රටම කැලඹූ අතීත උපවාස සටන්


 

 

අතුරලියේ රතන හිමියෝ පසුගිය සිකුරාද‌ා මහනුවර මහ මලුවේ දී උපවාසයක් ආරම්භ කළහ. එහි අරමුණ වශයෙන් උන්වහන්සේ පවසා සිටියේ මුස්ලිම් අන්තවාදීන්ට සහාය දුන්නේ යැයි චෝදනා ලැබ සිටින කර්මාන්ත වාණිජ කටයුතු සහ සමුපකාර සංවර්ධන ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාත් නැගෙනහිර ආණ්ඩුකාර ඒ.ඇල්.ඇම්. හිස්බුල්ලා මහතා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා යන තිදෙනා එම තනතුරුවලින් ඉවත් කරන ලෙස ය. එය සිදු නොවන්නේ නම් තම මරණය සිදුවෙන තුරු එම උපවාසය සිදුකරන බවට ද උන්වහන්සේ සපථ කළහ.  


රතන හිමියන් බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් වෙන නිසා අපට බුදුන් වහන්සේගේ ප්‍රකාශයක් ද සිහියට නැගේ. එක් දේවතාවෙක් බුදුහිමියන් බැහැ දැක ‘එක නාම කිං?’ යනුවෙන් පැනයක් විමසුවේය. එහි අරුත වනුයේ එක යනු කුමක් ද යන්නය. ‘සබ්බෙ සත්තා ආහාරට්ඨිකා’ යැයි එතුමෝ පිළිතුරු දුන්හ. ආහාරයේ අවශ්‍යතාව එතරම්ම වැදගත් බව බුදු වදනින්ම කියවෙන්නේ ඒ ආකාරයටය.  


 එසේ ද වුවත් තම ආහාරය ගැනීමට හෝ නොගෙන සිටීමට හෝ ඕනෑම කෙනෙකුට ඇති අයිතිය ගැන කිසිවෙකුට අභියෝග කළ නොහැක. එය තමාගේ සිතැඟි අනුව සිදුවිය යුත්තකි. රතන හිමියන් අනුගමනය කළේ ආහාර නොගෙන සිටීමේ තම අයිතිය යොදවා රටට, ජාතියට සහ ආගමට එල්ල වී ඇති තර්ජනයකට දේශපාලන විසඳුමක් ලබා ගැනීමට උත්සාහ ගැනීමක් බව පෙනී යයි.  


දේශපාලන ඉල්ලීම් දිනා ගැනීමට අවි ආයුධ භාවිතය, හෙවත් ප්‍රචණ්ඩත්වය උපයෝගී කරගැනීම ලෝකයේ එකම ක්‍රමවේදය බවට පත්ව තිබුණු සමයක අවිහිංසාවාදය මගින් එය කළ හැකි බවට නව උපාය මාර්ගයක් හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ ඉන්දියානු නිදහස් සටනේ අසහාය නායකයා වූ මහත්මා ගාන්ධි තුමාටය. උපවාසය, සත්‍ය ක්‍රියාව, පාද යාත්‍රා ආදී අවිහිංසාවාදී උපාය මාර්ග යොද‌ා ගනිමින් බලගතු හිරු නොබසින අධිරාජ්‍යය පරාජයට පත්කර තම රටට නිදහස උද‌ාකර ගැනීමට ගාන්ධිතුමා සමත් වූ බව කියනු ලැබේ.  


