​සොබා දහමට පිරිත් කීම


 

“ගම පිබිදෙන කාලේ ගඟ උතුරන කාලේ ගොවි රජිඳුගෙ සිත සනසා ආවා වැහි කාලේ”   


මෙය මීට දශක පහකට පමණ පෙර ගුවන්විදුලි සේවය තුළ නිතර ප්‍රචාරය වූ ජනප්‍රිය ගීතයක මුල් පේළි කීපයකි. ගැයුවේ මොහිදීන් බෙග් ගායන ශිල්පියාය.   


සරු පසකින් මනා හිරු එළියකින් මෝසම් කාල දෙකින් ආවරණය වූ ලංකා භූමිය තුළ කුමක් හෝ ගසක් පැළ නොවෙන තැනක් නැත. රට කුඩා වුවත් භූ විෂමතාව අනුව දේශගුණික කලාප ගණනාවකට බෙදී යන ආකාරය ද අපූරුය. මේ සෑම කලාපයකට යම් වී වගාවක් පැවතීම ද විශේෂයකි. ඒ ඒ භූමියට ඒ ඒ කාලයට අනුව ගොවියෝ වගා කළහ. මඩ ගොවිතැන හෙවත් වී වගාවට ප්‍රධාන වූයේ බත් ප්‍රධාන ආහාරය වන බැවිනි. වර්ෂාව මඩ ගොවිතැනෙහි ප්‍රධාන සාධකය විය.   


 මඩ ගොවිතැන කළ හැකි භූමිය ද තෙත් බිම් ද වගුරු බිම් ද හැර වෙනත් සුදුසු බිම් මනුෂ්‍යයෝ ගෙවල් සෑදීම සඳහා තෝරා ගත්හ. වන සතුන්ගේ බිම් ආක්‍රමණය නොකළ අතර සතුන් සහ මිනිසුන් අතර සෑහෙන සුහදශීලී ගනුදෙනුවක් පැවැති බවට සාධක දක්නට ලැබිණි. සතුනට අවශ්‍ය තරම් වන ගහණයක් ගම ආශ්‍රිතව පැවැති බැවින් සතකු වගා බිම් ආක්‍රමණය නොකළහ. එකල මීයන් පවුල් පිටින් කුඹුරු ආශ්‍රිතව සිටි අතර මී උණ සෑදී මළ කෙනකු නොවීය. මෝසම් කාල දෙකේදීම අලුත් වන ගංගා, වැව්, පොකුණු, ඇළ දොළ ආදිය මගින් අතිපිරිසුදු ජලය නිරතුරුවම ලැබිණි.   


 රසායනික පොහොර, පළිබෝධ නාශක, විවිධ කැළිකසළ ජලයට එකතු නොවීම නිසාත් මළ මුත්‍ර, සෙම් සොටු ආදී ශාරීරික අපද්‍රව්‍ය ජලයට මුසු කිරීම පාපයක් බව බුදු සමය විසින් උගන්වා තිබීම නිසාත් අප බාල කාලයේදී ද ඕනෑම බැස යන දිය දහරකින් දිය බීමේ හැකියාව තිබිණි. එහෙත් අද වන විට වැස්ස අයහපත් (අයහපත් කාලගුණය උදා වී ඇති බව වාර්ෂාව වැටෙන විටම කියයි.) දෙයක් බවත් ජලය කොඩිවිනයක් බවත් අපට කියා දෙනු ලැබේ. ඒ අනුව මෙහි මුල සඳහන් ගීත අද අරුත් සුන් නර්මාලාප බවට පත් වී ඇත.   


බටහිර ජාතීන්ගේ ආක්‍රමණය තුළ ද තම අනන්‍යතාව රැකගැනීමට ලක්වැසියා සමත්ව සිටියේය. රට මුළුමනින්ම යටත් කරගත් පසුව ඇතිවූ ඌව වෙල්ලස්ස පසුබිම් වූ මහ කැරැල්ලේදී ස්වයං පෝෂිත ජාතියක් පරාජය කිරීම පහසු නොවන බව තේරුම් ගත් පරසුද්දා රටේ හදවත බඳු මධ්‍ය කඳුකරය කපා දමා උන්ට දඩබිම් උන්ට කෙළිබිම් උන්ට ධන උල්පත් ගෙනෙන ආර්ථික වගාවන් ඇති කර ගංගා, ඇළ දොළ, පොකුණු දිය සිඳී යන්නට සලස්වා ජාතියට බත සැපයූ වෙල්ලස්ස මුඩුබිමක් බවට පත් කළේය. ඉන්පසු කන්නට නැතිව ගිය රටවැසියාට සහල් පිටරටින් ගෙනැවිත් දීමට කටයුතු කළේ සුද්දාය.   


