බැංකු කාඩ් පතකින් හෙළිකරගත් මිනිස් ඝාතනයක්


ඝාතනයට ලක්වූ නිරංජනීගේ දියණිය සහ ඥාතීන්

 

 

නවීන විද්‍යාව හා තාක්ෂණය, සන්නිවේදන ක්‍රම සමඟ ඉදිරියට ගමන් කරන ලෝකයේ හොර බොරු කිරීම පහසු කාර්යයක් නොවේ. අපරාධයක් කර සැඟවීමද පහසු නොවේ. ආරක්ෂක කැමරාවල සටහන්වන ඡායාරූප පෙළකින්, එසේත් නැත්නම් ඝාතනයට ලක් වූ තැනැත්තාගේ හෝ සැකකරුගේ ජංගම දුරකථන දත්ත වාර්තාවකින්, මුහුණු පොතේ සටහනකින් අපරාධකරු සොයාගත හැකි වූ අවස්ථා බොහෝය. ඇතැම්විට අපරාධකරු, ඝාතනයට ලක් වූ අයට අයත් බැංකු කාඩ් පත් භාවිත කරමින් මුදල් ලබාගැනීම හෝ වෙළෙඳ ගනුදෙනු සිදුකළහොත් හෝ එමගින්ද සැකකරු පිළිබඳ තොරතුරු වාර්තා වීමෙන් ඔහු ලුහුබැඳ අල්ලා ගැනීමට ඉඩ කඩ සැලසේ. 


පසුගිය 07 වැනිදා කැස්බෑව, ගුරුගම්මාන මාවතේ පදිංචිව සිටි පෞද්ගලික ආයතනයක කළමනාකාරිනියක සිය නිවස තුළම ඝාතනය කර පලාගිය ඝාතකයා අල්ලා ගැනීමට පොලිසියට සහාය වූයේද ඝාතකයාමය. ඝාතකයා කෙසේද ඝාතකයාවම කොටු කරගැනීමට සහය වූයේ? 


නිරංජනී විරසිංහ නමැති ඝාතනයට ලක් වූ කාන්තාව 54 හැවිරිදි දෙදරු මවකි. ඇගේ පුතා සිටින්නේ ඩුබායිවලය. දියණිය විවාහවී කැස්බෑව ආසන්නයේම පදිංචිව සිටින්නීය. නිරංජනී මහත්මිය තම නිවසේ තනිවම වාසය කළාය. ඒ නිසා ඇය ගැන නිතරම සොයා බැලීමට දියණිය අමතක කළේ නැත. මියගිය කාන්තාව ඩුබායිවල සිටින පුතා බලන්නට ගොස් පැමිණ තිබුණේ සිද්ධිය වූ දිනට දින දෙකකට පමණ පෙරය. පසුගිය 07 වැනිදා උදෑසන මරණකාරිය දුරකථනයෙන් සිය දියණිය ඇමතුවාය. ඉන් පැය කීපයකට පසු යම් කිසි උවමනාවකට දියණිය මවට ඇමතුමක් ලබාගත්තද ඇයගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැත. 


මව රැකියාවට ගියේ නම් කාර්යාලයේ සිටිය යුතුය. ඒ අනුව ඇය මවගේ කාර්යාලයට ඇමතුමක් ලබාගත්තේ තමන්ගේ උවමනාව ඉටුකරගැනීම සඳහාය. එහෙත් මව කාර්යාලයට නොපැමිණි බව ඇමතුම ගත් අය දන්වා සිටියෙන් දියණිය කලබල වූවාය. මවගේ ජංගම දුරකථනයෙන්ද ප්‍රතිචාරයක් නැත. ඇය රැකියාවට පැමිණ ඇත්තේද නැත. එසේ නම් ඇයට කුමක් වීද? ඇය වහාම මවගේ නිවසට ගියාය. එහෙත් නිවසේ දොර ජනෙල් වසා තිබිණ. ඇය කීප විටක් කතා කළ ද කිසිම සද්දයක් නැත. ඇය තමන් සතුව තිබූ අමතර යතුරකින් දොර විවෘත කර බැලුවද මව පෙනෙන්නට සිටියේ නැත. නිවසේ කිසිම වෙනසක්ද දක්නට නැත. 