බෞද්ධ භික්ෂුන් වහන්සේලා රට, දැය සමය වෙනුවෙන් ඉදිරියට පැමිණීම අනාදිමත් අතීතයක සිට සිදුවූවක් බව වංශ කථාවේ සඳහන් වේ. ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශවල ද එවැනි දේ බහුලව සිදුව ඇත. වඩා ඈත අතීතයක දී නොව මෙයට දශක පහක පමණ වූ මෑත අතීතයක දී වියට්නාම විමුක්ති අරගලය ඉතා උග්‍රව තිබිය දී ඇමෙරිකන් අධිරාජ්‍යවාදය විසින් තම දේශය දැඩි මර්දනයකින් යුතුව පාලනය කිරීමට විරුද්ධව හෝචිමිං නායකයාණන්ගේ මග පෙන්වීම මත වියට්නාම් ජාතික විමුක්ති පෙරමුණ ගොඩනගා සන්නද්ධ වූ අරගලයක් දියත් වෙමින් තිබුණි. දස දහස් ගණන් වියට්නාම් ගැමි තරුණයෝ මෙම සටනට එක්වූහ. මෙසේ යුද වැදී උතුරු වියට්නාමයේ භූමි ප්‍රදේශය නිදහස් කර ගැනීමට හෝචිමිං සමත් විය. එහෙත් දකුණු වියට්නාමයේ සයිගොන් නගරය කේන්ද්‍ර කර ගනිමින් ඇමෙරිකාවේ රූකඩ ආණ්ඩුවක් ක්‍රියාත්මක විය. ඒකාධිපතියෙකු වූ ඩිං ඩියම් නම් පාලකයෙක් යටතේ එම පාලනය ක්‍රියාත්මක වූවේය.  


 අබෞද්ධයෙකු වූ ඩිං ඩියම් ඇමෙරිකානු රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ බෞද්ධ ජනතාවටත් විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාටත් විරුද්ධව දැඩි මර්දනයක් ක්‍රියාත්මක කළේය. එයට හේතුව වූයේ වියට්නාම් විමුක්ති අරගලයට බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ සහාය සෘජුවම ලැබී තිබීමය. ථෙරවාදී බෞද්ධ සම්ප්‍රද‌ාය නොනැසී පවත්වාගෙන ගිය අග්නිදිග ආසියාතික රටක් වූ වියට්නාමයේ දහස් ගණන් භික්ෂුන් වහන්සේලා පෙළපාළි පවත්වමින් උපවාස කරමින් තම රටේ විමුක්ති අරගලයට මහත් සේ ද‌ායකත්වය ලබා දුන්හ. මෙසේ දිගින් දිගටම උපවාසය කළ ක්වා එන් ඩක් නමැති භික්ෂුන් වහන්සේ එයින් ප්‍රතිඵලයක් නොලැබෙන බව වටහාගෙන තම සිරුරට ගිනි තබාගෙන ජීවිතය පූජා කළහ. එම ක්‍රියාවේ ආගමික පසුබිම විග්‍රහ කිරීමට අප අපොහොසත් වෙන නමුදු එම ක්‍රියාවෙන් ලද උත්තේජනය මත වියට්නාම් නිදහස් සටන පිළිබඳව මුළු මහත් ලෝකය පුරාම විශාල අවධානයක් යොමු වූ බව අපට මතකය.  


ක්වා එන් ඩක් හිමියන්ගේ ජීවිත පූජාව නිසා වියට්නාම් තරුණ පරපුර අවදි වූ අතර දහස් ගණන් පිරිස් වියට්කොං ගරිල්ලා හමුද‌ාවට එක්වූහ. 1973 මැයි පළමුවැනි දින සයිගොන් පාලනය බිඳ දමා ඇමෙරිකන් හමුද‌ා වියට්නාම් භූමියෙන් පලවා හැරීමට තරම් ජයග්‍රහණයක් අත්කර ගැනීමට හැකි වූයේ ක්වා එන් ඩක් හිමියන්ගේ ආත්ම පරිත්‍යාගය නිසා එම ජනතාව තුළ ඇති වූ උත්තේජනය හා ධෛර්ය නිසා බව එකල මාධ්‍යවල පළ වූ බව අපට මතකය.  


