දෙමළ පක්‍ෂවලින් යාපනයේ ජනතාවට ලැබුණු දෙයක් නෑ


යාපනය දිස්ත්‍රික් (ශ්‍රීලනිප) මන්ත්‍රී 
අංගජන් රාමනාදන්

 

යාපනයේ  එකම ශ්‍රීලනිප මන්ත්‍රී සමග සාකච්ඡාවක්   

යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රථම වතාවට මනාප ඡන්දවලින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරයෙක් තේරී පත්වී සිටී. ඔහු අංගජන් රාමනාදන් මහතාය. ඔහු තේරී පත්වීමේ විශේෂත්වයක් ඇත. එම විශේෂත්වය නම් ශ්‍රීලනිපය වැනි ජාතික මට්ටමේ පක්‍ෂයකින් උතුරෙන් තරග කර තේරී පත්වීමයි. යාපනය දිස්ත්‍රික්කයෙන් දෙමළ පක්‍ෂ ගණනාවක් තරග කරද්දී ජාතික පක්‍ෂයකින් තේරී පත්වීම පිළිබඳව ඔහු සමඟ කළ සාකච්ඡාව මෙසේය.  


යාපනය ජනතාවට අවශ්‍යව ඇත්තේ ඔවුන්ගේ ප්‍රදේශ සංවර්ධනය කර ගැනීම මිස ඇතැම් පුද්ගලයන්ගේ දේශපාලන අවශ්‍යතා ඉටුකර දීම නොවන බව යාපන දිස්ත්‍රික් මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා කියයි.   


තමන් තේරී පත්වීම පිළිබඳව වැඩිදුරටත් කරුණු සඳහන් කරමින් ඒ මහතා මෙසේ ද කීය.   


‘‘ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යාපනය දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ එකම මන්ත්‍රීවරයා මමයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කියන්නෙ ජාතික පක්‍ෂයක්. ඒ වගේම බොහොම දිගු ඉතිහාසයක් ඇති පක්‍ෂයක්. මේ ඡන්දයෙන් මා මනාප ඡන්ද 49393ක් ලබා ගත්තා.   


ප්‍රශ්නය:- ඔබ ගියවර තරග කළේ?   


පිළිතුර:- ඒත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන්මයි.   


ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කියන්නෙ සියලු ජාතීන් නියෝජනය කරනු ලබන පක්‍ෂයක්. එක් ජනකොටසකට සීමා වූ පක්‍ෂයක් නෙවෙයි.   


ප්‍රශ්නය:-  උතුරේ බහුතරයක් ජනතාව දෙමළ දේශපාලන පක්‍ෂවලට සම්බන්ධයි කියල මතයක් තියෙනවා. එසේ තිබිය දී ඔබ පමණක් වෙනස් දේශපාලන මතයක පිහිටා සිටීමට හේතුව කුමක්ද?   


පිළිතුර:- දෙමළ පක්‍ෂයකින් ඉල්ලුම් කළොත් සාදාකලිකවම විපක්‍ෂයේ ඉන්න වෙනවා. ඇත්ත ඒකයි. අවංකව, හිතට එකඟව කතා කළොත් දෙමළ ජනතාවගෙ ප්‍රශ්න විසඳා ගැනීමට නම් ආණ්ඩු බලය තිබෙන පක්‍ෂයත් සමඟ බැඳි සිටිය යුතුයි. රජයත් එක්ක සම්බන්ධ විය යුතුයි. යාපනය ජනතාවට තමන්ගෙ සැබෑ ප්‍රශ්න විසඳා ගැනීමට සදාකාලිකව විපක්‍ෂයේ ඉදල බැහැ. රජයක් සමඟ එකට සිටිය යුතු බව මගේ පෞද්ගලික විශ්වාසයයි. එසේ වූ විට ගැටලු නිරාකරණය කර ගැනීම පහසුයි. යාපනයේ ජනතාව වසර 30ක යුද්ධයෙන් පීඩා විඳපු ජනකොටසක්. සෑම අතින්ම පීඩාවට පත්ව සිටින ජනකොටසක්. ඒ ජනතාව පත්වී සිටින පීඩාවන් ආයුධයක් කරගෙන ඔවුන්ගේ අවශ්‍යතා විකුණාගෙන කෑම දේශපාලනඥයන්ගේ යුතුකම හා වගකීම විය යුතු නැහැ. දෙමළ ජනතාව ප්‍රශ්න විසඳා දීමට අවංක උත්සාහයක් තිබෙනවා නම්, කළ යුතු හොඳම දේ පෞද්ගලික දේශපාලනය ඒ සඳහා යොදා ගැනීම නෙවෙයි.   