මවගේ කාමරයට ගියත් ඇය එහි නොවූවාය. මුළුතැන්ගෙයිද කිසිම තැනක මව නැත. ඇය අවසානයේ ගියේ නාන කාමරය වෙතය. නාන කාමරයේ දොර වසා තිබිණ. දොර විවර කර එබී බැලූ ඇයට දක්නට ලැබුණේ මව නාන කාමරයේ වැටී සිටින ආකාරයයි. කලබලයට පත් දියණිය මව සිහිසුන්වී ඇතැයි සිතා 1990 ගිලන් රථසේවාවට කතා කර වාහනයක් ගෙන්වා ගත්තාය. 


ඔවුන් සිහිසුන්ව සිටින කාන්තාවට කෘත්‍රිම ස්වසනය ලබාදීමට උත්සාහ කරද්දි සිදුවූයේ අවට සිටි කවුරුත් තැතිගන්වන්නකි. සිහිසුන්ව ඇතැයි සිතූ කාන්තාවගේ ගෙලෙන් පිටතට එක වරම ලේ විදිනු ලැබිණ. කිසිවෙකු ඇගේ ගෙල කපා ඇති බව දැක්කේ එවිටය. ඒ අනුව දියණිය වහාම පොලිසියට මේ බව දැනුම් දෙනු ලැබිණ. 


පොලිසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය. ඝාතනයට ලක් වූ කාන්තාව රැකියාවට යාමට සුදානම්ව නිවසින් බැහැරට යන්නට සුදානම්වන අවස්ථාවේ ඝාතකයා පැමිණ ඇති බව පොලිසියට තහවුරු විය. මියගිය කාන්තාව සපත්තුද පැලඳ සිටීම එයට සාක්ෂි සපයනු ලැබිණ. ඇගේ ජංගම දුරකථනය විසිත්ත කාමරයේ කුෂන් පුටු කොට්ටයක් යට තිබී සොයාගනු ලැබිණ. ඝාතකයා මෙම ඝාතනය සිදුකර දොර වසා යතුරු කැරැල්ලද රැගෙන ගොස් තිබිණ. 


ගල්කිස්ස කොට්ඨාසයේ නිල සුනඛ ජෙනී, පොලිස් සැරයන් 31135 රත්නායක මහතාද සමඟ කැඳවා පරීක්ෂණ ආරම්භ කරනු ලැබිණ. නිවසේ වැටී තිබූ ඉටි බෑගයක් ඉවකරන්නට ඉඩ සලසා ජෙනී ලවා සැකකරු සොයාගැනීමේ මෙහෙයුමක් සිදුකළත් ජෙනී ගමන් කළේ එම නිවස ආසන්නයේ පාළු ඉඩමක් දක්වා පමණි. එතැන් සිට ජෙනී යළිත් ආපසු පැමිණියාය. සැකකරු එතැන් සිට වාහනයකින් ගමන් කරන්නට ඇති බවට පොලිසිය සැකකරනු ලැබිණ. 


සැකකරු නිවසේ අල්මාරි හෝ වෙනත් කිසිවක් අවුස්සා තිබුණේ නැත. ඒ අනුව මෙය හොරකමකට හෝ ඇය දූෂණය කිරීමේ අදහසක් ඇතිව හෝ සිදුකරන ලද්දක් නොව පෞද්ගලික තරහක් පළිගැනීමක් වශයෙන් සිදුකරන ලද්දක් විය හැකි බවටද පොලිසිය සැක කරනු ලැබිණ. මරණකාරියගේ ජංගම දුරකථනයෙන්ද කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය. එහෙත් පොලිසිය ජංගම දුරකථනය සක්‍රියව තබාගැනීමට හැමවිටම කටයුතු කළේ කොයි වෙලාවක හෝ එයින් යම් තොරතුරක් ලැබෙනු ඇතැයි යන විශ්වාසයෙන් මෙනි. 


