කොවිඩ් වසංගතය ඒ අයට වෙස්වළාගත් ආශිර්වාදයක් වෙලා


ජනතා විමුක්ති පෙරමුණේ නායක ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක   

 

කාලීන දේශපාලනය පිළිබඳව මේ කරුණු දැක්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගෙනි.   

  • රුපියල් පන්ද‌ාහෙන් සාමාන්‍ය පවුලක ජීවන පැවැත්ම ගෙනියන්න පුළුවන් කියල හිතන ඇමැතිවරු නම් ඉන්නේ ඒ වගේ ආණ්ඩුවක් ගැන තවත් කවර කතා ද?
  • මේ අයට දඬුවම් දීලා හිරේ දාන්න මට බලයක් තිබුණා නම් අද ආණ්ඩු පක්ෂෙ ගොඩක් අය පාර්ලිමේන්තුවෙ නෙවෙයි හිරේ ඉන්නේ. 
 
වර්තමාන ආණ්ඩුවේ වසරක ප්‍රගතිය ඔබට අනුව කොයි වගේද?   
 
ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ ඡන්ද කැම්පේන් එක කළේම තමන් සාම්ප්‍රද‌ායික දේශපාලකයෙක් නොවන රට ගොඩනැගීම එකම අරමුණ කරගත් පුද්ගලයෙක් විදියට හඳුන්වාදෙමින්. අනිත් අයත් ඔහුව ස්ථානගත කළේ එහෙම. හැබැයි මේ අවුරුද්ද ගත වෙනකොට ඔහු සාම්ප්‍රද‌ායික දේශපාලකයෙක් බවත් ඒ වගේම දුර්වලම නායකයෙක් බවත් තහවුරු කරල අවසන්. ඔහු රාජ්‍ය පාලනයේදී අතිශය අසාර්ථකයි. ඔහුට ඒ පිළිබඳව අවබෝධයන් නැති බව මේ අවුරුද්ද තුළ සිදුවීම් ගණනාවකින් ඔප්පුවෙලා තියෙනවා. අමාත්‍ය මණ්ඩලය පත් කරද්දී ඔහු ප්‍රකාශ කළේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් හදනව කියලා. ඒ සඳහා ඇමති මණ්ඩලය නම් කරන්නත් කලින් විෂයයන් ගැසට් කරනවා කිව්වා. ඒත් සැප්තැම්බර් මාසේ වෙනකොට තව ගැසට් එකකින් ඒ විෂයන් මාරු කළා. ඊට පස්සේ නොවැම්බර් මාසෙ විෂය මාරුකරමින් නැවත අමාත්‍යංශ මාරු කළා. පසුගියද‌ා අමාත්‍යංශ මාරු කරලා නව අමාත්‍යාංශ හැදුවා. අලුත් කැබිනට් ඇමතිවරයෙක් පත් කළා. ඒකෙන් පෙන්නුම් කරන්නේ එකිනෙකා සතුටු කිරීමත් තමන් අතට බලය ගැනීමේ අරමුණත් පමණක් ඔහුට තියෙන බව. 
 
ඒ වගේම පාර්ලිමේන්තුවේ අයවැයත් ඉදිරිපත්වෙලා අමාත්‍යංශවලට මුදල් වෙන්කොට තියෙන වෙලාවේ ඔහු අලුත් අමාත්‍යංශ ගොඩනගනවා. ඒ නිසා මේ අයවැය ලේඛනයත් වලංගු නැති සාධනයක් බවට පත්වෙලා තියෙනවා. මොකද අලුතෙන් ගොඩනගන අමාත්‍යංශවලට මේ අයවැයෙන් මුදල් වෙන්කරල නෑ. මේකෙන් පෙන්නුම් කරන්නේ වෙන මොකුත් නෙවෙයි, මේ පිළිබඳව ජනාධිපතිට තියෙන අනවබෝධය. ඒ වගේම ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීමත් මේ වගේ. ඒවට පත් කරපු සමහර සාමාජිකයෝ ආණ්ඩුවත් එක්ක බිස්නස් කරන බිස්නස්කාරයෝ. මේව උගත් බුද්ධිමත් රාජ්‍ය පාලකයෙක් කරන වැඩ නොවෙයි. තමන්ගේ මිතුරු කල්ලි සතුටු කිරීමට කටයුතු කිරීමක්. රටේ නීති රෙගුලාසි තමන්ට අද‌ාළ නෑ කියල හිතල තමයි ඔහු වැඩ කටයුතු කරන්නේ. මේ වගේ උද‌ාහරණ ඕනෑ තරම් දෙන්න පුළුවන්. මේක අපි විතරක් කියන දෙයක් නෙවෙයි. මේ ආණ්ඩුව බලයට පත් කරන්න විශාල ලෙස මතවාද හදපු බොහෝ කණ්ඩායම් මේ වෙද්දි ආණ්ඩුවේ මේ ක්‍රියා කලාපය විවේචනය කරනවා. අද ඔහුගේ අසාර්ථකභාවය ගැන දිනෙන් දින ප්‍රකාශ කරන්නේ ඔහු බලයට ගෙනාපු අය.   
 
