එජාප සන්ධානය ගොඩනැගුණේ නායකතුමා දැනුම්වත්වයි


කුරුණෑගල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී  නලින් බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර අර්බුදය ඇතුළු දේශපාලන මාතෘකා පිළිබඳ මේ සාකච්ඡාව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සමගයි.  


ජනාධිපතිවරණය ඉවරවෙලා මාස දෙකකුත් ඉවරවෙලා දිනපු අය ආණ්ඩුවකුත් හදලා කරගෙන යනවා. යූඑන්පී එකේ ඇතුළෙ කචල් එක ඉවරයක් කරගන්න බැරුව දඟලනවා තාම?  


අපි අපේ අලුත් සන්ධානය හදලා ඒකෙ ලියාපදිංචි කිරීමේ කටයුතු කරගෙන යනවා. මහලේකම්තුමා පත්කරගෙන තියෙනවා. ඉතාම ඉක්මනින් අනිත් කටයුතු ඉවර කරගෙන ශක්තිමත්ව ඉදිරි මහ මැතිවරණයට මුහුණ දෙන්න පුළුවන් වෙයි.  


සන්ධාන මහා ලේකම්කමට රංජිත් මද්දුම බණ්ඩාරගෙ පත්කිරීම පක්ෂයේ හැම දෙනාගෙම අදහස ද? විරෝධතා එහෙමත් තියෙනව වගෙයි නේද?  


එතුමා බොහොම මධ්‍යස්ථ කෙනෙක්. ඒ වගේම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්. එතුමට සියලු දෙනාගෙ සහයෝගය තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. එතුමා බොහොම පරිණත ආකාරයට කටයුතු කරයි කියල අපි බලාපොරොත්තු වෙනවා.  


මේ අලුත් සන්ධානයේ එක්සත් ජාතික පක්ෂයට තියෙන තැන මොකක් ද?  


 එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ඇතුව තමයි මේ සන්ධානය පිහිටුවල තියෙන්නේ.  


මේ සන්ධානය සම්බන්ධව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය දක්වන ප්‍රතිචාරය කොයි වගේ ද?  


එහෙම කණ්ඩායමක් කියලා අපි දෙකකට බෙදිලා නෑ. ප්‍රශ්න තියෙනවා. ඒවා සාකච්ඡා කරල විසඳගන්න පුළුවන්. සියලු දෙනාම එකඟවෙන විසඳුමකට යන්න තමයි අපේ උත්සාහය. ඒකට තමයි මේ කටයුතු කරන්නේ.  


රනිල් වික්‍රමසිංහ මොකක්ද දක්වන ප්‍රතිචාරය මේ සන්ධානයට?  


මේ සන්ධානයට නායකතුමාගෙ සහයෝගය තියෙනවා. ඔහු දැනුම්වත්ව තමයි මේ සන්ධානය ගොඩනැගුණේ. ඔහු මේ සන්ධානය එක්ක ප්‍රශ්නයක් නැතුව වැඩ කරගෙන යාවි.  


කොච්චර දැඟලුවත් රනිල් වික්‍රමසිංහ නායක පුටුවෙන් බස්සගන්න බැරි වුණා නේද?  


මෙතන ප්‍රශ්නයක් තියෙනවනේ. පක්ෂ ව්‍යවස්ථාව වෙනස් නොකර ඒක කරන්න අමාරුයි. අප ඒක දැන් අවබෝධ කරගෙන පුළුවන් වැඩ කොටස කරගෙන පක්ෂය ශක්තිමත්ව ඉදිරියට ගෙනිහින් ආණ්ඩු බලය ලබාගන්න උත්සාහ කරනවා. තවදුරටත් පක්ෂ නායකත්වය පිළිබඳ ප්‍රශ්නයේ එල්ලී එල්ලී ඉන්නවට වඩා කළ හැකි දේ කිරීම තමයි මේ වෙලාවෙ වැදගත්. එතුමා තීරණය කරලා පක්ෂ නායකත්වයෙන් ඉවත් වුණේ නැත්නම් වෙන කරන්න දෙයක් නෑ.  


මේ තත්ත්වය තුළ මේ සන්ධානයේ රනිල් වික්‍රමසිංහට තියෙන තැන මොකක්ද?  


