කමිටු නිර්දේශ ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් වෙනවා


සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයංරැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ

රටේ දේශපාලන තත්ත්වය පිළිබඳවත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙනුත් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි. 

 
ප්‍රශ්නය:- ‘අලුත් ව්‍යවස්ථාවක්’ ගේනවා කියලා ඡන්දෙ අරගෙන 18 බල ගන්වලා ආණ්ඩුව නාගෙන?   


පිළිතුර:- නෑ. ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට සහ සාකච්ඡාවට කොයිතරම් විවෘත ද කියන කාරණය අපි ඔප්පු කළා. තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් විවෘත නොවන තරමට, ප්‍රජාතන්ත්‍රවාදී නොවන තරමට අපි විවෘත වුණා. ප්‍රජාතන්ත්‍රවාදී වුණා. එහෙම නැතිව ඔබ කියන විදියේ නා ගැනීමක් මෙතැන වෙලා නෑ.   


ප්‍රශ්නය:-ඔබ තුනෙන් දෙකක බලයක් ගැන කිව්වට 20 ට ගියොත් තුනෙන් දෙක නැතිවෙයි?   


පිළිතුර:- අපි 20 වේවා වෙනත් ඕනැම දෙයක් වේවා ඒ ඕනෑම දෙයකට අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව සලසලා තියෙනවා. අපි 20 කියලා ඉදිරිපත් කරපු කෙටුම්පතට වෙනත් පාර්ශ්වවලට අදහස් දක්වන්නත් සංශෝධනය කරන්නත් පාර්ලිමේන්තුවේදී අපි එකඟතාව පළ කරලා තියෙනවා. ඒ නිසා තවදුරටත් අවකාශය තියෙනවා ඕනෑම කෙනෙකුට මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්න. 

 
ප්‍රශ්නය:- කාරක සභා විවාදයේදී සංශෝධන ගේන්න පුළුවන් කියලා කිව්වත් ඒක ඒ තරමටම සාර්ථක ක්‍රියාවක් නොවෙයි. 

 
පිළිතුර:- නෑ ඒක සාර්ථකයි. මොකද කාරක සභා අවස්ථාවේ තමයි පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීම කරලා සංශෝධන ගේන්නේ. හැබැයි ඊට ඉස්සෙල්ලා ඕනෑම කෙනෙකුට පුළුවන් කෙටුම්පත විවාදයට ගන්න පෙර අපිත් එක්ක සාකච්ඡා කරන්න. ඕනෑම කෙනෙකුට ඒ පිළිබඳව සාකච්ඡා කරන්න ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් වෙලාව ගන්න පුළුවන්. අපි දැක්කනේ ඉතිහාසයේ වෙච්ච හැටි. යහපාලනයට තුනෙන් දෙකක බලයක් තිබ්බ වෙලාවේ අඩුම ගණනේ කාරක සභා අවස්ථාවේදීවත් අපට සංශෝධන ඉදිරිපත් කරන්න අවස්ථාව දුන්නේ නැතිව අපේ සංශෝධන එකහෙළා ප්‍රතික්ෂේප කළා. අපි එවැනි තත්ත්වයට යන්නේ නෑ.   


ප්‍රශ්නය:-අගමැති මහින්ද රාජපක්ෂ විශේෂ කමිටුවක් පත් කළා. ඒ කමිටුව වාර්තාවක් දුන්නා. නමුත් ඒ සංශෝධන කෙටුම්පතට ද‌ාලා නෑ?   


පිළිතුර:- කමිටු වාර්තාව බාර දුන්නේ අඟහරුවාද‌‌ානේ. ඒක බද‌ාද‌ා තිබුණ කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කරලා තියෙනවා?  


ප්‍රශ්නය:- ඒ කමිටුවේ නිර්දේශවලට මොකද වෙන්නේ?  


පිළිතුර:- ඒ කමිටුවේ නිර්දේශ අනිවාර්යයෙන්ම සංශෝධන අවස්ථාවේදී ඇතුළත් වෙනවා.  


ප්‍රශ්නය:-20 කෙටුම්පතට ඔබ සීයට සීයක් එකඟ ද?  