 තිරිඟු ඇටයේ පොත්ත සහිත පෝෂණීය කොටස උන්ට කෑමට තබාගෙන කිසිදු ගුණයක් නැති මදය කොටසින් ලබාගත් පිටි ගෙනැවිත් ඒවායින් කෑම හදන අයුරු ගමින් ගමට ගොස් උගන්වා මුල් පිටි රාත්තල නොමිලේ ලබා දීමට කටයුතු කළේ සුද්දාය. මෙරට වැවෙන අල, බතල, කුරහන්, මෙනේරි ආදිය හැර දමා උන්ගේ රටින් ගෙනෙන ජෑම්, බටර් උලාගෙන උදේට පාන් කෑමට පුරුදු කළේ සුද්දාය. ළදරු කිරිපිටි නිපදවා එය මව් කිරට වඩා සියලු අතින්ම ළදරුවාට අවශ්‍ය පෝෂණයෙන් යුතු බව කියමින් කිරි පිටි බෙදා දුන්නේ සුද්දාය. කිරි දුන් කල අම්මා වැහැරී තන ඇකිළී විරූපී වන බව කීවේ සුද්දාය.   


 දැන් ළඳරුවාට අත්‍යවශ්‍ය පෝෂණ පදාර්ථය මව්කිරි බවත් සිය පර්​ෙ‌ය්ෂණ මගින් සොයාගෙන ඇති බවත් ඒ නිසා මාස 06ක් වතුරවත් නොදී (වතුර හෝ වෙනත් දියර වර්ග නොදීම ද සුද්දාගේ පර්​ෙ‌ය්ෂණයකි. අපේ දරුවන් දැන් පර්​ෙ‌ය්ෂණාගාර මීයන් කොටසකි.) මව් කිරිම පමණක් දිය යුතු බවට තර්ජනය කරන්නේ ද සුද්දාය. මව්කිරි ගුණය උගේ පර්​ෙ‌ය්ෂණාගාරයේ සොයා ගැනීමට වසර තුන් දහසකට පමණ එපිට ලියැවුණු ආයුර්වේද ග්‍රන්ථයක (චරක සංහිතා) සඳහන් වන්නේ මව් ගැබකින් උපත ලබන සත්ත්වයාට (ක්ෂීරපායි සතුනට) උගේ මවගේ කිරි අමෘතය බවය.   


සිය රට දේ වළඳමින්, සුද්දා කොළ අතු ඇඳගෙන ගල් ගුහා තුළ සීතලේ වෙව්ලමින් සිටින යුගයේ කපු කැට නූල් තනා රෙදි වියා අඳිමින් රෝගයකදී තුරුලිය තම්බා කොටා පෙරා තනාගත් ඖෂධ බොමින් ශ්‍රේෂ්ඨ දර්ශනයක උරුමකරුවන් වූයේ සිංහලයාය. එසේ අදීන ජාතියක් ලෙස සිටි සිංහලයා බොරු පොරොන්දු දී යටත් කොටගෙන වසර 150 වැනි කෙටි කාලයකදී සිංහලයා සතුව තිබූ සියලුම වටිනා කම් අභිමානයන් බිම දමා විනාශ කර උන්ගේ සපත්තු ලෙවකන්නන් බවට පත්කර ගැනීමට සමත් වූයේ සුද්දාය.   


ඕනෑම දෙයක් නිවැරදිව කරන කල සුද්දාගේ වැඩ (අපි ම්ලෙච්ඡයෝ වෙමු) වගේ යැයි කීමටත් ඕනෑම හොඳ ලොකු දෙයක් ‘රට’ යන විශේෂණය යොදා (උදා- රට ලූනු, රට දෙළුම්, රට ජම්බු) දැක්වීමටත් අපට පුරුදු කළේ සුද්දාය. අවසන උන් ගෙනා වහලුන් ද උන්ගේ අමන නීති රීති ද උන්ගේ ජඩ ගති සිරිත් ද මෙරට පාලනයට උන්ගේ අනුකාරක ගැත්තන් ද තනාදී මෙහි තිබූ සියලු සාරයන් උරා පෙරා ගෙන රට හැර ගියේ සුද්දාය.   
 සුද්දන්ගෙන් රට භාරගෙන එදා මෙදා තුර බලයට පත්වූ මෙම අනුකාරක ගැත්තන් ගැන කීමට වචන නැත. සුද්දා ඇති කළ දීන මානසිකත්වයෙන් ජනතාව ගලවා ගැනීම වෙනුවට දේශපාලුවන්ගේ කකුල් ලෙවකන තැනට ජනතාව ගෙන ඒමය මේ අය කළේ. පාර්ලිමේන්තුවේ පටන් ප්‍රදේශීය සභා තෙක් විහිදී ගිය දේශපාලන අංදණ්ඩන් රෑනක් නඩත්තු කිරීමටය අද මහජනතාවට සිදුව ඇත්තේ. මේ අයගේ සියලුම සංවර්ධන සැලසුම් ඇත්තේ මිනිසුන් රවටා ඡන්දය ලබා ගැනීමටත් කොමිස් මුදල් ගසා කෑමටත් විනා රටට ගැළපෙන ලෙසට නොවේ. රජයයන් දෙකක් දායක වෙමින් අණබෙර වයමින් ලංකාවටම විදුලිය බෙදා දී ඉන්දියාවෙන් බාගයකට ද විදුලිය ලබා දීමට (එනම් විදුලිය විකුණා මුදල් ලබා ගැනීමට) හැකි බව කියමින් ආරම්භ කළ මහවැලි යෝජනා ක්‍රමය අද තිබෙන්නේ කොතැනකද? එයට දායක වූ දේශපාලුවන් ලබාගත් කොමිස් මුදල් හා ඉඩකඩම් තිබෙන්නේ කොහිද?   


