කෝප් කමිටුව දුර්වල කරන්න අවශ්‍යතාව ඇත්තේ හොරුන්ට


වර්තමාන දේශපාලන වටපිටාව පිළිබඳ මේ සාකච්ඡාව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සමඟයි.  


කෝප් කමිටුවෙ අලුත්ම තත්ත්වය මොකක්ද?  
අපි කෝප් කමිටුව වාර්තා කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. අපිත් බලාගෙන ඉන්නේ ඒවට මොකද වෙන්නේ කියලා. යහපාලන බෝඩ් එක දාගෙන ඉන්න මේ ආණ්ඩුවෙන් ඒවට ලැබෙන ප්‍රතිචාරය දිහා තමයි අපි අවධානයෙන් ඉන්නේ.  


එන්න නියමිත අලුත් කෝප් කමිටු වාර්තා මොනවද?  

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියටම අදාළ එක වාර්තාවක් එන්න නියමිතයි. විශ්වවිද්‍යාල පද්ධතියටම බලපාන කරුණු මේකෙ ඇතුළත්.  


කෝප් කමිටුවෙ සභාපතිකම ඔබෙන් ගැලවෙන්න යනවා කියලා කියැවෙන කතාවෙ ඇත්තක් තියෙනවද?  
ඒ ගැන ප්‍රශ්නයක් නෑ. මමත් දැක්කා සමර මාධ්‍යවල පලවෙලා තියෙනවා. මාව කෝප් කමිටු සභාපතිකමෙන් අයින් කරන්න හදනවා කියලා. මාව සභාපතිකමෙන් අයින් කරන්න ඕන කමක් තියෙනව නම් තියෙන්නෙ හොරුන්ට. හැබැයි මාව මේකට පත් කළේ එක පක්ෂයකින් හෝ තනි පුද්ගලයෙකුගෙ ඕන කමකට එහෙම නොවෙයි. පාර්ලිමේන්තුවෙ සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවෙන් තමයි ඒක සිද්ධ වුණේ. එහෙම නම් මාව මෙතනින් ඉවත් කරන්නත් ඒ හැම දෙනාගෙම එකඟතාව අවශ්‍යයි. අපි බලමු මොකද වෙන්නේ කියලා. කෝප් කමිටුව කියන්නේ හොරකම්, දූෂණය හෙළිදරව් කරන තැනක්. මේක දුර්වල කරන්න අවශ්‍යතාවය ඇත්තේ හොරුන්ට.  


සයිටම් ප්‍රශ්නය කෙළවර වුණු විදිය ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?  
ඇත්තටම යම් දුරකට සතුටු වෙන්න පුළුවන්. ඒත් සෑහීමකට පත්වෙන්න බැහැ. විවිධ වෙනස් මත සහිත කණ්ඩායම් ​රැසක් එකට එකතු වෙලා මහජන බලය පෙන්නලා තියෙනවා. ආණ්‍ඩුවෙ ඇමැතිවරු සයිටම් වහන්නෙම නෑ කියලා වහසි බස් දොඩවද්දි තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඉතිං මේ ගැන අපි සතුටු වෙන්න ඕනෑ. ජනබලය ජය ගැන්ම ගැන සතුටක් තිබුණත් මේ විසඳුමෙන් සෑහීමකට පත්වෙන්න බෑ. සයිටම් අහෝසි වෙලා තියෙනවා. ඒත් ආණ්‍ඩුවෙ දේශපාලන වුවමනාව පරාජය​ වෙලා නෑ. සයිටම් මුදලාලිත්, සයිටම් මුදලාලි ආරක්ෂා කරපු රාජිත, කිරිඇල්ල, එස්.බී. පරාදවෙලා තියෙනවා.  


ඒ අය මේක අතහරියි කියලද හිතන්නේ.  
අතඅරින එකක් නෑ. ආණ්ඩුවෙ අධ්‍යාපනය විකිණීමේ වුවමනාව එහෙම ලේසියෙන් ඒ අය අතඅරින එකක් නෑ. හැබැයි ඒ අය පළමු වටයේ පරාදයි. ඒ අය දෙවන වටයේ මේක ගෙනාවත් පරාද වෙනවා. දැන් රාජිත, කිරිඇල්ල, එස්.බී. වගේ අයට තියෙන්නේ ඒ අයගෙ අභිමානය බිඳවැටීම පිළිබඳ ප්‍රශ්නයක්.  


