පදනමක් නැතිව රවි කරුණානායකට චෝදනා නැගීම මා පිළිගන්නේ නෑ


 

දේශපාලන කරළිය උණුසුම් කරන හිටපු මුදල් ඇමැති රවි කරුණානායකගේ සිදුවීම ඇතුළු කාරණා ගැන මේ අදහස් දැක්වීම ප්‍රාදේශීය සංවර්ධන ඇමැති සරත් ​ෙෆාන්සේකායි.

 

 

රවි කරුණානායක ආණ්ඩුවෙත් සායම හේදුවා නේද?  
රවි කරුණානායක පිළිබඳව ජනාධිපති කොමිසමේ යම් යම් දේ සඳහන් වෙලා තියෙනවා. රවි කරුණානායක පුද්ගලයෙක් විදියට කැපවීමෙන් වැඩ කරපු දේශපාලන චරිතයක්. එක්සත් ජාතික පක්ෂයට නැතුවම බැරි චරිතයක්. ඔහුට විරුද්ධව චෝදනා තියෙනවා නම් නීතියට අනුව කටයුතු කරනවා මිසක් එක් එක් අයට ඕනෑ විදියට ඒ අය කියන දේවල් කරලා වැඩක් නෑ. ඕනැ කෙනෙකුට ඕනෑ දෙයක් කියන්න පුළුවන්. ඒත් කාට හරි මොකක් හරි චෝදනාවක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න ඕනැ. එහෙම නැතුව පදනමක් නැතුව රවි කරුණානායකට චෝදනා කිරීම මම පිළිගන්නේ නෑ.  


ඇයි සරත් ෆොන්සේකා රවි රකින්න හදන්නේ?  
රවිට විතරක් නෙවෙයි වෙන කාට හරි වුණත් මේ විදියෙ අකටයුත්තක් වෙනව නම් මම ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා.  


 දන්නේ නෑ. මතක නෑ වගේ දේවල් කියලා කිසිම වගකීමක් නැතුව කතා කියන ඇමැති කෙනෙක් ආරක්ෂා කරන්න පුළුවන්ද?  
යම්කිසි තැනකට ගිහින් කරපු ප්‍රකාශයක අඩුපාඩු තිබුණා කියලා හෝ දීපු උත්තරේ ශක්තිමත් නෑ කියලා හෝ කෙනෙකුට දූෂිතයෙක් කියලා හංවඩු ගහන්න බෑ. නීතියෙන් වරදකරුවෙක් වෙනකම් කාටවත් බෑ කෙනෙකුට දරන තනතුරුවලින් ඉල්ලා අස්වෙන්න කියන්න. නීතිය ඉදිරියේ තමයි සියල්ල තීන්දු වෙන්න ඕනැ. එහෙම නැතුව මාධ්‍යයට හරි දේශපාලකයන්ට හරි ඒක තීරණය කරන්න බෑ.  

 


 ඔබ එහෙම කිව්වට එක්සත් ජාතික පක්ෂයෙම විශාල පිරිසක් රවි කරුණානායකට එරෙහිව තමයි කතා කළේ?  
එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය පුරාම ඔය ව​ගේ දේවල් වුණා. අසමගියෙන් අවස්ථාවාදීව කටයුතු කරපු ඉතිහාසයක් එක්සත් ජාතික පක්ෂයට තියෙනවා. එහෙම කටයුතු කරපු අය එදත් හිටියා මේ පක්ෂ​ෙය් අදත් ඉන්නවා. රවි කරුණානායකගෙ ප්‍රශ්නයෙදිත් පක්ෂයේ පොදු මතයට නොසලකා තම තමන්ට ඕනෑ ඕනෑ ප්‍රකාශ නිකුත් කළේ අතීතයේදීත් එහෙම හැසිරුණු අයම තමයි. ඒ අය පොඩි මෝඩ වින්දනයක් ගත්තා මේ හරහා. එච්චරයි වුණේ. ඔබේ ප්‍රශ්නයට ම​ෙග් උත්තරය ඕක තමයි.  