එක්සත් ජාතික පක්ෂයත් මේ සන්ධානයේ ඉන්න නිසා එකේ නායකයා විදියට එතුමා ඉදීවි. එතුමා ඒ අනුව කටයුතු කරාවි.
  
මේ සන්ධානය ඇතුළෙ එක්සත් ජාතික පක්ෂය අනන්‍යතාව රඳවගන්නේ කොහොම ද?  


මේ සන්ධානයේ තියෙන පක්ෂයක් විදියට එක්සත් ජාතික පක්ෂයටත් ඒ ලැබෙන සියලු වටිනාකම් සහ වගකීම් හිමිවෙනවා. ඒකෙ කිසිම ගැටලුවක් නෑ. සියලු දෙනාගෙම සහයෝගයෙන් ඉදිරියට යන සන්ධානයක් නිසා සාමුහිකත්වය මෙතනදී වඩා වැදගත්.  


පහුගිය දවසෙ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙනුත් හිටපු සාමාජිකයො දොට්ට දැම්ම නේද?  


ඒ අයට කිසිම දැනුම් දීමක් නැතුව තමයි ඒ විදියට ඔවුන්ව ඉවත් කරලා තියෙන්නේ. ඒකට සජිත් ප්‍රේමද‌ාස මැතිතුමා ඇතුළු අපේ විරෝධය අපි ඉදිරිපත් කළා. ඒ අනුව අපි විශ්වාස කරනවා ඊළඟ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේක නිවැරදි කරයි කියලා.  


ඔබලත් එක්ක ඉන්නව කියන මංගල සමරවීර පවා පහුගිය කෘත්‍යාධිකාරි මණ්ඩලයට සහභාගි වෙනවා. ඔබලගෙ කණ්ඩායමේ එකමුතුවක් නෑ වගේ.  


නෑ. එහෙම එකක් නෑ. අපි ඊට කලින් වතාවෙ පෙන්නුවා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයින් පනස් දෙකක් අපිත් එක්ක ඉන්න බව. මංගල, මලික් වගේ අය ඒ රැස්වීමට සහභාගි වුණේ අපේ පාර්ශ්වය නියෝජනය කරන්නම තමයි. ඒක අපි කවුරුත් දැනුම්වත්ව කෙරුණු දෙයක්. ඒක බරපතළ තත්ත්වයක් නෙවෙයි. අපි එකමුතුවෙන් වැඩ කරගෙන යනවා.  


එජාප මහලේකම් වගේ අය නිතරම කියන්නේ පක්ෂ විනයට පිටින් යන අයට සමාවක් නෑ කියලා.  


අපි දන්නේ නෑ මොකක්ද ඔය කියන විනය පියවර. විනය කඩපු තවත් අයට කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ. මීට පෙර එහෙම අවස්ථාත් තිබුණා. පක්ෂ විනය කැඩුවෙ කොයි ආකාරයෙන් ද කියල විනය පරික්ෂණයක් තියල තමයි අද‌ාළ දඬුවම් දෙන්න ඕනැ. කාටවත් හිතු හිතු හැටියට තනි තීරණ ගන්න බෑ. පක්ෂයෙන් කවුරුවත් අයින් කරන තැනට යන එකක් නෑ.  


පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයෝ කියන්නේ අලුත් සන්ධාන හද හද මහ මැතිවරණයට මුහුණ දෙන්න වෙලාවක් නෑ කියලා.  


 ඒක වැරදි මතයක්. අපිට කාලය තියෙනවා අලුත් සන්ධානය ශක්තිමත් කරගෙන ඉදිරියට ගිහින් මහ මැතිවරණයට මුහුණ දෙන්න. ඉතා ඉක්මනින් අපි අවශ්‍ය කටයුතු ඉවර කරලා මැතිවරණ ව්‍යාපාරය පටන් ගන්නවා. එහෙම නැතුව පරණ විදියටම ගිහින් ඡන්දෙ පරාද වෙන්න අපි සූද‌ානම් නෑ. එහෙම ඕනකමක් තියෙන අය ඉන්නව ද කියල අපි දන්නෙ නෑ.  


