ඇමැති මාරුව මටනම් ප්‍රමෝෂන් එකක්


ඇමැති මාරුව සහ තමන්ට ලැබුණු නව ඇමැතිකම පිළිබඳ මේ සාකච්ඡාව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක සමඟයි.

 

● ඇමැතිකම් මාරුවීම ගැන ඉන්නේ සතුටින්ද දුකෙන්ද?
මම නම් ඉතාම සතුටින් ඉන්නේ. අපේ යහපාලන ආණ්ඩුව ආවට පස්සේ මට මුලින්ම ලැබුණේ ජනමාධ්‍ය අමාත්‍යාංශය. මම ඒක සතුටෙන් බාර ගත්තා. පහුගිය ආණ්ඩුව කාලේ ජනමාධ්‍යවලට තිබුණෙ ඒ තරම් හිතකර පරිසරයක් නෙවෙයි. මාධ්‍ය නිදහස පිළිබඳ ලොකු ප්‍රශ්නයක් රටේ තිබුණු වෙලාවක තමයි මට මේ අමාත්‍යාංශය ලැබුණෙ. මාධ්‍යවේදීන්ට රටේ ඉන්න බැරි තත්ත්වයක් තිබුණෙ. අපි ඇවිත් ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම නැති කරලා ජනමාධ්‍ය නිදහස ස්ථාපිත කළා.


ජනමාධ්‍ය ඇමැතිවරයා විදියට මට පහුගිය කාලය පුරා විශාල වැඩකොටසක් කරන්න පුළුවන් වුණා. තොරතුරු දැනගැනීමේ පනත ගේන්න පුළුවන් වීම ඒ අතරින් වැදගත්ම කාරණයක්. චිත්‍රපටි ගහලා ඩිජිටල්කරණය කිරීමට කටයුතු යෙදීමත් ඒ වගේම වැදගත්. විද්‍යුත් මාධ්‍ය සඳහා ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසමක් හඳුන්වා දීමට අපි සාකච්ඡා කළා. මම ඒකටත් නායකත්වය දුන්නා. තව මාසයක් විතර ජනමාධ්‍ය ඇමැතිකමේ ඉඳලා ඒ කටයුත්තත් ඉවර කළා නම් ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසම ගෙනාපු මාධ්‍ය ඇමති හැටියටත් මම ඉතිහාසගත වෙනවා. සරසවි චිත්‍රපට සම්මාන උළෙල, ජනාධිපති චිත්‍රපට සම්මාන උළෙල නැවත අපි පැවැත්වූවා. වසර 8 ක් ඒ නිසා අසාධාරණයට ලක්වුණු මේ රටේ කලාකරුවන්ට ඒ තුළින් සාධාරණය ඉෂ්ට වුණා. මාධ්‍යවේදීන්ගේ සුබසාධනය ගැනත් අපි බැලුවා.

 


● ඔබ කරපු වැඩ ගැන දිග ලැයිස්තුවක් කිව්වනේ. එච්චර කරලත් ඇයි ඇමැතිකම ගැලෙව්වේ?
මට හොඳ අමාත්‍යාංශයක් ලැබුණු නිසා තිබුණු එක ගැලෙව්වෙ මොකද කියලා හොයන්න උත්සාහ කරන්නේ නෑ. අවුරුදු දෙකක් විතර යනකොට මටත් තේරිලා තිබුණෙ මගේ පළාතට වැඩක් කරන්න පුළුවන් ඇමැතිකමකුත් ලැබුණොත් හොඳයි කියලා. ජනමාධ්‍ය ඇමැතිවෙලා මාධ්‍ය ආයතන කීපයක් එක්ක ගැවසෙනවා මිසක් මට ගමට, පළාතට වැඩ කරන්න බෑ.

 


● ජනමාධ්‍ය ඇමැතිකමට වඩා ඉඩම් ඇමැතිකම ඔබට ලොකුද?
අනිවාර්යෙන්ම. මේ රටේ ඉඩම් ප්‍රශ්න හැම තැනම තියෙනවා. ඒ ප්‍රශ්න විසඳන්න දැන් පුළුවන්.