ඔබ අයවැය ගැනත් මතක් කළා. ආණ්ඩුව හැමද‌ාම වගේ කියන්නේ තමන් ඉදිරිපත් කෙරුවෙ හොඳම අයවැය කියලා. විපක්ෂය කියන්නේ නරකම අයවැයක් කියල. මේ අයවැය කොහොමද?   
 
මේ ඉදිරිපත් වුණේ අපේ රටේ හැත්තෑපස් වැනි අයවැය ලේඛනය. මේ අවුරුදු හැත්තෑ පහම හැම ආණ්ඩුවක්ම කිව්වෙ අපේ රට සුඛිත මුදිත කරනවා කියලා. මතක් කරලා බලන්න හැම අයවැය ලේඛනයක් ඉදිරිපත් කරද්දිම කියපු දේවල්. ඒ කියපු විදියට රට ඉදිරියට ගියානම් අද කොයි වගේ තැනක තියෙන්න ඕනෑ ද? ඒ කියපු ගොඩක් දේවල් බොරු.   
 
මේ අයවැයත් ඒ වගේම එකක්. අද අපි ගෙවා ගන්න බැරි ණය උගුලක හිරවෙලා ඉන්නේ. ගිය අවුරුද්දේ අපේ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 13.3 යි. ලබන අවුරුද්ද වෙද්දි අපේ ණය රුපියල් ට්‍රිලියන 18 කට ආසන්න වෙනවා. මේ අවුරුදු දෙක ඇතුළත ඔවුන් රට ණය කරපු ප්‍රමාණය කොයි තරම් ද? මේ අයගේ එකම අභිප්‍රාය ණය අරගෙන වියදම් කිරීම. ණය පොලී වාරිකය ගෙවන්නත් අපිට ණය ගන්න සිද්ධවෙලා තියෙන්නේ. අනිත් සියලු වියදම් ණය අරගෙන කරන්න වෙලා. ඒක තමයි මේ අයගෙ ආර්ථික ගමනේ ශේෂ පත්‍රය. සියලු දර්ශනවලින් අද පෙන්නුම් කරන්නේ අපි ආර්ථික අතින් අසීරුම අඩියක ඉන්න බව. මේ ආණ්ඩුව අද දුවන්නේ බැංකු අයිරාවලින්. 2020 අවුරුද්දේ රාජ්‍ය ආයතනවල පාඩුව කෝටි දොළොස්දාහක්. වසරකට කෝටි දාහක පාඩුවක් ලබනවා රාජ්‍ය ආයතන. මේවා වෙනස් කරන්න මේ ආණ්ඩුවට කිසිම සැලැස්මක් නෑ. ඒ වෙනුවට තමන්ගේ හිතවාදීන් මේ ආයතනවලට පත්කරලා මේවා තවදුරටත් විනාශ කරන එක තමයි කරන්නේ. ඒ නිසා මේ අයවැය ලේඛනයත් මීට පෙර ඉදිරිපත් කරපු අයවැය ලේඛනවලට වඩා කිසිම වෙනසක් නෑ.   
 
ආණ්ඩුවේ බැරි අමාරුකම්වලට දැන් ඒ අයට තියෙන එකම උත්තරේ කොරෝනා බව සමහරුන්ගේ මතය. මේ ගැන ඔබේ අදහස?   
 