අවසානයේ ඒ අවස්ථාව උදා විය. මරණකාරියගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩ විටින් විට ලැබිණ. ඒ සුපිරි වෙළෙඳසලකින් ඇගේ බැංකු කාඩ් පත භාවිත කර භාණ්ඩ මිලදී ගත් අවස්ථාවලදී, එසේත් නැත්නම් ඉන්ධන පිරවුම්හලකින් තෙල් ලබාගැනීමේදී ලැබුණ පණිවුඩය. ඒ අනුව මේ කාඩ්පත් භාවිත කරන්නේ අනෙකකු නොව ඝාතන සැකකරු බව වටහා ගැනීමට පොලිසියට අපහසු වූයේ නැත. වැඩි වශයෙන්ම මේ කාඩ් පත භාවිතා කර තිබුණේ බම්බලපිටිය ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සලකිනි. 


පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම වෙළෙඳසල සොයා ගියහ. ඒ අවට ආරක්ෂක කැමරා පරීක්ෂා කළ පොලිසිය සැකකරු එම වෙළෙඳ සලේ සිට කුලී ගමන් රථ සැපයුම් ආයතනයකට අයත් රථයකින් පිටව යන ආකාරය දැකගත හැකි විය. ඒ අනුව තවත් ආරක්ෂක කැමරා දර්ශන කීපයක් පරීක්ෂා කිරීමෙන් සැකකරු ගමන් කළ රථයේ සටහන් වූ ආයතනයේ දුරකථන අංකය සොයාගත හැකි විය. ඒ අනුව එම ආයතනය සොයා ගිය පොලිසිය වාහනයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඔහු මාර්ගයෙන් සැකකරු තාවකාලිකව නැවතී සිටි බොරලැස්ගමුව ප්‍රදේශයේ කාමරය සොයාගත්හ. 


ඒ වනවිට ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගනු ලැබිණ. ඝාතනයේ සැබෑ තොරතුරු හෙළිදරව් වූයේ ඉන් අනතුරුවය. 


මියගිය කාන්තාව ඥාතිකම අනුව සැකකරුගේ පුංචි අම්මා කෙනෙකි. ඝාතන සැකකරු කිසියම් නිශ්චිත රැකියාවක් නොකරන ඉඳහිට විටෙක විවිධ භාණ්ඩ තොග වශයෙන් ගෙන තැනින් තැන ගොස් විකුණා ජීවත්වීම පුරුද්දක් කරගත් අයෙකි. 


පැල්මඩුල්ල විද්‍යා මාවතේ පදිංචි 35 හැවිරිදි මෙම සැකකරු මුදල් හදිසියක් වූ අවස්ථා කීපයකදී පුංචි අම්මා සොයා පැමිණ ඇත. ඒ අවස්ථාවල ඇති හැකි පරිදි ඔහුට උදව් කිරීමට ද පුංචි අම්මා පැකිළුණේ නැත. එහෙත් මෙවර ඔහු ඇය සොයා පැමිණියේ අලුයම හය හමාරට පමණ නිසාත් වැඩට යාමට සූදානමෙන් සිටි අවස්ථාවක් වූ නිසාත් මෙන්ම ඇය පුතා බලන්නට ඩුබායි ගොස් පැමිණ සිටි නිසා අත මිට තරමක් වියදම් වැඩිව සිටි හෙයින්ද සැකකරු ඉල්ලා සිටි රුපියල් පනස්දාහක මුදල දෙන්නට නොහැකි බව පැවසුවාය. 


