සෝමාවතී ජල ගැලුම් නිම්න වනෝද්‍යානයේ දාගැබක් ඩෝසර් කරලා


දාගැබ විනාශ කළ නටබුන්

 

පරිසරය, වනාන්තර, රක්ෂිත මෙන්ම පුරාවස්තු වැනසීම පිළිබඳව අප විසින් නිරන්තරව රටට අනාවරණය කර ඇත්තෙමු.   


එහෙත් එකී විනාශයන් වර්තමානය වනවිට ද වර්ධනය වෙනවා මිස මර්දනය වීමක් දක්නට නොමැත. අතැම් පරිසරපාළුවන්, අපරාධකරුවන්, දඩයම්කරුවන් දැන් දැන් බෞද්ධ උරුමය සංස්කෘතිය මෙන්ම ඉපැරැණි නටබුන්, දාගැබ්, චෛත්‍ය ඩෝසර් කර වනසන්නට පටන්ගෙන තිබේ.   


අප මීට පෙර ද මඩකළපුව, වාලච්චේන, එරාවුර් ප්‍රදේශයේ දාගැබක් ඩෝසර් කර මිරිස් හිට වූ සෝචනීය කතාවක් හෙළිදරව් කළෙමු. ඒ අනුරාධපුර යුගයට අයත් විශාලතම දාගැබ පිළිබඳවය.   


අප මේ අද හෙළිදරව් කරන්නේ ඩෝසර් කර විනාශ කර දැමූ අනුරාධපුර මුල් යුගයට අයත් තවත් දාගැබක් පිළිබඳවය.   


ඓතිහාසික සෝමාවතිය සෑ රදුන් පේන මානයේ ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ පේරන කලාපයේ පිහිටා තිබූ මෙම දාගැබ මේ මොහොත වනවිටත් ඩෝසර් කර බිමට සමතලා කර හමාරය.   


එපමණක් නොව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේත් සෝමාවතිය ජාතික වනෝද්‍යානයේත් පිහිටා ඇති මේ මහා බෞද්ධ උරුමයන් සහිත පුරාවස්තු මෙන්ම පරිසර විනාශයන් කැලෑ පාළුවන් විනාශ කරන්නේ අද ඊයෙක සිට නොවේ. 

 

 

 


එය වසර කිහිපයකට දිව යන මහා විනාශයකි.   


ජාතික උද්‍යානයක් යනු වනජීවීන්ට පූර්ණ ආරක්‍ෂාව සපයමින් මහජනතාවට වනජීවීන් සහ ස්වභාව පරිසර පද්ධති නැරැඹීමට හා අධ්‍යයනය කිරීමට ද ඉඩ සලසන රක්‍ෂිත භූමි වර්ගයකි.   


එවන් රක්‍ෂිත භූමියකට ඩෝසර් දමා මෙවන් මහා පරිසර විනාශයක්, නටබුන්, දාගැබ් විනාශයක් සිදුවන තෙක් අදාළ බලධාරීන්ගේ ඇස් පියවී තිබීම පුදුමයට කරුණකි.   
1984 අගෝස්තු 7 වැනිදා රජය මගින් ප්‍රකාශයට පත්කරන ලද සෝමාවතිය ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය අක්කර 43,375කින් සමන්විත ජාතික උද්‍යානයකි. 1986 සැප්තැම්බර් 2 වැනිදා රජය මගින් ජාතික උද්‍යානයක් ලෙස නම් කර ඇති සෝමාවතිය උද්‍යානය අක්කර 94,112ක වපසරියකින් යුක්ත වුව ද අද වනවිට එම ජාතික වනෝද්‍යාන තුළ තිබෙන කුඹුක්, මිල්ල, වීර, පලු, ඇතුළු වටිනා ශාක වර්ග පරිසර පාළුවන් විසින් වනසා දැමීමෙන් එතරම් අක්කර ගණනක් අපට ඉතිරිව ඇත් ද යන්න සැක සහිතය.   
කිසිදු ඉවක් බවක් නොමැතිව ප්‍රදේශයේ ඇතැම් ආගමික අන්තවාදීන් මෙන්ම පරිසර අපරාධකරුවන් විසින් මෙම ජාතික වනෝද්‍යාන තුළ තිබෙන පුරාවස්තු වනසා නිදන් සෙවීමත් පරිසරය වනසා කුඹුරු වගා කිරීමත් ප්‍රසිද්ධ රහසකි.   


