ජනතාව අපට කියල තියෙන්නෙ පිස්සු නටන්නෙ නැතිව දීපු පොරොන්දු ඉටු කරන්න කියලයි


 

 පුංචි ඡන්දයෙන් පසු සිදුවෙන්නේ කුමක්දැයි රටම බලා සිටින මොහොතක මේ දේශපාලන කතාබහ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සමඟයි. 


ඡන්ද ප්‍රතිඵලයෙන්ම කතාව පටන් ගමු. මොකක්ද වුණේ යූ.එන්.පි. යට? 
ඇත්තටම ජනතාව අපිට කියලා තියෙනවා පිස්සු නටන්නේ නැතුව දීපු පොරොන්දු ඉටුකරන්න කියලා. ඒ වගේම අපිව ප්‍රතික්ෂේප කරලම නෑ ජනතාව. ඒත් රෙඩ් ලයිට් පත්තු කරලා තියෙනවා. ආණ්ඩු බලය තියෙද්දි ජනාධිපති අගමැති ඉඳපු කඳවුරට ලැබුණු ඡන්ද ප්‍රමාණය දිහා බලද්දී පසුබෑමක් තියෙන බව අපි පිළිගන්න ඕනෑ. ඒ ගැන බොරු තර්ක ඉදිරිපත් කරලා වැඩක් නෑ. මේක පුංචි ඡන්දයක් වුණත් අපිට අපේ ගමන ගැන නැවත හිතන්න පණිවුඩයක් ජනතාව දීලා තියෙනවා. අපි ඒ අනතුරු ඇඟවීම තේරුම් අරගෙන වැඩ කරන්න ඕනෑ. මේ පණිවුඩය පුංචි ඡන්දෙන් ලබා දීම ගැන අපි සතුටු වෙනවා. කොහොම වුණත් ජනමතයට අපි හිස නමනවා. 

 


මේ සිග්නල් එක යූ.එන්.පී. එකේ උඩ ඉන්න නායකයෝ තේරුම් අරන්ද ඉන්නේ? 
මං හිතන්නේ ඒ අය මේ තත්ත්වය තේරුම් අරන් ඉන්නේ. ලැබුණු ප්‍රතිඵලයෙන් කවුරුත් තිගැස්සීමකට ලක්වෙලා කියලයි මට පේන්නේ. මොකද උදම් ඇනිය හැකි ප්‍රතිඵලයක් නෙවෙයි අපිට ලැබුණේ. අපි මීට වඩා ලොකු ජයග්‍රහණයක් තමයි බලාපොරොත්තු වුණේ. අපේ පක්ෂ නායකයින් මේ ප්‍රතිඵලය හරියට කියවා නොගත්තොත් ඉදිරි මැතිවරණවල ප්‍රතිඵලය මීට වඩා දරුණු වෙන්න ඉඩ තියෙනවා. 

 


ඡන්දෙ ඉවරවුණු වෙලාවෙ ඉඳලා පුදුම සාකච්ඡා තොගයක් තමයි පක්ෂ නායකයින්, පක්ෂ මන්ත්‍රීවරු ඇමැතිවරු අතරෙ යන්නේ. තාම ඉවර නෑ වැ​ෙඩ්. මොකක් වෙයිද? 
හැමදෙනාම තමන්ට ලැබුණු ප්‍රතිඵලය ගැන ස්වයං විවේචනයකට එන්න ඕනෑ. මේ සාකච්ඡාවලදී කවුරුවත් සතුටු කරන්න බොරු තර්ක ඉදිරිපත් කරල නම් තේරුමක් නෑ. මම නම් සම්බන්ධ වෙච්ච හැම සාකච්ඡාවකදීම මට පේන සත්‍ය ප්‍රකාශ කළා. කොහොම නමුත් ආණ්ඩුව රැකගත යුතුයි. ඒකට අපේ පක්ෂ නායකත්වය ​ෙලකු උත්සාහයක් ගන්නවා. මේ සාකච්ඡාවලදී අපෙන් වුණු අතපසුවීම් කවුරුත් පිළිගත්තා සහ ඒවා නිවැරදි කරගත යුතුයි කියලා තීරණය කළා. සංසන්දනාත්මකව බලද්දී යහපාලන ආණ්ඩුවෙ ජනාධිපති සහ අගමැති යටතේ රටට ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස ලැබුණා කියන එක කවුරුත් පිළිගන්නවා. බැරිවෙච්ච දේවල් ටිකක් තියෙනවා. ඒවට තමයි ජනතාව ප්‍රතිචාර දක්වලා තියෙන්නේ. කවුරුත් උත්සාහ කරන්නේ මේ තත්ත්වය නිවැරදි ආකාරයට කළමනාකරණය කරගන්න තමයි. ඉදිරි දින කීපය දේශපාලන අතින් තීරණාත්මක දින කිහිපයක් වෙයි අනිවාර්‌යෙන්ම.

