වල් අලි පහරින් මියගිය තවත් පවුලක සිහිනයක්


දුක හිතෙන කථාවක්

  • බිරිය - දියණිය සහ නූපන් කිරිකැටියාත් තනිකර ඔහු වනයේදීම මියැදුනා

 

 

‘‘ඇත් රැලක ඇතින්නියක් පැටවකු බිහි කළාම රැලේ ඉන්න අනිත් ඇතින්නියන් හැමෝටම කිරි එරෙනවා’’ යැයි ජනවහරේ කියමනක් පවතී. අපේ මිනිස් රැහේද ගැබ්බර මවකට දුකක්, කරදරයක් වන විට කිරි එරුණේ නැති මුත් බොහෝ දෙනෙකුගේ දෑස්වලින් කඳුළු වැගිරෙන බව සැබෑවකි.  


34 හැවිරිදි රසිකා ප්‍රියදර්ශනී තවත් මාස දෙකකින් දරුවෙකු බිහිකරන්නට සූදානමින් සිටියි. ඇය පස් හැවිරිදි දියණියකගේ මවකි. එවැනි තත්ත්වයක සිටියදී පසුගිය 21 වැනිදා ඇය වැන්දඹුවක් බවට පත්වූයේ වල් අලි පහරකින් තම ස්වාමියා මියයාම හේතුවෙනි. ගිරිබාව පොතානෙගම පදිංචිව සිටින රසිකා ප්‍රියදර්ශනීගේ කතාව අපට වාර්තා විය. දින තුන හතරකට වතාවක් තම ස්වාමියා වන සුසන්ත කුමාර කැලයෙන් එළියට යන්නේ ඔහු බලා කියා ගන්නා පැටවුන් සහ මවුන් ගණනාවක් කැලේ මැද රඳවා තැබීමෙනි. ඒ ඔහු අඳයට ගවයන් රැකබලා ගන්නා අයෙකු වීම නිසාය.  


මහා වනාන්තර මැද්දේ ගස් උඩ පැල රැකගෙන උයා පිහාගෙන දුෂ්කර ජීවිතයක් ගෙවන්නට රසිකාගේ ස්වාමියාට සිදුවූයේ කරන්නට රැකියාවක් නොමැති හෙයිනි. ඔහු උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය හදාරා උසස් පෙළ සමත් වුවත්, විශ්වවිද්‍යාල වරම් නොලැබීම නිසා කටුනායක ආයෝජන කලාපයේ රැකියාවක් කළේය. වසර පහක් (5) ක් වැනි කාලයක් එහි රැකියාව කරන අතරතුරදී හඳුනාගත් රසිකා තම ජීවන ගමන්මගේ සහකාරිය බවට පත්කර ගත්තේය. ඔවුන් විවාහ වී එහිම පදිංචිව සිට මීට වසර තුනකට ඉහතදී ඔවුන් උපන් ගම්බිම් බලා ආවේ අලුත් ජීවිතයක් ගෙවන්නටය.  


ඒ ගමන් මඟ වෙනස් කරන්නට වල් අලියෙකු මැදිහත් වූයේ දෛවයේ සරදමකිනි. පසුගිය ජනවාරි විසිඑක්වැනිදා දහවල් කාලය ගෙවා හමාර කොට, ඔහු රැකබලා ගන්නා සතුන් ගාල් කොට නිවෙස කරා එමින් සිටියේ, තවත් දෙදෙනෙකු සමග පා පැදිවලිනි. වනාන්තරයේ සිට කිලෝමීටර් පහළොවක් පමණ දුරක් පාපැදියෙන් එමින් සිටියදී අතරමග වංගුවකදී හමුවූ වල් අලියා සුසන්තගේ ජීවිතයට මරණ සහතිකයක් එක් කළ බව නිවැසියන් දැනගන්නා විට පැය ගණනාවක් ගොස් හමාරය.  


පැටව් එක්ක ආවද බොල ඇතින්නී  
ඒ කා දමා හොල්මන් වැට කඩන්නී  
අංගුලිමාල අණ දැනගත් ඇතින්නී  
බඳමි සීමාව නො පතින් ඇතින්නී  


පැටව් එක්ක වෙනදට එන ඇතින්නී පලවාහරින්න අංගුලිමාල දැහැන ජපකළ පොතානේගම සුසන්ත කුමාරට පසුගියදා මන්තරේ අමතක වුණාද, බිං කළුවර වැටෙද්දී මග නොපෙනුණාද, කියා දන්නේ ඔහු පමණි.  


