අපි තාම ආණ්ඩුව කරන්න පටන් ගත්තා විතරයි


සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සමඟින් ඬේලි එෆ්ටී පුවත්පත කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙනි.

 


ප්‍රශ්නය:- - යහපාලන ආණ්ඩුව පිහිටුවා වසර දෙකක් ගතවුණා. මේ වනවිට ලබා ගත් ප්‍රතිඵල හා වැරදි ගැන සඳහන් කළොත් ?
පිළිතුර:-
ආණ්ඩුව පිහිටුවලා තවම අවුරුදු දෙකක් ගතවුණේ නැහැ. අගෝස්තු  17 වැනිදාට තමයි අවුරුදු දෙක පිරෙන්නේ මේ ආණ්ඩුවට. වැරදුණු තැන්වලට වඩා හොඳ අතට සිද්ධ වුණු දේවල් ගොඩක් අපේ මේ ආණ්ඩුව සිදු කළා කිව්වොතින් නිවැරදියි. ජනාධිපතිතුමා, අගමැතිතුමා එකතු වෙලා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ දෙකක ඉන්න අය එකට එකතුවී සහයෝගයෙන් වැඩ කරන එකේ වැදගත්කම පසුගිය වසරකට වැඩි කාලය පුරා දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම රටේ තිබූ බෙදීම් ඉවතලා රටේ සෞභාග්‍ය වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළවල් වත්මන් ආණ්ඩුව සිදු කරමින් සිටිනවා. ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමාගෙන් පසුව පළමු වරට මේ රටේ අනාගත පරපුර ගැන හිතමින් වැඩකරන නායක දෙපළ වන්නේ වත්මන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමයි.ඔවුන් තමන්ගේ පෞද්ගලික කාරණා ගැන නොසිතමින් රට ගැන හිතලා වැඩ කරනවා. ඒක පසුගිය රාජපක්ෂ පාලනය කාලය තුළ තිබ්බේ නැති දෙයක්.


ඒ රාජපක්ෂ ආණ්ඩු කාලය තුළ අපට ලැබුණේ අසීමිත ණය බර, නීතියේ ආධිපත්‍යයේ කඩා වැටීම ,දූෂිත පවුල්වාදය යන ඒවා විතරයි. නමුත් අපි දැන් ඒ සියල්ලම සහමුලින්ම ඉවත්කර තිබෙනවා. එය පෞද්ගලික අංශයේ වගේම නීතිය හරිහැටි ක්‍රියාත්මක කිරීමේදී පියවර ගෙන තිබෙනවා.

 


ප්‍රශ්නය:- - එසේ සපුරා ගත් ඉලක්ක මොනවාද?
පිළිතුරු:--
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තමයි මේ රටේ තමන් සතු අසීමිත විධායක බලතල අඩු කළ පළමු ජනාධිපතිවරයා. ඊට අවශ්‍ය හොඳම සහාය අගමැතිතුමා දුන්නා. ඒ වගේම එජාපයේ සහ ශ්‍රීලනිපයේ සිටි අය ඇමැතිවරුන් ලෙස පත්කර දුර්වලතා ඇති තැන් මඟහරවා රටට හරි දේ විතරක් කරන්න අපි කටයුතු කළා. එජාප නායකයන් ලෙස අපි දැන ගෙන හිටියා ජනාවාරි 8 වැනිදා ජනාධිපතිවරණයෙන් අපි දිනනවා කියලා. නමුත් අපි අපේ ප්‍රතිපත්ති වෙනස් නොකර ජනාධිපතිතුමන් සමඟ පොරොන්දු වූ ආකාරයට අත්වැල් බැඳගනිමින් කටයුතු කළා.


පළමුවෙන්ම අපි කළේ රටේ පැවතියාවු රාජපක්ෂ පරිපාලනය නිසා ඇති වූ අධික ණය බර පාලනය කිරීමයි. මොකද, අපි ආණ්ඩු බලය ගන්නා විටත් සීමාව ඉක්මවා යමින් මේ රටේ ණය බර වැඩිවෙලා තිබුණා.


ඒවගේම ඒ කාලයේ ආණ්ඩු කෙරුණේ ප්‍රතිවාදීන්ට එරෙහිවයි. ඒ නිසාම නීතිය වල්වැදී තිබුණා. විශේෂයෙන්ම එවකට යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතාට, එවකට අගවිනිසුරුව සිටි ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව අවනීතිය ක්‍රියාත්මක වූවා. මේ නිසාම රටේ නීතියේ ආධිපත්‍යය පිරිහී පැවතියා. අපි ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම ඉවත් කළා. අපේ ආණ්ඩුව පැමිණ මාස කිහිපයක් ගතවන්නට මත්තෙන් මේ හැම ආයතනයකම පැවති පිරිහීමේ තත්ත්වය සම්පූර්ණයෙන්ම ඉවත් කළා. ඔවුන්ට අවස්ථාව සලසා දුන්නා සමාජය වෙනුවෙන් සේවයක් කරන්න. දේශපාලන ඉත්තන් සේ නොඉඳ තමන්ගේ ගරුත්වය තියාගෙන වැඩකළ හැකි වටපිටාවක් අපි නිර්මාණය කළා.


