‍ඩෙංගු මදුරුවාට බිලි වූ පාසල් සිසුන් දෙදෙනා


තිමිර ඉසුරංගගේ මව

 

‘‘ඔන්න අයියේ මේ පාර නම් ඔයාගේ බර්ත්ඩේ පාටියට මගේ යාළුවන්ටත් ඉන්වයිට් කරනවා.’’  


බදුල්ල විහාර මහාදේවී බාලිකා විදුහලේ 10 වන ශ්‍රේණියේ ‍ඉගෙනුම ලබන කවීෂා නමැති තමාගේ එකම නංගී එලෙස කියද්දී තිමිර ලැජ්ජාවෙන් බිම බලාගෙන හිනා වුණා.  


තිමිර ඉගෙන ගත්තේ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ. එයාට ගුරුවරු, යහළු යෙහෙළියොත් ගොඩාක් ආදරෙයි.  
ඒ ඔහුගේ අහිංසක චරිතය නිසා.  


ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ රැකියාව කරන සමන්ත මෙන්ම සුනේත්‍රා නමැති අම්මාට මේ දරුදෙන්නා ඇස්දෙක වගෙයි. තාත්තා කාර්යබහුල නිසා අධ්‍යාපන කටයුතුවලට දිරිගන්වන්න අම්මා දැඩි සේ වෙහෙසුණා.  


මෙදා උපන්දිනේට මම පුතාට ලස්සන කේක් එකක් හදනවා. අම්මා කියද්දි තිමිර පුතා හිනා වුණා.  


අම්මේ අම්මලා මගේ බර්ත්ඩේ එකට වියදම් කරන්න එපා. පුතා කිව්වාම අම්මට පුතාගේ කතාව හිතාගන්න බැරි වුණා. ඇයි පුතා එහෙම කියන්නෙ අම්මා ඇහුවා.  


අම්මේ මට කැන්ටිමෙන් කන්න දීපු සල්ලි මං එකතු කරලා තියෙනවා. තිමිර රහස හෙළි කළා.  


ඉස්කෝලෙ අධ්‍යාපන කටයුතුවලට අමතරව ගමේ පන්සල වන ජේතවනාරාමයේ ආගමික කටයුතුවලටත් තිමිර හවුල් වුණා. මෙම විහාරස්ථානයේ කොත් පැලඳවීමේ උත්සවයටත් මහන්සි වුණා. එදා සවසයි තිමිරට හි​ෙස් කැක්කුම හැදුණේ.  


ගෙදර ඇවිත් හිසේ කැක්කුම ගැන කිව්වාම අම්මා තිමිරව බදුල්ල මහ රෝහලට අරන් ගිහින් නතර කළා.  


එතකොට තමයි දැනගත්තේ පුතාට ඩෙංගු කියලා. උණ වැඩිවෙලා ඇඬුවත් ඒ අතරෙත් එයා මතක් කළේ‍ දින දෙකකට පසුව උදාවන උපන් දිනය ගැන.  

ශෂිකුමාර් කවීෂ්ගේ පියා

 


අයියාගේ අසනීප තත්ත්වය ගැන දුක්වෙමින් හිටිය නංගීත් රෝගාතුර වූ නිසා එයත් අරන් ගියේ බදුල්ල මහ රෝහලට. නංගී පරීක්ෂා කළ වෛද්‍යවරු කිව්වෙ නංගිටත් ඩෙංගු කියලා.   


මේ අම්මා තාත්තා අසරණ වුණා.  


බදුල්ල මහරෝහලේදී තිමිරගේ තත්ත්වය නරක අතට හැරුණා.  


හරියටම උපන් දිනය උදා වුණා.  


අම්මේ අපිට මේ පාර උපන් දිනය ගන්න බැරිවෙයි. එ්ත් මගේ යාළුවෝ ආවම සංග්‍රහ කරන්න තිමිර ඇදේ ඉඳන් අම්මට කියද්දී අම්මා හිස අතගගා පුතු පැටියා සනසන්න උත්සාහ කළා.  


