මේ ආණ්ඩුව අනිවාර්‌යෙන්ම 2020 වෙනකම් යනවා


සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග

රටේ දේශපාලනයේ අලුත් පෙළ ගැසීම් සම්බන්ධයෙන් මෙන්ම එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ රළ ගසන අර්බුද සම්බන්ධයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම නායකයකු වන සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා සමඟ කළ සාකච්ඡාවකි.  


ප්‍රශ්නය - රටේ දේශපාලන තත්ත්වය ගැන ඔබට මොනවගේ හැඟීමක්ද තියෙන්නේ?  


පිළිතුර - මට කිසිම විශේෂ අදහසක් නෑ. වෙනසක් දැනෙන්නෙත් නෑ. මේ සමගි සන්ධාන ආණ්ඩුව 2020 වෙනකම් කිසිම වෙනසක් නැතිව යනවා.  


ප්‍රශ්නය - නමුත් මේ මොහොත වනවිටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් 16 දෙනෙක් ආණ්ඩුවෙන් ඉවත් වෙලා  


පිළිතුර - ඒ ගොල්ලෝ ගියාට අනික් අය ඉන්නවා. ජනාධිපතිතුමා ඉන්නවා. අගමැතිතුමා ඉන්නවා. බොහොම තෘප්තියෙන් වැඩ කරගෙන යනවා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නෑ. රජය ස්ථාවරයි. මේක කාටවත් හොල්ලන්න බැහැ.  


ප්‍රශ්නය - මේ ආණ්ඩුව ඔබ සමගි සන්ධාන ආණ්ඩුව කියලා හැඳින්වුවාට කිසිම සමගියක් නෑ කියලා තමයි රටට පේන්නේ.   


පිළිතුර - සමගිය? සමගිය තියෙනවා. ජනාධිපතිතුමයි අගමැතිතුමයි නිතර සාකච්ඡා කරලා තමයි වැඩ කරන්නේ. ඔය කෙරෙන ඇමැති මාරුවත් එහෙම සාකච්ඡා කරලා තමයි කෙරෙන්නේ. යහපාලන ප්‍රතිපත්ති හරියටම ඉදිරියටම ගෙනි යනවා. ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ.  


ප්‍රශ්නය - ඔය ඔබ කියන විදියට සමගියක් තියෙනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනෙක් එළියට ගියේ ඇයි?  


පිළිතුර - ඒ ගියේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීපු නිසානේ. එහෙම පක්ෂව ඡන්දය දීලා තවත් ඉතින් ඉන්න බෑ රජයෙ. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව එහෙම දෙයක් වුණාම ඒ අයට අනිවාර්යයෙන්ම යන්න වෙනවා.  


ප්‍රශ්නය - සමගිය නොතිබුණ නිසා නේද ඔවුන් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන්නේ?  


පිළිතුර - සමගිය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. පුද්ගලයන්ගේ විවිධ මත තිබුණනේ. ඒ විදියට විවිධාකාර මත තිබුණ පුද්ගලයෝ දහසය දෙනෙක් තමයි එහෙම ඡන්දය දීලා යන්න ගියේ.  


ප්‍රශ්නය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි කියලා.  


පිළිතුර - ඒ කිව්වට එහෙම වෙන්නේ නැහැනේ. එහෙම දෙයක් වෙනවා නම් විශ්වාසභංගය වෙලාවේ වෙන්න එපායැ. ඒ නිසා ඒක වෙන්නේ නැහැ.  


ප්‍රශ්නය - අගමැති රනිල්ට ඉවත් වෙන්න කියලා ජනාධිපති මෛත්‍රී හත් අට වරකට වඩා කිව්වා කියලා තමයි හිටපු ඇමැති එස්.බී. දිසානායක ‘ඉරිදා ලංකාදීප’යට කිව්වේ.   


පිළිතුර - ඒ ගොල්ලෝ එහෙම කිව්වට එහෙම ඉල්ලුවට අයින් වෙන්න බැහැනේ. අපිත් ඉන්නවනේ. අපේ පක්ෂයට තියෙනවනේ පාර්ලිමේන්තුවේ බහුතර බලය. අපිට අනික් පක්ෂත් සහයෝගය දෙනවනේ. ඉතින් එහෙම බහුතරයක් තියෙද්දි කොහේද අයින් වෙන්නේ.  


ප්‍රශ්නය - නමුත් අගමැතිවරයට එරෙහිව එල්ල වුණ චෝදනා ඉතාම බරපතළයි. විශ්වාසභංගයෙන් අගමැති රනිල් පැරදීමේ අනතුරක් තිබුණා.  