● ඒ කියන්නේ මේ ඇමැති මාරුව ඔබට නම් ප්‍රමෝෂන් එකක්...
පැහැදිලිවම ප්‍රමෝෂන් එකක්. මගෙත් හිතේ තිබුණු බලාපොරොත්තුවක් ඉටුවීමක් මේක. අපිත් ඉතිං දේශපාලනය කරන්න ඕනැනේ. මාධ්‍යයටම කොටුවෙලා ඉඳලා ගමේ ජනතාවට වැඩ කරන්න බෑ. මට ඡන්දෙ දීපු ජනතාවටත් යමක් කරන්න පුළුවන් දැන්. ඉඩම් ඇමැතිකම ලැබෙනවා කියලා දැනගත්තම මම පුදුම විදියට සංතෝස වුණා.

 


● ඔබ රාජ්‍ය පරිපාලන ඇමැතිකම ලැබෙයි කියල නේද හිතාගෙන හිටියේ?
එහෙම ආරංචියක් තිබුණා. ඒත් අන්තිමට ඉඩම් ඇමැතිකම ලැබුණේ.

 


● ඉඩම් ඇමැතිකම තිබුණු ජෝන් අමරතුංග මේ නිසා අවුලෙන් වගේ නේද? කතාබහ කළේ නැද්ද ජෝන් අමරතුංග ඔබත් එක්ක මේ ගැන?
එතුමාගේ කිසිම ප්‍රශ්නයක් හෝ කනගාටුවක් නෑ මේ ඇමැතිකම ඔහුගෙන් අරන් මට දීපු එක ගැන. ඇමැතිකම් දෙන වෙලාවෙත් එතුමා මට මුණ ගැහුණා. එතුමා මට සුබපැතුවා. ඉඩම් අමාත්‍යාංශය ගැන තොරතුරුත් මට එතුමා පැහැදිලි කළා. ජෝන් අමරතුංග කියන්නේ මේ වගේ දේවල්වලින් සැලෙන කෙනෙක් නෙවෙයි. අනිත් එක ඉඩම් අමාත්‍යාංශය කියන්නේ අපේ රටේ ඉඳපු කීර්තිමත් දේශපාලනඥයින් රැසක් දරපු ඇමැතිකමනේ. ඩී.එස්. සේනානායක, ඩඞ්ලි සේනානායක, සී.පී. ද සිල්වා, ඩබ්ලිව් දහනායාක, හෙක්ටර් කොබ්බෑකඩුව, ඩී.ඒ රාජපක්ෂ, එම්.ඩී. බණ්ඩා, ඊ.එල්. සේනානායක, ගාමිණී දිසානායක, ගාමිණී අතුකෝරළ වගේ අය තමයි ඉතිහාසයේ ඉඩම් ඇමැතිකම කළේ. එහෙම එකක් මට හිමිවීම ගැන ආඩම්බරයි.

 


● අනිත් ඇමැතිකම මාරුවීම ගැන ඔබේ අදහස මොකක්ද? 
හැමෝටම සතුටු වෙන්න පුළුවන් විදියට ඇමැති සංශෝධනය සිදුවුණා. මම දන්නේ නෑ අනික් ඇමැතිවරු කණගාටු වෙනවද කියලා. මම හිතන්නේ මේක රටට හොඳයි.

 


● විපක්ෂය නම් කියන්නේ මේක රටට කිසිම සෙතක් නැති මූණු මාරුවක් විතරයි කියලා.
විපක්ෂය ඉතිං හැමදේටම ඔය වගේ කතානෙ කියන්නේ. එහෙම නොකිව්වොත් විපක්ෂයක් නෙවෙයිනේ. විපක්ෂය මුලින් කිව්වේ මේ ඇමැති සංශෝධනය වෙන්නේ නෑ කියලා. මේකට බාලගිරිදෝෂය කියලා කිව්වෙත් ඒ අය. දැන් සිද්ධවුණාම තව කතාවක් කියනවා. හැම ආණ්ඩුම කැබිනට් සංශෝධන කරනවා. ඒවා නිකන්ම මූණු මාරුකිරීම් නෙවෙයි.