පක්ෂයක් වුණාම සමගියක් තියෙන්න ඕනැ. රජයක් වුණත් එහෙමයි. ඕනෑම රජයක අඩුපාඩු තියෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ ඉන්න හැම දෙනාගෙම නොයෙක් ප්‍රශ්න තියෙන්න පුළුවන්. මගෙත් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒත් අවස්ථාවාදීව බොර දියේ මාළු බාන වැඩ නම් හොඳ නෑ. මේකෙදි ඕනෑවටත් වඩා උඩ පැනගෙන කෑගහපු අය අපි දැක්කා. ඒක නම් මම පිළිකුලෙන් හෙළා දකිනවා.

 
එහෙම ප්‍රකාශ නිකුත් කරපු සමහරු ඔබට වඩා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සහ රවි කරුණානායක එක්ක එකට වැඩ කළ උදවිය.  


ඒ අය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ වෙන්න පුළුවන්. රවි කරුණානායක එක්ක කාලයක් වැඩ කරපු අය වෙන්නත් පුළුවන්. ඒත් ඔබ අමතක කරන්න එපා. මම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා. ඔබ මාව ඒ අය එක්ක සංසන්දනය කරලා අවතක්සේරු කරන්න එපා. ඔබ ඔය කියන ජ්‍යෙෂ්ඨයින්ට වඩා මගේ මතය ගැඹුරින් සලකන්න ඕනෑ.  


එතකොට ඔබ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රශ්න ගැන ​ෙහා් ඒ පක්ෂයේ කෙනෙකු​ෙග් ප්‍රශ්න ගැනත් මේ විදියටම කතා කරනවද? මොකද 2010 ජනාධිපතිවරණයේදී ජේ.වී.පී. එකත් ඔබතුමන් ජනාධිපති අපේක්ෂකයා විදියට සලකලා කටයුතු කළේ.  
අනිවාර්යයෙන්ම ඔවුන්ට මොකක් හරි අසාධාරණයක් වෙනව නම් මම එ් වෙනුවෙනුත් කතා කරනවා. ඒකෙ ප්‍රශ්නයක් නෑ. ජනතා විමුක්ති පෙරමුණේ විතරක් නෙවෙයි ඔය ඒකාබද්ධ කියන මළ බද්ධයේ වුණත් වරදක් නොකරපු මිනිහෙකුට කවුරු හරි චෝදනාවක් කරනවා නම් මම ඒ මිනිහා වෙනුවෙන් කතා කරනවා. එතනදී ඒ පුද්ගලයා මගේ විරුද්ධවාදී දේශපාලකයෙක්ද නැද්ද කියන එක අදාළ නෑ.  


 රවි කරුණානායකට රටේම අප්‍රසාදය පළවෙද්දී පක්ෂය කෙලින් තීරණයක් ගන්න මෙච්චර ඇඹරුණේ ඇයි?  
 රටේම විරෝධතාවක් හෝ අප්‍රසාදයක් තිබුණා කියන එක පිළිගන්න අමාරුයි. අපිත් ජනතාව අතරට යනවනේ. මම මුලිනුත් කිව්වා වගේ එක්සත් ජාතික පක්ෂයේම ඇතැම් පිරිස් සහ තවත් සමහරු තුළ තමයි මේ විරෝධය තිබුණේ. පක්ෂයට එහෙම ඕනෑවට වඩා හදිසිවෙලා තීන්දු තීරණ ගන්න බෑ. පක්ෂය සහ පක්ෂ නායකත්වය තීන්දුව ගන්න ඕනෑ වෙලාවෙ තීන්දුව ගත්තා. මඩ පදනම් කරගෙන මිනිස්සු ගැන තීන්දු ගන්න බෑ. මොකද දේශපාලනයේදී හේතුවක් ඇතුවත් හේතුවක් නැතුවත් මඩ ගහන එක කෙරෙනවා නේ. දැන් රවි කරුණානායක ගැන අධීකරණයයි තීන්දුවක් දෙන්න ඕනෑ. එහෙම වුණොත් එ් දෙන තීන්දුවට රවි කරුණානායක මුහුණ දෙන්න වෙනවා. ඒක අපිත් පිළිගන්නවා. ඒ ගැන විවාදයක් නෑ.  


