවෙලා හිටියා. අන්න ඒ තත්ත්වයට මේ ජනාධිපතිවරයත් පත් වෙලා ඉන්නවා.  

 


 ප්‍රශ්නය - ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුනුත් මට කතා කරනවා කියලා ඒ රැස්වීමේදීම ජනාධිපති මෛත්‍රී කියලා තියෙනවා.  
පිළිතුර - ඒ කරපු ප්‍රකාශයේ වගකීම ජනාධිපතිවරයාම දරනවා ඇති. ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ අනෙකුත් දේශපාලන පක්ෂ නියෝජනය කරන අපගේ සහෝදර මන්ත්‍රීවරුන් සියලු දෙනාම ඉතාම දැඩි ලෙස එක අරමුණක එක අධිෂ්‍ඨානයක ඉන්නවා. ඉතා ඉක්මනින් රජය පලවා හැරිය යුතුයි කියන මතයේ ඉඳගෙන අපි කටයුතු කරනවා.  


ඒ හැරෙන්න යහපාලනයත් සමග එළිපිට හෝ රහසිගතව කිසිම සම්බන්ධතාවක් පවත්වන්නේ නෑ කියලා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරයා හැටියට බොහොම වගකීමෙන් මම කියනවා.  

 


 ප්‍රශ්නය - ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාව අත්අඩංගුවට ගන්න යනවා කියලා ඔබලා ප්‍රචාරයක් අරගෙන යන්නේ මහජන අනුකම්පාව දිනාගන්න කියලා ශ්‍රීලනිපයේම ඇමැතිවරුන් කියනවා.  
පිළිතුර - ගෝඨාභය රාජපක්‍ෂ හෝ පහුගිය රජයේ නායකයන්, හමුදා නායකයන් අත්අඩංගුවට ගන්නවා කියලා අපි පුහු ඝෝෂාවක් කරලා නෑ ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගත යුතුයි කියලා. ඒ ප්‍රකාශය කළේ කවුද කියලා දැන් රටම දන්නවා. ඒ ප්‍රකාශය ගැන ඒ පුද්ගලයා ඒ ප්‍රකාශය කරපු තැන හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් අපට දැනුම් දුන්නා.  


ඒ පුද්ගලයා හිතුවේ නෑ ඔහු කරපු මේ ප්‍රකාශය එළියට එයි කියලා. ඒ නිසාම ඔහු කිව්වා තමන් එහෙම කතාවක් කිව්වේ නෑ කියලා. නමුත් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අත්අඩංගුවට ගැනීමේ සැලැස්ම මේ ආණ්ඩුව බලයට ආපු දවසේ ඉඳලම තියෙනවා. ජනාධිපතිවරණය දවසේ රෑ හමුදා කුමන්ත්‍රණයක් තියෙනවා කියලා පරීක්ෂණ පටන් ගත්තේ ඒකට. දැන් බලයට ඇවිත් අවුරුදු දෙක හමාරක් වෙනවා. ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල කෝ?  


පාර්ලිමේන්තුවේදී අපි මේ ගැන වරින්වර ප්‍රශ්න කළා. දැන් කියනවා ‘‘පරීක්ෂණ වාර්තාව නීතිපතිට යොමු කරලා තියෙනවා. නමුත් ඉදිරි කටයුතු කරන්න නීතිපති උපදෙස් නෑ කියලා. මෙයා පුදුම නීතිපති කෙනෙක්නේ. එහෙම නම් ‘‘හමුදා කුමන්ත්‍රණයක් ගැන සියලු තොරතුරු තියෙනවා නම් ඇයි නීතිය ක්‍රියාත්මක නොකරන්නේ?  


මේවා බොරු. ඇවන්ගාඩ් සිද්ධිය හරහා ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගන්න හැදුවා. රජයේ දේපොළක් විකුණලා රුපියල් කෝටි 750ක් පෞද්ගලික ගිණුමක දාගෙන කියලා චෝදනා කළා. ඒ විදියට ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අත්අඩංගුවට ගැනීමේ සූදානමකුත් රජය සතුව තියෙනවා. හැබැයි මේ එල්ල කරන සියලු චෝදනා ඉතාම දුර්වල චෝදනා. නමුත් ආණ්ඩුව යුද නායකයන්, රණවිරුවන් දඩයම අත්හැරලා නෑ.  

