ජාතික ජනබලවේගය කියන්නේ කසළ එකතු කරන තැනක් නොවෙයි


ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක  ජවිපෙ නායක
අනුර කුමාර දිසානායක

 

ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසු අනුර කුමාර දිසානායක සමඟ මේ කතාබහ ඉදිරි දේශපාලන පෙළගැස්ම පිළිබඳවයි.   


අනුර දිසානායකත් ජනාධිපති අපේක්ෂකයෙක් වුණා එතකොට.   


අපේ ර​ෙට් ප්‍රධාන පක්ෂ දෙකට එරෙහිව විශාල විරෝධයක් වගේම අලුත් බලාපොරොත්තුවක් ජනතාව තුළ මතු වී තියෙනවා. ඒ අපේක්ෂාව නියෝජනය කරමින් තමයි ජාතික ජන බලවේගය මෙවර ජනාධිපතිවරණයට තරග වදින්න තීරණය කළේ. එම තීරණය ප්‍රකාශයට පත් කළාට පසුව විවිධ ක්ෂේත්‍රවල ජනතාවගේ විශාල උද්යෝගයක් මතුවෙමින් තියෙනවා. අපි විශ්වාස කරනවා මේ ජනාධිපතිවරණය අපේ රටේ දේශපාලනයේ ප්‍රමුඛ හැරවුම් ලක්ෂයක් බවට පත්කරගත හැකිවේවි කියලා.   


ඔබේ නම ප්‍රකාශයට පත්වීමත් එක්ක කොහොමද ලැබෙන ප්‍රතිචාර?   


අපේ දේශපාලන සංස්කෘතිය පිළිබඳව බොහෝ අයට අවබෝධයක් තියෙනවා. අපි කිසිසේත් විශ්වාස කරන්නෙ නෑ. තනි තනි පුද්ගලයන්ට මේ රට මැජික් බලයෙන් ගොඩ ද‌ාන්න පුළුවන් කියලා. ඒ නිසා සාමුහික ප්‍රයත්නයක් අද අවශ්‍ය වී තියෙනවා.   


ඒ නිසා ජනාධිපතිවරණයට මගේ නම යෝජනා වී තිබුණත් අපි විශාල කණ්ඩායමක් ලෙස බලවේගයක් ලෙස තමයි මේ සඳහා මැදිහත් වෙන්නේ. ඒ බලවේගයේ නියෝජිතයා ලෙස තමයි මම ඉදිරිපත් වී සිටින්නේ. වෙනසක් පිළිබඳ බලාපොරොත්තු තියාගෙන ඉන්න ජනතාව තුළ අපේක්ෂාවන් දැන් ඇති වී තියෙනවා.   

 

අපේ අර්බුදය තියෙන්නේ ජාතික තලයට වඩා ග්‍රාමීය තලයේ කියලා අපි අඳුනගෙන තියෙනවා. ඔවුත් එක්ක විශාල සංවාදයක් පටන් ගන්න ඕනෑකම තියෙනවා. ඒ සංවාදය දැනටමත් අපි ආරම්භ කරලා තියෙන්නේ. අපේක්ෂාව යථාර්ථයක් කළ හැකි බව තමයි අපේ විශ්වාසය.


මුල ඉඳල තීරණය කරලා තිබුණෙ ඔබේ නමම ද? පක්ෂයට පිටින් කෙනෙකුගෙ නමක් දෙකකුත් පිළිබඳ අහන්න ලැබුණනේ.   