පොළොන්නරුව ලංකාපුර, සිංහරාජගම, වෙට්ටකාඩු ප්‍රදේශයේ ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ පේරන කලාපයේ පිහිටා තිබූ අනුරාධපුර 7 වැනි සහ 8 වැනි සියවස්වලට අයත් යැයි සැලකෙන මෙම දාගැබ ඩෝසර් කර වී වගා කිරීමට සැරැසෙන්නේ මෙකී ආගමික අන්තවාදීන් බවට අනාවරණය වී හමාරය.   


ඩෝසර් කර වනසා තිබෙන මෙම දාගැබ අසල තිබී ඉපැරැණි, කාසි වර්ග, පබළු, පැරැණි ගඩොල්, ඖෂධ ඇඹරුම් ගලක්, සඳකඩ පහණක කොටසක් මෙන්ම තවත් වටිනා පෞරාණික වස්තු රැසක් ද හමු වූ බව ඕනෑගම මැදමළුව මහා විහාරාධිකාරී නිකපිටියේ චන්දිම හිමියන්​ අප හමුවේ හෙළිදරව් කළහ.   

 

දාගැබ අසලින් හමු වූ පුරාවස්තු කිහිපයක්

 


සුංගාවිල, තඹාල, වීරපුර, පල්ලියගොඩැල්ල ඇතුළු අවට ගම්මානවලත්, වාලච්​චේන, එරාවුර්, ඕටමාවඩි යන ප්‍රදේශවලින් පැමිණ සිටින ආගමික අන්තවාදීන් සහ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මෙම ජාතික වනෝද්‍යාන තුළ පිහිටා ඇති වටිනා පුරාවස්තු වනසා නිදන් ගැනීම මෙන්ම අනිකුත් ජාවාරම් සිදුකරන බව ද චන්දිම හිමියන් හෙළිදරව් කරති.   
ජාතික වනෝද්‍යානයන් තුළ පැල්පත් අටවා ගනිමින් කුඹුක් ගස් මුල්වලට ගිනි තබා බිමට සමතලා කරමින් ඔවුන් විසින් දැව ජාවාරම ජයටම කරගෙන ගොස් අක්කර ගණන් කුඹුරු අස්වද්දවා වී වගා කරන බව ද චන්දිම හිමියන් පවසති.   


ආගමික අන්තවාදීන් විසින් ස්ථූප, චෛත්‍ය, දාගැබ් මෙන්ම පරිවාර චෛත්‍ය වනසා ගව ගාල් ඉදිකර තිබෙන බව ද උන්වහන්සේ සඳහන් කරති.   


මීට අමතරව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය තුළත් සෝමාවතී ජාතික වනෝද්‍යානයේත් මත්ද්‍රව්‍ය ජාවාරම්, සතුන් දඩයම කිරීම, දැව ජාවාරම, පුරාවස්තු වනසා නිදන් වස්තු සෙවීම, වටිනා ශාක මෙන්ම කැලෑ වනසා වී වගා කිරීම මෙන්ම විවිධ ජාවාරම් කටයුතු සඳහා යොදා ගෙන ඇති බව ද පරිසරවේදීහු පෙන්වා දෙති.   
මෙම ජාවාරම්කරුවන් විසින් වසර ගණන් වැඩුණු කුඹුක් මෙන්ම වටිනා ශාක බිමට සමතලා කර මෙහි අක්කර 10,000ක පමණ වී වගා කර තිබෙන බව ද පරිසරවේදීහු සඳහන් කරති.   


ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා ගලා බසින මහවැලි ගඟෙහි අතු ගංගා ස්ථාන කිහිපයකින් අමුණු ගසා හරස් කර ඉන් ලබාගන්නා ජලයෙන් අස්වද්දන කුඹුරු වගා කරන මෙම ජාවාරම්කරුවන්ට ඇතැම් උසස් වනජීවී නිලධාරීන්ගේ ද පොළොන්නරුවේ දේශපාලකයින් කිහිපදෙනෙකුගේ ද ආශිර්වාදය අනුග්‍රහය ලැබෙන බව ද පරිසර සංවිධාන සඳහන් කරති.   