ප්‍රශ්නය:-  ඔබේ දේශපාලන ජීවිතය ආරම්භ වුණේ?   


පිළිතුර:- වර්ෂ 2010 මා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් තරඟ කළා. එදා මනාප ඡන්ද 3646ක් ලබා ගත්තා. ඉන් පස්සෙ වර්තමාන අගමැති මහින්ද රාජපක්‍ෂ මහත්තයා මට යාපනය දිස්ත්‍රික් සංවිධායක තනතුර ලබාදුන්නා. වර්ෂ 2013 දී උතුරු පළාත් සභාව නියෝජනය කිරීමට මැතිවරණය ඉදිරිපත් වී තේරී පත්වුණා. ප්‍රථම වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් උතුරු පළාත් සභාව නියෝජනය කිරීමට මට අවස්ථාව ලැබුණා. ගියවර පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පත් කරනු ලැබූවත්, මෙවර තරඟ කර මන්ත්‍රී තනතුරක් ලබා තිබෙනවා.   


ප්‍රශ්නය:-  විපක්‍ෂයේ අසුන් ගන්නා දෙමළ මන්ත්‍රීවරුන්ට වඩා ඔබ ලබා ඇති වරප්‍රසාද මොනවා ද?   


පිළිතුර:- දිස්ත්‍රික් සංවිධායක වශයෙන් හා නියෝජ්‍ය කෘෂිකර්ම ඇමති වශයෙන් කටයුතු කළා. ඒ තනතුරුවලින් පුළුවන් තරමින් ප්‍රදේශයේ සංවර්ධන වැඩ කළා. පාරවල් හැදුවා. කෘෂිකර්මයේ දියුණුවට කටයුතු කළා. ගොවීන්ට බීජ ලබා දුන්නා. අවශ්‍ය ආධාර මුදල් ලබා දුන්නා. යාපනයේ, ජනතාවගෙන් සියයට 40ක් ජීවත් වෙන්නේ කෘෂි කර්මාන්තයෙන්.   
දෙමළ පක්‍ෂවලින් යාපනය ජනතාවට ලබා දුන්න දෙයක් නැහැ. ලැබුණු දේකුත් නැහැ. යුද්ධයෙන් හානි වූ ජනතාවට ලැබිය යුතු දේ බොහොමයක් තියෙනවා. නමුත් අද බොහොමයක් දේශපාලනඥයන් සිදු කරනු ලබන්නේ පෞද්ගලික අවශ්‍යතා ඉටු කර ගැනීම පමණයි. දෙමළ ජනතාවට ඒක ප්‍රමාණවත් නැහැ. කොයි දේ කරන්නත් දෙමළ ජනතාවට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්නෙ නැහැ. ඒ නිසා මම නිහතමානීව යථාර්ථය තේරුම් අරගෙන කටයුතු කරනවා. ජනතාවගේ ප්‍රශ්නවලට සැබෑ විසඳුම් ලබාදීම මගේ එකම බලාපොරොත්තුවයි.   


ප්‍රශ්නය:-  ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රී සංඛ්‍යාව මෙවර අඩුවෙලා. එයින් අදහස් කරන්නෙ ඔවුන්ගෙ පිරිහීම පෙන්නුම් කරන බවද?   