ඔබ මේකට සතුටු වුණත් සෑහීමකට පත්වෙන්නේනෑ කියලනෙ කියන්නේ. මොකෙන්ද සෑහීමකට පත්වෙන්නේ.  
අපේ රටේ ඉතිහාසය පුරාම අරගලවලින් ආරක්ෂා කරගත්තු         අධ්‍යාපන අයිතියක් තියෙනවා. ඒ අධ්‍යාපන අයිතිය ආරක්ෂාවීම තමයි සෑහීමකට පත්වෙන තැන. අධ්‍යාපනය කියන්නේ විකුණන්න පුළුවන් දෙයක් නොවෙයි.  


අයවැයකුත් ආවා. දෙගොල්ලො දෙපැත්තට හොඳ නරක කියාගන්නවා. ඇත්තටම තක්සේරුව මොකක්ද?  
දැන් අය වැය කියන්නේ රටේ ජනතාවගේ දෙයක් නොවෙයි. ඒ නිසා අයවැය කියන දේ ගැන රටේ මිනිසුන්ට විශ්වාසයකුත් නෑ. වුවමනාවකුත් නෑ. හේතුව ආණ්‍ඩුව අයවැයට කලින් බඩු මිල අඩු කරනවා. අයවැයට පස්සේ අඩු කරපු මිල වැඩි කරනවා. ආණ්‍ඩුවෙ බොහෝ ක්‍රියාවලි දැන් අයවැයත් එක්ක සම්බන්ධ නෑ. මේ අයවැයෙන් එක පණිවුඩයක් පැහැදිලිවම දීලා තියෙනවා. 78 ඒ අය පටන්ගත්තු විකිණීම පසුගිය කාලයේ ටිකක් මන්දගාමී වුණා. නැවත ඒක ශීඝ්‍රගාමී වෙලා තියෙනවා. විවෘත ආර්ථිකය වේගවත්කර ඉදිරියට යන එක තමයි මේ අයවැයේ අරමුණ. ඉතාම වේගයෙන් පුද්ගලීකරණය කියන ගියර් එක ආණ්‍ඩුව මාරු කරනවා.  


හැබැයි බොහෝ දෙනා කියනවනේ මංගලගෙ මංගල අය වැය ප්‍රගතිශීලීයි කියලා. අයවැයේ හොඳක් ​ෙජ්.වී.පී. එකට පේන්නෙම නැද්ද?  
අපිට නම් පේන්නේ මංගලගේ මංගල අය වැය ආර්ථිකයේ අවමංගල්‍යයක් විදියටයි. කොයි පැත්තකින්වත් රටේ ආර්ථීකයට නම් මේකෙන් ගැලවිල්ලක් නෑ.  


ඒ කියන්නේ ඔබට මේකෙ නීල හරිත බවක් පේන්නෙම නෑ.  


නිල හරිත අය වැයක් ගේන්න බෑ නීල හොරුත් එක්ක. හැමදාම තියෙන සමහර යෝජනා තියෙනවා. මේ අය වැයෙන් ඒවා පොතට සීමා වෙනවා. ඒවා හැමදාම සැරසිල්ලට දාන ඒවා.  


ඔබ කියන්නේ අනවශ්‍ය කැටයම් නම් තියෙනවා කියලද?  
හරියට හරි. කැටයම් ඕන තරම් තියෙනවා. ඒත් ඒවායින් රටට සෙතක් නෑ. ඒවා ලියවිල්ල හැඩ කරන්න දාපු කැටයම් විතරයි. ඒවා කෙරෙනකම් ෂුවර් එකක් නෑ. පසුගිය අය වැයෙනුත් ඔය වගේ දේවල්වලට වෙන් කරපු මුදල වියදම් කරල නෑ. පාසල් ශිෂ්‍යයන්ට ටැබ් දෙනවා කිව්වා. කෝ දුන්නද. පත්තරවල හෙඩ්ලයින් පිරුණා විතරයි. ස්මාටර්ට් ක්ලාස් රූම් දෙනවා කිව්වා. කෝ දුන්නාද? තව එක උදාහරණයක් කියන්නම්. පහුගිය අය වැයෙන් විශාල මුදලක් වෙන් කළා මන්නාරමෙන් මුහුදු කූඩැල්ලො රට යවන ව්‍යාපෘතියට. ඒක කෙරුණෙ නෑ. එක කූඩැල්ලෙක් රට යැව්වෙ නෑ. එහෙම තියෙද්දි මේ අවුරුද්දෙත් කිලිනොච්චියෙන් කූඩැල්ලො යවන්න මුදලක් වෙන් කරලා. ගිය අවුරුද්දේ ප්‍රගතිය බලලනේ මේ අවුරුද්දේ මුදල් වෙන් කරන්න ඕන. ආර්ථිකය ගොඩගන්න ඇත්ත විසඳුම් සොයන්​ෙන නැතුව බොරැ කැටයම් දාලා වැඩක් නෑ.  