 


එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමැතිවරුන් සමඟ ජනාධිපතිතුමා පවත්වපු විශේෂ සාකච්ඡාවට නියෝජ්‍ය ඇමැතිකමක් දරන රන්ජන් රාමනායකටත් ආරාධනාවක් ලැබෙනවා. මොකක්ද ඒ විශේෂ සැලකිල්ල? 
මේ ඇතිවෙලා තියෙන අර්බුදකාරී තත්ත්වය ගැන කතා බහ කරද්දී මම ජනාධිපතිතුමාගෙන් ඇහුවා අපි එකතුවෙලා ගමන යනවා නේද, අපි එක්ක තරහ නෑ නේද කියලා. එතකොට එතුමා කිව්වෙ තරහවෙන්න හේතුවක් නෑ කියලා. ඒ එක්කම එතුමා කිව්වා ඉදිරියට මොකක්ද කරන්නේ කියලා තීරණය කරන්න එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කැබිනට් ඇමැතිවරුයි අගමැතිතුමයි එක්ක විශේෂ සාකච්ඡාවක් කරනවා ඒකට රන්ජනුත් එන්න කියලා. ඒ ආරාධනාවට තමයි මම ගියේ. අගමැතිතුමත් මට යද්දී අඬගැහුවා. මලික් සමරවික්‍රම පක්ෂ සභාපතිතුමා මට ජනාධිපතිතුමා ආරාධනා කරපු බවක් දැනගෙන නොහිටපු නිසා කිව්වා මේක කැබිනට් ඇමැතිවරුන්ගේ සාකච්ඡාවක්. රන්ජන් මොකටද ආවේ කියලා. ඒ වෙලාවෙ අගමැතිතුමා කිව්වා රන්ජන් එන්නේ ජනාධිපතිතුමාගෙ ඉල්ලීමකට කියලා. 

 


රන්ජන් ඒ රැස්වීමේදී වෙලාවක් ඉල්ලගෙන යෝජනා මාලාවකුත් ඉදිරිපත් කළාලු නේද? 
ඔව්, මම ඇහුවා මට කියන්න දේවල් ටිකක් තියෙනවා. මම ඒවා ලියාගෙනත් ආවා. ඒකට අවස්ථාවක් දෙනවද කියලා. ඒකට මට අවස්ථාව ලැබුණා. මම මගේ අදහස ප්‍රකාශ කළා. මම මගේ යෝජනා ඉදිරිපත් කරන්න පටන් ගත්තෙම මේවා කිව්වට පස්සේ තියෙන නියෝජ්‍ය ඇමැතිකමත් නැතිවෙයිද දන්නෙ නෑ කියලා. මම යෝජනා විදියට ඉදිරිපත් කළේ රජයේ සේවකයින්ට දීපු සහන කප්පාදු නොකර ඉදිරියේදී දෙන්න ඕනෑ කියන එකත්, ඇමැතිවරු සැප වාහන ගත්තු එකෙන් ජනතාව ආණ්ඩුව එක්ක කේන්තියෙන් ඉන්න නිසා ඒ ගැන නැවත හිතල කටයුතු කළ යුතු බවත් අල්ලස් කොමිසමේ දිල්රුක්ෂි ඩයස් නැවත පත්කළ යුතු බවත් දැනට සිදුකෙරෙන වංචා, දූෂණ පරීක්ෂණවලට දේශපාලන ඇමැතුම් දීලා බලපෑම් නොකළ යුතු බවත්, පොහොර සහනාධාරය ඇතුළු අත්‍යවශ්‍ය සහනාධාර ජනතාවට නිසි පරිදි ලබා දිය යුතු බවත් වගේ කාරණා. 