මෙම වනෝද්‍යාන තුළ සිදු කරන මහා විනාශය හේතුවෙන් මෙහි වල් අලි මෙන්ම වෙනත් සතා සිව්පාවුන් අවට ගම්මානවලට ආහාර සහ ජලය සොයා පැමිණීමත් සමග අලි මිනිස් ගැටුම් වර්ධනය වී ඇති බවත් ගොවීන් වගා කරන බව භෝගවලට සතුන්ගෙන් හානි සිදුවන බව ද ගොවි ජනතාව පවසති.   


ප්‍රසිද්ධ රහසක්ව පවතින මෙම වනෝද්‍යානය තුළ සිදුවන පුරාවස්තු කොල්ලය මෙන්ම මහා පරිමාණ පරිසර විනාශය පිළිබඳව ද ප්‍රදේශයේ මහ සඟරුවන මෙන්ම පරිසරවේදීහු, මාධ්‍යවේදීහු අදාළ වගකිව යුතු අංශ වෙත හෙළිදරව් කළහ. ඊට නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම කනගාටුවට කරුණකි.   


අසරණ මිනිසකු රක්‍ෂිතයට ගොස් දර කෑල්ලක්, උදලු මිටක් කැපූ විට ඔහු අල්ලා උසාවියට දමා දඩ ගසා හිරේ විලංගු දමන යුගයක ජාතික වනෝද්‍යාන දෙකක එළිපිටම සිදු කරන මෙකී විනාශයේ අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක නොවීම හාස්‍යයට කරුණකි.   


අප රටේ සිංහල, බෞද්ධ ජනතාවගේ උරුමය සංස්කෘතිය මෙන්ම පුරාණ නටබුන් සිද්ධාස්ථාන මහ දවල් වනසන මුස්ලිම් මූලධර්මවාදීන් මෙන්ම අපරාධකරුවන්ට රැකවරණය දෙන දේශපාලකයන් මෙන්ම අදාළ බලධාරීන්ට එරෙහිව හඬ නගා ඒවා රැකගත යුතු කාලය එළඹ ඇති බව ද අපි මේ ලිපිය මගින් පසක් කරන්නෙමු.   


කැත්තක්, පොරොවක්, පිහියක් තියා ගිනිපෙට්ටියක්වත් රක්‍ෂිතයට රැගෙන යාමට නීතිමය පසුබිමක් නොමැති කල්හි පාරවල්, ඇළවල්, වේලි තනා, ඩෝසර් රැගෙන ගොස් දාගැබ් වනසන තෙක් ඔවුන් දෙස බලා සිටි නරුමයන් කවුරුන් ද යන්න අප හමුවේ අැති තවත් ප්‍රශ්නයක්.   


සතා සිව්පාවන්ට සංවේදී නිදහස් පරිසර කලාපයන් මෙන්ම වනෝද්‍යාන මෙන්ම ඒ තුළ ඇති පුරාවස්තු, දාගැබ්, චෛත්‍ය මෙලෙස අපරාධකරුවන්ට වනසන්නට ඉඩ දී බලාන සිටින නිලධාරීහු බලධාරීහු කවුරුන් ද යන්න වහ වහා සොයා බලා ඔවුන් දංගෙඩියට මෙන්ම සිපිරිගෙය දක්වා ගෙන යා යුතුම බව අපි ජනතාවගේ නාමයෙන් රජයට අවධාරණය කර සිටින්නෙමු.   


“අද වනවිට ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේත් සෝමාවතිය ජාතික වනෝද්‍යානය තුළත් දැවැන්ත පරිසර විනාශයන් වෙනවා. අහස පොළොව නුහුලන අපරාධ වෙනවා. චෛත්‍ය, ස්ථූප, දාගැබ්, පුරාවස්තු ස්ථාන ඩෝසර් කරලා කුඹුරු වගා කරනවා. සමහර මුස්ලිම් අන්තවාදීන් එම ස්ථානවල ගව ගාල් ඇති කරනවා.   