පිළිතුර:- 20 වැනි සංශෝධනය අපි අරගෙන එන්නේ 19 තියෙන බරපතළම අවුල්ටික ලෙහා ගන්නනේ. 20 න් ඒක සිදුවෙනවා. එතැනින් එහාට අපි ගිහිල්ලා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටත් කමිටුවක් පත් කරලා තියෙනවා. නව ව්‍යවස්ථාවක් කඩිමුඩියේ අරගෙන එන්න බෑ. ඒකට සැලකියයුතු කාලයක් ගතවෙනවා. නමුත් 20 න් කෙරෙන්නේ රට ඉදිරියට ගෙන යාමට තිබෙන බාධාවන් ඉවත් කිරීමයි. 17 - 18 19 සහ 20 කියන සංශෝධනවලට ඕනෑම කෙනෙකුට විවේචනය කරන්න අයිතිය තියෙනවා. ඒ අයිතිය අපි ඉවත් කරන්නේ නෑ. රටට අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාව තිබුණට මේ වෙනකොටම ජනාධිපතිතුමාගේ කාලයෙන් අවුරුද්දක් ගෙවිලා. ආණ්ඩුවක් නැතිව එතුමා සෑහෙන කාලයක් හිටියා. ඒ නිසා අපට අවශ්‍යයි කඩිනමින් බාධාවකින් තොරව ලැබුණු ජනවරම ක්‍රියාත්මක කරන්න.  


ප්‍රශ්නය:-2015 මහින්ද රාජපක්ෂ පරාජයට බලපෑවේ 18 න් ගෙනා අසීමිත බලය. නැවත 20 න් යන්න හදන්නේ එතැනට?  


පිළිතුර:- 18 ට විරුද්ධව නම් ජනතාව 2015 දී ඡන්දය දුන්නේ අපිට ඉතිහාසයට ගිහින් බලන්න වෙනවා. එහෙම 18 ට විරුද්ධව ඡන්දය දීමෙන් බලාපොරොත්තු වෙච්ච දේවල් ජනතාවට ලැබුණ ද කියලා. 18 න් බලය කේන්ද්‍රීය ගත කිරීමක් වගේම 19 න් වුණේ රටේ කිසිම වැඩක් කරන්න බැරි තත්ත්වයක් උද‌ාවෙච්ච එක. ඒ නිසා 19 සහ 20 අතර වෙනසක් තියෙනවා වගේම 18ට විරුද්ධව ඡන්දය දීපු අයත් අලුත් ශංශෝධන ගේන්නත් අවසර දීලා තියෙනවා.  


ප්‍රශ්නය:-20 ට එරෙහිව ආණ්ඩුවේ අභ්‍යන්තරයෙන් බරපතළ විරෝධයක් තියෙනවා?  


පිළිතුර:- එහෙම සාකච්ඡාවක් ඇතිවෙන එක හොඳ නැද්ද?  


එහෙම සාකච්ඡාවකට ඉඩක් දීම ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වයක්. එහෙම විරෝධය පාන්න, තමන්ගේ මතය යෝජනා ඉදිරිපත් කරන්න අවස්ථාවක් තිබීමම අවශ්‍යතාවයක්. ඒ තත්ත්වය අපේ ආණ්ඩුවේ තියෙනවා.  


ප්‍රශ්නය:- 20 ප්‍රධානම අරමුණ ද්විත්ව පුරවැසියකු වන බැසිල්ට පාර්ලිමේන්තුවට ඒමට තියෙන බාධක ඉවත් කිරීම බවයි කියන්නේ?  


පිළිතුර:- එහෙම නම් බැසිල් රාජපක්ෂ විතර ද අපේ රටේ ඉන්න එකම පුරවැසියා. ඒකනම් තර්කය මේ රටේ ඉන්න එකම ද්විත්ව පුරවැසියා බැසිල් රාජපක්ෂ ද කියල අපට අහන්න වෙනවා.  


ප්‍රශ්නය:- පාර්ලිමේන්තුවට ඒමේ අවශ්‍යතාව තියෙන එකම ද්විත්ව පුරවැසියා ඔහු විය හැකියි?  


පිළිතුර:- පුද්ගලයො දිහා බලලා පවුල් දිහා බලලා ව්‍යවස්ථා හැදුවේ යහපාලන ආණ්ඩුවෙන්. ඒ නිසා ඔබගේන තර්කයම වැරැදියි. එක එක්කෙනා ඉලක්ක කරලා අපි සංශෝධන ගේන්නේ නෑ. මේ 20 න් වෙනත් ජනාධිපතිවරුන්ට තිබූ බලතල ඉක්මවා යාමක්වෙලා නෑ. අපි මෙතැනදී බැලිය යුතු ප්‍රධානම කාරණය තමයි මේ ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය. අද ජනතාව තුළ විශ්වාසයක් තියෙනවා ජනාධිපතිතුමාගේ ක්‍රියා කලාපය ගැන. අපි මේක දිහා බලන්න ඕනෑ ඒ විදියටයි.  