පිළිතුර - නෑ. මම ඒක විශ්වාස කරන්නේ නෑ. කොහොම වුණත් ඔය ජයග්‍රහණය අපි කල් ඇතුවම දැනගෙන හිටියා. විශ්වාසභංග විවාදය යද්දි මම මගේ කතාවෙදි කිව්වනේ දිනේෂ් ගුණවර්ධනට අපිට 122ක් තියෙනවා. ඒ නිසා අකුලගෙන යනවා. නිකම් කාලය නාස්ති කරන්නේ නැතිව කියලා. මම බොහොම පැහැදිලිව එහෙම කිව්වා.  


ප්‍රශ්නය - ඒ 122 හදාගන්න සල්ලි මලු පිටින් බෙදුවා කියලා ඒකාබද්ධ විපක්ෂය කිව්වා!  


පිළිතුර - නෑ. නෑ. එහෙම මුදලක් හුවමාරු වුණේ නැහැ. ප්‍රතිපත්ති මත තමයි එහෙම ඡන්දය දුන්නේ.  


ප්‍රශ්නය - දෙමළ සන්ධානයේ සහය ගන්න බරපතළ එකඟතා 10 කට අගමැති රනිල් එකඟ වුණා කියලත් කියනවා.  


පිළිතුර - නෑ ඒක බොරුවක්. එහෙම කිසිම එකඟතාවකට ආවේ නෑ. ඒ අයට නිදහස තිබුණා කැමැති විදියට ඡන්දය පාවිච්චි කරන්න. ඉතින් ඒ අයට අවශ්‍ය වෙලා තිබුණේ නෑ මේ රටේ අස්ථාවර භාවයක් ඇති කරන්න. ස්ථාවරව මේ රට ඉදිරියට ගෙනියන්න දෙමළ සන්ධානය ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබා දුන්නා.   


ප්‍රශ්නය - නමුත් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒම ඇතුළු ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් වෙන පොරොන්දු 10 කට එකඟ වුණා කියලා මාධ්‍ය වාර්තා කළා.  


පිළිතුර - නෑ. එහෙම කිසිම පොරොන්දුවක් වුණේ නෑ. අපි ගෙනයන වැඩ පිළිවෙළක් තියෙනවා. අලුත් ව්‍යවස්ථාවක් ගේනවා තමයි. ඒක කා එක්කත් සාකච්ඡා කරලා බොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදියට විනිවිද භාවයෙන් යුතුව තමයි ගේන්නේ. ඒ නිසා විශ්වාසභංගය ජයග්‍රහණය කරවීම සඳහා කිසිම පොරොන්දුවක් වුණේ නෑ කියලා මම කියනවා.  


ප්‍රශ්නය - නමුත් දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කියනවා එහෙම එකඟතාවක් ඇතිවුණා කියලා   


පිළිතුර - මම ඒකයි කිව්වේ මම දැනුම්වත්ව නෑ. එහෙම කවුරු හරි කියනවා නම් මට ඒක විශ්වාස කරන්නත් බෑ.  


ප්‍රශ්නය - කොහොම වුණත් මේ විශ්වාසභංගය පිළිබඳ යෝජනාව පළමුව කරළියට එන්නේ එක්සත් ජාතික පක්ෂයෙ පසුපෙළ තරුණ මන්ත්‍රීවරුන්ගෙන්  


පිළිතුර - ඔව්! ඔව්! ඒ මහත්වරු ඒ වෙලාවේ කතා කරලා කිව්වේ ඒ අයට මැති ඇමැතිකම් ඕනෑ කියලනේ. වෙන එකක් නොවෙයි. ඒ අයට අවශ්‍ය මැති ඇමැතිකම් විටින්විට දෙන්න අවශ්‍ය කටයුතු හදලා තියෙන්නේ.  


ප්‍රශ්නය - නමුත් පක්ෂයෙ තරුණ මන්ත්‍රිවරුන්ගේ ප්‍රධාන ඉල්ලීම තමයි අගමැති රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතුයි කියන එක.   


පිළිතුර - නෑ. ඔවුන් එහෙම කියලා තිබුණේ නෑ. දැන් ඒකට කොමිටියක් පත් කරලා තියෙනව නේ. ඒකේ නිර්දේශ මොනවද කියලා බලමු අපි.  


ප්‍රශ්නය - පක්ෂයෙ ප්‍රශ්න මතු වෙච්ච හැම අවස්ථාවකදිම කොමිටි දැම්මා විනා ප්‍රශ්නවලට උත්තර දුන්නේ නෑ කියලත් ඔවුන් කියනවා.  