අවසාන වශයෙන් මම කිව්වේ ජනාධිපතිතුමා කියපු ආකාරයටම නිර්පාක්ෂිකව වෙන්න කියලා. ඒකට නම් ජනාධිපතිතුමාට ටිකක් තරහ ගිය. එතුමා කිව්වෙ මම එහෙම නොකළ නම් ආණ්ඩු මේ විදියටවත් අරගෙන එන්න හම්බවෙන්නේ නෑ කියලා. එතකොට මම කිව්වා එහෙනම් මම ඒ මගේ යෝජනාව ඉල්ලා අස්කර ගන්නවා කියලා. එතුමට පේන්නම මම ඒක කපා හරියා. 

 


අගමැතිකම තමයි මේ දවස්වල ලොකුම මාතෘකාව. මොකක් වෙයිද අගමැතිකමට? 
පක්ෂ කීපයක් එකතුවෙලා හදපු ආණ්ඩුවක්නෙ මේක. විවිධ අදහස් තියෙනවා. විවිධ යෝජනා එනවා. මේ ඡන්ද ප්‍රතිඵලය අගමැතිකම වෙනස් කරන එකක් නොවෙයි. මගේ පුද්ගලික අදහස අගමැතිකමේ වෙනසක් වෙන්න අවශ්‍ය නෑ. මේ යන විදියට ආණ්ඩුව ඉදිරියට යා යුතුයි කියන එක. 

 


රනිල් වික්‍රමසිංහට පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙන්න කියලත් පක්ෂයෙන් අදහසක් එනවා මේ අස්සේ? 
ඔය ව​ෙග් අදහස් මේ වගේ ඡන්දවලින් පස්සේ එදත් කරළියට ආවා. ඒත් පක්ෂය අස්ථාවර වෙන තැනකට ගේන්න බෑ. මේ වෙලාවෙ ආණ්ඩුව ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන එකයි ප්‍රධාන මාතෘකාව විය යුත්තේ. දෙවැනි පෙළ නායකත්වය පිළිබඳව පක්ෂය අවධානය යොමුකරන්න ඕනෑ. ඒත් පක්ෂ නායකත්වයේ වෙනසක් මේ මොහොතේ හදිසියට නොවිය යුතුයි. එහෙම වුණොත් මේ තියෙන තත්ත්වය කළමනාකරණය කරගැනීම තවත් අර්බුදයකට යන්න පුළුවන්. 


ඡන්ද ප්‍රතිඵලය ගැන යූඑන්පී එකේ ප්‍රධානියෝ කට අරින්න කලින් ඔබ මාධ්‍යයට ප්‍රකාශ කළා ජනාධිපතිතුමයි අගමැතිතුමයි භීතියට පත් කරන උත්තරයක් තමයි මහින්ද රාජපක්ෂ දීලා තියෙන්නේ කියලා. 


මම හැමදාම තිත්ත ඇත්ත කතා කරපු කෙනෙක්. මම කවුරුවත් සතුටු කරන්න කියලා බොරු කියන කෙනෙක් නෙවෙයි. මේ ඡන්ද ප්‍රතිඵලයෙන් මහින්ද රාජපක්ෂ කියන්නේ මොන චෝදනා කළත් තාම එයා එළියේ ඉඳන් වැඩේ දෙනවා කියලා. සතුරාගේ වුණත් දක්ෂතා ගැන සඳහන් කරන්න මම පැකිළෙන්නේ නෑ. අපේ පක්ෂයට ඇත්තටම බැසිල් රාජපක්ෂ වගේ මොළකාරයෙක් නෑ. ඔහුගේ ක්‍රියාවේ හොඳ නරකද කියන එක වෙනම දෙයක්. ඒත් බැසිල් රාජපක්ෂ එයාගේ පක්ෂය කෙටි කාලයකින් උඩට ගත්තා. බැසිල්ලගෙ මල්වානේ ගෙවල් ගැන මට විරෝධයක් තියෙනවා. සීයට දහයෙ කොමිස් ගැන විරෝධයක් තියෙනවා. ඒත් ඡන්ද මෙහෙයුම කරපු ආකාරය වෙන පක්ෂවලටත් පාඩම් ඉගෙන ගන්න පුළුවන්. අපේ පක්ෂයේ අඩුපාඩු අපි තේරුම් ගන්න ඕනනේ. සතුරාගෙන් හෝ පාඩම් ඉගෙන ගැනීම නරක දෙයක් නෙවෙයි. මේ හරහා තමයි මහින්ද ඡන්දෙදි එළියෙ වීරයා වෙන්නෙ. මේ ඡන්ද ප්‍රතිඵලය මහින්දගෙ විතරක්ම විශ්මයක් නෙවෙයි. මහින්ද ප්‍රදර්ශනාත්මක රංගන ශිල්පියෙක් විදියට එතුමගෙ රඟපෑමත් ඉහළින්ම කරනවා. මේ සියල්ලේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ ඡන්ද ප්‍රතිඵලය ලැබෙන්නේ. ඒක ජනාධිපති සහ අගමැතිවරයා භීතියට පත් කරන ප්‍රතිඵලයක් කියලා මම කිව්වේ ඒකයි. 