ඔබට මතක ඇති 1980 දශකයේ ඉඳන් 2009 වෙනකම් හැම දේකටම කිව්වෙ යුද්දය, යුද්දය කියලා. රට ගොඩනගන්න බැරි යුද්දය නිසා කියල තමයි එද‌ා ආණ්ඩු කිව්වේ. නමුත් දැන් යුද්දය අවසන් වෙලා දශකයක්. අවුරුදු පහ ගාණෙ මේ දෙගොල්ලො ආණ්ඩු කරල තියෙනවා. යුද්දයකුත් නැතුව ගොඩනැගුව ද රට? ඒ වගේම තමයි දැන් ඔබ කිව්ව වගේ කොවිඩ් වසංගතය ඒ අයට වෙස්වළාගත් ආශිර්වාදයක් වෙලා ප්‍රශ්නවලින් ලිස්සලා යන්න. ඔවුන්ගේ සමස්ත නොහැකියාව කොවිඩ්වලට යට කරලා බේරෙන්න හදන්නේ. රටක ආර්ථිකයක් ශක්තිමත් නම් මෙවැනි වයිරසයකින් ආර්ථිකයට බරපතළ හානි කරන්න බෑ. නමුත් අපේ ආර්ථිකය හරියට හිඟන්නගේ පාත්තරේ වගේ. දැන් කොවිඩ් කියන හෙනහුරා ඒකට පාත්වෙල. මේ ආර්ථික අර්බුදය කොවිඩ් නිසාම ඇති වුණු දෙයක් නෙවෙයි. එහෙනම් 2020 මුල් කාර්තුවට මොකද වුණේ? ජනවාරි පෙබරවාරි, මාර්තුවල කොවිඩ් තිබුණෙ නෑ. නමුත් ආර්ථික වර්ධන වේගය 1.7 දක්වා අඩු වුණේ මුල් කාර්තුවේ. ආනයන අපනයන පරතරය වැඩිවුණා මුල් කාර්තුවේ. වතු සේවකයන්ගේ වැටුප් වැඩිවීම තීන්දු කරලා තිබුණේ මාර්තු පළමු වැනිද‌ා. ඒ කොවිඩ්වලට පෙර. ඒක දෙන්න බැරි වුණා. විශ්‍රාමිකයන්ගේ දීමනාව දෙන්න තිබුණෙ ජනවාරිවල. ඒක දෙන්න බැරිවුණා. පොහොර හිඟය මතුවුණෙ පෙබරවාරිවල. ඒ නිසා ගෝඨාභයගේ පාලනයේ මුල් මාස තුනම කොවිඩ්වලට පෙරම අසාර්ථක බවට ඔප්පු කරලා තියෙනවා. කොවිඩ්වලින් ඒ අර්බුදය දැන් තීව්‍රවෙලා තියෙනවා. ඒ නිසාම පාලකයො දැන් තමන්ගේ අසමත්කම වහගන්න කොවිඩ් අස්සේ හැංගෙන්න හදනවා. අනිවාර්යෙන්ම ඊළඟ මැතිවරණයේ මේ අයගෙ සටන් පාඨය වෙන්නේ කොවිඩ් නිසා හදන්න බැරිවුණ රට හදන්න බලය දෙන්න කියන එක.   
 
ආණ්ඩුව කොරෝනා අර්බුදය කළමනාකරණය කරන විදිය ගැන සෑහීමකට පත්වෙන්නට බැරි ද?   
 
කොවිඩ් බලපෑම් කරපු ප්‍රධාන ධාරාවන් තුනක් තියෙනවා. එකක් වසංගතය. ඇත්තටම පළමු රැල්ලක් අපිට තිබුණේ නෑ. ඒක විදෙස්ගත වූ ශ්‍රී ලංකිකයන් හරහා ඒ පවුල් ආශ්‍රිතව පැතිරිලා තිබුණු එකක්. හැබැයි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් පටන් ගත්තු ව්‍යාප්තිය අද රට පුරා පැතිරිලා. වයිරසය පැතිරීම වැළැක්වීමේ දී ආණ්ඩුව අසාර්ථක වෙලා තියෙනවා. දැන් මේ සංඛ්‍යා දත්ත සැඟවීමත් පරීක්ෂණ සිදුකිරීමේ මන්දගාමීත්වයත් නිසා එය බරපතළ තැනක තියෙන්නේ. ආණ්ඩුව පෙන්නන දත්තවලට වඩා වැඩි රෝගය පැතිරීමක් තියෙන බව පේනවා මේ තත්ත්වය උඩ.   
 