පිළිතුර:- රජයත් එක්ක වැඩ කරන්න කියල ජනතාව මට මනාප දීල තිබෙනවා. දෙමළ සන්ධානය ජනතාව රවටා තිබෙන බව දැන් ජනතාව තේරුම් ගනිමින් යනවා. දේශපාලන විසඳුම් ලබා දෙනවා කියමින් ජනතාව රවටනවා මිසක් වෙනත් කිසිම පියවරක් ජනතාව වෙනුවෙන් අරගෙන නැහැ. දැන් යාපනය ජනතාවට දෙමළ සන්ධානය එපා වෙලා. රටේ ජනතාවට හැමදාම බොරු කරන්න බැහැ. කාලයත් සමඟ සිදු වෙන දේවල්වල සත්‍ය තත්ත්වය ජනතාව අවබෝධ කර ගන්නවා. එවිට ඔවුන් තමන් රවටන පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ගෙන් ඈත්වීම ඉබේටම සිදු වෙනවා. තවත් ඉදිරියට බොහෝ ඉක්මණින් මේ අයගෙ පිරිහීම සිදුවේවි. පසුගිය කාලය පුරාම යාපනයේ ජනතාව මේ පක්‍ෂවලට මුළුමනින්ම රැවටිලා ඔවුන් කියන දේ විශ්වාස කළා. දැන් ඔවුන්ට ජාතික මට්ටමේ දේශපාලන පක්‍ෂයක අගය තේරුම් යමින් තිබෙනවා. 

 

  • යළිත් යුද්ධයකට දෙමළ ජනතාව කිසිසේත්ම සූදානම් නෑ.   
  • මා 2013 දී ශ්‍රීලනිපයෙන් තරග කර උතුරු පළාත් සභාවට තේරී පත් වුණා.   
  • මෙල්බර්න් නුවර වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් මා ඉංජිනේරු උපාධිය 
  • ලබා ගත්තා.   

 
ප්‍රශ්නය:- ඔබ ඉගෙන ගත්තේ? 


පිළිතුර:- මම ඉපදුනෙ යාපනයේ. යුද්ධ කාලයේ දී අපිට උන්හිටි තැන් අහිමි වෙලා කොළඹට ආවා. මම ඉගෙන ගත්තෙ ශාන්ත තෝමස් විද්‍යාලයේ. ඉන් පසු ඉංජිනේරු විෂය ධාරාව හැදෑරීමට ඕස්ට්‍රේලියාවෙ ගියා. මෙල්බර්න් නුවර පිහිටි වික්ටෝරියා විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ඉංජිනේරු උපාධිය ලබා ගත්තා. ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේ පර්ත් නුවර පිහිටි විශ්වවිද්‍යාලයෙන්. ඉන්පසු මගේ පියාගේ ව්‍යාපාර කටයුතුවල යෙදී සිටියා. එසේ සිටින අතරතුර දී දේශපාලනයට යොමු වුණා. 2009 පසු සමාජ සේවා කටයුතුවල යෙදී සිටින විට දේශපාලනය කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වුණා. දේශපාලනයට පිවිසියේ ඒ අනුවයි.   


ප්‍රශ්නය:- දෙමළ ජනතාව යළි යුද්ධයට ඇදගෙන යාමේ කුමන්ත්‍රණයක් පවතින බවට කතාබහ පැතිරෙමින් යනවා. පසුගිය කාලෙ සිදුවීම් කීපයකුත් ඇති වුණා. යළි පසුගිය කාලය වගේ ඇති නොවීමට ගන්නා පියවර මොනවා ද?   


පිළිතුර:- යාපනයේ දෙමළ ජනතාව ඒකට කිසිසේත්ම සූදානම් නැහැ. අපේ ජනතාව සංවර්ධනය පැත්තෙන් සාමකාමීව අනාගතය ගත කිරීමට සූදානම් පිරිසක්. යුද්ධය ඔවුන්ගෙ ජීවිත විනාශ කළා. ඒ ජනතාව තුළ විශ්වාසයක් ඇති විය යුතුයි. යුද්ධය නිසා අඩපණ වූ සංවර්ධනය නගා සිටුවීම පළමු කාර්යයි. අනෙකුත් දිස්ත්‍රික්ක සමඟ සැසදීමේ දී යාපනය දිස්ත්‍රික්කය පවතින්නේ ඉතාම පහළ සංවර්ධිත මට්ටමක. දිස්ත්‍රික්ක වශයෙන් ගත්තොත් යාපනයට ලැබී ඇත්තේ 20 වැනි ස්ථානයයි. ව්‍යවස්ථා සංශෝධනයකින් මේවා කරන්න බැහැ. විශේෂයෙන් සංවර්ධිත බව අවශ්‍යයි. යාපනය ජනතාව සාමය නැති කර ගන්න සූදානම් නැහැ. දේශපාලනය කරනු ලබන පිරිසකට පමණක් රට බෙදා වෙන්කර ගැනීමේ අවශ්‍යතාව තියෙනවා. 