 


රාජපක්ෂ ආණ්ඩුව කාලේ උද්ඝෝෂණය කළාම වෙඩි තිබ්බා. අද ඒකට මිනිස්සු කැමැත්ත පළ කරලා. ඒ තරම්වත් ජනතාවට කැමැති දෙයක් මේ අවුරුදු තුනට මේ ආණ්ඩුවට කරගන්න බැරිවෙලාද එතකොට? 
ඔන්න ඔය ප්‍රශ්නෙට තමයි මටත් තාම උත්තරයක් හොයා ගන්න බැරි වුණේ. සුදු වෑන්වලට ජනතාව කැමැතියි. මාධ්‍යවේදීන් මරණවට ජනතාව කැමැතියි. වතුර ඉල්ලුවම වෙඩි තියන එකට ජනතාව කැමැතියි. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදයට, මාධ්‍ය නිදහසට, තොරතුරු දැනගැනීමට, බයනැතුව ජීවත්වෙන්න ජනතාව අකමැතියි. පුදුම ජනතාවක්. බැසිල්ගෙ මල්වානෙ ගෙදර තියෙන තැනත් පොහොට්ටුව දිනවනවා. මේක පුදුම දෙයක්. 

 


ඔබලා එදා වේදිකාවල සද්දෙට කියපු චෝදනා ඔප්පු කරගන්න බැරුව දඟලන අතරෙ රාජපක්ෂලා ගේම ගැහුව නේද? 
මේ පරීක්ෂණ සිදුවෙන ක්‍රමවේදයක් තියෙනවා. රාජපක්ෂලා කළා වගේ නඩු අහලා මිනිස්සු ඇදගෙන ගිහින් හිරේ දාන්න බෑ. ඒ ටික නොකළ එක තමයි මේකට හේතුව. මේ පරීක්ෂණ පරක්කු වෙන්න වෙන්න හොරුන්ට වාසි වුණා. දැන් හොරු චැලේන්ජ් කරනවා හොරකම් අල්ලන්න කියලා. ඒ ප්‍රමාදය ලොකු පාඩුවක්. 

 


තියෙන තොරතුරු අනුව ආණ්ඩුවෙ ලොකු වෙනසක් වෙයිද නොවෙයිද? 
ඉදිරි පැය කීපය අතිශය තීරණාත්මකයි. දැඩි තීන්දු ගනීවි. සමහර ඒවා සංශෝධනය වේවි. ඒ ඒ තත්ත්වයන්ට අනුකූලව නම්‍යශීලී වෙන්න වේවි. ඒත් මේ ආණ්ඩුවෙ වෙනසක් වෙන්නේ නෑ කියල තමයි මට හිතෙන්නේ. 

 


ඇමැති මණ්ඩලේ වෙනසක් ගැන මේ සාකච්ඡාවල කතා වුණාද? 
ලොකුවට එහෙම කතා බහක් වුණේ නෑ. ඒත් යම් සංශෝධනයක් වෙන්න පුළුවන්. කැබිනට් මාධ්‍ය ප්‍රකාශකත් එවැනි දෙයක් සඳහන් කරලා තිබුණා. ඒ අනුව වෙනසක් වේවි. 