මේ අතරේ රාජපක්ෂ පාලන කාලය තුළ සිදු වූ බරපතළ වංචා, මුදල් විශුද්ධිකරණ දෑ සෙවීමට, ටෙන්ඩර් මගඩි සෙවීම වෙනුවෙන් මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසය පිහිටවනු ලැබුවා. ඒ වගේම එම කාලය තුළ රටින් පිටමන් කෙරුණු රුපියල් බිලියන ගණනක් වූ අතිවිශාල මුදල් තොග සෙවීම වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, මහ බැංකුව, නීතිපති දෙපාර්තමේන්තුව තවදුරටත් කටයුතු කරමින් සිටිනවා.

 


ප්‍රශ්නය-- ඇයි එහෙනම් මෙච්චර දේවල් කරලත් තාමත් ආණ්ඩුව ස්ථාවර නැත්තේ ?
පිළිතුරු-
- ඔය දේවල් කියන්නේත් ,පේන්නේත් සුළු මන්ත්‍රීවරු පිරිසකට විතරයි. ඒ අය අර ඒකාබද්ධ විපක්ෂයේ අය පිරිසක් විතරයි. මේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිස බොරු කථා කියා ගෙන යනවා පසුගිය වසරක කාලයක ඉඳලම. ඒවා මාධ්‍ය හරහා පමණක් කෙරෙන ප්‍රචාර වෙලා. මේ ආණ්ඩුව වැටෙනවා යැයි කියව කියවා ඉන්න අය තමයි මහින්ද රාපක්ෂ බලයෙන් ඉවත් කරන්නත් බැහැ කිව්වේ. එහෙම කියන එයාලට අද දේශපාලන පක්ෂයක්වත් නැහැ. මහින්ද බලයට ගේන එක එයාලගේ හීනයක්. ලංකාවේ ඉතිහාසයේ බලයේ සිටියදී ජනාධිපතිවරණයෙන් පැරදුන එකම ජනාධිපති මහින්ද රාජපක්ෂ විතරයි. ශ්‍රීලනිපයේ, එජාපයේත්, ජනමාධ්‍යවේදීනුත්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් එකට එකතු වෙලා ජීවිත පරදුවට තබලා මේ යහපත් තත්ත්වය රටට ගෙනාවේ. විශේෂය නම් මාගේ මිත්‍ර ලසන්ත වික්‍රමතුංග මහතාත් අපෙන් අද වනවිට ඈත්ව සිටියත් ඔහු මේ සටනට සහය දුන් අයෙක්.

 


ප්‍රශ්නය:- - බලයට ආවම පසුගිය කාලයේදී ලසන්ත වික්‍රමතුංග ආදී ඝාතනයට ලක්වූ  මාධ්‍යවේදීන් රැසකගේ ජීවිත අහිමි වීම්වලට වගකිව යුත්තන් නීතිය හමුවට ඉදිරිපත් කරනවා කිව්වා නේද? ඔවුන් වෙනුවෙන් ඉටු කළ දේවල් මොනවා ද?
පිළිතුරු--
ආණ්ඩුවට කොපමණ වියදම් ගියත් මේ පරීක්ෂණ පවත්වමින් සිටිනවා. ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයෙන් දේශපාලනය ඉවත් කළ යුතුයි. නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නා මෙම ඝාතනවලට අදාළ ලිපිගොනු නැවත කැඳවන ලෙසට. වෙනත් කිසිදු ඇඟිලි ගැසීම් අප විසින් සිදු කරනු ලැබුවේ නැහැ. වියදම කොච්චර ගියත් ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධ වැරදිකරුවන්ව නීතිය හමුවට ඉදිරිපත් කරන්න අපි උපදෙස් දීලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ඕනෑම පහසුකමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දීමට අපි කටයුතු කර තිබෙනවා. මේ පරීක්ෂණවල සමහර දේවල් අපට මාධ්‍යවලට කියන්න බැහැ.