 යම් යම් ​ෙද්ශපාලන අරමුණු ඉටුකර ගැනීම පිණිස උපවාස පැවැත්වීම ශ්‍රී ලංකාවේ දී කීප වරක්ම සිදුව ඇති බව වාර්තාවල සඳහන්ව තිබේ. එහි පැරණිම සිදුවීම වාර්තා වෙන්නේ මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ජාතික මට්ටමේ නායකයෙකු ලෙසත්, පෙරළිකාරයෙකු ලෙසත් ඉතිහාසයට එක්ව සිටින වැලිමඩ හිටපු මන්ත්‍රීවරයෙකු ද වූ කේ.ඇම්.පී. රාජරත්න මහතාය. එම සිද්ධිය ඉතා විචිත්‍රවත්ය. 1952 මහ මැතිවරණයේ දී කෝණාර මුදියන්සේලාගේ පොඩි අප්පුහාමි රාජරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් වැලිමඩ ආසනයට තරග වැදුණේය. පක්ෂය අරඹා මාස නවයක් පමණක් වූ සුළු කාලයක් වූ නිසා එම පක්ෂයට ප්‍රබල සංවිධාන ව්‍යූහයක් ගොඩනගා ගැනීමට කාලයක් තිබුණේ නැත. සිංහල පමණක් යන රැඩිකල් ප්‍රතිපත්තියක නියැළෙමින් උඩරට සිංහල ජනතාව අතර ඉතා ජනප්‍රිය පුද්ගලයෙකුව සිටියා වුව ද රාජරත්න මහතාට එම මැතිවරණයේ දී ජයග්‍රහණය කිරීමට හැකි වූවේ නැත. එද‌ා පැවැති මැතිවරණ නීතියට අනුව මැතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයන් තරගය සඳහා දැරූ වියදම් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් රජයට ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍යව තිබුණි. කුමන හේතුවක් නිසා හෝ රාජරත්න මහතාට මෙම කාර්යය ඉටුකිරීම අතපසු වී තිබුණි.  


 1956 මැතිවරණය එළඹියේය. එවරත් ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් යුත් ම.එ.පෙ. අපේක්ෂකයා ලෙස කේ.ඇම්.පී. රාජරත්න මහතා වැලිමඩ ආසනයට යළි තරග කළේය. එද‌ා සිදු වූ දේශපාලන පෙරළියට සමගාමීව රාජරත්න මහතා ද ඉතා පහසුවෙන් තම අසුන ජයග්‍රහණය කළේය. බණ්ඩාරනායක රජයේ උප ඇමැති ධුරයක් ද ලද නමුදු ඔහුගේ පෙරළිකාර ගති මතුව සිංහලය රාජ්‍ය භෂාව කිරීමේ අරගලයේ දී රජය සමග උග්‍ර මතභේද ඇතිකර ගත්තේය.  


 මේ අතරවාරයේ පසුගිය මැතිවරණයේ දී වියදම් පිළිබඳ වාර්තා ඉදිරිපත් නොකිරීම මගින් නීතිය උල්ලංඝනය කිරීම පිළිබඳව ඡන්ද පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණි. එය සලකා බැලූ අධිකරණය රාජරත්න මහතාගේ පත්වීම අවලංගු කළේය. ඔහුගේ ප්‍රජා අයිතිය ද අහිමි කරන ලද අතර යළි අතුරු මැතිවරණයක් පැවැත් වීමට ද නියෝග කෙරුණි. ඒ වෙන විට ජාතික විමුක්ති පෙරමුණ නමින් පක්ෂයක් පිහිටුවා ගෙන සිටි රාජරත්න මහතා 1957.9.7 දින පැවැති වැලිමඩ අතුරු මැතිවරණයට තමා නියෝජනය කරමින් ඉදිරිපත් කළේ සිය බිරිඳ වූ කුසුමා රාජරත්න මහත්මියයි. එහිදී ඇය ජයග්‍රහණය කළාය. ඊළඟ මැතිවරණය පැමිණෙන විට වැලිමඩ ආසනය බෙදී ඌව-පරණගම නමින් තවත් ආසනයක් නිර්මාණය වී තිබුණි. 1960 මාර්තු 19 වැනිද‌ා ඡන්දයෙන් ජාතික විමුක්ති පෙරමුණෙන් වැලිමඩ ආසනය කේ.ඇම්.පී. රාජරත්න මහතාත් ඌව-පරණගම ආසනය කුසුමා රාජරත්න මහත්මියත් ජය ගත්හ. එම පාර්ලිමේන්තුවේ කාල සීමාව දින තිස්තුනකට සීමා විය. ඒනිසා වැඩි පෙරළියක් නොමැතිව රාජරත්න යුවළ ඊළඟ මැතිවරණයට මුහුණ දුන්හ. දෙදෙනාම 1960 ජූලි 20 වැනිද‌ා නැවතත් පාර්ලිමේන්තුවට පත්වීමේ වරම උද‌ාකර ගත්හ.  


