වයඹටත් මහවැලි ජලය


 

මහවැලි ජලය උතුරට හැරවීම හැත්තෑව දශකයේදී සිහිනයක්ම පමණක්ම විය. නමුත් ඒ සිහිනය මේ වන විට සැබෑවක් බවට පත්ව අවසානය. එසේම ගොවිතැනට වතුර ඉල්ලා හැඬූ වයඹ ජනතාවගේ මහවැලි ජලය පිළිබඳ සිහිනයද යථාර්ථයක් බවට පත් කරවමින් ඒ සඳහාම ක්‍රියාත්මක වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියරද මේ වන විට ක්‍රියාවට නංවා අවසානය.


‘‘මොරගහකන්ද ජලාසය විවෘත කිරීමේ ප්‍රතිඵලයක් විදිහට අපි වයඹ ජනතාවගේ දීර්ඝකාලීන දුක්ගැනවිල්ලකට, කඳුළු පිරුණු කතාවකට, ජලය ඉල්ලා හඬන කතාවකට විසඳුමක් දෙනවා. අපි වයඹ ජනතාවගේ ඒ කඳුළු කතාව​ට විසඳුමක් ලබා දෙමින් වයඹට මහවැලි ජලය ගෙනඒමේ ඒ ඓතිහාසික ව්‍යාපෘතිය අරඹනවා...’’​ මේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ ජනවාරි මාසයේදී කුරුණෑගල පැවැති ජනහමුවකදී පැවසූ කථාවකි.


ජලය අහිමිව වැසි දියෙන් පමණක් ගොවිතැන් කරන වයඹ ගොවි ජනතාවට එම කතාව දහසක් බලාපොරොත්තු දැල් වූ කතාවක්ම විය. ජනාධිපතිවරයාගේ එම කතාව දේශපාලන වේදිකාවට පමණක් සීමා වූ ජනතාව චූන් නොකරන කතාවක් නොවී වයඹ පළාතට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක් මහවැලි ජලයෙන් පෝෂණය කිරීමේ වයඹ ඇළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර පසුගිය වසරේ පෙබරවාරි මස 13 වන දින ආරම්භ කිරීම ජනාධිපතිවරයා අතින්ම සිදුවිය.


එහි දෙවන අදියර හරියටම එයින් වසර එක හමාරකට පසුව ආරම්භ කිරීම පසුගිය සතියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින්ම කුරුණෑගල පොල්පිතිගමදී සිදු කෙරිණි.


සැබැවින්ම වයඹට මේ ආකාරයට මහවැලි වතුර ලැබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන ජීවිතයේ සැබෑ වූ සිහින අතරින් ප්‍රමුඛතම සිහිනයක් වූ මොරගහකන්ද ජලාශයෙනි. මහවැලි කඩිනම් සැලසුමේ අවසන් අදියරට යෝජිත වූ ප්‍රධානම වැඩසටහනක් වූ ‘‘මහවැලි ජල සුරක්‍ෂිතතා ආයෝජන වැඩසටහන’’ යටතේ ආරම්භ වූ වයඹ ඇළ ව්‍යාපෘතිය මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මගින් ක්‍රියාවට නංවයි.
වයඹ පළාතේ ගොවි ජනතාවට වසර ගණනාවක සිට යල මහ කන්න දෙක අස්වැද්දීමට අවශ්‍ය ජලය නොමැතිවීමේ ගැටලුවට මෙන්ම පිරිසිදු පානීය ජලය ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව වකුගඩු රෝගයට ගොදුරුවීමේ ගැටලුවටද මෙමගින් ස්ථිර විසඳුම් හිමි වේ.


මෙම ව්‍යාපෘතිය නිමවීමෙන් පසුව මහවැලි ජලය අක්කර අඩි එක්ලක්‍ෂ පන්දහසක් පමණ වාර්ෂිකව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම, ඇහැටුවැව, ගල්ගමුව, මහව සහ අඹන්පොළ ගොවිබිම් ප්‍රදේශවලට සේම මාතලේ දිස්ත්‍රික්කයට ලැබීමද විශේෂත්වයකි.


වයඹ ගොවි ජනතාවගේ මෙන්ම දේශපාලන අධිකාරියේද දිගුකලක සිට පැවැති ඉල්ලීමක් වූ ‘‘මහවැලි ජලය වයඹට’’ යන්න යථාර්ථයක් බවට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මග පෙන්වීම යටතේ අරඹන ලද මොරගහකන්ද-කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ අතුරු ප්‍රතිඵලයක් ලෙස 2017 වසරේදී වයඹ ඇළ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවමින් වයඹ ගොවි බිම්වලට මහවැලි ජලය සැපයීමේ වැඩ සටහන ආරම්භ කෙරිණි.
මෙම ව්‍යාපෘතිය සඳහා මිලියන 16,000ක් පමණ වැයවෙතැයි ඇස්තමේන්තු කර තිබෙන අතර, වර්ෂ 2024 දී ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතය.