ඒකාබද්ධ විපක්ෂය රවි කරුණානායකට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගේනවා කියපු ගමන් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් දෙනා ඒකට පක්ෂව ඡන්දෙ දෙනවා කියලා ප්‍රසිද්ධියේම කියන්න ඇත්​ෙත් රවි පක්ෂයටත් හිසරදයක් නිසා නොවෙයිද?  
 මට ආපහු කියන්න වෙන්නෙත් මුලින් කියපු දේමයි. එක්සත් ජාතික පක්ෂයේ සමගියෙන් කටයුතු නොකරන සමහරු තමයි ඔය විදියට හදිසිවෙලා උඩ පැන්නේ. රවි කරුණානායක පක්ෂයට හිසරදයක්ද වටිනා පුද්ගලයෙක්ද කියලා දන්න අය දන්නවා.  


රවිගෙ ඉල්ලා අස්වීම ගැන ඔබේ අදහස මොකක්ද?  
මම නම් ඔහුගේ ඉල්ලා අස්වීම ඒ තරම් අනුමත කරන්නේ නෑ. ඔහු පක්ෂයට වගේම ආණ්ඩුවටත් අවශ්‍ය කෙනෙක්. 2015 ජනවාරි 8 වෙනිදා සිදුවුණු දේශපාලන වෙනසට විශාල කැපවීමක් කරපු කෙනෙක්. ම​ෙග් නම් අදහස රවි කරුණානායක නීතියෙන් දෙන තීන්දුව අනුව කටයුතු කළා නම් හොඳයි කියන එක.  


රාජපක්ෂලා දැන් ආණ්ඩුවට හූ කියනවා එයාලගෙ හොරකම් අල්ලනවා කියාල ආපු යහපාලනේ කට්ටිය කෝ දැන් හොරු ඇල්ලුවද කියලා? ඒ වෙනුවට තමන්ගෙම කෙනෙක් තමයි අල්ලගෙන ඉන්නෙ කියලයි ඒ අය කියන්නේ?  
ඒ අයට වඩා නම් මේ ආණ්ඩුවේ කවුරුවත් හොරකම් කරලා නෑ. ඒ හොරකම් වලට ගහන්න මේ ආණ්ඩුවේ කාටවත් බෑ. දැන් ඒ අය කෝ දැන් හොරකම් ඇල්ලුවද කියලා අහන එක ගැන නම් මම කනගාටුවෙනවා. ඒක අපේ ආණ්ඩුවේ ලොකුම වැරැද්දක්. ඒ වැරැද්ද මම පිළිගන්නවා. ඒ හොරු ටික අල්ලලා කූඩුවේ නොදාපු එකේ වරද මේ රජය පිළිගන්න ඕන.  

 


 රවි කරුණානායකගේ සිදුවීම ලූනු බිකක් කියලයි රාජිත සේනාරත්න ඇමැතිතුමා කියන්නේ. මේක ලූනු බිකක් නම් ලූනු ගෙඩිය කොච්චර ලොකු ඇද්ද?  
රාජිත ඇමැතිතුමා කියලා තිබුණේ රාජපක්ෂලගෙ හොරකම් එක්ක බලද්දී මේක ලූනු බිකක් තරමෙ දෙයක් කියලා.  


 කෝටි ගාණක ගනුදෙනු ලූනු බිකක් කියලා කියන එකෙන් ​ෙම් නොකියා කියන්නේ මීට වඩා හොරකම් වෙන්න පුළුවන්. ඒක නිසා මේවා ගැන හිතන්නවත් ඕනෑ නෑ කියාල වගේ එකක් නෙවෙයිද?  
එහෙම එකක් නෙවෙයි ඒ කියන්නේ. රාජපක්ෂලාගෙ හොරකම් එක්ක ​ෙම් ආණ්ඩුවේ අයට හැරෙන්නවත් බෑ.  