විශේෂයෙන් පක්ෂය ඇතුළෙ එහෙම අදහසක් තිබුණෙ නෑ. මේ රටේ අර්බුදය නිර්මාණය කරල තියෙන්නේ අපේ රටේ දේශපාලනඥයින්. ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් අපේ රට බිඳවට්ටා තියෙන්නේ දේශපාලකයින්. ඒ නිසා මේක ගොඩනැගිය යුත්තේ දේශපාලකයින්ම විසින්. ඒ වගේම ජනාධිපතිවරණයක් මෙහෙය වීමේදී එයට ඔරොත්තු දීමේදී ඒ වගේම අපේ පක්ෂය අවධි කිරීමේදී අනිත් බලවේග දිරි ගැන්වීමේදී අතිශය වැදගත් වෙන්නේ එයට මුහුණ දීමේ හැකියාව. ඒ සඳහා පක්ෂය තුළ දිගටම තිබුණු සාකච්ඡාව මේ සඳහා දේශපාලනය කරන කෙනෙක්ම ඉදිරිපත් විය යුතුයි කියන අදහස. ජාතික ජනබලවේගය තුළත් ඒ අදහස තමයි තිබුණේ. ඉන් බැහැරව කෙනෙක් පිළිබඳව සාකච්ඡාවක් ජාතික ජනබලවේගය තුළ තිබුණේ නෑ.   


ජාතික ජනබලවේගය වටා එකතු වුණු සංවිධාන සියල්ලේ ඒකමතික අදහස ද අනුර කුමාර දිසානායක?   


ඔව්. අපි පසුගිය 18 වෙනිද‌ා ඒ තීරණය ප්‍රකාශයට පත් කළත් අපි ඊට සැලකිය යුතු කාලයකට පෙර තමයි ජාතික ජනබලවේගයේ ප්‍රධාන විධායක කමිටුව විසින් මේ තීරණය ගත්තේ. ඒ නිසා ඒක අපි සියලු දෙනාගෙම එකඟතාවය.   


අපේක්ෂාවේ අපේක්ෂකයා අනුර දිසානායක කිව්වම ඇතැම් අයගේ අපේක්ෂා බිඳ වැටුණා කියලත් අහන්න දකින්න ලැබුණා.   


ඔය අදහස දක්වල තිබුණු අය පිළිබඳ හොඳට නිරීක්ෂණය කරල බැලුවොත් දකින්න පුළුවන් ඒ අය ඉන්න ආස්ථානය මොකක්ද කියලා. කියවෙන ප්‍රකාශයක් හෝ ලියවෙන වැකියක් පිළිබඳ අපි මැනගන්න ඕනැ එහි අඩංගු දේ වගේම ඒ පිටිපස ඉන්න පුද්ගලයා කවුද කියලා හොයා බලලා. ඒ නිසා ඔය වගේ අදහස් ප්‍රකාශ කරපු බොහෝ දෙනාට තියෙන්නේ වෙනත් ​ෙද්ශපාලනික අදහසක්. ඒ ගැන අපි කලබල විය යුතු නෑ.   


18 වෙනිද‌ා ගෝල්ෆේස් පිටිය පිරවීමේ ප්‍රහර්ශයෙන් ඔබ්බට වැඩට බැහැලද දැන්?   


 ලංකා ඉතිහාසයේ පවත්වපු දැවැන්තම රැලිය අපි පවත්වල තියෙනවා. ඒ සඳහා බොහෝ දෙනා සහභාගි වුණේ විශාල උනන්දුවකින් සහ උද්ද‌ාමයකින්. ඒ හැම දෙනාම අලුත් පණිවුඩයක් ගමටම අරගෙන ගිහින් තියෙනවා. ඒ වගේම ඊට සහභාගි වෙන්නට බැරිවුණු ඒ දෙස බලාගෙන ඉඳපු විවිධ කණ්ඩායම් අපිට සුබ පතමින් තියෙනවා. මේ නව මාවත පිළිබඳ විශ්වාසය තියපු බොහෝ දෙනෙක් අපි වටා අත්වැල් බැඳ ගනිමින් ඉන්නවා. ඔවුන්ට අලුත් ජවයක් ඇතිවෙලා තියෙනවා. ඒ ආරංචියත් සමඟ ඒ ජනතා උද්ද‌ාමයත් පදනම්ව ශක්තිමත්ව ඉදිරි ගමනකට පියවර තියලා තියෙනවා. අපේ අර්බුදය තියෙන්නේ ජාතික තලයට වඩා ග්‍රාමීය තලයේ කියලා අපි අඳුනගෙන තියෙනවා. ඔවුත් එක්ක විශාල සංවාදයක් පටන් ගන්න ඕනෑකම තියෙනවා. ඒ සංවාදය දැනටමත් අපි ආරම්භ කරලා තියෙන්නේ. අපේක්ෂාව යථාර්ථයක් කළ හැකි බව තමයි අපේ විශ්වාසය.   