 
ජනතාව ලබාදුන් මනාප ඡන්ද මධ්‍යම රජයට කිසියම් ඉඟියත් ලබා දී තිබෙනවා. මධ්‍යම රජයත් සමඟ වැඩ කිරීමට, ඉදිරියට යාමට සූදානම් බව යාපනය ජනතාව පෙන්වා දී තිබෙනවා. දැන් අපි යාපනය ජනතාවත් සමඟ රට සංවර්ධනය කළ යුතුයි.   


ප්‍රශ්නය:- යාපනය ජනතාවට විශේෂයෙන් අවශ්‍ය වෙන්නේ මොනව ද?   


පිළිතුර:- එකක් කියල කියන්න බැහැ. එක   කරුණක් කියල කියන්නත් බැහැ. සියලු අංශ මත සාමාන්තරව සංවර්ධනය කළ යුතු වෙනවා. ද්‍රවිඩ ජනතා සන්ධානය ප්‍රකාශ කර සිටින්නේ ව්‍යවස්ථාව සංශෝධනයෙන් පසු, යාපනය ජනතාවගේ අනිකුත් ප්‍රශ්න විසඳාගත හැකි බවයි. නමුත් අප ප්‍රකාශ කර සිටින්නේ ගැටලුකාරී සියලු කරුණුවලට සමාන්තරව විසඳුම් අවශ්‍ය බවයි. නිවාස ප්‍රශ්නය, ඉඩම් ප්‍රශ්නය, රැකියා ප්‍රශ්නය, ආර්ථිකය ​ගොඩනගා ගැනීමේ ප්‍රශ්නය, වැන්දඹු කාන්තාවන්ගේ ප්‍රශ්නය අතුරුදන් වූ පුද්ගලයන් අනාථ දරුවන්ගේ ප්‍රශ්නය ආදී වශයෙන් ප්‍රශ්න රාශියක් නිසා උතුරේ ජනතාව පීඩා විදිනවා. මේ අයට සහනයක් අවශ්‍යයි. මේ ප්‍රශ්න විසඳා ගත්තොත් මුළු රටේම ජනතාව එකම මාර්ගයකට පැමිණියා හා සමානයි නමුත් දෙමළ පක්‍ෂ හදන්නෙ මේ ජනතාව ඉත්තො කරගෙන දේශපාලනය කරන්නයි. නමුත් මට අවශ්‍ය වී තිබෙන්නේ ජනතාවගෙ ප්‍රශ්නවලට විසඳුම් ලබාදී ඔවුන්ට හොඳ සමාජ තත්ත්වයක්, මානසික සැනසීමත් ලබා දෙන්නයි.   


ප්‍රශ්නය:-  ඔබ බලාපොරොත්තුවෙන නිදහස යාපනය ජනතාවට ලබා ගත හැකි වේවි ද?   


පිළිතුර:- පියවරෙන් පියවර පුළුවන්. දෙමළ දේශපාලන පක්‍ෂවලින් ජනතාවට ලැබුණ දෙයක් නැහැ. ප්‍රශ්න විසඳෙන විට ජනතාව තත්ත්වය තේරුම් ගනීවි. සියල්ල සමාන්තරව කෙරෙන්න ඕනෑ. සංවර්ධනය ප්‍රධානයි. 

 
ප්‍රශ්නය:- යාපනය ජනතාවට වෙන්ව ජීවත් වීම අවශ්‍ය ද?   


පිළිතුර:- නැහැ. ඔවුන්ට අවශ්‍ය එකම රටත් වශයෙන් සිටීමයි. නමුත් ඔවුන්ගේ සංවර්ධනයට මූලික ස්ථානය ලබා දීම වැදගත්.   

 

 

සාකච්ඡාව 
දයාසිලී ලියනගේ