ප්‍රශ්නය:-අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති කළාම ඔහුගේ පුරවැසිකම ඔබලා බරපතළ ලෙස විවේචනය කළා?  


පිළිතුර:- අපේ විවේචනය තිබ්බේ ඔහුගේ සිංගප්පූරු පුරවැසිකම කියන ප්‍රශ්නයෙන් ඉදිරියට ගිහිල්ලා මහ බැංකුව කොල්ලකෑම ගැනයි. ඒ කොල්ලයට ඔහුගේ සිංගප්පූරු පුරවැසිකම වාසියක් වුණා කියලයි අපි දැක්කේ. හැබැයි එයා සිංගප්පූරු පුරවැසියෙක් වෙලත් මහ බැංකු කොල්ලය නොකළා නම් ඒක රටේ ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මෙයාට අසීමිත බලයක් එක්ක අසීමිත අවකාශයක් වුණා මහ බැංකුව කොල්ල කන්න. එතැන තමයි කාරණාව තියෙන්නේ.  


ප්‍රශ්නය:-මොනවා වුණත් ඒ පරීක්ෂණවලට වෙච්ච දෙයක් නෑ?  


පිළිතුර:- එයා හිතාගෙන හිටියට සිංගප්පූරුවටවෙලා නිරුපද්‍රිතව ඉන්න පුළුවන් කියලා අපි අනිවාර්යයෙන්ම එයාව නීතියේ රැහැනට අරගෙන එනවා.  


ප්‍රශ්නය:-ඔබ කිව්වා ‘ජනාධිපතිතුමාගේ ක්‍රියා කලාපය ගැන ජනතාව පැහැදීමෙන් ඉන්නෙ’ කියලා. නමුත් ව්‍යවස්ථාවක් හදන්න ඕනෑ රටේ අනාගතය දිහා බලලා මිසක් පුද්ගලයා දිහා බලලා නොවෙයි?  


පිළිතුර:- වැදගත්ම දේ ඒක. ඔබ කියනවා වගේම රටක ව්‍යවස්ථාවක් හදන්න ඕනෑ රටේ පොදු තත්ත්වය හා අනාගතය දිහා බලලයි. එහෙම ව්‍යවස්ථාවක් හදන්න පුළුවන් වෙන්නෙත් ජනතාව විශ්වාසය තබන නායකයකුට පමණයි. අද රට තියෙන්නේ එහෙම තැනක.  


ප්‍රශ්නය:- 20 ගැන මාධ්‍ය සංදර්ශන යන අතරේ පොල්ගෙඩිය රුපියල් 100 යි. විපක්ෂය අහනවා ‘ඔබට සතුටුයි දැන්’ කියලා?  


පිළිතුර:- ඔය විපක්ෂයට ආණ්ඩුවක් තිබිලා කර ගන්න බැරි වෙච්ච දේවල් දිහා බැලුවම විපක්ෂයට ගිහින් ‘ඔබට සතුටුයි ද දැන්’ කියලා අහලා සතුටු වෙන්න පුළුවන් නම් අපි ඒ සතුටට බාධා කරන්න යන්නේ නෑ. දැන් බලන්න අපි ආණ්ඩුව බාර ගන්නකොට ඩොලරය රුපියල් 230 යි. කතා දෙකක් නෑ රුපියල් 230 යි. නමුත් බලන්න අපි ඒක කළමනාකරණය කරපු විදිහ. ඒ කළමනාකරණයේදී ජනතාව රජයට දීපු සහයෝගය බලන්න. මම ඒකයි කිව්වේ ජනාධිපතිතුමා සහ රජය ගැන තියෙන විශ්වාසය වඩාත් වැදගත් වෙනවා මේ වගේ අර්බුදකාරී අවස්ථාවලදී. දැන් බලන්න අපි ආනයනය සීමා කිරීමට ලක් කරලා තියෙනවා. ඒ තුළ අපහසුතාවයට පත්වෙච්ච කණ්ඩායමකුත් ඉන්නවා. ඒ වගේම අලුතෙන් බලාපොරොත්තු ඇති කර ගත්ත කණ්ඩායමකුත් ඉන්නවා. අපහසුතාවයෙන් ඉන්න පිරිසට හැමද‌ාම ඒ අපහසුතාවයෙන් ඉන්න තියන්නේ නෑ. දේශීය ව්‍යවසායකයන්ට කර්මාන්තකරුවන්ට අවස්ථාවන් සලසා දීමට අවශ්‍ය පරිසරය අපි සකසා දෙනවා. ඒ තත්ත්වය මේ වෙන විටත් රටේ ඇතිවෙලා තියෙනවා. වෙනත් රටවල් සමග කරන ගනුදෙනු නතර කරන්නත් අපි බලාපොරොත්තු වෙන්නේ නෑ.  