 


ප්‍රශ්නය- -ඇමෙරිකාවේ ඩොනල්ඞ් ට්‍රම්ප් පැමිණියා වගේ ගෝඨාභය රාජපක්ෂ මේ රටේ අනාගත නායකත්වයට පැමිණෙනවා කියලා සඳහන් වෙනවා. මේ ගැන රජය අවධානය යොමු කරලා තියෙනවාද ?
පිළිතුරු--
ගොඨාභයයි, ට්‍රම්ප් අතර තියෙන එකම සමානකම ඇමෙරිකානු පුරවැසිභාවය පමණයි. අපේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති වීම තියා අඩුම තරමේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වෙන්න බැහැ වෙන පිටරැටියෙකුට. ඒ නිසා මම ඉස්සෙල්ලාම ගෝඨාභය රාජපක්ෂ මහතාට කියනවා ඔය දරන ඇමෙරිකානු පුරවැසිකම අත්හරින්න කියලා. ඔහු කොහොමත් ලංකාව අතහැරලා ගිය කෙනෙක්. ආපහු ඔහු ලංකාවට ආවේ 2005 වසරේදී ඒ. ඔහුගේ සහෝදරයා  වන මහින්ද රාපක්ෂ රටේ ජනාධිපති වුණ නිසා.
දැන් ඔහුම කියනවා ඔහු මේ රටේ යුද්ධය මෙහෙය වූයේ නැහැ කියලා. එයා සිවිල් පරිපාලනය විතරයි කළේ, එහෙම නම් මේ රටේ ජනතාව අතර තිබුණේ එයා යුද්දේ කළා කියලයි. දැන් ඔහු එහෙම කියනවා නම් ඒ මතය නිවැරදි කළ යුතුයි.

 


ප්‍රශ්නය:- හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් විවිධ චෝදනා තිබෙනවා, මේ ගිවිසුමත් සමඟ ඔබතුමා අතර තිබෙන පෞද්ගලික සම්බන්ධය කුමක්ද ?
පිළිතුරු:- -
රාජපක්ෂලා අතහැරලා ගිය අවුලකට උත්තර දෙන්න ගිහින් අපිට දැන් බැණුම් අහන්න වෙලා. මහින්ද රාජපක්ෂ පාලන සමයේදී චීන එක්සිම් බැංකුව, චීන වරාය සමාගම සමඟ විනිවිදභාවයක් නැතිව ඇති කර ගත් ගිවිසුම් තිබුණා. අපි පළමු අයවැය සම්මත කර ගන්නා විට හම්බන්තොට වරායේ ඉදිකිරීමේ ණය පොලිය ගෙවා ගන්න බැරිව හිටියේ. මේ ණය පොලීය ගෙවීමට අදාළ සහනයක් ගන්න අගමැතිතුමා පවා පෞද්ගලිකවම චීනයට ගියා. ඊට පස්සේ යම් විසඳුමකට ආවත්, මේ සම්බන්ධයෙන් අවසන් තීන්දු තීරණවලට එළැඹිලා නැහැ.

 


ප්‍රශ්නය:- බලය ආවත් ආණ්ඩුවක් ලෙස ලබා ගෙන ඇති පාඩම් මොනවාද?
පිළිතුරු-:
- අපි තාම ආණ්ඩුව කරන්න පටන් ගත්තා විතරයි. ප්‍රතිඵල දකින්න තව අවුරුදු කිහිපයක් යාවී. මේ කෙටි කාලය තුළ ආණ්ඩුවක් ලෙස අපි ඉගෙන ගත් දෙයක් වූවා නම් ඒ මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ජනතාවට සන්නිවේදනය කිරීමයි. මේවා ජනතාවට ප්‍රචලිත කිරීමේ කතිකාවතක් ඇති කරන්නේ කොහොමද කියන එක අපි පසුගිය කාලේදි ඉගෙන ගත්තා. විශේෂයෙන්ම තොරතුරු දැනගැනීමේ පනත, වින්දිතයන් ආරක්ෂා කර ගැනීමේ පනත, නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සම්බන්ධයෙන් අපි ජනතාව සමඟ කතා කරමින්, ඔවුන් ගෙන් අදහස් ලබා ගනිමින් සිටිනවා. අපේ ඉදිරි කාලය තුළත් මෙලෙසින් ජනතාව අතරට යන එක කළ යුතුයි.
රාජපක්ෂ කාලය තුළ නොතිබුණු අයිතිවාසිකම්, නිදහස් අපි ලබා දී තිබෙනවා. ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් එක්ව මේ රටෙන් පක්ෂ දේශපාලනය ඉවත් කරලා පක්ෂ දෙකම එකට එකතු වෙලා ජනතාව වෙනුවෙන් කටයුතු කරනවා. ඒනිසා අපි ඒකාබද්ධ විපක්ෂය ගෙන යන ප්‍රචාර බිඳ දැමිය යුතුයි.