මෙහිදී රාජරත්න මහතාට තවත් බාධකයක් මතු විය. ජාතිභේදවාදී කලහ සමයේ දී සිදුකරන ලද වරදක් හේතුකොට ගෙන මතු වී තිබුණු හේතුවක් මත ඔහුට විරුද්ධව නැවතත් ඡන්ද පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර තිබුණු නිසා අසුන අහිමි විය. ඒනිසා නැවතත් වැලිමඩට අතුරු මැතිවරණයක් පැවැත්වීමට සිදුවිය. මෙම පසුබිම මත රාජරත්න මහතා උපවාසයක් ආරම්භ කළේ තමාට අසාධාරණයක් සිදුව තිබෙන බව කියමිනි. උසාවි තීරණයකට මැදිහත් වීමට ඇති දුෂ්කරතාව රජය විසින් පෙන්වා දෙන ලද නමුදු රාජරත්න මහතා එයට එකඟ වූවේ නැත. එහෙත් ජනාධිපති විශේෂ සමාවක් යටතේ ප්‍රජා අයිතිය රැකගැනීමට සමත් වූ රාජරත්න මහතා 1962.6.28 දින පැවැති අතුරු මැතිවරණයෙන් යළිත් වැලිමඩ ආසනය දිනාගෙන පාර්ලිමේන්තුවට පත්වීම් ලැබුවේය. කෙසේ වුවත් උපවාස කළ දේශපාලකයෙකු වශයෙන් කේ.ඇම්.පී. රාජරත්න මහතා ඉතිහාසයට එක්විය.  


උපවාස සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ දී අපේ මතකයට නැගෙන්නේ තවත් පෙරළිකාර දේශපාලන චරිතයක් වන නිකවැරටිය හිටපු මන්ත්‍රීවරයෙකු වූ මුදියන්සේ තෙන්නකෝන් මහතාය. 1956 මැතිවරණයේ දී එම අසුනෙන් පත්ව එන විට ඔහුගේ වයස අවුරුදු විසි එකක් පමණි. එම පාර්ලිමේන්තුවේ සිටි ළාබාලම මන්ත්‍රීවරයා ඔහු විය. ඒනිසා අගමැතිතුමා ප්‍රමුඛ සැවොම ඔහු ඇමැතුවේ පොඩි පුතා යන සුරතල් නාමයෙනි. ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා සිටි මුදියන්සේ තෙන්නකෝන් මහතා දක්ෂ ඉංග්‍රීසි කථිකයෙකු ද වූ නමුදු ජීවිතය ගත කළේ සරල ගැමියෙකු වශයෙනි.  


 මන්ත්‍රී ධුරයට පත් වූ පසුව වුවද අමුඩයකින් සැරසී කුඹුරු කෙටීමට පවා මැළි නොවූ ඔහු මන්ත්‍රී ධුරය ආභරණයක් කර නොගත්තේය. සරල දිවි පෙවෙතකට හුරුව සිටි ඔහු මහජනයා ඇසුරේ කාලය ගත කිරීමට හුරු වී සිටියේය. ඔහු මැති සබා රැස්වීම් සඳහා කොළඹ පැමිණියේ බස් රථයෙනි. නිවසේ සිට ලන්තෑරුමක් රැගෙන රැයින්ම නිකවැරටිය මංසන්ධියට පයින්ම පැමිණෙන මන්ත්‍රීවරයා එහි සිට කොළඹට යාමට බස් රියට නැගී වාඩිවෙන්නේ බස් රථයේ රියදුරු අසුන ආසන්නයේම ඇති බැටරි පෙට්ටිය මත බව එකල මාධ්‍යවල පළ විය. මෙවැනි නිහතමානී ගති ගුණවලින් හෙබි අවංක, සෘජු ප්‍රතිපත්තිවලින් යුතු තරුණයෙකු වූ මුදියන්සේ තෙන්නකෝන් මහතා ප්‍රදේශයේ අතිශය ජනප්‍රිය පුද්ගලයෙකු විය.  