ගලේවෙල ප්‍රදේශය ආශ්‍රිතව පිහිටි ‘‘වෑමැඩිල්ල ජලාශය’’ සංවර්ධනය කොට මාතලේ නාලන්දා ජලාශයේ සිට ​රැගෙන එන ජලය වෑමැඩිල්ල ජලාශය හරහා හිරියාල මැතිවරණ කොට්ඨාශයේ පිහිටි කහල්ල පල්ලෙකැලේ වන රක්‍ෂිතය තුළ අළුතින්ම ඉදිකෙරෙන ‘‘මහකිතුල සහ මහකිරුළ’’ වැව් දෙකට ​රැගෙන ඒමට නියමිතය.

 


එ් සඳහා අවශ්‍ය ඇළ මාර්ගද ඉදිකර සංවර්ධනය කිරීම මෙහිදී සිදුකෙරේ.


කිලෝමීටර් 96ක් දිගට ඉදිවන වයඹ ඇළ මාර්ගය හරහා මේ සඳහා ජලය සැපයීම අදියර දෙකක් යටතේ සිදු කෙරේ. පළමු අදියර වන්නේ පෙර කී නාලන්දා ජලාශය මඟින් අවශ්‍ය ජලය රැගෙන යාමය. වසර 1950 දී විවෘත කරන ලද නාලන්ද‌ා ජලාශය හැඳින්වෙන්නේ මෙරට වාරි කර්මාන්තයේදී මෙරට වාරි ඉංජිනේරුවරුන් අතින් ඉදිවූ මුල්ම සිමෙන්ති වේල්ල සහිත ජලාශය ලෙසය.


නාලන්දා ජලාශයට ජලය සැපයෙන්නේ නාලන්දා ඔය හරහාය. එම ඔයට මාතලේ පිහිටි බලගල, අස්ගිරිකන්ද, මකුළුස්ස, අරංගල, අම්බොක්ක ආදී සුන්දර කදුශිඛර වලින් ගලා හැලෙන දියදහරා එක් වී ඒවායින් නාලන්ද‌ා ජලාශය පුරවයි. නාලන්ද‌ා ජලාශයේ අතිරික්ත ජලය වෑමැඩිල්ල ජලාශයට ගෙනයාම මෙහි පළමු අදියර යටතේ සිදු කෙරේ.


මෙහි දෙවැනි අදියර ලෙස නාලන්ද‌ා ජලාශයට ආසන්නයේ පිහිටි බෝවතැන්න ජලාශයෙන් සහ මේ වන විට ඉදිකෙරෙන මොරගහකන්ද ජලාශයේ අතිරිත්ත ජලය දඹුලු ඔය ජල හැරවුම් නිර්මිතයට බෝවතැන්න උමඟ හරහා ගෙන ගොස්, එහි සිට ඉදිකෙරෙන නව ඇළ මාර්ගයක් ඔස්සේ නැවත වෑමැඩිල්ල ජලාශයට රැගෙන යාම සිදු කෙරේ. මෙම ඇළ මාර්ගය කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගය හරහා ඉදිකිරීමද විශේෂත්වයකි.
මෙසේ ​රැගෙන එන මහවැලි ජලය මහකිතුළ හා මහකිරුළ වැව් වලට රැගෙන ගොස් ඉහළ මී ඔය ජලධාරා පද්ධතියේ පිහිටි කුඩා වැව් වලටද, පොතුවිල, මැඩියාව වැව් සහ මැඩියාව ද්‍රෝණියේ කුඩා වැව් පද්ධතියටද, අඹන්පොළ ප්‍රදේශයේ පිහිටි අඹකොළවැව, අතරගල්ල වැව, මැදියාව වැව, පාළුකඩවල වැව සහ මහාගාලේ වැව යන වැව් සඳහාත් ගෙනයයි. ඒ අතරේම හත්වැටුණා ඔය ද්‍රෝණි ප්‍රදේශයටත් හරවා, කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව් ගණනාවක් මහවැලි ජලයෙන් පෝෂණය කිරීමද සිදු කෙරේ.


දඹුලුඔයේ ජලය වෑමැඩිල්ල දක්වා හැරවීමට අවශ්‍ය ඇළ මාර්ගය හා ජල හැරවුම් නිර්මිත ඉදිකිරීමද මෙම කාලය තුළ සිදු කෙරේ.


වෑමැඩිල්ල ජලාශය සඳහා නව සොරොව්වක් ඉදිකිරීමද සිදුවන අතර, එහි සිට, මහාකිතුල වැව දක්වා ඉදිකෙරෙන ඇළ මාර්ගයේ දිග කිලෝ මීටර් 23.5කි. දඹුලුඔයේ සිට වෑමැඩිල්ල දක්වා කිලෝමීටර් 8.6ක් දිග වම් ඉවුරු ප්‍රධාන ඇළ මාර්ගය ඉදිකෙරේ.