ඒත් දෙයියනේ අම්මා හිස අතගාමින් සිටියදීම තිමිර ඇස්දෙක පියා ගත්තා.  


අම්මාගේ මරළතෝනිය රෝහල් වාට්ටුව පුරාවට දෝංකාර දුන්නත් තිමිරගේ වැසුණ ඇස්දෙක යළි ඇරුණේ නැහැ.  


තිමිරගේ නිසල දේහය හාලිඇළ බෝගහමඩිත්ත ජයන්තිපුර නිවසට ගෙන එන විටත් යාළුවෝ ගෙදරට ඇවිත් හිටියා. නැදෑ හිතවතුන් පිරිලා හිටියා.  


හැමෝගෙම ඇස්වලට කඳුළු ගුළි එක් කරගෙන තිමිරගේ දේහය නිවස තුළට ඔසවාගෙන යද්දී අම්මා සිහිසුන්ව ඇද වැටුණා.  


තාත්තාගේ දෙපා වාරු නැතිව ගියා.  


එයා තවත් කීප දෙනෙක් අල්ලාගෙන සිටියදී බිදුණු ස්වරයෙන් දුක කිව්වා.  


‘‘අනේ මගේ පුතේ... නැගිටින්න පුතේ.... උපන් දිනේට යාළුවො ඇවිල්ලා නෑයොත් ඇවිල්ලා උපන් දිනේ සමරන්නෙ මෙහෙමද මගේ පුතේ....  


පොඩි දරුවෙක් වගේ මගේ තුරුල්ලේ නිදාගත්ත පුතා යන්න ගියා දෙයියෝ.....  


කිසිම කෙනකුට වරදක් නැති අපට මෙහෙම දෙයක් වුණේ දෙයියෝ....  

ශෂිකුමාර් කවීෂ්ගේ දේහය

 


කියමින් තාත්තා හඬා වැටෙමින් විලාප ගහද්දි ඒ බලාඉන්න බැරිව හුඟ දෙ​ෙනක් කඳුළු බිව්වා.  


මේ දුක්බර පුවතින් මුළු පළාතම සසල වෙද්දී  


‍පසුදා උදෑසන ඩෙංගු මාරයා තවත් පාසල් දරුවෙක් බිලිගත්තා.  


ඒ බදුල්ල සරස්වති මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 15 හැවිරිදි ශෂි කුමාර් කවීෂ්.  


මම බදුල්ල සරස්වතී විදුහලට ගිහින් මේ ගැන අහනකොටත් විදුහල්පතිතුමා තබා පන්තිය බාර ගුරුතුමාවත් මේ විපත දැනගෙන හිටියේ නැහැ.  


විදුහල්පතිතුමා ගුරුවරයෙක් මගින් කවිෂ්ගේ තාත්තට කතා කරලා ඇහුවම ඒ දුක්බර පුවත සනාථ වුණා.  


විදුහල්පතිතුමාට ගුරු මණ්ඩලයට පමණක් නොවෙයි යාළුවන්ටත් අදහා ගන්න බැරි විදියට මේ කොලු පැටියත් සඳහටම දෙනෙත් පියාගෙන තිබුණා.  


විදුහල් දෙකේම ගුරුවරු හා සිසුන් වැල නොකැඩී මේ මළගෙවල්වලට ඇවිත් සෝ සයුරේ ගිලුණා.  


තිමිරට ඩෙංගු බෝ‍ වුණේ නිවසට නුදුරින් පිහිටි ප්‍රාදේශීය සභා‍ව විසින් ජල ව්‍යාපෘතියක් සඳහා ඉදිකළ ටැංකියකින් බව ගම්වැසියන් පවසනවා.  


ශෂි කුමාර්ට ඩෙංගු හැදුණේ නිවස අසලින් දිවෙන ඇළ මාර්ගයෙන් බව ශෂි කුමාර්ගේ පියා පවසනවා.  


මීට අමතරව ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරියේ ඇති ඇළ මාර්ගය හා කාණු පද්ධතිය මෙන්ම පීලිපොතගම ඇළ මාර්ගය, බදුල්ල මහ රෝහල අසල ඇළ මාර්ගය පිරිසුදු කිරීම නිසා ඩෙංගු අවදාානම වැඩිවී ඇතැයි ප්‍රදේශවාසීන් පවසනවා.  