මහා රූස්ස කුඹුක් ගස්වල මුල්වලට ගිනි තියලා, ඒවා බිමට සමතලා කරලා දැව ජාවාරම් කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් තදින් ක්‍රියාත්මක වෙනවා. දඩ මස් ජාවාරම ලොකුවට කෙරෙනවා. මේ පෑවිල්ල කැලෑවලට එක පැත්තකින් ගිනි තියලා. මුවෝ, ඌරෝ, සතුන් දුවද්දි වෙඩි තියලා මස් කරනවා. දැව ජාවාරමත් කරනවා. පුරාවස්තු විනාශ කරලා නිදන් හොයනවා. මේ මහා විනාශය ගැන අපි පසුගිය යහපාලන රජයට ලිඛිතව වාචිකව දැනුම් දුන්නා. වත්මන් රජයටත් දැනුම් දුන්නා. නමුත් මේ අපරාධවල අඩුවක් නැහැ. අපි නැවතත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙනුත් අගමැති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගෙනුත් ඉල්ලා සිටිනවා පොළොන්නරුවේ සිදුවන මේ මහා අපරාධය ගැන සොයා බලා ඉක්මන් විසඳුම් ලබාදෙන්න කියලා. මේ විනාශය හෙළිදරව් කරන මටත් ඇතැම් මුස්ලිම් අන්තවාදීන්ගෙන් නිර්නාමික දුරකථන ඇමතුම් මගින් මරණ තර්ජනය කරනවා.” යැයි ද ඕනෑගම මැදමළුව මහා විහාරාධිකාරී නිකපිටියේ චන්දිම හිමියෝ එලෙස අප සමග පැවැසූහ.   


ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ පේරන කලාපයේ පිහිටි අනුරාධපුර යුගයට අයත් මෙම දාගැබ විනාශ කිරීම පිළිබඳව අප සුංගාවිල වන අඩවි ආරක්‍ෂක කුමාරසිරි විජයකෝන් මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමේදී පැවැසුවේ ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට වනජීවී දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් දැනුවත් කර තිබෙන බවයි.   


අනතුරුව අප පොළොන්නරුව කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.එම්.කේ.එස්. චන්ද්‍රරත්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී සඳහන් කළේ එ් සම්බන්ධව සොයා බලා අපරාධකරුවන් හඳුනාගෙන ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග වහාම ක්‍රියාත්මක කරන බවයි.   


ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ මෙන්ම සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිදුවන මහා පරිමාණ දැව, දඩ මස් ජාවාරම්කරුවන්ටත්, අනවසර වගාකරුවන්ටත් ඉතා ඉක්මනින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද චන්ද්‍රරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.   


අනුරාධපුර යුගයට අයත් දාගැබ විනාශ කර දැමීම පිළිබඳව අප පොළොන්නරුව පුරාවිද්‍යා ප්‍රාදේශීය සහකාර අධ්‍යක්‍ෂ ඕ.ආර්. ජයතිලක මහතාගෙන් කරුණු විමසූ විට ඔහු කියා සිටියේ,  


“මම ඔය ස්ථානය නිරීක්‍ෂණය කළා. ඇත්තටම කියන්න කනගාටුයි, විනාශ කරලා තියනේනේ අනුරාධපුර යුගයේ 7 වැනි, 8 වැනි සියවසට අයත් යැයි සැලකෙන දාගැබක්. ඒක ​ඩෝසර් කරලා පුරාවස්තු හොයලා තියෙනවා. මම මේ ගැන පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත වාර්තාවක් කරලා තියෙනවා. 

 
පුරාවිද්‍යා ආරක්‍ෂක ඒකකයටත් දැනුම් දුන්නා. තවමත් කවුරුත් අත්අඩංගුවට ගන්න පුළුවන්කමක් නැහැ.”   


දිනෙන් දින අපරාධකරුවන් සහ මුස්ලිම් මූලධර්මවාදීන් විසින් වනසන පොළොන්නරුවේ සහ නැගෙනිහර පළාතේ පුරාවස්තු කොල්ලය වහා නතර කිරීමට රජයේ අවධානය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව අපි බොදු ජනතාව නාමයෙන් සිහිපත් කරමු.   


රජය එලෙස ක්‍රියාත්මක නොවුණහොත් අපට තවත් වසර කිහිපයකින් දැකිය හැක්කේ පුරාවස්තු නටබුන් සහ චෛත්‍ය ස්ථූප වෙනුවට පස් ගොඩවල් හෙවත් කුඹුරු බිම් කිහිපයක් බව ද කනගාටුවෙන් වුව ද සටහන් කරන්නෙමු.

 

සටහන හා ඡායාරූප : 
මනම්පිටිය - නිමල් ජයරත්න