ජනාධිපතිවරණය කාලේ සජිත් ප්‍රේමද‌ාසට තිබුණු ජනප්‍රියත්වය ටික ටික අඩුවීම මහ මැතිවරණයට යද්දී අවාසියක් නේද?  


අපි විශ්වාස කරන්නේ නෑ සජිත් ප්‍රේමද‌ාස මැතිතුමාගේ ජනප්‍රියත්වය අඩුවෙලා කියලා. ජනාධිපතිවරණය පරාජයට පත්වෙන්න කරුණු රාශියක් බලපෑවා. සජිත් ප්‍රේමද‌ාසගේ තනි වරදින් ඡන්දෙ පැරදුණා නෙවෙයි. මේ මාස දෙකට ආණ්ඩුවෙ ක්‍රියාකාරකම් එක්ක ආණ්ඩුවේ ජනප්‍රියත්වය නම් අඩුවෙමින් යනවා. ඒක මහ මැතිවරණයේදී අපිට වාසියක් වේවි.  
ජනාධිපතිවරණයේදී සජිත්ගෙ පරාජය සමීක්ෂණ වාර්තාවලින් පවා ඔප්පු වෙලා තිබුණු බව දැනගෙන හිටියා කියල රනිල් වික්‍රමසිංහ පස්සෙ කිව්වා.  


මහ මැතිවරණයේදීත් මේ කකුලෙන් ඇදීම නොසිදුවෙයි ද?  


මං හිතන්නේ සන්ධානයක් විදියට මහ මැතිවරණයට මුහුණ දෙද්දී එහෙම දේවල් වෙන එකක් නෑ. කාටත් ඕන ජයග්‍රහණය ඒකට කාගෙ කාගෙත් ද‌ායකත්වය සහ කැපවීමත් අවශ්‍යයි.  


පක්ෂෙ ඇතුළෙ අවුල් නිසා ඔබල විපක්ෂයක් විදියට රටේ ප්‍රශ්නත් අමතක කරල ද‌ාලා.  


නෑ. එහෙම රටේ ප්‍රශ්න අමතක කරල නෑ අපි. ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දීපු ජනතාවටම මේ ආණ්ඩුවම අද එපාවෙමින් යනවා. ඔවුන් එල්ල කරන පීඩනය එ් අයට ඡන්දය දීපු අය තෝරලා නෙවෙයි එල්ල කරන්නේ. බඩු මිල වැඩි වීම ඒ හැටනම ලක්ෂයටත් බලපානවා. අනිත් ඒවත් එහෙමයි.  


අද ආණ්ඩුව ගැන විරෝධයක් එන්නෙ ඒ පැත්තෙන්ම තමයි. රටේ ප්‍රශ්න ගැන අපිට අවබෝධයක් තිබෙනවා. අපි ඒ ගැන ක්‍රියාත්මක වෙනවා. ගෝඨාභයට ඡන්දය දීපු ලක්ෂ හැටනමයම තීරණය කරයි ඉදිරි මහ මැතිවරණයේදී ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද කියලා. පැහැදිලිවම ඒ ලක්ෂ හැටනවයෙන් යම් ප්‍රමාණයක් අපිත් එක්ක මහ මැතිවරණයේදී එකතු වෙනවා.  


ජනතාවට ආණ්ඩුව එපා වෙලා වගේ වුණත් රටේ විපක්ෂයක් නෑ වගේ කියලා අපිට පේන්නේ?  


විපක්ෂයක් විදියට අපි කටයුතු කරන්න පැකිළීමක් නෑ. විපක්ෂනායකවරයා විදියට සජිත් ප්‍රේමද‌ාස පත්වෙලා තාම දින කීපයයි. අපි අපේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු ආකාරය සැලසුම් කරගෙන යමින් ඉන්නේ ආණ්ඩුව ගෙනියන වැරදි ක්‍රියාවලට අපෙන් ගැලවීමක් නෑ. පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත් අපි විපක්ෂයේ කාර්යභාරය කරගෙන යනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා. රජයට විරුද්ධව දැන් විවිධ පිරිස් දැනටමත් පාරට බහින්න පටන් අරගෙන මේ වෙද්දිත් ජනතාවටත් දැනෙන්න අරින එක හොඳයි ආණ්ඩුවෙව තරම.  