 


පළාත් පාලන ඡන්දය තියලා ප්‍රාදේශීය සභා පිහිටුවල ඒවයි වැඩ කරන එකනේ වෙන්න ඕනෑ. ඒත් දැන් ආණ්ඩුව වෙනස් කරන්නයි කට්ටිය දඟලන්නේ. නගර සභා, ප්‍රාදේශීය සභාවලට දැන් මොකද වෙන්නේ. ඒවයි වැඩ කෙරෙන්නේ කොහොමද? 
දැන් මූලිකවම කරන්න තියෙන දේ තමයි නගර සභා ප්‍රාදේශීය සභා පිහිටුවල ගමට නගරයට වැඩ කරන්න පටන් ගන්න එක. ඒත් වෙන මාතෘකාවක් තමයි දැන් කරළියට ගෙනල්ලා තියෙන්නේ. එකතුවෙලා හරි තනි තනිව හරි බලය පිහිටුවන්න පුළුවන් අය මේ තැන්වල බලය පිහිටුවල වැඩ කරන්න අද හෙටම පටන් ගන්න ඕනෑ. ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගෙත් අවධානය මේ ගැන ඉක්මනින් යොමුවේවි. ජාතික දේශපාලන ප්‍රවාහයේ චලනයත් සමහන් කරගන්න ඕනෑ. ඒකත් ප්‍රධාන ප්‍රශ්නයක් මේ වෙලාවේ. 

 


ඉස්සරහට වෙන්න නියමිත ඇමැති මණ්ඩල සංශෝධනයේදී රන්ජන්ටත් වාසියක් වෙයිද? ජනාධිපතිතුමා රන්ජන්ව කැබිනට් එකට ගන්නම් කිව්වා කියන්නේ ඇත්තද? 
මම එතුම​ගෙන් කීප සැරයක් ඉල්ලුවා මට වැඩ කරන්න පුළුවන් ඇමැතිකමක් දෙන්න කියලා. එතුමා කිව්ව ‘දෙනවා නම් මුලින්ම දෙන්නේ රන්ජන්ට තමයි කියලත්. බලමු ඉතිං. මම කිව්වා මට නීතිය හා සාමය නියෝජ්‍ය ඇමැතිකම දෙන්න කියලා. පක්ෂ භේදයකින් තොරව හොරු ටික මම අල්ලලා පෙන්නන්නම් කියලත් මම කිව්වා. මට දැන් තියෙන ඇමැතිකමෙන් කරන්න තියෙන්නේ කිහිලිකරු බෙදන්න, ඇස්කණ්ණාඩි බෙදන්න. වැඩිහිටි නිවාස බලන්න වගේ වැඩ. මේකට නියෝජ්‍ය ඇමැති කෙනෙක්ම අවශ්‍යත් නෑ. නිලධාරි පිරිසක් හිටිය නම් ඇති මේකට. මට විදේශ රැකියා නියෝජ්‍ය ඇමැතිකම හරි සංස්කෘතික කටයුතු වගේ එකක් ලැබුණ නම් ඊට හොඳයි. ඒවා මම දන්න විෂයන්. දැන් මම ඉල්ලන්නේ නීතිය හා සාමය. මේ හොරු ටික අල්ලලා ඉවරයක් කරන්න ඕනෑ ඉක්මනට. මේ ඇමැතිකමට මටත් වඩා සරත් ෆොන්සේකාට සුදුසුයි. මම​ ෆොන්සේකා මහත්තයට කිව්වා ඔබ මේක ඉල්ලන්න දෙන්නේ නැත්නම් අස්වෙනවා කියලා බලපෑම් කරන්න කියලා. එයා යුද්දෙ වෙන කෙනෙකුට ඉතුරු කරන්නේ නෑ කිව්ව වගේම ඉවර කළා. මේ හොරු අල්ලන වැඩෙත් එහෙම කරාවි. එතුමව මට පෙරයිද අරලියගහ මන්දිරේදී හම්බවුණු වෙලාවේ මේ ගැන අහද්දි කිව්වා මට දුන්නොත් හොරු ටික මාසෙන් අල්ලලා ඉවර කරනවා කියලා. අපි දෙන්නට මේක දුන්නොත් අම්මපා මේක ඉවරයක් කරලම තමයි පස්ස බලන්නේ. ගොඩක් අය මේකට තරහ වෙයි. විවේචන එයි. ඒත් මේ හොරු ඇල්ලීම තවත් ප්‍රමාද කළොත් අපි ඔක්කොම තවත් අමාරුවෙ වැටෙනවා. 

 

 -ප්‍රියන්ත කොඩිප්පිලි