 1960 මාර්තු සහ ජූලි මැතිවරණවලින් පහසුවෙන් ජයගත් ඒ මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රථම රජයේ මුදල් උපඇමැතිවරයා ලෙස ද පත්කර ගන්නා ලදී. මුදල් ඇමැති ධුරය පිළිබඳව දීර්ඝ කාලයක් එම රජය තුළ අර්බුදයක් පැවතුනි. එම රජයේ මුදල් ඇමැති ධුරය පස් දෙනෙකු අතට මාරු වීමෙන් එම තත්ත්වය වටහා ගත හැකිය. පළමුවෙන්ම ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාත් ඉන්පසුව සී.පී. ද සිල්වා, ටී.බී. ඉලංගරත්න, පී.බී.ජී. කළුගල්ල සහ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා යන මහත්වරු වසර හතර හමාරක් පමණ වූ එම රජයේ ආයු කාලය ගත වන විට මුදල් ඇමැති ධුරය දැරූහ.  


 මෙම පසුබිම පවතිද්දී ටී.බී. ඉලංගරත්න මහතා මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ උප මුදල් ඇමැතිවරයා ලෙස සිටියේ නිකවැරටිය මන්ත්‍රී මුදියන්සේ තෙන්නකෝන් මහතාය. ඉලංගරත්න මහතා නිල සංචාරයක් සඳහා විදේශගත වූ අවස්ථාවක දී වැඩබලන මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කිරීමේ අවස්ථාව තෙන්නකෝන් මහතාට හිමි විය.  


 අග්‍රාණ්ඩුකාරවරයා වෙත ගොස් නව තනතුරේ දිව්රුම් දී පැමිණි දිනයේ සිටම ඔහු එහි අමාත්‍යාංශ නිලධාරින් සමගත් මන්ත්‍රී නේවාසිකාගාරය වූ ශ්‍රාවස්තියේත් බොහෝ දෙනා සමගත් ආරාවුල් ඇතිකර ගත් බව එකල මාධ්‍යවල පළ විය. නිතිපතා සිදුවෙන අමාත්‍යාංශ කාර්ය පටිපාටියට විරුද්ධ යෝජනා මාලාවක් ක්‍රියාත්මක කළ යුතු බවට ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරමින් අර්බුදයක් ඇතිකර ගැනීමට ඔහුගේ වැඩපිළිවෙළ හේතු විය. ටෙන්ඩර් පටිපාටිය වෙනස් කිරීම, රජයේ සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල වෙළෙඳ දැන්වීම් පුවත්පත්වලට ලබා දීමේ සම්ප්‍රද‌ායික ක්‍රමය වෙනස් කිරීමට ඔහුගේ යෝජනා අද‌ාළ විය.  


 මෙම තත්ත්වය අගමැතිනිය අපහසුතාවට පත් කරවන්නක් ද වූවේය. එකල ප්‍රධානම ජනමාධ්‍ය වූ පුවත්පත්වලින් මේ ගැන රජය දැඩි විවේචනයට ලක් විය. මේ හේතුව නිසා අගමැතිනිය වැඩබලන මුදල් ඇමැතිවරයාට දෙ‌ා්ෂාරෝපණය කළ බව ද කියවුණි. මෙම අර්බුදය නිමාවට පත් වූවේ 1963 සැප්තැම්බර් මස 28 වැනිද‌ා තමා දැරූ වැඩබලන මුදල් අමාත්‍ය ධුරයෙන් සහ නිකවැරටිය මන්ත්‍රී ධුරයෙන් ද ඉල්ලා අස්වීමෙනි.  