ප්‍රශ්නය:-අයවැය ගේනකම් පාසල් අධ්‍යාපනයට මුදල් යෙදවීම නතර කරලා තියෙනවා. නමුත් ‘මෙගා ව්‍යාපෘති’ වලට මුදල් පාස් වෙනවා. මොකක්ද යටි අරමුණ?  


පිළිතුර:- පාසල් අධ්‍යාපනය වෙනුවෙන් ඉතිහාසයෙ ලොකුම මුදල 2021 අයවැයෙන් වෙන් වෙනවා. මොකද අපි රට බාර ගත්තේ අයවැය ලේඛනයක් එක්ක නොවෙයි. ඒ වගේම රටේ ක්‍රියාත්මක විය යුතු ව්‍යාපෘති අතරමග නතරවෙලා තිබුණේ. ඒවා අවසන් කරන්න මුදල් වෙන් කළා. තව මාස එකහමාරකින් 2021 අයවැය ලේඛනය ඉදිරිපත් වෙනවා. එතකොට ඔබතුමාට ඕක ප්‍රශ්න කරන්න වෙන්නේ නෑ. ජාතික පාසල් දහසෙ ව්‍යාපෘතිය. ගුරු ක්ෂේත්‍රය ගන්න. ඇයි මේවා ගැන කතා කරන්නේ නැත්තේ? දැන් බලන්න උපාධිධාරී හැට එක් දහසක් සහෝදර සහෝදරියන් බඳවා ගන්නවා. මේ බඳවා ගන්නා උපාධිධාරින්ගෙන් සැලකියයුතු ප්‍රමාණයක් යොදවන්නේ දුෂ්කර පළාත්වල තියෙන ගුරු හිඟය පුරවන්න. ඊළඟට අපි උත්සාහ කරනවා උපරිම මට්ටමින් තමන් හදාරලා තියෙන විෂයන්. අදට පුරප්පාඩුවෙලා තියෙන විෂයන්වලට ගැළපෙන ආකාරයට ගැළපීමක් හදන්න. අපිට ඒක සීයට සීයක් කරන්න බැරිවෙයි. මොකද තියෙන ඉල්ලුම සහ සැපයුම අනුව. නමුත් අපි උපරිම ගැළපීමක් කරන්න උත්සාහ කරනවා. ඒ නිසා මේ උපාධිධාරීන් බඳවා ගැනීමට අපේ රටේ අනාගත මානව සම්පතට කරපු ආයෝජනයක්. මේවා ගැන කතා නොකර යාම සුදුසු නෑ. ඒ නිසා අධ්‍යාපනය පැත්තෙන් දියයුතු වටිනාකම දීම අපේ වගකීමක්. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිකර ගන්න එපා.  


ප්‍රශ්නය:- සුළු ජාතික පක්ෂවල මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ මෙහෙයුමක් ආණ්ඩුව ක්‍රියාත්මක කරලා?  


පිළිතුර:- එහෙම කිසිම මෙහෙයුමක් නෑ. බොහෝ දේවල් මාධ්‍ය අවකාශය තුළ පමණයි තියෙන්නේ. විශේෂයෙන්ම ත්‍රස්තවාදයට රුකුල් දීපු, අන්තවාදය පෝෂණය කරපු මහ බැංකු මහ කොල්ලයට සම්බන්ධ කිසිවකු ආණ්ඩුවට ගාව ගන්නේ නෑ කියලා එද‌ා දීපු පොරොන්දුව අපි අනිවාර්යයෙන්ම ආරක්ෂා කරනවා.  


ප්‍රශ්නය:- 69 ලක්ෂයක ජනවරමට නිගරුවෙන කිසිවක් නොකරන බවට ඔබට සහතික විය හැකිද?  


පිළිතුර:- අනිවාර්යයෙන්ම? ඒක අපේ වගකීම.

 

 

සාකච්ඡා කළේ : ප්‍රසන්න සංජීව තෙන්නකෝන්