රක්‍ෂිතය තුළ අලුතින්ම ඉදිකෙරෙන ජලාශ දෙකේ තත්ත්වය මෙසේය. ජලය අඩි 12,000ක් පමණ රැස්කළ හැකි හෙක්ටයාර් 172 (අක්කර 425) විශාලත්වයෙන් යුතුව ඉදිකෙරෙන මහකිතුළ ජලාශය සහ ජලය අඩි 9000ක් පමණ රැස්කළ හැකි හෙක්ටයාර් 15 (අක්කර 380) විශාලත්වයකින් යුතු වන මහකිරුළ ජලාශය විශාලත්වය අතින් ඉබ්බාගමුව ජලාශයටද වඩා විශාලත්වයෙන් වැඩි වීමද විශේෂ කරුණකි.


වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියේ විශේෂම ඉදිකිරීමක් වන්නේ මහකිතුල, මහකිරුළ හා මහදඹේ වැව් යා කරමින් කිලෝමීටර් 3.6ක් දිගැති කොන්ක්‍රීට් ආස්තරණ හා ආරක්‍ෂිත කොන්ක්‍රීට් වැස්මක් සහිතව ඉදිවන ජලය රැගෙන යනු ලබන ඇළ මාර්ගයයි. මේ ඇළ මාර්ගය බාහිරට විවෘත නොවන උමං මාර්ගයකි.


මැඩියාව ඇළ මාර්ගයෙන් බෙදී යාපහුව දක්වා දිවෙන කිලෝ මීටර් 11.2ක් දිගට ඉදිවන ඇළ මාර්ගයත් සමඟ, මැඩියාව වැවේ සිට මහකිතුළ ජලාශය දක්වා කිලෝමීටර් 20ක් දිගට ඇළ මාර්ගයක් ඉදිකිරීමද මෙම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ. මේ වන විට මේ ආශ්‍රිත වැව්, අමුණු, මාර්ග බොහොමයක්ම රජයේ සංවර්ධන වැඩසටහන් යටතේ සංවර්ධනය කර තිබීමද මෙහි සැලසුම් ක්‍රියාවට නැංවීමේදී ලැබී තිබෙන විශාල වාසියක් වී තිබේ.


වයඹ ඇළ ව්‍යාපෘතිය නිමාවීමෙන් පසුව මහවැලි ජලය අක්කර අඩි 105000ක් පමණ වූ ප්‍රමාණයක් වාර්ෂිකව කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශයට ලබාගැනීමේ හැකියාව ඇති බව සඳහන් වේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වගාබිම් හෙක්ටයාර් 12500ක් සංවර්ධනය කරමින් ගොවි පවුල් 13500ක් සඳහා අවශ්‍ය වාරි ජලය සැපයීමද සිදු කෙරෙනු ඇත. එසේම මෙම ව්‍යාපෘතිය මගින් පානීය ජලය ඇතුළුව විවිධ ආකාරයට ප්‍රතිලාභ හිමිවන සමස්ත පවුල් සංඛ්‍යාව 40000ක් පමණ වෙතැයි ගණනය කොට ඇත.


වයඹ ඇළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු රාජ්‍ය මෙන්ම දේශීය හා විදේශීය පෞද්ගලික ඉදිකිරීම් සමාගම් මගින් සිදුකරගෙන යයි. මෙහි ඉදිකිරීම් අධීක්‍ෂණය ‘‘ලාමා ඉන්ටර්නැෂනල්’’ නම් වූ විදේශීය ඉදිකිරීම් සමාගමක් විසින් කරනු ලබයි. නඩත්තු සහ මෙහෙයුම් කටයුතු වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සිදුකෙරෙන අතර, ඉදිකිරීම් දේශීය වාරි ඉංජිනේරුවන් විසින් සිදුකිරීමද විශේෂත්වයකි. මේ සඳහා දැනට සේවයෙහි නියුතු මෙන්ම විශ්‍රාම ලබා සිටින පළපුරුදු, දක්‍ෂ ඉංජිනේරුවන්ගේ සේවය රජය ලබා ගෙන ඇත.


‘‘මම පසුගිය ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී 2012 අවුරුද්දේ තමයි බොහෝම අමාරුවෙන් සල්ලි ටිකක් ඉල්ලාගෙන මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය පටන්ගත්තේ. මේකට 2007 අවුරුද්දේ මුල්ගල තිබ්බ දවසේ ඉඳලා වැඩ කරගෙන යන්න පුළුවන්කම තිබුණා නම් වයඹට මහවැලි වතුර දෙන මේ වැඩේ අපිට 2012 අවුරුද්දේ පටන්ගන්න තිබුණෙ. එහෙම වුණා නම් මේ වෙනකොට වයඹ ඇළ ව්‍යාපෘතිය අවසන් කරලා අපි වයඹ පළාතට මහවැලි වතුර දීලත් ඉවරයි..’’ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියර අරඹමින් ප්‍රකාශ කළේය.


තම පාලන කාලයේදී ජනපතිවරයා මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතිය සාර්ථක කර ගත්තා හා සමානවම වයඹ ඇළ ව්‍යාපෘතියේ කටයුතුද සාර්ථකව අවසන් කළහොත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරි ජල හිඟයට ප්‍රමාණවත් ස්ථිරසාර පිළිතුරක් ගොවි ජනතාවට ලැබෙනු නියතය.

 

 

සේයාරූ හා සටහන 
පුෂ්පකුමාර ජයරත්න