දැනුත් දේශපාලන පැනිල්ල පටන් අරන්. ටිල්වින් සිල්වා කියලා තිබුණා ජාතික ජනබලවේගය කියන්නේ දේශපාලන කුණු ගොඩවල්වලට ලගින්න පුළුවන් අම්බලමත් නොවේය වැනි අදහසක්. මේක දිගටම රකින්න පුළුවන්ද? මොකද තරගය දැඩිවෙන්න වෙන්න කවුරුත් බලන්නේ තමන්ගේ කඳවුරේ ගොඩ වැඩිකරගන්න.   


අපේ රටේ දේශපාලනය අශිෂ්ඨත්වයේම ගොදුරක් බවට පත්වෙලා තියෙන්නේ විවිධ වරද‌ාන වරප්‍රසාද අපේක්ෂවෙන් එහෙට මෙහෙට පනින ​ෙද්ශපාලන සංස්කෘතියක් නිසා. එය අපේ රටට විශාල විනශයක් අත්පත් කරදීලා තියෙනවා. නැවතත් ඒ මජර ක්‍රියාව දියත් වෙමින් තියෙනවා. මොවුන් පොදු ජනයා කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදක්වා තමන්ගේ බලය වෙනුවෙන් ඕනෑම කසළ ගොඩක් කරතියා ගන්න සූද‌ානම් බව තමයි ඔය දේශපාලන කඳවුරු දෙකම මේ දැනුත් ඔප්පු කරමින් ඉන්නේ. තවදුරටත් මේ ​ෙද්ශපාලන අශිෂ්ඨත්වය අපේ රටට ඕනැ නෑ. අපි පෙනී ඉන්නෙම මේ දේශපාලන අශිෂ්ඨත්වයට එරෙහිව. කවුරු කවරාකාර අදහසින් අපේ කඳවුරට එන්න උත්සාහ කළත් ඒ හැම දෙනාටම ඒ ආකාරයෙන්ම දොරටු විවෘත වෙලා නෑ. ඒ නිසා ජාතික ජනබලවේගය කියන්නේ අනිත් තැන් දෙක වගේ කසළ එකතු කරන මධ්‍යස්ථානයක් නෙවෙයි කියන සහතිකය නිසැකවම දෙන්න පුළුවන්.  


ඔබලට තරගකාරීව එක කඳවුරක ජනාධිපති අපේක්ෂකයා දැන් නම් කරලා ඉවරයි. ඔහු පිළිබඳව ඔබේ අදහස කොයි වගේ ද?  


ඔහු මේ අර්බුදයේම ප්‍රතිඵලයක්. එහෙම නැතුව අර්බුදයට විසඳුමක් නෙවෙයි. අපේ රටේ මහජනයාගේ ආරක්ෂාවට තර්ජනයක් නිර්මාණය කළේම ඔවුන්. විවිධ අන්තවාදී කණ්ඩායම් පෝෂණය කරමින් විවිධ අන්තවාදී කණ්ඩායම් නඩත්තු කරමින් මේ අර්බුදය හැදුවෙ ඔවුන්. ඔවුන් විසින්ම නිර්මාණය කරපු ප්‍රශ්නෙම විසඳුම ඔවුන් කියමින් තමයි අද මේ අය ඇවිත් ඉන්නේ. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මේ අර්බුදයේ ප්‍රකාශනය මිසක් ඊට විසඳුම නෙවෙයි.  


රාජපක්ෂ කඳවුරේ දුර්වලම චරිතය ගෝඨාභය කියලා ඔබලා දිගින් දිගට කිව්වේ. හැබැයි ඔවුන් කියන්නේ ඊට එහා කෙනෙක් නෑ කියලා.  