සුසන්ත මිය යන්නේ, වල් අලියකු විසින් ඔහු කැලේට විසි කිරීමෙනි. ඔහු වසර තුනක පමණ කාලයක් අඳේට ගවයන් රැකීම රැකියාව වශයෙන් කරගෙන ගියේය. සුසන්ත කුමාර පසුගිය වසර තුනක් පුරා රාත්‍රීය ගතකර ඇත්තේ මහගම රක්ෂිතය අසල කැලෑවේ ගස් උඩ ඉදිකරගත් පැල්පත්වලය.  


මියගිය සුසන්තගේ බිරිඳවන රසිකා ප්‍රියදර්ශනී මහත්මිය සමග අපි කතා බහ කළෙමු.  


අපි මේ ගමට පදිංචියට ඇවිත් දැන් අවුරුදු තුනක්. අපි දෙන්නම වැඩ කළේ කටුනායක ආයෝජන කලාපයේ. එහෙත් මෙහෙට ආවේ ගොවිතැන් කටයුතු කරල ජීවත් වෙන්න බලාගෙන. මගේ උපන් ගම නිකවැරටිය. මගේ පවුලේ අම්මා අප්පච්චි ගොවිතැන් කරන්නේ. ඒ අය දැන් ගොඩක් වයසයි. මගේ අයියලා දෙන්නයි, අක්කයි එයාලාත් ගොවිතැන් කරන්නේ. හැමදාම ගොවිතැන්වලට හානි සිද්ධ වෙනවා. අලි ඇවිත් වගාවන් කඩල විනාස කරනවා. මේ පැත්තෙ ගොඩක් අය අලිත් එක්ක ලොකු සටනක ජීවත් වෙන්නේ. ඔය අතරේ මගේ මහත්තයා හරක් බලන රස්සාව කළේ. රස්සාවෙ ලොකු අවදානමක් තිබුණා. එයා සිටියෙත් කැලේ. මම දුවත් එක්ක ගෙදර හිටියා. රෑට වත්තට අලි එනව. ඒ දවස්වල මහත්තයාගේ සහෝදරයින්, නෑදෑයින් වටේම හිටපු නිසා අපට රැකවරණය ලැබුණා. ඒත් මහත්තයා ලොකු අවදානමක් අරගෙනයි මේ රැකියාව කළේ.  


මිනිස්සු ගොවිතැන් කරන නිසා හරක් දාන්න තැනක් තිබුණේ නැහැ. සත්තු දාලා හිටියේ කැලේ. ඔවුන් රැකබලා රගන්න මහත්තයා එහෙ නතර වෙලා හිටියා. ගෙදර ඉඳලා එයාලා නතර වෙලා ඉන්න හරක් ගාල් තියෙන තැනට කිලෝමීටර් පහළොවක් පමණ ඇතැයි එහෙම වුණත් එයා කොහොම හරි දුවව බලන්න දවස් තුන හතරකට වතාවක් ගෙදර එනවා. එදා හැන්දෑවේ සත්තුගාලට දාලා එහෙන් පිටත් වෙන්න ටිකක් පරක්කුවෙලා. එයා ගෙදර එන බව අපි දැනගෙන හිටියේ නෑ. ඒ එන ගමනේදී මේ කරදරේ සිද්ධවෙලා තියෙන්නේ. අපි දැනගන්න කොට පැය ගාණක් ගිහින්. එයා එක්ක ආව දෙන්නත් පණ රැකගන්න දුවලා. ටික වෙලාවකට පස්සේ ඇවිත් බලද්දී නොහිතපු දේ මගේ මහත්තයාට සිද්ධ වෙලා.  


අද මං දරුවත් එක්ක තනි වෙලා. හෙට, අනිද්දා තවත් දරුවෙක් ලැබෙන්න ඉන්නවා. මේ වගේ සිද්ධි මේ පළාතේ මිනිසුන්ට ඕනතරම් සිද්ධ වෙනවා. ඒත් මගේ දුක මොන දෙයියන්ට කියන්නද කියලා මට තේරෙන්නේ නෑ. අපි උපන්දා ඉඳලා අලින්ගෙන් බැට කනවා. මං කල්පනා කරන්නේ මේ ඉපදෙන්න ඉන්න දරුවන්ටත් මේ වන්දිය ගෙවන්න සිද්ධ වෙනවා නේද? ඇය කීවාය.  

 

 

 

 

සටහන / ඡායාරූප : 
චාන්දනී දිසානායක