මව පියා සහ දරුවන් හතර දෙනාම මහණ වෙලා


  • ඉඩකඩම්, යානවාහන විකුණා පන්සලේ සංවර්ධනයට යොදවලා

තම දරුවකු සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කිරීමට හැකි නම් එය දෙමව්පියන්ට නිවන් ලැබීමට තරම් මහත් උතුම් පිංකමක් බව බුදුදහමේ සඳහන් වේ.  


තම දරුවන් සිව් දෙනා පමණක් නොව දෙමව්පියන්ද සසුන්ගත වී ඔවුන් සතු සියලු ඉඩකඩම්, වස්තු, ධනය වැයකර විහාරස්ථානයක් සංවර්ධනය කිරීමේ පිංබර කතාවක් පොලොන්නරුව, වැලිකන්ද ප්‍රදේශයෙන් අපට අසන්නට ලැබිණ.  


ඒ වැලිකන්ද, මහවැව ශ්‍රී ශාන්ති නිකේතනාරාමයේ වැඩවාසය කරන වලපනේ අභයරතන හිමියන්ය.  


වලපනේ, නිල්දණ්ඩාහින්න ගම්මානයේ පදිංචිව සිටි ඩබ්ලිව්.ජී. අබේසේකර සහ ජී.ඩබ්ලිව්. සිරියාවතී යන පිංබර දැහැමි යුවළට උපන් දරුවන් සිව් දෙනෙකි.  


ජීවිතය සරිකර ගැනීමට පිරිමැහෙන දේපොළ, ඉඩකඩම් තිබූ මොවුහු සැබැවින්ම ගම්මානයේ දැහැමිව දනට, පිනට ලැදිව ජීවත් වූහ.  


​ෙම් සොඳුරු කැදැල්ලේ වැඩිමහල් දරුවා වූ අශෝක පුෂ්පකුමාර වයස අවුරුදු පහළවේදී මහණ වීමට අවශ්‍ය බව දෙමව්පියන්ට පැවසුවේ පෙර ආත්මයක සිට මහණ දම් පුරා ආ අයුරිනි.  


තම එකකුස උපන් වැඩිමහල් සොයුරා මහණ වීමට සසුන් කෙතට පියමන් කිරීමත් සමග නව හැවිරිදි දෙවන දරුවා වූ සමීර චන්දිත මල්ලීට ද තම අයියා සමග ගිහිගෙයින් නික්මීමට සිත් පහළ වූයේය.  


මේ පුංචි කැදැල්ලේ නෙත් දෙක වන් දරුවන් දෙදෙනාගේ ඉල්ලීම දෙමව්පියන්ගේ නෙතට කඳුළක් එකතු කිරීමට සමත් වුවද දරුවන්ගේ පින් මහිමයට ඔවුහු හරස් නොවූහ. ඒ අනුව දෙදරුවෝ මව්පිය අවසරය මත සසුන්ගත වූහ.  


ඒ අලව්ව වැදිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩවිසූ උස්සාපිටියේ පඤ්ඤාරංසි නාහිමියන්ගේ මග පෙන්වීම මතය. අශෝක පුෂ්පකුමාර වලපනේ ධම්මවංශ ලෙසත්, සමීර චන්දිත වලපනේ අරියවිමල යනුවෙන් ද පැවිදි වූහ.  
වලපනේ ධම්මවංශ යන නමින් පැවිදි වූ මේ කුඩා සාමනේරයන් වහන්සේ පොළොන්නරුව මනම්පිටිය මහවැව ගම්මානයේ පිහිටි ශ්‍රී ශාන්ති නිකේතනාරාම විහාරස්ථානයට වැඩම කරනු ලැබුවේ 2010 වසරේදීය. ඒ මෙම විහාරස්ථානයේ අඛණ්ඩව වැඩ සිටි බෙරවිල මහින්දතිලක නායක හිමියන්ගේ අපවත් වීමත් සමඟය.  


විහාරස්ථානයට වැඩම කළ වලපනේ ධම්මවංශ හිමියෝ ගමේ බෞද්ධ දායක කාරකාදීන් කැටුව විහාරස්ථානය තවදුරටත් සංවර්ධනය කිරීමට ඇපකැපව ක්‍රියා කළහ.  


ගම පන්සල නැවත එක්කරමින් ජනතාවගේ යහපත උදෙසා තම ජීවිතය කැප කරන ධම්මවංශ හිමියන් තම සසර ගමන කෙටිකර ගැනීමට අපේ බෞද්ධ ජනතාවට සපයන පූර්වාදර්ශය අපි වන්දනාපූර්වකව සිහිපත් කරමු. මේ අතරේ පවුලේ තුන්වෙනි දරුවා ලෙස උපන් අසේල නුවන් පුෂ්පකුමාර කුමරුවාද වලපනේ පඤ්ඤාධීර නමින් අලව්ව වැදිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ උස්සාපිටියේ පඤ්ඤාරංසි ලොකු හාමුදුරුවන්ගේ උපදේශකත්වයෙන් සසුන් ගත වූහ. වලපනේ ධම්මවංශ, අරියවිමල, පඤ්ඤාධීර යන සාමණේරවරුන් මේ වනවිට වයස අවුරුදු 24, 21 සහ 18 වියෙහි පසුවෙති.  