 


● හැබැයි අර්බුදකාරී ප්‍රශ්නයක් උඩ ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙන්ඩ වෙච්ච තිලක් මාරපන වගේ කෙනෙකුත් මේ අස්සේ ඇමැති මණ්ඩලේට දාගත්තා.
ඒක ජනාධිපතිතුමයි, අගමැතිතුමයි එකඟවෙලා ගත්තු තීරණයක්. තිලක් මාරපන කියන්නෙත් දක්ෂ ප්‍රබල දේශපාලන චරිතයක්. හිටපු නීතිපති, එතුමාගෙනුත් ගන්න පුළුවන් වැඩක් ගන්න ජනාධිපතිතුමයි, අගමැතිතුමයි තීරණය කරන්න ඇති. ඒකෙ වරදක් නෑ.

 


● ඇයි ඉඩම් ඇමැතිට චිත්‍රපටි සංස්ථාව වගේ ඒවා එල්ලන්න කියලා ඔබ ඉල්ලන්නේ?
ඒක සම්පූර්ණ බොරු කතාවක්. මම කිසිම දෙයක් ඉල්ලගෙන යන්නේ නෑ. ඉඩම් අමාත්‍යාංශයට ආයතන රැසක් අයිතියි. ඒවට අමතරව මට අරක දෙන්න මේක දෙන්න කියලා මම ඉල්ලලා නෑ. ඔය වගේ කතා සමහරු ගොතනවා.

 


● ඇමැතිකම ගත්තට මහ ලොකු වැඩක් කරන්න වෙලාවක් තියෙනවද? හැම එකටම තියෙන්නේ තව අවුරුදු දෙකයි. වැඩ කරන්න ලෑස්ති වෙනකොට ආණ්ඩුව ඉවරයි.
තව අවුරුදු දෙකක් විතරයි තියෙන්නේ කියලා හිතාගෙන හැකි ඉක්මනින් වැඩ ටික කරන්නයි මගේ අදහස. එතකොට ගොඩක් වැඩ කරගන්න පුළුවන් වෙයි. දසලක්ෂයක් ඔප්පු බෙදාදීමේ වැඩපිළිවෙළ නිම කිරීම තමයි මගේ ලොකුම බලාපොරොත්තුව.

 


● මුදල් ඇමැතිකම මාරුකිරීම ගැන ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ කරවල කෑල්ල කාලා දුවන පූසාට උම්බලකඩ පොල්ලෙන් ගැහුවා වගේ වැඩක් කියලා.
ආර්ථිකය ඉතාම අමාරු වෙලාවක තමයි රවි කරුණානායක මුදල් ඇමැතිකම කළේ. එතුමාගේ කාලේ තමයි රුපියල් දහදාහකින් රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කළේ.  කොච්චර බඩු මිල අඩු කළාද? රවි කරුණානායක විදේශ කටයුතු ඇමැතිකමත් හොඳට කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. විපක්ෂයට පුළුවන් විවේචන කරන්න විතරයි.

 


● ගයන්ත කරුණාතිලක නම් අද සතුටින්. නමුත් යූඑන්පී එකේ තව සමහරු කලකිරීමෙන් නාහෙන් අඬනවා. හරීන් ප්‍රනාන්දු, පාලිත රංග බණ්ඩාර, සුජීව සේනසිංහ, බුද්ධික පතිරණ, වසන්ත සේනානායක වගේ නම් ලැයිස්තුවක් කියන්න පුළුවන්.
අපි කැමැති දේවල්ම සිද්ධ වෙන්නේ නෑ. කවුරුත් සීයට සීයක් සතුටු කරන්න බෑ. දේශපාලනය කියන්නේ එහෙම තමයි. අපිට ඕනෑ ඕනෑ විදියට ඇමැතිකම් ඉල්ල ගන්න බැ. ලැබෙන දෙයින් සතුටු වෙන්න ඕන. වැඩ කරන්න පුළුවන් අයට ඕනෑ එකක් ඔට්ටුයි. ප්‍රශ්න තියෙනව නම් නායකයො එක්ක කතාබහ කරල විසඳගන්න එක තමයි හොඳ.