 


 ප්‍රශ්නය - පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියනවා නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු ඩී.කේ.පී. දසනායක අත්අඩංගුවට ගත්තේ පරීක්ෂණවලින් හෙළි වුණ කරුණු මත කියලා. නමුත් ඒකාබද්ධ විපක්ෂය කියනවා රණවිරුවන් දඩයම් කරනවා කියලා. ඇයි ඔබලා අපරාධකාරයන් වෙනුවෙන් පෙනී සිටින්නේ?  
පිළිතුර - තරුණයන් 11 දෙනෙක් අත්අඩංගුවට අරගෙන අතුරුදන් කළාය කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ කරුණු විභාග වෙමින් තියෙනවා. මෙතැනදී අපි ඒකාබද්ධ විපක්ෂය විදියට රටේ අහිංසක දරුවන් පමණක් නොවෙයි, ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයෙක් හරි අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් නොකර අනීතික ලෙස කටයුතු කරලා තියෙනවා නම් අපි එයට එකඟ වෙන්නේ නෑ. වැරදි කළ අයට දඬුවම් කළ යුතුයි. ඒක ගැන ගැටලුවක් නෑ.  

 


 ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය වුණේ ඩී.කේ.පී. දසනායක ගැනයි?  
පිළිතුර - මෙහෙමයි. මේ රජය බලයට පත්වෙද්දීම ඇති කරගත්ත එකඟතාවක් තියෙනවා. ඒ කොටි ඩයස්පෝරාව එක්ක. ඒ වගේම දෙමළ ජාතික සංධානයේ සහයෝගය ගන්න නම් ඔවුන්ගේ මනදොළ සපිරිය යුතුයි. ජිනීවා මානව හිමිකම් කොමිසමේ සහයෝගය ගැනීමට නම් ඔවුන්ගේ ද මනදොළ සපිරිය යුතුයි. ඒ වෙනුවෙන් තමන් සකස් කරගෙන ඉන්න ලැයිස්තුවේ ඉන්න නායකයන් එකිනෙකා පටලවමින් දඩයම් කරමින් ඉන්නවා. කොමදෝරු දසනායක ගොදුරු වෙලා තියෙන්නෙත් ඒ දඩයමටයි.  

 


 ප්‍රශ්නය - නමුත් ඔහුට එල්ලවෙලා තියෙන්නේ බරපතළ චෝදනාවක්?  
පිළිතුර - සිද්ධියක් වෙලා තියෙනවා. තරුණයන් 11 දෙනා අතුරුදන්වීමට අදාළ පරීක්ෂණවලදී හෙළිදරව් වෙලා තියෙනවා ලුතිනන් ක්මාන්ඩර්වරයකු විසින් මොවුන් පැහැර ගත්තා කියන එක. නමුත් අද වෙනකොට අත්අඩංගුවේ ඉන්නේ කොමදෝරු දසනායක ඇතුළු පිරිසක්. එතකොට ලුතිනන් ක්මාන්ඩර්වරයා ඇයි අත්අඩංගුවට නොගන්නේ? ඇයි ඔහුගෙන් ප්‍රශ්න නොකරන්නේ?  


ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ආරක්ෂක ලේකම් වශයෙන් ඉන්න කාලේ එතුමා තමයි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න කියලා උපදෙස් දුන්නේ. වසන්ත කරන්නාගොඩ මැතිතුමා තමයි සීඅයිඩීයට මේ පැමිණිල්ල කරලා තියෙන්නේ. සියලු තොරතුරු ඒකරාශි කරල පරීක්ෂණ විධිමත්ව කරන්න සහාය වුණේ කොමදෝරු දසනායක. මේ තුන් දෙනාවම කොටු කිරීමේ ඉතාම නින්දිත උත්සාහයක් තියෙනවා.  


රණවිරුවන් දඩයම් කිරීමේ උත්සාහය තමයි මෙතැන තියෙන්නේ. මේ ආණ්ඩුවෙන් අපි යුක්තිය බලාපොරොත්තු වෙන්නේ නෑ. හැබැයි සොබා දහමින් යුක්තිය ඉටු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.  

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්