 රජයට බලපාන ප්‍රතිපත්තිමය ආර්ථික කරුණු ගැන පමණක් නොව තමා නියෝජනය කරන ගැමි ගොවි ජනයාගේ ගැටලු ගැන ද ඔහු රජයේ බලවතුන්ගේ අවධානය යොමු කළේය. එහෙත් ඒවාට ඉහළින් ප්‍රතිචාර නොදැක්වුණි. ඒනිසා බලධාරින්ගේ ඇස් අරවනු පිණිස නිකවැරටියේ අයියනායක දේවාලයේ සිට කොළඹ දක්වා විශාල ගොවි පෙළපාළියක් මෙහෙය වීමට සංවිධානය කළේය. ආණ්ඩුව එයට ප්‍රතිචාර දැක්වූවේ පොලිසිය යොදවා මර්දනය කිරීමෙනි. මෙයින් කනස්සල්ලට පත් මුදියන්සේ තෙන්නකෝන් මහතා නිකවැරටිය අයියනායක දේවාල බිමේදී උපවාසයක් ආරම්භ කළේය. එහෙත් ඔහුට කිසිවක් දිනාගත නොහැකි වූයෙන් අසාර්ථකව උපවාසය අත් හළේය.  


ඊළඟට අපට සඳහන් කළ හැකි වෙන්නේ ඉහත සඳහන් කළ සියලු උපවාසවලට වඩා වෙනස්, එහෙත් මෙරට දේශපාලන ක්ෂේත්‍රයට අතිමහත් බලපෑමක් ඇති කළ ඉතිහාසයේ ගමන් මග වෙනස් කිරීමේ හැරවුම් ලක්ෂ්‍යයක් බඳු වූ අසාමාන්‍ය සිදුවීමකි. 1983 ජූලි මස මෙරට ඇති වූ කළු ජූලිය නම් වූ සිද්ධිය නිසා දමිළ ප්‍රජාව අතරින් මතු වූ ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් ජනවාර්ගික යුද්ධය තවදුරටත් වර්ධනය කරන ලදී. මෙම යුද්ධය මැඩ පැවැත්වීම සඳහා 1987 ජූලි මාසයේ දී ඉන්දීය අගමැති රජිව් ගාන්ධි මහතා සහ ශ්‍රී ලංකාවේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා අත්සන් කළ ඉන්දු-ලංකා සාම ගිවිසුම කරළියට පැමිණියේය. එහි එකඟ වූ කරුණු අතර බලය විමධ්‍යගත කිරීම අරමුණු කොටගෙන පළාත් සභා පිහිටුවීම. කොටි සංවිධානය සතු සියලු අවි ශ්‍රී ලංකා රජයට භාර දීම, ශ්‍රී ලංකා හමුද‌ාව සියලු යුද මෙහෙයුම් නවත්වා බැරැක්ක තුළට යොමු කිරීම, සියලු යුද කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ඉන්දියානු සාම සාධක හමුද‌ාවක් මෙරටට ගොඩබැසීම ආදී කරුණු ඇතුළත් විය.  


නාම මාත්‍රික වශයෙන් (බලපෑම් මත) එල්ටීටීඊය මෙම ගිවිසුමට එකඟ වූවා වුවත් එයින් තමනට අත්වන ජයග්‍රහණයක් නැති බව කොටි දැන සිටියහ. ඒනිසා ඔවුන්ට අවශ්‍ය වූවේ එම ඉන්දු-ලංකා ගිවිසුම අහෝසි කරවීම හෝ ක්‍රියාවට නැංවීම වළක්වා ලීමයි. බලගතු ඉන්දියානු ආණ්ඩුව අමනාප කර ගැනීමට ද ඔවුහු අපේක්ෂා නොකළහ.  
ගිවිසුම නිසා යුදමය දේශපාලන සහ උපක්‍රමික යන සියලු ආකාරයෙන්ම අපහසු තත්ත්වයකට වැටී ඇති බව කොටි නායක ප්‍රභාකරන්ගේ තක්සේරුව විය. එහෙත් කෙළින්ම එයට විරුද්ධ වීම කළුගලේ ඔළුව හප්පා ගැනීමක් වන බව ද ඔහු දැන සිටියේය. කොයි දේටත් සිටින මිත්‍රයා වූ ඉන්දියාවේ දේශපාලන බල පරාක්‍රමය හමුවේ නිහඬව තමන් එය පිළිගත්ත ද උතුරේ ජනතාව මෙම විසඳුමට එකඟ නැතැයි පැවසීමට ඔවුන්ට අවශ්‍ය විය.   