 


● මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම මැයි රැලියෙන් ගත්තු ගැම්ම එක්ක ආණ්ඩුවට අභියෝග කරනවා.
ඒ අය අපිට මොන අභියෝගයක්ද? මැයි දිනේට ආපු අය ගැන ඉලක්කම් කියලා ආණ්ඩුව වට්ටන්න බෑ. අපේ මැයි රැලියට කොච්චර සෙනඟ ආවද. ආපු අය එක තැන තියලා උඩින් ගිහින් පිංතූර පළ කරලා ඒකාබද්ධ විපක්ෂෙ කට්ටිය කෑගහනවා. අපේ මැයි පෙළපාළිය කැම්බ්ල් පිටියෙ ඉඳලා පංචිකාවත්ත වෙනකම් එක දිගට තිබුණා. පැය ගාණකට කැම්බල් පිටියට ඇතුළුවෙන්න බැරුව මමත් හිටියා. අපේ රැලියෙත් උඩින් ගිහින් පින්තූර ගත්ත නම් අපිටත් සෙනඟ පෙන්නන්න තිබුණා.

 


● යූඑන්පී එක මාර්කටින් දන්නේ නෑ කියන්නේ ඒක නේද?
ඔව්. ඒ කතාවෙ ඇත්තක් තියෙනවා. එතනදි අපේ අඩුපාඩුවක් තියෙනවා. ඒවා තමයි අපි හදාගන්න ඕනෑ තැන්.

 


● ඔබේ ගමේ මිතුරිය ගීතා කුමාරසිංහගේ ද්විත්ව පුරවැසි ප්‍රශ්නය නිසා පාර්ලිමේන්තු පුටුව අවිනිශ්චතයි. ඇයත් එක්ක මේ ගැන කතා කළාද?
ගාල්ලෙ දේශපාලනයේදී මම කවුරුවත් එක්ක ප්‍රශ්න ඇති කරගන්නේ නෑ. ඔය ප්‍රශ්නය වෙලාවෙ මම ගීතා කුමාරසිංහගෙන් ඒ ගැන විමසුවා. එතුමිය ඒ වෙලාවෙ කිව්වේ තමන්ගේ පක්ෂෙ සමහරුන් ඇය පරදිනතුරු බලාගෙන ඉන්න එකේ මම කතා කරපු එක ගැන සතුටු වෙනවා කියලා. දේශපාලනයේදී මත දෙකක හිටියත් අපි සුහදයි.

 


● ගාල්ලේ හිටපු ඇමැති කෙනෙක් හොරෙන් වතුර අරන් මාට්ටුවෙලා පොඩි දඩයක් ගහලා ෂේප් කරලා යවලා. යහපාලනේ යටතේ මේවත් වෙනවද?
මමත් ඔය සිදුවීම පත්තරෙන් දැක්කෙ. වැරැද්දකට නිසි දඬුවම ලැබිය යුතුයි. ඒකට තරාතිරම වැදගත් නෑ. මගේ නම් අදහස ඒකයි.

 


● ඔබෙයි රාජිතගෙයි ජොබ් එක හරියට නොකෙරෙන නිසාද සම කැබිනට් ප්‍රකාශකයෙක් විදියට දයාසිරි ජයසේකරත් දාන්න යන්නේ?
ඒක නම් මම දන්නේ නෑ. රාජිත ඇමැතිතුමයි මමයි ඒ වැඬේ හරියට කළා කියලයි මම හිතන්නේ. තව කෙනෙක් දාන්න ජනාධිපතිතුමා තීරණය කරනවා නම් ඒක ගැටලුවක් නෙවෙයි. මට කැබිනට් ප්‍රකාශක වැඬේ නිසා වෙන්නෙ අවාසියක්. මොකද මේ වැඬේට පැය දෙක තුනක් වැය කළාම බදාදා මගේ මහජන දිනේට මිනිස්සු හම්බවෙන්න තියෙන කාලය අඩුවෙනවා.

ප්‍රියන්ත කොඩිප්පිලි