ඉන් වලපනේ අරියවිමල හිමියන් රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතර වලපනේ පඤ්ඤාධීර සාමනේර හිමියන්ද මෙවර වැඩිලකුණු හිමිකර ගනිමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීමට වරම් හිමිකර ගෙන ඇත. මෙලෙස සසුන් කෙත එම සාමනේර හිමිවරුන් අතින් පෝෂණය වෙද්දී ඔවුන්ගේ පියා වූ ඩබ්ලිව්.ජී. අබේසේකර වලපනේ අභයරතන නමින්ද මව ජී.ඩබ්ලිව්. සිරියාවතී වලපනේ ධම්මචේතනා යනුවෙන්ද, ඩබ්ලිව්.ජී. අසිත නුවන් පුෂ්පකුමාර වලපනේ සුබෝධි ලෙසත් සසුන් කෙතට ඇතුළත් වූහ.  


ඒ 2005 වසරේදී මහරගම පඤ්ඤාතිලක මහ පිරිවෙනේ අනුනායක විමලබුද්ධි නාහිමියන් අතිනි. 49 වියෙහි පසුවන වලපනේ අභයරතන හිමියන් මේ වන විට වසර තුනක් තිස්සේ මනම්පිටිය මහවැව ශ්‍රී ශාන්ති නිකේතනාරාමයේ වැඩවාසය කරන අතර 14 වි​ෙයහි සිටින වලපනේ සුබෝධි හිමියන්ද වාසය කරති.  


වලපනේ ධම්ම​ෙච්තනා මෙහෙණින් වහන්සේ 44 වියෙහි පසුවෙමින් මේ වන විට කුරුවිට වාළුකාරාම ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩ වාසය කරති.  


වලපනේ අභයරතන හිමියන්ගේ ගිහි කල තිබූ සියලු ඉඩකඩම්, යාන වාහන, විකුණා එම සියලු මුදල් මේ වන විට මනම්පිටිය ශ්‍රී ශාන්ති නිකේතනාරාම විහාරස්ථානයේ සංවර්ධනය උදෙසා යොදවා ඇත.  
විහාරස්ථානයේ බෝධි ප්‍රාකාරය ඇතුළු සියලු ඉදිකිරීම් කටයුතු සිදුකරන්නේ තමන් විසින්ම සිමෙන්ති බදාම අනාගනිමිනි.  


මෙම තත්ත්වය නිසාම අභයරතන හිමියන්​ෙග් දෑත්වල ඇඟිලි තුවාල වී ඇති අයුරුද අපට පෙනිණි.  


මහත්තයෝ, දැන් මගේ මුළු පවුලම මහණ වෙලා. අපේ බුද්ධ ධර්මය තවදුරටත් ඉදිරියට රැකෙන්න ඕනැ. මම ගිහි කාලයේ හම්බ කරපු සියලුම වස්තුව ශාසනයට පූජා කළා. අවසානයේ වලපනේ මා සතුව තිබුණ කාමර හයේ ස්ථීර ගෙයයි, අක්කර 3 ගොඩ ඉඩමයි, ඊයේ පෙරේදා විකුණලා මේ පන්සලේ අඩුපාඩු හදන්න පටන් ගත්තා. බෞද්ධයෙකු හැටියට මැරෙන ටික කාලයට බුද්ධ ශාසනය වෙනුවෙන් අපිට සසර මග කෙටි කරගන්න තියෙන්නේ පිං කරන්න පමණයි ශ්‍රද්ධා භක්තියෙන් යුක්තව වලපනේ අභයරතන හිමියෝ පැවසූහ.  


මම බෞද්ධකාරකාදීන් යහමගට ගන්න ආදර්ශමත් පිං වැඩ කරනවා. මේ පළාතේ වී ගොවිතැන් කරලා කුලීමලී වැඩ කරලා බෞද්ධ ජනතාවට පන්සල් දියුණු කරන්න තරම් ආර්ථික හයියක් නැහැ. මේ පළාතේ දුෂ්කර පන්සල්වල භික්ෂුන් වහන්සේලාට කිසිදු පහසුකමක් නැහැ. සමහර පන්සල්වල හාමුදුරුවන්ට ඉන්න හිටින්න සංඝාවාසයක් නැහැ. ඉතින් මම හිතුවා දායකයින්ට කරදර කරන්නේ නැතුව මම හම්බ කරපු දේවල් යට කරලා මේ විහාරස්ථානය සංවර්ධනය කරන්න. අභයරතන හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.  


‘මම ගිහිකාලේ වඩු වැඩ, මේසන් වැඩ කළා. එළවළු වගා කළා. ඔහොම ඉද්දී ලොකු පුතා කීවා මහණ වෙන්න ඕනැ කියලා. ඒ පුතාත් එක්ක දෙවැනි පුතාත් මහණ වුණා. පස්සේ අපිත් හිතුවා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපිත් පැවිදි වෙන්න. මම විහාරස්ථාන පහක, හයක වැඩ වාසය කළා. මම අවුරුදු හතරක් සිංහරාජයේ වනවාසීව හිටියා. දැන් මම අවුරුදු තුනක් තිස්සේ මේ පන්සලේ අඩුපාඩු හදනවා. මේ වන විට සිමෙන්ති මිටි 100 කින් මේ පන්සලේ බෝධිප්‍රාකාරයත් අනිත් වැඩ කටයුතුත් කරගෙන යනවා’. අභයරතන හිමියෝ එලෙස තම කතාව අවසන් කළහ.

 

 

 


සටහන : 
මනම්පිටිය නිමල් ජයරත්න