එ් නිසා මහත් ප්‍රචාරයක් ලබා දීමෙන් පසු 1987 සැප්තැම්බර් 12 වැනිද‌ා යාපනයේ කොටි දේශපාලන අංශයේ ප්‍රධානියා වූ දිලීපන් උපවාසයක් ආරම්භ කළේය. ඒ නල්ලුර්හි ඓතිහාසික කන්දසාමි කෝවිල ඉදිරිපිට දීය. මෙය සිදුකිරීම සඳහා ඉදිකරන ලද වේදිකාවක සිය ආධාරකරුවන් සමග දිලීපන් වාඩි වී සිටියේය. ඉල්ලීම් පහක් ඉදිරිපත් කරනු ලැබ තිබුණි. උතුරු නැගෙනහිර දෙමළ නිජබිමෙහි ශ්‍රී ලංකා රජය විසින් ජනපද පිහිටුවනු ලැබීමේ ගැටලුව නිරාකරණය, රජය මගින් අත්අඩංගුවට ගෙන ඇති සිරකරුවන් ආපසු ලබා ගැනීම, පළාත් සභා ස්ථාපිත කරන තුරු පිහිටුවීමට යෝජිතව තිබුණු අන්තර්වාර පාලනයේ සාමාජික සංඛ්‍යාව හා සභාපති ධුරය පිළිබඳව එල්ටීටීඊ ඉල්ලීමට අනුව සිදුකිරීම ආදිය මුල් තැනක් ගත්තේය.  


 නල්ලුර් කෝවිල් භූමිය ශෝකී සංගීතරාවයකින් පිරී ගියේය. මේ අතර තමිල්නාඩු දේශපාලකයෝ දෙදෙනෙක් උපවාස වේදිකාවට පැමිණියහ. ඉන්දීය හමුද‌ා නායකයෝ ද පැමිණියහ. කොටි සංවිධානය මෙය මහත් ප්‍රචාර මාධ්‍යයක් බවට පත් කළේය. ශබ්ද විකාශන යන්ත්‍ර බැඳගත් වාහන විශාල ගණනක් ගමක් පාසා යමින් ජනතාව දැනුවත් කිරීම ඇරඹීය. මිනිස්සු දහස් ගණනින් කන්දසාමි කෝවිල ඉදිරියට ගලා ආවෝය. ඉන්දියානු හමුද‌ාව ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවට සහාය දීමට මෙරටට පැමිණ සිටින බවත් එම හේතුව නිසාම දිලීපන් වැනි වටිනා තමන්ගේ එකෙකු මරණය කරා ළඟාවෙමින් සිටින බවත් කොටි හැඟීම් බරව ජනතා සිත් සතන් තුළට කා වැද්දීමට සමත් වූහ. මුළු උතුර පුරා උපවාසයට සහාය දක්වමින් හර්තාල් පැවැත්වුණි.  


 ප්‍රකෝපව සහ උසිගන්වනු ලැබ සිටි ජනතාව පේදුරුතුඩුව පොලිසියට ගල් ගැසූහ. එය කඩා බිඳ දමා ගිනි තබා විනාශ කළහ. ඉන්දියානු හමුද‌ාව නිහඬව ඉවත බලාගෙන සිටිනු දක්නා ලදී. ලංකා රජයේ හමුද‌ාවලට කළ හැකි කිසිවක් නොවීය. මේ අතර සිංහල දූත පිරිසක් ද යාපනයට පැමිණියේය එය රජයේ නිල අනුමැතිය ඇතිව තීරණ ගැනීමේ බලය සහිතව පැමිණි අය නොවූහ. පෞද්ගලික මට්ටමේ අවද‌ානම් සහගත ක්‍රියාවක් විය. එද‌ා අධිකරණ නියෝජ්‍ය ඇමැතිව සිටි ෂෙල්ටන් රණරාජා මහතා සහ දේවගැති යොහාන් දේවානන්දයෝ ද එයට නායකත්වය දුන්හ. ඔවුන් ආපසු පැමිණීමට මඳ දුරක් එද්දී මෙම පිරිස ගමන් ගත් මෝටර් රථ දෙකක් කොටින් විසින් පැහැර ගන්නා ලදී. අලිමංකඩට ආසන්නව සිදු වූ මෙම මංකොල්ලකෑම නිසා එම නියෝජිතයන්ට සැතපුම් ගණනාවක් පා ගමනින් පැමිණ බස් රථයකින් කොළඹට ඒමට සිදු වූ බව වාර්තාගතව තිබේ. කිසිදු අවස්ථාවක මෙම උපවාසය විසඳුමකින් යුතුව අවසන් කිරීමට ප්‍රභාකරන්ට අවශ්‍ය නොවීය.  