ඒ වගේම තමයි කොවිඩ් නිසා බිඳවැටෙන ජන ජීවිතය නගාසිටුවීම. ඒක ඊට වඩා අසාර්ථක වෙලා. ආණ්ඩුව මේ ගැන නොතකා හැරපු මට්ටමක තියෙන්නේ. කොවිඩ් නිසා හුදකලා කරපු ප්‍රදේශවල අයට අද ඒ අයගෙ බඩගින්න උහුලගන්න බැරුව පාරට බැහැල උද්ඝෝෂණය කරන්න සිද්ධවෙලා තියෙනවා. ඒ අයට සහන සැලසූ විධිමත් වැඩපිළිවෙළක් නෑ. නීතිරීති ද‌ාල හිරකරලා තිබ්බට විතරක් වැඩක් නෑ ඒ අයගෙ බඩගින්න, සෞඛ්‍ය ප්‍රශ්න ගැනවත් බලන්නේ නැතුව. ආණ්ඩුව මුල ඉඳලම මේක අවුල් කරගත්තා. ජන ජීවිතය පවත්වාගෙන යන්න ආණ්ඩුවෙන් ගත් ක්‍රමවේදයක් නෑ. ඒ වගේම තමයි කොවිඩ් නිසා ආර්ථිකයට සිද්ධවෙන බලපෑම. ඒකත් ආණ්ඩුවට කළමනාකරණය කරන්න බැරිවෙලා තියෙනවා. කොවිඩ් නිසා මතුවෙන සියලු අර්බුදවලට සාර්ථකව මුහුණ දෙන්න ආණ්ඩුව අසමත්වෙලා තියෙනවා. ඒ වෙනුවට උද්ධච්ච කතා කියමින් කල් මරන එක තමයි ආණ්ඩුව කරන්නේ.   
 
ඔබ ඔහොම කිව්වට ආණ්ඩුවේ සමහර ඇමතිවරු කියන්නේ දීපු පන්ද‌ාහ සතියෙන් වියදම් කරගෙන මිනිස්සු බොරුවට පාරට බැහැල උද්ඝෝෂණය කරනවා කියලා. තවත් සමහර අමැතිවරු කියන්නේ විපක්ෂය ඒ ජනතාව කුලප්පු කරනවා කියලා.   
 
ම්ලේච්ච මනසක් තියෙන කෙනෙකුට ඇරෙන්න ඔය වගේ කතා වෙන කෙනෙකුට නම් කියන්න බෑ. බඩගින්න ඉවසගන්න බැරුව පාරට බැහැපු ජනතාව ගැන මේ ආණ්ඩුවෙ ඇමතිවරුන්ට තියෙන අදහස ඕක නම් ආණ්ඩුවේ ගමන ගැන පැහැදිලියි. රුපියල් පන්ද‌ාහෙන් සාමාන්‍ය පවුලක ජීවන පැවැත්ම ගෙනියන්න පුළුවන් කියල හිතන ඇමතිවරු නම් ඉන්නේ ඒ වගේ ආණ්ඩුවක් ගැන තවත් කවර කතා ද? ඔය ජාතියේ තුච්ච කතා කියන ඇමතිවරුන්ගේ ගෙවල්වල ලයිට් බිල මාසෙකට එක් ලක්ෂ විසිපන්ද‌ාහයි. මේ පාරට බැහැපු ජනතාව ඉල්ලුවෙ බඩගින්නට කෑම ටිකක්. දරුවෝ බඩගින්නෙ අඬද්දි බලාගෙන ඉන්න බැරි තැන ඒ මිනිස්සු පාරට බැස්සේ. විපක්ෂයට ඕන නෑ කවුරුවත් කුලප්පු කරන්න. මේ ආණ්ඩුවට එරෙහිව ජනතාව නැගිටින දවස වැඩි ඈතක නෑ. ඒක කරගන්නේ ආණ්ඩුවමයි.   
 
    ඇත්තටම කතානාකවරයා ගැන අපි කනගාටු වෙනවා. ඔහුට ඔහුගේම වූ ස්වාධීන චින්තනයක්, බලයක් නෑ. ඔහු රාජපක්ෂ බල ව්‍යුහයේ යටත්වැසියෙක්.
 
මේ තරම් සාහසික විදියට ආණ්ඩුවකට අසරණ වෙච්ච ජනතාව ගැන ක්‍රියා කරන්න පුළුවන් ද?   
 