මෙරට ගංගා ඇළ දොළ කාබාසිනියා කරමින් කළ සංවර්ධන යෝජනා ක්‍රම තුළින් අපේක්ෂිත දේ සිදු නොවූ අතර සියලුම ජීවි අජීවි ස්වභාවික සම්පත් විනාශ වී ඉතිහාසය ද (පුරාවිද්‍යා වටිනාකම් ඇති තැන් විනාශව යාම මගින්) වැළලීයාම සිදුව ඇති බව ප්‍රකට කරුණකි.   


 උගතුන් නූගතුන් සියල්ලන්ම සෑම අවශ්‍යතාවක් සඳහාම දේශපාලුවකු වන්දනා කිරීමට සිදුවන තත්ත්වයට රට පත්කර තිබීමත් අධ්‍යාපනය මගින් හා තිස්තුන් කෝටියකටත් අධික (තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් සිටියේ මෙරට මිනිසුන් කෝටියක්වත් නොසිටි ඉතා ඈත යුගයේය. මේ වන විට තිස්තුන් කෝටිය තිස්තුන ද ඉක්මවා ඇති බවට සැක නැත) දෙවියන් නහුතයක් යකුන් භූතයින් තවත් අනන්ත දෙස් විදෙස් මිථ්‍යාවන් ඇදහිලි විශ්වාස ආදිය මගින් මිනිසුන් පට්ට මෝඩයින් කිරීමත් නිසා නිදහස් චින්තනයෙන් තොර වහලුන් පිරිසක් අද රටේ බිහිව ඇත.  


අද මනුෂ්‍යයෝ දේශපාලුවන්ට පුද පූජා කිරීමත් ඊනියා දෙවියන්ට පුද පූජා කිරීමත් තවත් දෙස් විදෙස් මිථ්‍යා ඇදහිලිත් මගින් ජීවිතයේ කුදු මහත් සියල්ල ඉටුකර ගැනීමට බලා සිටින්නේය. මිනිසා සොබාදහමට අනුගත නොවූ කළ එක දේශපාලුවකුටවත් එක දෙවියකුටවත් කළ හැකි කිසිවක් නැති බවත් තම තමන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන බවත් මෝඩයෝ නොදනිති.  


 අප්‍රේල්, මැයි, ජුනි, ජූලි මාස විශේෂයෙන් පහත රට තෙත් කලාපයට හා කඳුරට ප්‍රදේශයනට අයත් ගංගා ඇළ දොළ සියල්ල උතුරා පිටාර ගලන කාලයයි. නිරිත දිග මෝසම් සුළඟ රැගෙන එන වැසි වලාකුළු සියල්ල මෙම කලාපය පුරා යමින් ගිගුරුම් සහිත මහ වැසි ලබා දෙන කාලයයි. මේ කාලයේ ගංවතුර සාමාන්‍ය දෙයක් වන අතර ඇතැම් වර්ෂයකදී අධික වැසි වැටී අධික ගංවතුර ද ඇති කරයි. අතීතයේ සිටි නුවණැති මිනිසුන් පිටාර තැන්නේ ගෙවල් නොසැදූ බැවින් ගංවතුරට දේපළ ගසා යෑමක් හෝ ජීවිත හානියක් සිදු වූයේ නැත. ඉඳහිට එන මහා ජල ගැල්මකට පමණක් යම් අලාභහානි සිදුවිය. ඉඳහිට තද සුළං ද සුළු නාය යාම් ද ඇති වුවත් මේ කිසිවකටත් මනුෂ්‍යයෝ සාප නොකළහ. ඒ සොබාදහමේ ස්වභාවය තේරුම් ගැනීමට තරම් මිනිසුන් බුද්ධිමත් වූ නිසාය.  