ආණ්ඩුව පාරට බහින අයට උද්ඝෝෂණය කරන්න තැනකුත් ලෑස්ති කරල දීල නේද?  


උද්ඝෝෂණ කිරීමට තැනක් ලබා දීම හරහාම පේනවා රජයට විරුද්ධව මිනිස්සු පාරට බහින එක ෂුවර් කියලා ඒ අය අවබෝධ කරගෙන ඉන්න බව. තැනක් දුන්නා කියලා ජනතාව එයාලට ඕන ඕන තැන උද්ඝෝෂණ කරයි කියල අපි හිතන්නේ නෑ. ඕක හරිම විහිළුවක්. ඔය වගේ දේවල්වලින්ම පේනවා මේ ආණ්ඩුව ජනතාව ද‌ාපු තැන.  


මේක ජනතාවාදී ආණ්ඩුවක් ද නැද්ද කියලා ටිකෙන් ටික ජනතාවට දැක බලා ගන්න පුළුවන් වෙයි. උද්ඝෝෂණවලට තැන් දෙනවට වඩා ඒ අය දීපු පොරොන්දු ඉටු කරන එකයි කරන්න ඕන.  


ඒ දීපු පොරොන්දුවලින් ප්‍රධානම එක මහ බැංකු හොරු අල්ලනවා කියන එක. අද එයාලා රනිල් වික්‍රමසිංහගෙ ආරක්ෂාව තවත් තර කරනවා මාර ඩීල් නේද?  


මෙතන ඩීල් එකක් තියෙනව ද නැද්ද කියලා මම දන්නේ නෑ. ඒත් අද ඔවුන්ට කියපු කිසිම පොරොන්දුවක් ඉටුකරන්න බැරුව දඟලන බව තමයි අපිට පේන්නේ. අද ආණ්ඩුව වෝහාරික විගණන වාර්තාව අධිකරණයට ගේන්න බය වෙලා. එයාලගෙත් පටිරෝල් වෙන බව එයාලා දන්නවා ඒක උඩට ආවොත්. ඒකයි මේ මුනිවත රකින්නේ. අපි කියන්නේ හොරකමක් සිද්ධවෙලා තියෙනව නම් කාටත් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා.  


රන්ජන් රාමනායකට මොකද වෙන්නේ?  


ඒ සම්බන්ධව පක්ෂය යම් ක්‍රියාමාර්ගයක් ඉදිරියේදී ගනීවි. අපි හිතනවා එතුමාට සහනයක් දීලා පක්ෂයට එකතු කරගන්න ඕන කියලා. මොකද රන්ජන් රාමනායකත් පක්ෂයට ද‌ායකත්වයක් දීපු කෙනෙක්. වංචාවට, දූෂණයට විරුද්ධව සටන් කරපු කෙනෙක් විදියට ඔහු අමතක කරල පැත්තකට වීසි කරන්න බෑ.  


ජයම්පතී වික්‍රමරත්න ඇයි මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණේ?  


ඒක එතුමාගේ පුද්ගලික තීරණයක් උඩ ගත්තු පියවරක්. මම දන්නේ එච්චරයි ඒ ගැන.  


ජයම්පති වික්‍රමරත්නගේ හිස්වුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට සමන් රත්නප්‍රියව පත්කිරීම ගැන සමාජයේ යම් යම් විවේචන ඉදිරිපත් වෙනවා.  


 වෘත්තීය සමිති නායකයෙක් විදියට සමන් රත්නප්‍රිය යම් කාර්යභාරයක් කරපු කෙනෙක්. මේ වගේ අය ජාතික ලැයිස්තුවෙන් ගන්න පුළුවන්. මං දකින්නේ නෑ මේ පත්කිරීමේ වරදක්. නොයෙක් ක්ෂේත්‍රවල අයට ජාතික ලැයිස්තුව නියෝජනය කරන්න පුළුවන්. සමන් කියන්නෙත් වැඩකරන ජනතාවගේ නියෝජනයක්.  

 

ප්‍රියන්ත කොඩිප්පිලි