පිළිතුර - ප්‍රජාතන්ත්‍රවාදීව නේ කටයුතු කරන්න ඕනෑ. එහෙම නැතිව ඒකාධිපති ක්‍රමයට නොවෙයි. වැඩි දෙනාගේ අදහස් උදහස් අනුව තමයි පක්ෂයක පාලනය සිද්ධ වෙන්න ඕනෑ.  


ප්‍රශ්නය - පක්ෂයේ තීන්දු තීරණ ගන්න කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතරය අගමැති රනිල්ට හිතවත්. ඒ කාරණාව ඔබ නොදන්න විදියක් නෑ.  


පිළිතුර - නෑ. ඔය කෘත්‍යාධිකාරි මණ්ඩලය පත් කරන්නෙත් ඔය අලුතෙන් දාපු කොමිටිය තමයි. ඔවුන් තමයි දැන් තීරණය කරන්නේ කාවද දාන්නේ කියලා. කාවද නොදාන්නේ කියලා. කවුද පක්ෂයෙ ලේකම්, කවුද පක්ෂයෙ සභාපති කියලා. ඔවුන් කවුද කියලා ඔය කොමිටිය තීරණය කරයි. හොඳ තරුණ කණ්ඩායමක් තමයි ඔය කොමිටියේ ඉන්නේ.  


ප්‍රශ්නය - පක්ෂයේ තරුණ මන්ත්‍රිවරුන්ට අගමැතිවරයා පොරොන්දු වුණා අප්‍රෙ‌්ල් 30 වෙනතුරු පක්ෂයෙ නායකයා වශයෙන් ඉන්නවා. ඉන් ඉදිරියට දිගටම අගමැති ධුරයේ ඉන්නවා කියලා.  


පිළිතුර - එහෙම දෙයක් නම් මම දන්නේ නෑ. එහෙම පො​ෙරාන්දුවක් දුන්නද කියලා මම නම් දන්නේ නෑ.  


ප්‍රශ්නය - රනිල් අගමැතිවරයාට පසුව සිටින පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම නායකයා වන ඔබ හිතනවද තවදුරටත් පක්ෂ නායකත්වය රනිල්ට දරන්න පුළුවන් කියලා.  


පිළිතුර - ඔව්. පුළුවන් නේන්නම්. ඒකනේ එයට විරුද්ධව විශ්වාසභංගයක් ආවම ඡන්දය 122ක් දීලා ඒ විශ්වාසභංගය පරාජය කළේ. එ්කෙන්ම පෙනෙනවනේ එයා කෙරෙහි බහුතර විශ්වාසයක් තියෙනවා කියලා.  


ප්‍රශ්නය - පාර්ලිමේන්තුව ඇතුළේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණය කළත් රටේ ජනයාගේ බහුතර කැමැත්ත ගන්න අගමැති රනිල්ට පුළුවන්ද?   


පිළිතුර - ඔබ දන්නවද ජේ. ආර්. ජයවර්ධන මහත්තයා ඩඩ්ලි සේනානායකගේ අභාවයෙන් පසුව පක්ෂ නායකත්වය ගත්තම මිනිස්සු කිව්වේ එතුමා ඒකාධිපතියෙක්. මෙයා මේකට සුදුසු නෑ. කවදාවත් මෙයාට රටේ නායකත්වයට පත්වෙන්න බෑ කියලා. එහෙම කියපු අයම 1973-1974 වෙනකොට එයාට වඩා හොඳ නායකයෙක් තවත් නෑ කියලා කියන්න පටන් ගත්තා. ඔවුන් විතරක් නොවෙයි මුළු රටම කියන්න පටන් ගත්තා. ඒ වගේ තමයි.  


ප්‍රශ්නය - නමුත් පසුගිය පළාත් පාලන මැතිවරණයෙදි අගමැතිකම තියාගෙනත් කැබිනට් එක තියාගෙනත් ජයග්‍රහණය කරන්න බැරිවුණා?  


පිළිතුර - ඒක පළාත් පාලන ඡන්දයක් නේ. ඒත් අපිට පිළිගන්න බෑ ඒ ප්‍රතිඵලයෙන් අපේ පක්ෂයේ නායකයා ගැනවත් රජය ගැනවත් ජනතාව තීන්දුවක් දුන්නා කියලා. ඒ ඒ පළාත් මට්ටමින් ඉදිරිපත්වෙලා හිටපු අපේක්ෂකයන්ගේ සුදුසුකම් නුසුදුසුකම් අනුව තමයි ඒක සිද්ධ වුණේ.   


