මහවැස්සෙන් හැමදාම බැටකන ‘ලංකාගම ’


ගිං ගඟ පිටාර ගැලීම නිසා පසුගිය දිනවල ඇති වූ ගංවතුර හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පෙදෙස් රැසකට මහත් ව්‍යසන ගෙන දුන් අතර නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ‘ලංකාගම’ ගම්මානයට ද මෙම ගංවතුර බරපතළ හිරිහැර තිළිණ කර ඇත. 

ලංකාගම යනු ලෝක උරුම සිංහරාජ වනාන්තරය මැද පිහිටි ඓතිහාසික අති දුෂ්කර මනරම් ගම්මානයකි. 2003 වසරේ ගිං ගඟ පිටාර ගැලීම නිසා ඇති වූ ගංවතුර හේතුවෙන් ලංකාගම කනිටු විද්‍යාලය මුළුමනින්ම විනාශ වූ අතර දැන් ලංකාගම විදුහල් භූමියේ ඇති සියලුම ගොඩනැගිලි හා ඉදිකිරීම් 2003 වසරෙන් පසුව ස්ථාපනය කළ ඒවාය. මෙවර ගංවතුරෙන් ගොඩනැගිලිවලට හානි සිදුවී නැතත් පාසලට යාබද කුඩා කඳු ගැටයේ කොටසක් නායගොස් ක්‍රීඩාපිටිය අසලටම පැමිණ තිබේ. මෙම කඳුගැටය අතීතයේ ලංකාගම විද්‍යාලයේ සේවය කළ විදුහල්පතිවරුන්ට, ආචාර්ය මණ්ඩලයට ගංවතුරෙන් ආරක්ෂා වීමට තිබුණු එකම රැකවරණය ලෙස ද සැලකේ.  

 


 ලංකාගම විද්‍යාලයේ ලොග් සටහන් පොතෙන් උපුටාගත් පහත සටහන් ඊට කදිම සනාථ කිරීම්ය.  


 1940-41 කාලයේ ලංකාගම කනිටු විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කර ඇති බී.ඩී. නානායක්කාර මහතා තැබූ සටහනක්. මෙම සටහන තබා ඇත්තේ 1940.05.17 දිනයි.  


‘‘16 දා රාත්‍රි පටන් ඇදහැලුණු අධික වර්ෂාව නිසා ජල ගැලීම ටිකෙන් ටික වැඩි වී රාත්‍රි 2.00 ට පමණ පාඨශාලා ගොඩනැගිල්ලට ද ජලය ගලා එන්නට විය. එවිට මම සහ මගේ වැඩකාරයා ද ගංවතුරෙන් එගොඩ වී කැලෑ සහිත හෙළට ගොඩ වී ප්‍රාණය බේරාගෙන එළිවනතුරු වර්ෂාවට තෙමි තෙමී කාලය ගත කළෙමි. උදේ පහයි තිහට පමණ පැමිණ බලන විට කළුලෑල්ල සහ ආණ්ඩුව සන්තක සියලුම කඩදාසි, පොත් පත්, තීන්ත, ලිවීමේ උපකරණ තිබූ පෙට්ටිය ද සම්පූර්ණයෙන් ගසාගෙන ගොසිනි. මගේ ඇඳුම් පෙට්ටිය සහ ඇඳුම් ද, ආහාරවලට ගෙන්වා තිබූ මාසයකට සෑහෙන ද්‍රව්‍යය ද පිඟන් බඩු පෙට්ටිය ද සමඟ නැතිවිය. පාඨශාලාවේ ප්‍රයෝජනයට සාදවා තිබූ වැසිකිළිය ගිලා බැස තිබේ.’’  


1941 සිට 1946 දක්වා සේවය කර ඇති ඩී.ජේ.ආර්. සිරිවර්ධන මහතා තබා ඇති ලොග් සටහන් කිහිපයක් මෙසේය.


1944.05.19   
‘‘16, 17 යන දිනවල නොකඩවා වැස්ස පැවැති නිසා 17 දින රාත්‍රි 10ට පමණ භයානක ජලස්කන්ධයක් ගලා අවුත් හදිසියෙන් වාගේ පාඨශාලාව ද යටවිය. මා සහ උප ගුරුවරිය වූ මගේ භාර්යාවත් මගේ කුඩා බිලිඳු දරුවන් හතර දෙනාත් ඔසවාගෙන වැඩකාරයා ද සමඟ පාසල අසල පිහිටි කැලෑ සහිත හෙළට ගොඩවී මහ වැස්සට තෙමි තෙමී මුළු රැයම අපි කැලේ සිටියෙමු.  


පසුදා උදේ පැමිණ බලන විට ආණ්ඩුව සන්තක පොත්පත් හා ලී බඩු ද මගේ භාර්යාවගේ ඇඳුම් පැළඳුම් ද, පිඟන් කොප්ප ද, ගෘහභාණ්ඩ ද, පොත්පත් ද, ඉගැන්වීමේ උපකරණ හා ආහාර ද්‍රව්‍යය ද වතුරට ගසාගෙන ගොස් තිබුණි. වර්තමාන කාල​ෙය් හැටියට මේ බඩු මුට්ටුවල වටිනාකම රු. 35,000 ක් පමණ වේ.’’  


 ප්‍රදේශයේ එදා පැවැති දුෂ්කර වටපිටාව මෙම ලොග් සටහනින් වටහාගත හැකිය.  