මේ සම්බන්ධයෙන් දෙදෙනා අතර බහින් බස්වීමක් ඇති විය. කෝපයට පත් සැකකරු සිය පුංචි අම්මාගේ ගෙල වටා අත දමා වැරෙන් අල්ලා හිරකර ගත්තේය. ඇය බිය ගන්වා මුදල් ගැනීම ඔහුගේ අරමුණ වන්නට ඇත. හැඩි දැඩි සිරුරක් ඇති ඥාති පුතාගේ ග්‍රහණයට හසුවූ අැයට සෙලවීමටවත් අවකාශයක් ලැබුණේ නැත. සුළු මොහොතකින් ඇය සිහි මුර්ඡා වූ බවක් පෙන්වූයෙන් බියට පත් සැකකරු ඇයව නාන කාමරය වෙත ගෙන ගියේය. 


ඔහු වතුර ඉස ඇයට සිහිය ඒදැයි බැලුවද කිසිම වෙනසක් නැත. සැකකරුද කලබලයට පත් විය. තමන් වෙත එන දෝස් මුරයෙන් ගැලවීමට නම් ඇය ජීවතුන් අතර නොසිටිය යුතුයැයි සිතු සැකකරු සිහිමුර්ඡාව සිටින පුංචි අම්මා ඝාතනය කරන්නට සිතුවේය. මුළුතැන්ගෙට ගොස් එළවළු කපන පිහිය රැගෙන ආ ඔහු බිම වැටී සිටින පුංචි අම්මාගේ ගෙලට පහර කීපයක් එල්ලකොට පසුව එය සෝදා මුළුතැන්ගෙයිම තැන්පත් කර යන්නට ගියේ ඉදිරිපස දොර වසා යතුරද රැගෙන යමිනි. 


ඝාතනයට ලක් වු නිරංජනී වීරසිංහගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව ඇය ඝාතනය කර තිබෙන්නේ ගෙල සිරකිරීමෙනි. සැකකරුගේ පාපෝච්චාරණය අනුවද ඇය මියගොස් තිබෙන්නේ සැකකරු ඇගේ ගෙල වටා අත දමා වැරෙන් තද කළ අවස්ථාවේදී බවට පොලිසිය සැකකරනු ලැබේ. සැකකරු ඇයව ඝාතනය කරන අදහසින් ගෙල කපා තිබෙන්නේ ඇය මියගිය පසුවය. ඒ නිසා ඇගේ ගෙල කැපුවත් යම්තම් ලේ බිඳු කීපයක් පිටතට පැමිණියා මිස ලේ ගලාගොස් තිබුණේ නැත. එහෙත් කෘත්‍රීම ශ්වසනය ලබාදීමට උත්සාහ කළ අවස්ථාවේ ගෙල කැපුණු ස්ථානයට පීඩනයක් යෙදුණු හෙයින් පිටතට ලේ විසිවී තිබේ. 


සැකකරු රැගෙන ගිය නිවසේ යතුරත්, කැබලිවලට කඩන ලද බැංකු කාඩ් පත් කීපයකුත් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ආසන්නයේ කානුවකට විසිකර තිබියදී පොලිසිය සොයාගෙන තිබේ. 


ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් විජේසිංහ සහ සහකාර පොලිස් අධිකාරි සමන් ජයසේකර මහත්වරුන්ගේ උපදෙස් පරිදි පිළියන්දල ප්‍රධාන පොලිස් අධිකාරි සාරානාත් සමරකෝන් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක උපුල් පෙරේරා, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉන්දික දුමින්ද, පොලිස් සැරයන් 2818 පියසිරි, 34034 විජේසිංහ, පොලිස් කොස්තාපල් 18741 නිශාන්ත යන නිලධාරීන් කණ්ඩායම විසින් පරීක්ෂණ පවත්වනු ලැබිණ.

 

 

 

සටහන / ඡායාරූප : 
මුදිතා දයානන්ද සමඟ 
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