 ක්‍රමයෙන් මිය යමින් සිටි දිලීපන් සිහි නැතිවීමට පෙර තම ආගමික අධිෂ්ඨානය ප්‍රකාශ කළේය. තමා දිව්‍ය භවනයට යන බවත් එහිදී කොටි සංවිධානයේ විමුක්ති අරගලය වෙනුවෙන් දිවි පූජා කළ වීරයන් 630 දෙනා හමුවන බවත් කීවේය. එහිදී දෙවියන් විසින් තෝරාගත් අයට පමණක් හිමිවන අමන්දානන්දය භුක්ති විඳිමින් පොළව දෙසට හැරී නිදහස් දෙමළ ඊළාම් රාජ්‍යය දෙස බලා සිටින බවත් දිලීපන් ප්‍රකාශ කළේය. මොහොතකින් ඔහුට සිහිය නැති විය. තමාගේ උපවාසය ආරම්භ කර දොළොස්වැනි දිනයේ දී එනම් සැප්තැම්බර් 26 වැනිද‌ා දිලීපන් මිය ගියේය. ඔහුගේ නාඩි පරික්ෂා කර බැලූ ඔහුගේ වෛද්‍යවරයා දිලීපන්ගේ පියාට දුන් සංඥ‌ාවක් අනුව ඔහු වැළපෙන්නට පටන් ගත්තේය. අවට කෝවිල් බිමේ රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනතාව ද හඬා වැලපුණහ. මාරාන්තික උපවාස ආරම්භ කළ බොහෝ දෙනා අතුරෙන් මරණය තෙක් සටන ගෙන ගිය දුලබ ගණයේ මිනිසෙකු බව ලෝකයට පෙන්වා දෙමින් දිලීපන් මරු වැලඳ ගත්තේ ප්‍රභාකරන්ගේ නියෝගය එපමණටම බලවත් වූ නිසාය.  


ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ද වසර කීපයකට පෙර උපවාසයක් ආරම්භ කළ බව මාධ්‍ය වාර්තා කර තිබුණි. එය ඉතා සමීප අතීතයේ දී සිදු වූවක් නිසා නැවත සිහිපත් කිරීමක් අවශ්‍ය නොවෙතැයි සිතමි. කරුණු වාර්තා වෙන අන්දමට රතන හිමියෝ තම සටන ජයග්‍රහණය කළහ. උන්වහන්සේ කොන්දේසි වශයෙන් දැක්වූ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, ආණ්ඩුකාර අසාද් සාලි සහ ආණ්ඩුකාර හිස්බුල්ලා යන තිදෙනාම මේ වන විට ඔවුන් දැරූ තනතුරුවලින් ඉවත්ව ගොසිනි. එපමණක් නොව ක්‍රියාවක් වශයෙන් රතන හිමියන්ගේ ක්‍රියා කලාපය ගැන නොයෙකුත් අන්දමේ ප්‍රතික්‍රියාවන් මතුවෙමින් තිබේ. මේ සියල්ලේ ප්‍රතිඵල දකින්නට ලැබෙනු ඇත්තේ අනාගතයේ දීය. එතෙක් අප ජීවත්ව නොසිටියහොත් අනාගත පරපුරට ඒ සියල්ල විඳ ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