මේ අය වැයේ තියෙන්නේ අතීසාරෙට අමුඩ ගහනවා වගේ දේවල්. සීනි හොඳ නෑ කියලා බියර් මිල අඩු කරනවා. සීනි හොඳ නෑ කියලා පැණි බීම නොබී හැමෝම බියර් බොන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ. මේක මංගල මහත්තයලගෙ සංස්කෘතියට අනුව හරි ඇති. ඒත් අපේ රට මංගල මහත්තයලා නිවාඩුවකට යන රටවල් වගේ ඒවා නොවෙයි. මේක ශ්‍රී ලංකාව.  


දැන් ඔන්න ඉල්ල ඉල්ල ඉඳපු ඡන්දෙ හම්බවෙලා තියෙනවා. ඡන්දෙට සූදානම්ද?  
අපි හොඳටම සුදානම්. අපි අනිත් අය වගේ බයේ දඟලන්නේ නෑ. ඡන්දෙ ඉල්ලලා කෑගහපු සමහරු දැන් බයවෙලා දඟලනවා. ඡන්දෙ කල් දානවා කියලා බෙරිහන් දීපු ඒකාබද්දෙ මහත්තුරැ දැන් සද්ද නෑ. අද යූ.එන්.පීයත් ඡන්දෙට ඒ තරම් කැමැත්තක් නෑ. මෛත්‍රීපාල මහත්තයලත් බලන්නෙ පුළුවන්නම් මේක කල්දාන්න. අපි නම් හිතන්නේ ඡන්දය ලබා ගැනීම ජයග්‍රහණයක්. දැන් මනාප ක්‍රමය නැති ඡන්ද ක්‍රමයක් එන්නේ. කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරයෙක් පත්කරගන්න පුළුවන්. දූෂණයට, හොරකමට මගපාදන මැතිවරණ ක්‍රමයට වඩා මේක රටට හිතකරයි. දූෂණයෙන් තොර සැබෑ මහජන නියෝජිතයෙක් දැන් ගමෙන් තෝර ගමු.  


ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද සැලසුම් එහෙම කොයි වගේද?  
අපේ අපේක්ෂකයෝ සියලු දෙනා සූදානම්. ගම් මට්ටමේ මැතිවරණ ක්‍රියාදාමයට අපි සූදානම්. අපි කලින් ඉඳලම මේකට සූදානම් වුණා. මැතිවරණ මෙහෙයුම් යාන්ත්‍රණයක් සකස කරලා තියෙන්නේ. අපි හැම ගමකම දිරිය පුරවැසි සමිති හදලා තියෙන්නේ. ඒවාගේ අපි වැඩ ගොඩක් මේ වෙනකොට කරලා තියෙනවා. අපි හැමදාම ගමත් එක්ක දේශපාලනය කරන පක්ෂයක්.  


ඔය මොනවා කිව්වත් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවෙන් එහාට යන්න ජේ.වී.පී. එකට බැරිවුණානේ. ඉදිරි මැතිවරණයේදී ප්‍රාදේශීය සභා දෙක තුනකවත් බලය ගන්න පුළුවන් කියලා හිතනවද?  
දෙක තුනක් නොවෙයි බො​හොමයක් ජයග්‍රහණය කරනවා. මොකද මේ මැතිවරණය කාටත් අලුත් එකක්. මේකෙ තියෙන විශේෂත්වය තමයි මේකෙදි සල්ලි බලයෙන් දිනන්න තියෙන ඉඩකඩ අඩු වීම. ප්‍රාදේශීය සභාව පුරාම සල්ලි විසි කර කර දුවලා දිනන ක්‍රමයක් නෙවෙයි මේක. ඒක නිසා අපිට පැහැදිලියි මේ ඡන්දයෙදි අපිට වැඩි ඉඩක් තියෙනවා ජයග්‍රහණයට.  