1945.10.19  
‘‘45.10.16 දින මගේ ළමයින් හතර දෙනාටම උණ සෑදුණා. 17 දින ළමයින්ට ලේ හීදං බඩයාම සෑදුණා. රෝගය උත්සන්නවීම නිසා 18 දින මගේ ගෑණු දරුවා කාලක්‍රියා කළාය. මගේ භාර්යාවට ද එම රෝගය වැළඳුණා. 19 දා මුල් ගුරුවරයාට සහ වැඩකාරයාට ද රෝගය බලගතු ලෙස වැළඳී තිබේ. මෙම පාසලට හැතැප්ම 15කට මෙහා සිංහල හෝ ඉංග්‍රීසි හෝ වෛද්‍යවරයකු නැත. ගමේ අය විසින් එකතු වී දරුවාගේ මෘත ශරීරය භූමදාන කරන ලදී.’’  


1945.10.29  
‘‘45.10.19 දින දරන සටහනේ පරිදි මෙම මුල් ගුරුවරයා ඇතුළු පවුලේ සැමට වැළඳුණු රෝගය නිසා 45.10.27 දින ඊට බාල වයස අවුරුදු 01 යි මාස 09 ක් වූ කුඩා පිරිමි දරුවා ද කාලක්‍රියා කළේය. අවාසනාවන්ත ස්ථානයක රාජකාරියට පැමිණීම නිසා මගේ දරු පැටවුන් දෙදෙනාගේ අභාවය සිදුවිය. මෙය මට ඉසිලිය නොහැකි තරමේ සිත් වේදනාවකි.’  


මෙම ලොග් සටහන්වලින් කියා පාන්නේ ලංකාගම ගම්මානයේ එදා පැවැති දුෂ්කරත්වය හා ගංවතුර තර්ජනය හමුවේ විදුහල්පතිවරුන් තම ජීවිත බේරා ගැනීමට ගෙන ඇති අසීරු ප්‍රයත්නයි. පසුගියදා ඇතිවුණු ගංවතුරත් සමඟ නායයාමට ලක්වී ඇත්තේ එම ලොග් සටහන්වල කියවෙන කැලෑ සහිත හෙළයි.  


පසුගියදා ඇති වූ ගංවතුර හේතුවෙන් ලංකාගම ගම්මානය හා නිල්වැල්ල ගම්මානය යා කරමින් ගිං ගඟ හරහා ඉදිකර තිබුණු වැල් පාලම ද විනාශ වී තිබේ. නිල්වැල්ලේ සිට ලංකාගම විද්‍යාලයට ඉගෙනුම ලැබීමට එන පාසල් දරුවන් මේ නිසා බලවත් අසීරුතාවකට ලක්වී ඇති අතරම ලංකාගම ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථානයට නිල්වැල්ලේ සිට පැමිණීමට තිබුණු කෙටිම මාර්ගය ඇහිරී තිබේ. මේ වනවිට ගම්වාසීන් නිල්වැල්ලේ සිට ලංකාගමට එන්නෙත් නැවත ලංකාගම සිට නිල්වැල්ලට යන්නෙත් වැල් පාලමේ ඉතිරි වී ඇති කම්බි මතින් භයංකාර ගමනක යෙදෙමිනි.  


නෙළුව නගරයේ සිට ලංකාගමට ප්‍රවේශ වීමට ඇති මාර්ගයේ වාරුකන්දෙණිය හරහා ඇති කොටස නායයාමට ලක්වීම ද ලංකාගම ගම්වාසීන්ට මහත් පීඩාවකි. මේ නිසා ලංකාගම ගම්මානයට ගමන් කළ හැක්කේ ත්‍රිරෝද රථයක්, යතුරුපැදියක් වැනි කුඩා වාහනයකට පමණි. මෙම මාර්ගයේම බ්‍රාහ්මණ ඇල්ල අසල ඇති පාලම අධික වර්ෂාවත් සමග ගැලවී ගොස් ඇති අතර යුද හමුදා නිලධාරීන් ඇටඹ කොටයක් ගසා එම පාලම තාවකාලිකව පිළිසකර කිරීමට මේ වනවිට කටයුතු යොදා ඇත.  


 ලංකාගම ගම්මානයට විදුලිය ලබාදීම සඳහා සිටුවා තිබුණු විදුලි කණු ද ගැලවී ගංවතුරට ගසාගෙන ගොස් ගං ඉවුරේ නතර වී තිබෙන ආකාරය ගංවතුරේ තිබුණ ප්‍රචණ්ඩත්වය මොනවට කියාපාන දසුන්ය. මේ අනුව පසුගියදා ඇති වූ ගංවතුරත් සමඟම ‘ලංකාගම’ ගම්මානයේ ගම්වාසීන්ට නැවත වතාවක් මාර්ග පහසුකම් නැති, විදුලිය නැති පාලම් නැති අතිදුෂ්කර ජීවිතය පිළිබඳව මතක සමඟ දිවි ගෙවන්නට සිදුවන පරිසරයක් නිර්මාණය වී තිබේ.  


 මේ අතර ගිං ගඟ පිටාර ගැලීම නිසා ඇතිවන ගංවතුර තත්ත්වය පාලනය කිරීමට ගිං ගඟේ ඉහළ ප්‍රදේශය හරහා බැම්මක් ඉදිකරන බවට පුවත්වල ලිපි පළවීමත් සමග ලංකාගම ගම්වාසීන් තවත් බියට පත්ව ඇත. ඔවුන් කියා සිටින්නේ තම උපන් ගම්බිම් හැරයාමට තමන් කිසිසේත් සූදානම් නැති බවය. දුෂ්කරතා තිබුණ ද ඔවුන් ගතකරන මේ ජීවිතයට ඔවුන් ආදරය කරන බවය.


සටහන ඡායාරූප : තවලමරංජිත් හේවගේ