අනෙකාගේ මත ඉවසන්න බැරි එය පවුලේ වැඩිම අපරාධ සහ හොරකම් පිළිබඳ චෝදනා තියෙන, ඒවා පිළිබඳ වැඩිම නඩු ප්‍රමාණයක් තියෙන පුද්ගලයා ගෝඨාභය. අනෙකාගේ මතයකට ඇහුම්කම් දෙන්න බැරි, ඒ මත ඉවසන්න බැරි පුද්ගලයා චණ්ඩියෙක් නෙවෙයි දුර්වලයෙක්. තමන්ට එරෙහිව එන විවේචන ඉවසන්න බැරිව ඒ විවේචන ලියන කියන අය මර්දනය කරන්නා චණ්ඩියෙක් නෙවෙයි. දුර්වලයෙක්. ඒ නිසා ගෝඨාභයගෙ දේශපාලන භාවිතාවම දුර්වලතාවලින් සමන්විත භාවිතාවක්. ඒ නිසා තමයි ඔහු ඒ කඳවුරේ දුර්වලයා වෙන්නේ.  


එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කඳවුරෙන් ඔබලාට එල්ලවිය හැකි අභියෝගය ගැන තියෙන තක්සේරුව කොහොමද?  


රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමද‌ාස අතර ගැටුම ජනතාවගේ ගැටුමක් නෙවෙයි. දේශපාලන ප්කෂයකට වැඩපිළිවෙලක් තියෙන්න ඕනැ. එය ඒ වැඩපිළිවෙල ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට දේශපාලන පක්ෂයක් සාමුහිකව ක්‍රියාකරන්න ඕනැ. ඒක තමයි දේශපාලනය කියන්නේ. එක්සත් ජාතික පක්ෂයේ සිද්ධවෙන්නේ පුටුවට කුළල් කා ගැනීමක්. මේ ගැටුමම ඔවුන්ගේ පටු දේශපාලන වුවමනාවේ ප්‍රකාශනයක්. ඒ වගේම මොවුන් පහුගිය අවුරුදු හතරහමාර ඇතුළෙ ඕනැවටත් වඩා ඔප්පු කරල තියෙනවා ඔවුන්ට රට කරන්න බෑ කියලා. ඔවුන් බලයට පත්කරපු ජනතාවගේ අභිලාෂයන්ට පයින් ගහපු පිරිසක්. තක්කඩි විදියට ඒ ජනතා බලාපොරොත්තු බිඳ වට්ටපු පිරිසක්. ඉතිහාසයේ ඔවුන්ට අත්විය හැකි සහ අත්විය යුතු ඉරණමට අද ඔවුන් මුහුණ දෙමින් සිටිනවා.  


මේ දවස්වල විවිධ කණ්ඩායම් කල්ලි තැන තැන ප්‍රසිද්ධියේ සහ රහසේ සාකච්ඡා. භෝජන සංග්‍රහ සමගත් සාකච්ඡා. ඔබලට මේ වගේ සාකච්ඡාවලට ඇරයුම් නැද්ද?  


අපි කෙරෙන කිසිදු සාකච්ඡාවක් හෝ එකඟතාවයක් යටිබිම්ගත කාමර අස්සේ සිදු කරන්නේ නෑ. එවැනි සාකච්ඡාවක් සිදුවෙනවා නම් රටට නිරාවරණය වෙනවා. එවැනි තැනක තමයි ඒවා කෙරෙන්නේ. අපිට ඔය කිසිම කණ්ඩායමක් එක්ක කකා බිබී රෑට රෑට සාකච්ඡා නෑ.  


ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව ජාතික ජනබලවේගයයි දෙමළ ජාතික සන්ධානයයි අතර එකඟතාවයක් තියෙනවා කියන කතාවේ ඇත්ත නැත්ත කොයි වගේ ද?  