ඡන්දෙකට කලින් හැම දෙනාම කියන්නේ තම තමන් දිනනවා කියලා. ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම් බලන්න එන පිරිස ඔක්කොම මේ සැරේවත් ජවිපෙට ඡන්දෙ දෙයිද?  
ඕක මීට කලින් සිදුවෙච්ච දේනේ. මේක අලුත් තත්ත්වයක්. ජනතා විමුක්ති පෙරමුණ සහභාගි වන මේ ආකාරයට ඡන්දයක් පැවැත්වෙන පළමු වතාව මේකනේ. කලින් මැතිවරණවලදී අපි මුහුණදීපු ප්‍රායෝගික ප්‍රශ්න තිබුණනේ. ඒවයිදි අනිත් පක්ෂවල අය මනාප පොරයට ගියා. අපි එහෙම ගියේ නෑ. එතැනදි අපිට අසමානතාවකට මුහුණ දෙන්න වුණා. මේ මැතිවරණයේදී එහෙම ප්‍රශ්නයක් නෑ.  


මේ මැතිවරණ ක්‍රමයේ වැඩිම වාසිය ජේ.වී.පී. එකට කියලද කියෙන්නේ.  


පැහැදිලිවම ඔව්. ඒකෙ දෙකක් නෑ. අපිට තමයි වාසිය. මෙච්චර කල් මනාප පොරේට දුවපු අයට මොකද වෙන්නේ කියලා බලමුකො.  


පසුගිය දවසෙ ඔබ පිරිස් ඉල් මහ සැමරුම සැමරුවා. ඒකෙදි වගේම ඊට කලින් හැම වතාවකදීම ඔබ පිරිස් ඉල්ලන දෙයක් තමයි ඔබේ නායක රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු ඝාතනය කෙරුණු අයට සාධාරණයක්. මේක තව කොච්චර කල් ඉල්ලන්න වෙයිද?  
අපිට විශ්වාසයි අපේ රටේ ජනතාව තව වැඩිකල් අපිට මේ කතාව කියන්න ඉඩදෙන එකක් නෑ. ජනතාව අපිව තේරුම් අරන් තියෙනවා. විජේවීර සහෝදරයාම කියපු විදිහට ඊයෙ අපිට ඇහුම්කන් දුන්නෙ නැති මිනිස්සු අද අපිට ඇහුම්කන් දේවි. අද අපිට ඇහුම්කන් දෙන්නෙ නැති මිනිස්සු හෙට අපිට ඇහුම්කන් දේවි. ඒක නිසා අපි වේලාසන නැගිටින්න ඕනෑ. වේලාසන වැඩ කරන්න ඕනෑ. අපි වේලාසන අවදිවෙලා ඉන්නකොට ප්‍රමාදවෙන අය නැගිට්ටන්න ලේසියි.  
මොකක්ද ඔබ ඔය ඉල්ලන සාධාරණය.  


එදා අපි චේගුවේරා කාරයෝ. පස්සේ අපිට කිව්වෙ හැමදේටම කෑ ගහන අය කියලා. අපිට කෑගැහුවට බලය අරගෙන වැඩ කරන්න බෑ කිව්වා. රට පාලනය කරන්න පුළුවන් යූ.එන්.පී., ශ්‍රීලංකා පක්ෂ දෙකට විතරයි කිව්වා. එහෙමනේ මිනිස්සු හිතුවෙ. ඒ කතා ඔක්කොම බොරු වෙලානේ. අපි අමාත්‍යාංශ කීපයක් කරලා පෙන්නලා තියෙනවා. අපි දේශපාලන ආදර්ශ දීලා තියෙනවා. ජනතාව අපට තාම පූර්ණ බලයක් නොදීපු බව ඇත්ත. ඒත් අපි කියපු දේවල් කරපු දේවල් වල අසාධරණයක් තියෙනවද?  


රෝහණ විජේවීරට සාධාරණය ඉටු වෙන්නේ ජේ.වී.පී. එකට බලය දුන්නමද?  
පාලන බලය ලබා ගැනීමත් ඉලක්කයක් තමයි. ඒත් අපේ අරමුණ සමාජවාදය ගොඩනැගීම. විජේවීර සහෝදරයාගෙත් අරමුණ ඒක. ඔවුන් අරගල කළෙත් ඒ වෙනුවෙන්. ඔවුන්ගෙ ජීවිත කැප කළෙත් ඒකට. අපේ ඉලක්කයත්, අරමුණත් අපි වෙනස් කරලා නෑ. සමාජවාදයට යන්න නම් රාජ්‍ය බලය ගන්න ඕන.

සාකච්ඡාව - ප්‍රියන්ත කොඩිප්පිලි