 රවි කරුණානායකට ඉක්මන් වෙන තීන්දු රාජපක්ෂලා වෙනුවෙන් ඉක්මන් වෙන්නෙ නැත්තේ ඇයි?  
ඒක මම කලිනුත් කිව්වනේ. ඒක මේ ආණ්ඩුව පිළිගන්න ඕනැ කියලා. ඒ කාරණයේදී ආණ්ඩුව අසමත් කියලා මම කෙළින්ම කියනවා.  


 ආණ්ඩුවෙ ඉන්න අයට ඔබත් අයිතියි. ඇයි මෙහෙම වෙන්නේ?  
ආණ්ඩුවට අපි කවුරුත් අයිතියි. ඒත් නීතිය ගැන හෝ අධිකරණ කටයුතු ගැන හෝ තීන්දු ගන්න අය ඉද්දී මට බෑනේ කවුරුවත් ඇදගෙන ගිහින් හිරේ දාන්න. මේ ගැන කටයුතු කිරීමේ වගකීම තියෙන අයගේ අකාර්යක්ෂමතාවට මට වග කියන්න අමාරුයි.  


 2015 ජනවාරි 8 වැනිදා මේ ආණ්ඩුවට ලැබුණු ගැම්ම දැන් ශීඝ්‍රයෙන් පිරිහෙමින් යනවා කියලයි මිනිස්සු කියන්නේ.  


 ඒ කතාව මමත් යම්දුරකට පිළිගන්නවා. අපිට ඡන්දය දුන්නු ජනතාවගේ බලාපොරොත්තු අපි ඉටු කරන්න ඕනෑ. අපිට ලැබුණු ගැම්ම ඒ ජවයෙන්ම දිගට අරගෙන ආවෙ නෑ. ඒක අපේ දුර්වලතාවක්. සමස්තයක් විදියට මේ ආණ්ඩුව සාර්ථක හා ප්‍රගතිශීලි ආණ්ඩුවක්. ඒත් අඩුපාඩු තියෙනවා. ඒක අපි පිළිගන්නවා.  


 මෙහෙම ගියොත් හවුල් ආණ්ඩුවේ ආයුෂ වැඩිකල් නෑ වගේ.  


 ගොඩක් අය බලාගෙන ඉන්නවා මේ ආණ්ඩුව වැටෙනකම්. ඒත් එහෙම වෙන්නේ නෑ. අපි ආණ්ඩුවෙ නිල කාල සීමාව අවසන් වෙනතුරු යනවා. ඒ ගැන සැකයක් නෑ.  


 මේ පෙළගැහුණු සිදුවීම් මාලාවත් එක්ක ආණ්ඩුවෙ ඉරණම ගැන ඔබේ අවසන් විනිශ්චය මොකක්ද?  
ආණ්ඩුවේ ඉදිරි ගමනට මේ සිදුවීම එතරම් බලපාන එකක් නෑ. ඒත් මේ සිදුවීම පෙළගැහුණු ආකාරය සහ එය ඉදිරියට ආපු ආකාරය ගැන ම​ෙග් පැහැදීමක් නෑ. ඒ කොහොම වුණත් ආණ්ඩුව ඇතුළෙ ඉන්න අය අල්ලගෙන කෙනෙහිලිකම් කරනවාටත්. අපි 2015 ජනවාරි 08 ට කලින් රටට දීපු පොරොන්දු ටික ඉටු කරන්න ඕනෑ. ඒ වැරදි ගැන පරික්ෂණ කරලා තීන්දු අරගෙන අපේ ඇතුළෙ වැරදි ටික හදාගමු කියන එකයි මගේ නම් යෝජනාව.

ප්‍රියන්ත කොඩිප්පිලි