ප්‍රශ්නය - නමුත් පළාත් පාලන මැතිවරණ ඉතිහාසයෙ බලයේ සිටි ආණ්ඩුවක් පරාජයට පත්වූ පළමු අවස්ථාව ලෙසයි ඒ පළාත් පාලන මැතිවරණය ඉතිහාසයට එක්වුණේ.  


පිළිතුර - නෑ. නෑ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ වත්තල නගර සභාවේ අපි සියලු කොට්ඨාස දිනුවා. එහෙම තැන් තැන්වල ඒවගේ දේවල් තියෙනවා.  


ප්‍රශ්නය - පක්ෂයේ ජ්‍යෙෂ්ඨම නායකයා වශයෙන් අගමැති රනිල්ට අමතරව පක්ෂ​ෙය් නායකත්වයට සුදුසු තවත් නායකයෙක් ඉන්නවද?  


පිළිතුර - එහෙම එකක් මට කියන්න බැහැ. ඉන්නවා නායකයෝ කිහිප දෙනෙක්. කිහිප දෙනෙක්ම ඉන්නවා සුදුසුකම් තියෙනවා. එතැනදි අහවලා හොඳයි මෙයා නරකයි කියලා නිගමනය කරන්න බෑ ​ෙම් වෙලාවේ. අපි එන හැටියක් බලමු.  


ප්‍රශ්නය - පක්ෂයේ නායකත්වයට ඔබ ඔබේ සුදුසුකම් ඉදිරිපත් කරන්නේ නැද්ද?   


පිළිතුර - නෑ. නෑ, එහෙම නායකත්වය ගැනීමේ අදහසක් මගේ නෑ.  


ප්‍රශ්නය - ඇයි ඒ  


පිළිතුර - ඔබ කිව්වා වගේම මම තමයි අගමැතිතුමාට පස්සෙ පක්ෂය තුළ ඉන්න ජ්‍යෙෂ්ඨම නායකයා. ඉතින් මම එවැනි ඉල්ලීමක් කරන්න යන්නේ නෑ.  


ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය වුණෙත් ඇයි ඒ කියලයි   


පිළිතුර - අපෙත් සීමාවන් තියෙනවා. අපි ඒවත් තේරුම් අරගෙන දැනට කරගෙන ඉන්න දේ කරගෙන ඉන්නවා.  


ප්‍රශ්නය - කොහොම වුණත් ඔබේ අැමැතිකමටත් තට්ටු වෙන තත්ත්වයක් නේද තියෙන්නේ?  


පිළිතුර - ඇයි. ඒ එහෙම වෙන්නේ  


ප්‍රශ්නය - තරුණ මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් දෙන්න ගියාම   


පිළිතුර - නෑ. නෑ. එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. මගේ ඇමැතිකම කවුරුවත් ගන්න හදලත් නෑ, අගමැතිතුමා ඒවාට ඉඩ දෙන්නෙත් නෑ.  


ප්‍රශ්නය - නමුත් ගාමිණි ජයවික්‍රම පෙරේරා කියන්නෙත් පක්ෂයෙ පැරැණිම ජ්‍යෙෂ්ඨ නායකයෙක්. ඔහුට දීලා තිබුණ වනජීවී හා තිරසාර සංවර්ධන ඇමැතිධුරය ගලවලා ගත්තා. ඔහුට දැන් තියෙන්නේ බුද්ධශාසන ඇමැති ධුරය පමණයි.  


පිළිතුර - එයා ඒ කැමැත්තෙන් නේ අස්වුණේ.  


ප්‍රශ්නය - කැමැත්තෙන්.  


පිළිතුර - අගමැතිතුමා කිව්වම එයා කැමැත්තෙන්ම ඉල්ලා අස්වුණා.  


ප්‍රශ්නය - ඔබෙන් එහෙම විමසීමක් කළේ නැද්ද?  


පිළිතුර - නෑ, නෑ. මගෙන් එහෙම කවුරුවත් ඇහුවෙත් නෑ. මට එරෙහිව එහෙම දෙයක් කිව්වෙත් නෑ.   


ප්‍රශ්නය - මේ විදියට ගිහින් මේ පක්ෂය ජයග්‍රාහි පක්ෂයක් බවට පත් කරන්න පුළුවන් කියලා ඔබ හිතනවද?  


පිළිතුර - මම හිතනවා පුළුවන් කියලා  


ප්‍රශ්නය - ඒ කොහොමද?  