ඔබ කලින් මතක් කළා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පුද්ගලයෝ පත් කිරීම පිළිබඳ. ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ විමසීමේදී කතානායකවරයා දැඩි ලෙස කියා සිටියේ විපක්ෂයට ඒ ගැන ප්‍රශ්න කරන්න අයිතියක් නෑ කියලා. කතානායකවරයාගේ භූමිකාව ගැන ඔබේ අදහස කොයි වගේ ද?   
 
ඇත්තටම කතානාකවරයා ගැන අපි කනගාටු වෙනවා. ඔහුට ඔහුගේම වූ ස්වාධීන චින්තනයක්, බලයක් නෑ. ඔහු රාජපක්ෂ බල ව්‍යුහයේ යටත්වැසියෙක්. ඒ නිසාම රාජපක්ෂ බල ව්‍යුහයෙන් ඇති වෙච්ච ගැටලුවක් මතුවෙන කොට ඒකට ඔහු උත්තර දෙන්න යනවා. ක්‍රීඩා ඇමති ගැන ප්‍රශ්නයක් අහද්දි ඔහු නාමල් රාජපක්ෂ වෙනුවෙන් උත්තර දෙනවා. ඔය කියන රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සාමාජිකයෝ පත් කළේ ගෝඨාභය රාජපක්ෂ. ඒක ප්‍රශ්න කරනකොට ඒක වළක්වනවා. ඒ නිසා ඔහු අද රාජපක්ෂ බල ව්‍යුහයේ යටත් වැසියෙක් වෙලා.   
 
ස්වාධීන කොමිෂන් සභා අමාත්‍යංශයක් යටතේ නෙවෙයි තියෙන්නේ. ඒ නිසා ඒවට මුදල් වෙන්කරලා දෙන්නේ සහ වගකියන්නේ පාර්ලිමේන්තුව. ඒ නිසා අනිත් හැම එකකටම වඩා ඒව ගැන ප්‍රශ්න කිරීමේ අයිතිය පාර්ලිමේන්තුවට තියෙනවා. එක්කෝ කතානායකවරයා ඒ බව දන්නෙ නෑ. එහෙම නැත්නම් එතුමා රාජපක්ෂ බල ව්‍යුහයේ යටත් වැසියෙක් නිසා ඇත්ත දැන දැන දැන් ඒ අයිතීන් කප්පාදු කරනවා. 
 
පසුගිය ආණ්ඩුව කාලේ විවිධ චෝදනාවලට ලක්වෙච්ච අය අද පෝලිමට නිදොස් කොට නිදහස් වෙනවා. ආණ්ඩුව කියන්නේ බොරු චෝදනා දැම්මට වැඩක් නෑ අධිකරණ තීන්දුවෙන් තමයි ඒ අය නිදහස් වෙන්නෙ කියලා. 
 
මේ අය හිරේ දාන්න ඔබත් අරලිය ගහ මන්දිරේ ඉඳන් සැලසුම් කළා කියලත් ඒ අය කියනවා. 
 
මේ අයට දඬුවම් දීලා හිරේ දාන්න මට බලයක් තිබුණා නම් අද ආණ්ඩු පක්ෂෙ ගොඩක් අය පාර්ලිමේන්තුවෙ නෙවෙයි හිරේ ඉන්නේ. ඔය දැන් කාලයක් තිස්සෙ ගහන අවලා ද ඒ අයට විරුද්ධව චෝදනා ගොනු කළේ අපි නෙවෙයි, නීතිපති දෙපාර්තමේන්තුව. දැන් ඔය පවරපු බොහෝ නඩු පවරද්දි නීතිපති විදිහට කටයුතු කළේ වර්තමාන අගවිනිසුරුවරයා. ඒක නිසා මේවා දේශපාලන පලිගැනීම් කියලා කාටවත් කියන්න බෑ. නීතිපති දෙපාර්තමේන්තුව විධිමත් පරීක්ෂණවලින් පසුව තමයි මේ නඩු සියල්ල පවරලා තියෙන්නේ. හැබැයි දැන් මේ අය නිදහස් වෙන්නෙ කොහොමද කියලා නම් පැහැදිලියි. ඒ විසිවැනි සංශෝධනයේ බලමහිමයෙන්.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට පහළ අධිකරණය දක්වා විනිසුරුවරුන් පත් කිරීමේ බලය ජනාධිපති අතට ගත්තට පස්සෙ. අධිකරණය මුළුමනින්ම ජනාධිපති යටතට ගත්තට පස්සේ මෙවැනි තීන්දු ලැබෙන එක අහම්බයක් නෙවෙයි.   
 