 


ප්‍රශ්නය - ඇයි විපක්ෂයට ඇඟිලි දික්කරන්නේ, විපක්ෂයේ කාර්ය භාර්යය මේක නේද ? එයාලට විරුද්ධත්වය පාන්න බැරිද ?
පිළිතුරු-
මේ වගේ ප්‍රශ්න පසුගිය රෙජීමය යටතේදී අහපු අයට නම් කලින් ආවේ සුදු වෑන්, යතුරු පැදිවලින් එන කොමාන්ඩෝ අයයි. හිටපු ආරක්ෂක ලේකම්වරයා වරෙක බී.බී.සී. යට අදහස් දක්වමින් කියා තිබුණා යුද්ධ කාලයේදී ආණ්ඩුවට විරුද්ධ වන එක දේශද්‍රෝහි වැඩක් කියලා. ලසන්ත වික්‍රමතුංග වැනි අය ජීවිත පිදුවේ මේ රටේ තිබිය යුතු මූලික නිදහසවත් තිබුණේ නැති නිසයි. බය නැති රටේ ආණ්ඩුව විවේචනය කර දැන් මේ රටේ තිබෙන ලොකුම නිදහසයි. මහින්ද රාජපක්ෂටත් බය නැතිව නිදහසේ විරෝධය පළ කරන්න පුළුවන්. ආණ්ඩුව බලය අනිසි ලෙස යොදලා එයාල මර්දනය කරන්නේ නැහැ. නමුත් අපි එය වචනවලින් ක්‍රියාවට නංවනවා. එවිට මහජනතාවට තීරණය කරන්න පුළුවන් ඇත්ත, නිදහස මොකක්ද කියලා.


 

 

යහපාලන රජයේ ඉරිතැලීම් දකින්නේ ඒකාබද්ධ විපක්ෂයේ හීනවලින්

“යහපාලන රජයේ අස්ථාවර බවක්, දෙදරීමක්, ඉරිතැලීමක් ඇති බවක් දකින්නේ ඒකාබද්ධ විපක්ෂය කියන ඝෝෂක කණ්ඩායම දකින හීනවලින් පමණයි. ඉතින් ඔවුන් ඒ හීන හැබෑ ලෙසම සිදුවෙන ඒවා බව මහජනතාවට පෙන්වීමට පසුගිය කාලයේ ඇදබාන ලද බොරු තොගයෙන් ඒකාබද්ධ විපක්ෂයේ නිරුවත් ප්‍රතිපත්තිය හෙළිවෙනවා.


දැනට වසරකට වැඩි කාලයක් පුරාවට ඒකාබද්ධ විපක්ෂයේ සිහිනය වුණේ මේ යහපාලන රජය කොයි මොහොතේ හෝ බිඳ වැටෙයි කියායි. කිසිම පදනමක් නැතිව ගොතන මේ කතාවලට හොඳම පිළිතුර වෙන්නේ යහපාලන රජය නොසෙල්වී සිය දෙවැනි වර්ෂයට ද අවතීර්ණ වී තිබීමයි.


යහපාලන රජය කොයි මොහොතක හෝ කඩා වැටේවි යැයි කෑමොර දෙන මේ ඝෝෂක කණ්ඩායම තමයි පසුගිය කාලයේ උදම් ඇනුවේ මහින්ද රාජපක්ෂ කිසිදාක පැරදවිය හැකි කෙනෙක් නොවන බව කියමින්.


ගෝඨාභය රාජපක්ෂ සහ ඩොනල්ඞ් ට්‍රම්ප් එක් කරුණක් සම්බන්ධයෙන් එකට පෑහෙන දෙන්නෙක් බව මාත් පිළිගන්නවා. ඒ ඔවුන් දෙදෙනාම ඇමෙරිකානු පුරවැසියන් වීම යන කාරණයෙනුයි.


අපගේ ව්‍යවස්ථාව අනුව වෙනත් රටක පුරවැසියෙකුට කිසි ලෙසකින් වත් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුවත් වීමට ඉඩක් නැහැ. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපති වෙනවා කියන එකේ යථාර්ථය ඒ අනුව මේ රටේ බුද්ධිමත් ජනතාවට තේරුම් ගන්න අපහසු නැහැ. එමනිසා රාජපක්ෂ මහතාට මගේ උපදේශය නම් මේ රටේ ජනතාව නොමග යවන්නේ නැතිව පළමුව ඇමෙරිකානු පුරවැසිභාවය ප්‍රතික්‍ෂේප කොට මේ රටේ ව්‍යවස්ථාවට අනුගතව කටයුතු කරන්න කියන එකයි.”

 

සැකසුම 
තිළිණි ද සිල්වා සහ චාන්දනී කිරින්දේ