වියළි කලාපයට විශේෂයෙන් වැසි ලැබෙන ඊසාන දිග මෝසම් කාලයේදී වැව් උතුරා යන අතර තෙත් කලාපයට ද සෑහෙන වර්ෂාවක් ලැබේ. එම කාලය සැප්තැම්බර් සිට දෙසැම්බරය දක්වා දිවෙයි.  


 මෙම පැහැදිලි මෝසම් කාල දෙකේදී වැසි ලැබෙන බව කීමට අකුණු වදින බව කීමට ජල ගැලීම් සුළං ආදිය ඇති වන බව කීමට ඊනියා ජ්‍යොතිෂ ආඬිගුරුන් හෝ දෙපාර්තමේන්තුවක් හෝ වෙනත් සාස්තරකාරයකු හෝ අවශ්‍ය නැත. ඒ එය ලංකාවේ ඉතා ස්වභාවික කාලගුණ රටාව වන බැවිනි. අතීත මනුෂ්‍යයෝ මෙම කාලගුණ රටාව දැනගෙන ජීවත් වූහ. එබැවින් දේපළ හානි ජීවිත හානි අවම විය.  


වැසි ජලය ගලා යන මං අවහිර නොකිරීමටත් පහත් බිම් වගුරු බිම් ගොඩ නොකිරීමටත් කඳු එළි නොකිරීමටත් රක්ෂිත විනාශ නොකිරීමටත් මිනිසුන් දැන ගත යුතුය. සුද්‌ද‌ා අපට රට ආපසු දෙන කල වනගහණය 70%ක් බවත් දැන් එය 14%ක් බවත් කියති.  


බඩජහරි දේශපාලුවනටත් ඔවුන්ගේ සහචරයින්ටත් බලය පෙන්වා කුමක් කළ හැකි වුවත් සොබාදහම පාලනය කිරීමට නොහැකිය. වර්ෂාවකදී වැටෙන ජල ප්‍රමාණය කලින් තීරණය කිරීමට කිසිම ජගතකුට නොහැකිය. එහි තීරකයා සොබාදහමය. මිනිසුන් සොබාදහමට අනුගත විය යුත්තේ එබැවිනි.  


බලය ලබා ගැනීමටත් එය රැකගැනීමටත් තම සහචරයිනට ඕනෑම විනාශයක් කිරීමට ඉඩ ලබා දෙන දේශපාලන න්‍යාය පත්‍රයක් අපට ඇත්තේ වෙනස් විය යුත්තේ මේ තත්ත්වයයි. වෙනස් කළ හැක්කේ ද එයයි. සොබාදහම නොවේ.  


මෙවැනි ස්වභාවික විපත් අප රටට මිනිසුනට ඇති නොවේවායි කියමින් කෙරෙන පිරිත් සජ්ඣායනයක් ද පසුගියද‌ා ඇසිණි. එය නම් අපූරු පිරිතකි. බුදු සමයත් විකෘති කිරීමකි. පය බරවයට පිටිකර බෙහෙත් බැඳීමකි.  
 සොබාදහමට අනුගතව ජීවත් වීමටත් සොබාදහම සුරැකෙන පරිදි සියලු ක්‍රියාකාරකම් කිරීමටත් අවවාද කළ ප්‍රථම ඓතිහාසික පුද්ගලයා බුදුහිමියන්ය. ඒ දහම තුළ පිහිටා කටයුතු කරන ලෙසට රජයටත් මිනිසුනටත් අවවාද නොකර සොබාදහම අරෙහෙම වේවා මෙහෙම වේවායයි පිරිත් කීම සැබ වින්ම විහිළුවක් නොවන්නේද?  


වර්ෂාවට සාප කරන මිනිසුන් සිටින රටක් අලිමං හරහා පාරවල් තනාගෙන අලි පැටවුන් මරා දමා දරු දුකින් වියරු වූ අලි අම්මලාට ද වෙඩි තබා මරා දමන මිනිසුන් සිටින රටක් වනසතුන්ගේ අඩවිය තුළ ගෙවල් හද‌ාගෙන සතුන් පැමිණි කළ උන්ට වෙඩි තබන මිනිසුන් සිටින රටක් වසරකට සතුන් කෝටි 15-20 (සංඛ්‍යා ලේඛන පුවත්පත්හි පළ විය.) මසට මරණ මිනිසුන් සිටින රටක් රටේ භූවිසමතා ලක්ෂණ සහ සොබාදහම තුට්ටුවකට මායිම් නොකරන මිනිසුන් සිටින රටක් සොබාදහම විසින් සම්‍යයදෘෂ්ටික දෙවි දේවතාවුන් විසින් ආරක්ෂා කරනු ඇතැයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ සිතන සේක්ද?

 

 

 

 

 

 දේශීය වෛද්‍ය ජ්‍යොතීර්වේදී
අනෝමා පී. ඈපා සෙනෙවිරත්න