මේ දිනවල රට උණුසුම් කළ පුවත මහර බන්ධනාගාරයේ සිද්ධිය. ඔබ ​මේ ගැන දිගින් දිගට පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළා.   
 
සමාජයේ විශාල සාකච්ඡාවක් තිබුණා අපේ බන්ධනාගාරවල රඳවා තබන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩි රැඳවියන් ප්‍රමාණයක් ඉන්නවා සහ එයින් ඇතිවෙන ගැටලු පිළිබඳව. සිරකරුවෝ අතර නිතර තෙරපුම් ඇති වෙනවා, ඉඩ නැති නිසා. බන්ධනාගාරවල වචනයක් තියෙනවා ‘‘සැමන් කරනවා’’ කියලා. එ් ක්‍රමයට තමයි සිරකරුවන් දාල ඉන්නේ. ඒ නිසාම කොවිඩ් වගේ එකක් ඒ බන්ධනාගාරවලට ඇතුල් වුණොත් පැතිරෙන එක වළක්වන්න ලේසි නෑ. සිරකරුවන් බලන්න යන එක නතර කරලා තිබුණත් වයිරසය බන්ධනාගාර ඇතුළට යන එක වළක්වන්න බැරි වුණා. එ්ක පැතිරුනාට පස්සේ වෙන්න පුළුවන් ව්‍යසනය ගැන අවබෝධයක් ආණ්ඩුවට තිබුණෙ නෑ. රැඳවියන් තමන්ට කොරෝනා බෝවීම පිළිබඳව බය වෙන එක සාධාරණයි. ඒ ගැන නොසන්සුන් වීමත් ස්වභාවිකයි. දැන් මේ සිදුවීම හරහා කරපු පරීක්ෂණවලින් කී දෙනෙකුට කොරෝනා පොසිටිව් කියලා හෙළිවෙලා තියෙනව ද? සමාජය තුළ කොවිඩ්වලට තියෙන තත්ත්වයට වඩා බියක් හිරගෙදරක් ඇතුළෙ ඇතිවීම ස්වභාවික තත්ත්වයක්. ඒ ගැන ආණ්ඩුවට කිසිම පූර්ව අවබෝධයක් තිබුණෙ නෑ. නොසන්සුන්තාවයක් ආවම වෙඩි තියලා මරණ එක විසඳුම කියල තමයි ආණ්ඩුව හිතන් ඉන්නේ. තමන්ගෙ නඩු කටයුතු ඉක්මන් කරන්න, දෙන කෑම කන්න පුළුවන් තත්ත්වයෙන් දෙන්න කියන වගේ සාධාරණ ඉල්ලීම් ඔවුන් කළේ. ඒවට ඇහුම්කන් දීලා නෑ ආණ්ඩුව. කොවිඩ් ගැන ජනාධිපතිවරයා කිව්වෙ මේක යුද්ධයක් නම් විසඳන එක ඔහුට ඒ තරම් දෙයක් නෙවෙයි කියලනේ. ඔවුන්ගේ බල කවය සියලු ප්‍රශ්නවලට තුවක්කුවෙන් උත්තර හොයන්න යන බව තමයි මේ පෙන්නුම් කරමින් ඉන්නේ.   
 
ආණ්ඩුවේ මධුසමයට ඉඩ දීපු විපක්ෂය ආණ්ඩුවේ වැරදිවලට විරෝධය පාන්න පාරට බහින්නේ නැද්ද ඉතින්?   
 
ආණ්ඩුවේ අසාර්ථකභාවය, අසමත්කම මුලින්ම සමාජයට තේරුම් කරලා දෙන්න ඕනෑ. දැන් අපි ඒක තමයි කරමින් ඉන්නේ. දෙවැනි පියවර තමයි මේක වෙනස් කිරීම සඳහා බලවේගයක් නිර්මාණය කිරීම. අපි ඒ ගමන ඉදිරියට යනවා. ඒ ගැන ජනතාව සැකයක් තියාගන්න අවශ්‍ය නෑ. ඔවුන්ගෙ පැත්තෙ ඉඳගෙන ආණ්ඩුවට එරෙහි සටන අපි කරගෙන යනවා.   
 
 
පිළිසඳර
ප්‍රියන්ත කොඩිප්පිලි