අපි අතර තවම එවැනි සාකච්ඡාවක් හෝ එකඟතාවක් සිදුවෙලා නෑ. දෙමළ ජාතික සන්ධානය ඇතුළෙ සිද්ධ වෙච්ච යම් යම් සාකච්ඡාවල ජනාධිපතිවරණයේදී ගතයුතු තීන්දු තීරණ පිළිබඳ යම් අදහස් හුවමාරු වෙමින් තියෙනවා. ඒවා තාම නිල අදහස් නෙවෙයි. කෙසේ වුවත් උතුරේ ජනතාව අපි ආමන්ත්‍රණය කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඔවුන් මෙය සලකන්නේ දකුණේ මැතිවරණයක් ලෙසය. එය උතුරේ ජනතාවගේ තීරණයක්. ඒ නිසා අපි උතුරේ ජනතාවට කියනවා ඔවුන්ට දේශපාලන කඳවුරක් මේ මොහොතේ තෝරාගන්නට තියෙනවා නම් එ් ජාතික ජනබලවේගය පමණයි කියලා. මේ පණිවුඩය අපි උතුරේ ජනතාවට දෙනවා.  

 

එක්සත් ජාතික පක්ෂයේ සිද්ධවෙන්නේ පුටුවට කුළල් කා ගැනීමක්. මේ ගැටුමම ඔවුන්ගේ පටු දේශපාලන වුවමනාවේ ප්‍රකාශනයක්. ඒ වගේම මොවුන් පහුගිය අවුරුදු හතරහමාර ඇතුළෙ ඕනැවටත් වඩා ඔප්පු කරල තියෙනවා ඔවුන්ට රට කරන්න බෑ කියලා. ඔවුන් බලයට පත්කරපු ජනතාවගේ අභිලාෂයන්ට පයින් ගහපු පිරිසක්.


ඔබලව විශ්වාස කරන්න ඔවුන්ට තියෙන හේතු මොනව ද?  


එහෙම නැත්නම් ඔවුන්ට කවුද විශ්වාස කරන්න පුළුවන්.  


යම් අදහසක් ස්ථාපිත වෙලා තියෙනවා උතුරේ ඡන්ද නම් රනිල්ට කියල වගේ.  


 එහෙම එකක් හදන්න උත්සාහ කරනවා. රනිල් ගොඩක් දේවල් තමන්ගේ නමට ලියාගන්න උත්සාහ කරනවා.   


උතුරේ ඡන්ද විතරක් නෙවෙයි යූඑන්පී එකත් තමන්ගේ භුක්තියට තියෙන දේපලක් කියල තමයි එයා හිතන්නේ. එහෙම මානසිකත්වයකින් කටයුතු කරන කෙනෙකුගෙන් ජනතාවට ලැබෙන දෙයක් නෑ. රනිල්ගෙන් උතුරේ ජනතාවට ලැබුණු දේ මොනව ද? දැන් ඔය වගේ සන්භූත අදහස් වලංගු නෑ. දේශපාලනය චලනය වෙන දෙයක්.  


ඡන්ද වලින් පස්සේ ඉටු කළත් නොකළත් විශාල පොරොන්දු ප්‍රමාණයක් ඇතුළත් ලියවිල්ලක් ඡන්දයක් කිට්ටු වෙද්දි හැම පක්ෂයක්ම හදනවා. ඔබලත් දැන් එහෙම එකක් හදල ද?  