බදුල්ල මහ නගර සභාව පවසන්නේ මේවා නඩත්තු කිරීම ගොවිජන සේවා දෙපාර්ත​ෙම්න්තුවට අයිති බවයි.  


මහ නගර සභාවේත් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේත් මේ කඹ ඇදිල්ල නිසා ජනතාව පීඩාවට හා අවදානමට පත්වෙලා.  


මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රාජකාරිය කළත් බදුල්ල මහ නගර සභාවේ කම්කරුවන් ප්‍රමාණවත් නොවීම ද මීට බල පා තිබෙන බව මහ නගර සභාවෙන් වාර්තාවෙනවා.  


බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අසල මැදිරිය මාර්ගයේ කාණු පද්ධතියේ ජලය බැස නොයාමෙන් මදුරු තවාන් වර්ධනය වෙමින් තිබෙනවා.  


බදුල්ල මහ නගර සභාව නගරයේ කැළිකසළ බැහැර කරන අවුරුදු තිස් ගණනක් වන කසළ කන්ද නිසා ඒ අවට ජනතාව ද දැඩි සේ පීඩාවට පත්ව සිටිනවා.  


බදුල්ල මේ පාරිසරික ගැටලු පවතිද්දී, මේ අහිංසක සිසුන් දෙදෙනා ඩෙංගු මාරයාට බිලිවෙද්දි ඩෙංගු යැයි හඳුනාගත් රෝගීන් 61 දෙනෙක් හා ඩෙංගු යැයි සැකකරන රෝගීන් 60 දෙනෙක් ප්‍රතිකාර ලබන බව රෝහල් බලධාරීන් පවසනවා.  


මේ අතර ඉකුත් දින 182 තුළ පමණක් මුළු රටෙන්ම වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 76000 ඉක්මවා තිබුණා. ඉන් 205 දෙනෙක් මිය ගොස් ඇති බව රජයේ වාර්තාවන්ම පෙන්වා දෙනවා.  


ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමැති කාලයේ සිටම ඩෙංගු මදුරුවා වනසන ක්‍රම සොයා බැලුවත් ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ. රාජිත සෞඛ්‍ය ඇමැති වූ පසුව ඩෙංගු මර්දනය ගැන කරන්නේ මාධ්‍ය සංදර්ශනයක් බව ජනතාව පවසනවා.  


ඕස්ට්‍රේලියාවේ නිපද වූ ඩෙංගු මර්දන බැක්ටීරියාවක් ගෙන්වන බව ඇමැති රාජිත මාධ්‍ය හරහා කිව්වා. ඒත් එම බැක්ටීරියාව තවමත් එරට පර්යේෂණ මට්ටමේ ඇති බව එරට පුවත් පවසනවා.  


ඩෙංගු මදුරුවා කීට අවස්ථාවේ ආහාරයට ගන්නා ශාක භක්ෂක මදුරුවෙක් ගැන සෞඛ්‍ය ඇමැතිවරයා පුරසාරම් දෙඩුවා.  


එහෙත් ඩෙංගු වර්ධනය මිස මර්දනයක් වූ බව දක්නට නැතැයි මධ්‍යස්ථ මතධාරීන් පවසනවා.  


අහිංසක ජනතාවට මරණ වරෙන්තුව ලබාදෙන ඩෙංගු මදුරුවා වනසන්න දේශපාලනඥයන්ට හිතක් නැද්ද, ශක්තියක් නැද්ද, දැක්මක් නැද්ද, ප්‍රතිපත්තියක් නැද්ද යනුවෙන් වියරු වැටුණු ජනතාව විමසුවේ බෝගහමඩිත්ත ගමේ සුසානයේදී හා බදුල්ල පොදු සුසාන භූමියේ මිහිදන් කෙරුණ දරු දෙන්නාගේ අවසන් කටයුතුවලට සහභාගි වන අතරතුරය.  

බදුල්ලේ පාලිත ආරියවංශ