පිළිතුර - මම දන්න ඉතිහාසයට අනුව මේ පළාත් පාලන ඡන්දය පරාජය වුණා කියලා නායකත්වයේ ඉන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒක සදහටම බලපාන්නේ නෑ. ඒක තාවකාලික තත්ත්වයක්. දැන් ඉදිරි අවුරුදු දෙක දෙක හමාර වෙනකොට මේ තත්ත්වය වෙනස් වෙයි.  


ප්‍රශ්නය - තව මාස 18 කින් ජනාධිපතිවරණය එනවා. කවුද ඔබේ පක්ෂයේ අපේක්ෂකයා  


පිළිතුර - එක තාම තීරණය කරලා නෑ. දැනට ඉන්නේ අපේ අගමැතිතුමා එතුමා තමයි අපේ අපේක්ෂකයා විදියට ඉදිරිපත් කරන්නේ. මම දන්නේ නෑ. ඉදිරියේදී වෙනස්වීම් වෙයිද කියලා. නමුත් දැනට එතුමා තමයි අපේ අපේක්ෂකයා වෙන්නේ.  


ප්‍රශ්නය - ජයග්‍රහණය පිළිබඳ ප්‍රශ්නයක් නෑ.   


පිළිතුර - තත්ත්වයන් කියන්නේ සැරින් සැරේ වෙනස් වෙනවා. ලේසියෙන්ම ජයග්‍රහණය ලබන්න පුළුවන් කියලා මම හිතනවා.  


ප්‍රශ්නය - නමුත් පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් කියන්නේ යහපාලන අටමගලක් හින්දා ඉදිරියට යන්න බෑ. අපි තනි ආණ්ඩුවක් හදමු කියලයි. ඒ සටන ගැන ඔබේ මතය.  


පිළිතුර - ඒ ගැන තීරණ ගන්නේ අපේ නායකයයි ජනාධිපතිතුමයි. ඒ නිසා අපට ඕවට උත්තර දෙන්න බෑ මේ අවස්ථාවේදි   


ප්‍රශ්නය - එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් තමයි මෛත්‍රිපාල සිරිසේන 2015 දි ජයග්‍රහණය කළේ. ඔහු පෙරළා එජාපයටම ගහනවා වගේ දැනෙන්නේ නැද්ද?  


පිළිතුර - නෑ. එහෙම දෙයක් නෑ. මැතිවරණ උපක්‍රමයක් හැටියට විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. ඊට පස්සේ සමගියෙන් සමාදානයෙන් කටයුතු කරගෙන යනවා.  


ප්‍රශ්නය - නමුත් බැඳුම්කර කොමිසම ඔබේ පක්ෂයට මාරාන්තික වුණා.  


පිළිතුර - ඒක ඉතින් එතුමාගේ අදහසක් ඉදිරිපත් කළා පමණයි.  


ප්‍රශ්නය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුණොත් තනියෙන් ආණ්ඩුව ගෙනි යනවද?   


පිළිතුර - අපොයි පුළුවන්.   


ප්‍රශ්නය - කවුද උදව් කරන්නේ  


පිළිතුර - හැමෝම උදව් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 20 ක් 30ක් විතර මේ පැත්තේ ඇවිත් වැඩිවෙයි.  


ප්‍රශ්නය - එහෙම සාකච්ඡාවක් කෙරෙනවද?   


පිළිතුර - ඔව්. ඔව්. එහෙම සාකච්ඡා තියෙනවා.  


ප්‍රශ්නය - ඔබ ඒ සාකච්ඡාවල ඉන්නවද?  


පිළිතුර - නෑ. නෑ. මම නෑ  


ප්‍රශ්නය - කවුද එන්න ඉන්නේ  


පිළිතුර - එහෙම කියන්න බෑ  


ප්‍රශ්නය - එහෙමනම් ඒකත් නිකම්ම නිකම් කතාවක් විතරක් වෙන්නැති?  


පිළිතුර - නෑ. නෑ. කියන්න ඕනෑ දේවලුත් තියෙනවා. නැති දේවලුත් තියෙනවා.  


ප්‍රශ්නය - ඒ කියන්නේ මේ ආණ්ඩුව 2020 වෙනකම් යනවා.   


පිළිතුර - අනිවාර්යයෙන්ම යනවා. 2020 වෙනකම්ම යනවා. ඊළඟ ජනාධිපතිවරණයෙදිත් අපේ අපේක්ෂකයා අනිවාර්යයෙන්ම ජයග්‍රණය කරනවා. ඒක ස්ථිරයි.

 

 

 

 

සාකච්ඡා කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්