මැතිවරණය සඳහා වූ මැතිවරණය ප්‍රකාශනයක් දැනටමත් සකස් කරමින් යනවා. ඒක මැතිවරණය ආරම්භයත් සමඟ ජනතාව අතට පත්කරන්න කටයුතු කරනවා. ඔබ අහපු ප්‍රශ්නය සාධාරණ වෙන්නේ බොහෝ පක්ෂ මෙතෙක් මැතිවරණවලදී ඉදිරිපත් කරපු පොරොන්දු බලය ගත්තට පස්​ෙස් අමතක කරපු අතීතයක් අපිට තියෙන නිසා. මෙතෙක් පත්වුණු හැම ආණ්ඩුවක්ම ජනතාවට දීපු ඡන්ද පොරොන්දු ඡන්ද වලින් පස්සේ කුණු බක්කියට ද‌ාලා කටයුතු කළේ. නොකරනවා කියලා පොරොන්දු වෙච්ච දේ තමයි වැඩි වැඩියෙන් කළේ. සැබවින්ම මැතිවරණ ප්‍රකාශනය කියන්නේ ඡන්දය ලබාගන්නා දේශපාලන පක්ෂයක් ඡන්දය ලබාදෙන ඡන්ද දායකයන් අතර සම්මුතිය, ඉතිහාසය තුළ ආණ්ඩු බලය ගත්තු හැම ආණ්ඩුවක්ම මේ සම්මුතිය බිඳල තියෙනවා. ඒ නිසා අද මැතිවරණ ප්‍රකාශනය ජනතාව අතර විහිළුවක් වෙලා තියෙනවා. ජනතාව තුළ ඒ මැතිවරණ ප්‍රකාශය පිළිබඳ තියෙන අදහසක් අපි වෙනස් කරනවා. අපි ඉදිරිපත් කරන්​ෙන් රට ගොඩනගන වැඩපිළිවෙළ මිසක් පුද්ගලික අරමුණකින් ඉදිරිපත් කරන්නක් නෙවෙයි.  


ඔබෙන් වෙන්වුණු පෙරටුගාමී පක්ෂයක් ජනාධිපති අපේක්ෂකයෙක් ද‌ානවලු. ඒක ඔබේ කඳවුරට වැටෙන්න නියමිත ඡන්දවලට බලපෑමක් නෙවෙයි ද?  


 ඒක ඒ අයගෙ අයිතිය. එක් එක් දේශපාලන පක්ෂවලට තම තමන් දකින දෘෂ්ධීන්වලට අනුව ක්‍රියා කරන්න පුළුවන්. ඒ ක්‍රියාමාර්ග කොතෙක් දුරට අනුමත කළ යුතු ද කියලා තීරණය කරන්නේ ජනතාව. අපි ඒ ගැන කලබල විය යුතු නෑ.  


ජනාධිපතිවරණය අතර මැද ඔබ සීන් එකෙන් අයින්වෙන්නත් බැරි නෑ කියල සමහරු අනාවැකි කියන්නේ ඇයි?   


ඔය ව​ෙග් අදහස් රාජපක්ෂ කඳවුර දිගින් දිගටම කියනවා අපිත් දැක්කා. ඔවුන් ​දේශපාලනිකව කොයි තරම් අසරණ ද කියන එක මිසක් ඔය වගේ කතාවලින් වෙන දෙයක් ඉස්මතු වෙන්නේ නෑ. අපිට එරෙහිව නගන්න චෝදනාවක් නැති තැන එල්ලෙන වැල් තමයි ඔය. අපි මේ තියපු පියවර අතරමැද අකුලා ගැනීමක් නෑ.  


දෙවෙනි මනාපයක් ගැන කතාවකුත් කරළියට ඇවිත්. ඡන්ද‌ද‌ායකයට තාම මේ ගැන හරිහැටි අවබෝධයක් නෑ වගේ.  


 මෙතන පැති දෙකයි තියෙන්නේ. ශිෂ්ඨත්වය හා අශිෂ්ඨත්වය අතර තමයි තරගය තියෙන්නේ. යහපත හා විනාශය අතර කඳවුරු දෙක පමණයි තියෙන්නේ. අපි නියෝජනය කරන්නේ රටට යහපත ගේන පරිෂ්ඨත්වයේ කඳවුර. ඉතින් ඡන්ද‌ද‌ායකයට දෙවෙනි තුන්වෙනි මනාපයක් ගැන වඳ වෙන්න දෙයක් නෑ. එක තීන්දුවයි ගන්න තියෙන්නේ මෙතන එක දෙක තුන කියල තෝරන්න දෙයක් නෑ.  


ඡන්දදායකයට තියෙන්නේ රටේ යහපත වෙනුවෙන් පළමු මනාපය පළ කරන්න විතරයි.  

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි