පාලන මිලට පයින් ගසා ඉහළ නැග්ග සහල් මිල


 

 

ගැසට් එකේ පාලන මිල බල්ලට දමා රට පුරා හිතුමතේට සහල් විකුණති.   


රජයේ පාලන මිල ගණන් යටතේ සහල් මිලදී ගැනීමට දිවයිනේ එකම වෙ​ෙළඳසලකවත් නොමැති බව පාරිභෝගිකයෝ චෝදනා කරති.   
මේ පිළිබඳව තොග සහ සිල්ලර වෙ​ෙළඳසල්වලින් තොරතුරු ගවේෂණය කිරීමේදී සහල් කිලෝවක් රුපියල් 90 සිට 110 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි කරන බව අනාවරණය විය.   


 මෙයාකාරයෙන් පාරිභෝගිකයන්හට වැඩි මිලට සහල් අලෙවි කිරීම හා මිල ප්‍රදර්ශනය පවා නොකරන බවට ද දිගින් දිගටම සිදුවන බව පාරිභෝගිකයෝ චෝදනා නගති.   
2019 මැයි මස 31 වැනි සිකුරාදා අංක 2125 /66 අංක යටතේ රජයේ අති විශේෂ ගැසට් පත්‍රය යටතේ සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 85කටත් සුදු නාඩු කිලෝවක් රු 80 කටත් රතු නාඩු සහ කැකුළු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 74ක් බැගින් ද නිවේදනය කොට තිබේ.   


එහෙත් සෑම වෙ​ෙළඳසලකම පාහේ සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 90 සිට 110 දක්වා වූ මිලක් පවතින බව පාරිභෝගිකයෝ චෝදනා කරති.   


මෙම චෝදනාවන් පිළිබඳව සහ මිල ප්‍රදර්ශනය නොකර තිබීම ගැන සහල් තොග සහ සිල්ලර අලෙවි කරන වෙළෙඳ ප්‍රජාවගෙන් විමසීමේදී කියා සිටියේ සහල් නිෂ්පාදනය කරන මෝල්වලින් වැඩි මිලට සහල් තොග ලැබෙන නිසා රජයේ පාලන මිලට අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් පත්ව තිබෙන බවය. සහල් මෝල්වලින් මිලදී ගත් බිල්පත් අවශ්‍ය නම් පෙන්වාදීමට හැකි බවද ව්‍යාපාරිකයෝ සඳහන් කර සිටිති.   


මිල ප්‍රදර්ශනය නොකරන්නේ මන්දැයි විමසීමේදී ඇතැම් වෙළෙන්දෝ උරණ වී මාධ්‍යයට එවැනි දේ සෙවීමට අවශ්‍ය නැති බව පවසා මාධ්‍යවේදීන් කව්රුදැයි හඳුනාගැනීමට හැදුනුම්පත් ඉල්ලා සිටීමද විශේෂත්වයකි.   


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයක් ප්‍රකාශනයට පත්කෙරුණු විගස එය මෙරට මහජනතාවට බලාත්මක වන නීතියක් බවට ද පත් වෙති. එසේ අංක 2125/66 2019 දරන මැයි මස 31 වැනි සිකුරාදා රජයේ බලය පිට ප්‍රසිද්ධ කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය මගින් ජනතාවට ලබාදුන් 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 205 වගන්තිය යටතේ ක්‍රියා කරමින් බලාත්මක කෙරුණු සහල් අලෙවි කිරීමේ උපරිම සිල්ලර මිල ජනතාවට බලාත්මක නොවන්නේ මන්දැයි බරපතළ ප්‍රශ්නයක් පවතී.   


එකම රටක එකම නීතියක් ඉල්ලන අවස්ථාවක තුන් වේල බත් කන රටක සහල් කිලෝවක උපරිම සිල්ලර මිල හෝ නීතිය ක්‍රියාත්මක නොවන්නේ කුමක් නිසාදැයි ජනතාවට බරපතළ ප්‍රශ්නයක් පවතී. මේ ප්‍රශ්නය පිළිබඳව අප දිවයිනේ නගර ගණනාවක පිහිටි සහල් අලෙවි කරන වෙළෙඳසල්වලින් මෙන්ම පාරිභෝගිකයන් සහල් මෝල්කරුවන් පාරිභෝගිකයන් පිළිබඳව පෙනී සිටින සිවිල් සංවිධාන ගොවීන් වෙනුවෙන් පෙනී සිටින සිවිල් සංවිධාන ආදී බොහෝ දෙනෙකුගෙන් කරුණු සොයා ගවේෂණයක අප නිරත වුණෙමු.   


ඒ වෙන කිසිවක් නිසා නොව මෙරට සෑම අවස්ථාවකම පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා පවතින පොදු නීතිය අවනීතිය බවට පත්ව ඇතැම් ව්‍යාපාරිකයින් පිරිසක් විසින් එම නීති අතට ගෙන අහිංසක පොදු මහජනතාව ගසාකෑමට ලක් කරන නිසාවෙනි.   


සහල් අලෙවි කරන තොග සහ සිල්ලර වෙ​ෙළඳ සල් හිමිකරුවන්ගෙන් අප විමසා සිටියේ පාරිභෝගික පනත යටතේ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කොට ඇති මිල ගණන් යටතේ සහල් අලෙවි නොකරන්නේ මන්දැයි යන්නය.  


සහල් තොග සහ සිල්ලර අලෙවි කරන මොහොමඩ් රිස්වාන් මහතා :  ”මේ නීතිය තියෙන විත්තිය අපි දන්නවා. හැබැයි අපිට ඒක ක්‍රියාත්මක කරන්න බැහැ පාඩුවට. රජය ක්‍රියාත්මක කරන නීතියට සහල් දෙන්න කවුද ඉදිරිපත් වෙන්නේ. එහෙමනම් අපට ආණ්ඩුවෙන් හාල් දෙන්න ඕන ලාභයක් තියලා ජනතාවට විකුණන්න. හැබැයි මේ රටේ විශාල මෝල් හිමියන් කිසිම කෙනෙක් පාරිභෝගික අධිකාරියේ ගැසට් කරලා තියෙන මිලට හාල් දෙන්නෙ නෑ. ඒ අය දෙන්නෙ වැඩි මිලට හැබැයි කුඩා මෝල් හිමියන් කිහිපදෙනෙක් අඩු මුදලකට හාල් දෙන අවස්ථා තියෙනවා. ඒත් හාල් අවශ්‍ය ප්‍රමාණයට දෙන්න නෑ ඒ වගේම ජනතාවත් හුරුවෙලා ඉන්නේ වෙ​ෙළඳ දැන්වීම්වලට නම කියන හාල් මිලදී ගන්න හැබැයි අපි තමයි උසාවි යන්නේ දඩ ගහන්නේ ප්‍රසිද්ධියේම හාල් මෝල් හිමියන්ගේ නම යටතේම පාරිභෝගික අධිකාරියේ පනත උල්ලංඝනය කරලා වැඩි මිලට හාල් ප්‍රදර්ශනය කරලා තියෙනවා.   

 

 


ඒව ගැන පාරිභෝගික අධිකාරිය බලන්නේ නෑ හැබැයි අපිට තමයි නඩු දාන්නේ මේ ප්‍රශ්නයට කොහෙන් හරි විසඳුමක් එනවනං හොඳයි නඩුව අපිට. ජනතාව බනින්නෙ අපිට හාල් විකුණන්නෙත් වෙන්නේ අපිට හැබැයි ඒ ඔක්කොගෙන්ම ලාභ ගන්නේ නීතිය කඩන්නෙ ඉහළ හාල් මෝල් හිමිකරුවන් ඒවා ගැන බලන්න කෙනෙක් නෑ.”   
බොහෝ පිරිසක් ව්‍යාපාරිකයන් පිරිසක් එකම කතාව අනුමත කරති.   


පාරිභෝගික ඊ.එස්. ජයලත් මහතා : ‘‘අපි කවදාවත් පාලන මිලට භාණ්ඩයක් මිලදී ගත්තා කියන්නෙ හරි කලාතුරකින් මොකද ඉස්සර පාරිභෝගික අධිකාරිය කිව්වහම බොහෝ දෙනෙක් හරි බයයි. වෙළෙන්දෝ පවා බියක් දක්වනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාටයි පාරිභෝගික අධිකාරියට බයයි. වැඩි මිලට විකුණන්න. හැබැයි අද ඒක සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා ජනතාව අතරේ මතයක් පැතිරිලා තියෙන්නේ ආණ්ඩුව කියන මිලට වඩා ඕනෑම මිලක් යටතේ මිනිහෙකුට බඩු විකුණන්න පුළුවන් කියලා.   


විවෘත ආර්ථිකයත් එක්ක මේම වුණාද කියලා අපිට තේරෙන්නෙ නෑ. හැබැයි ඕනෑම ආණ්ඩුවක් සාමාන්‍ය මිනිහාට තමයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ අද රජයේ ගැසට් පත්‍රයක් නීතිගත කරන්න බැරිවෙලා තියෙන යුගයක් මේවා අඩුම තරමේ ගැසට් එකේ මිලට ඉල්ලලා වෙ​ෙළඳසලකට ගිහිල්ලා අභියෝගයකට ලක් කරන්නවත් බෑ එහෙම වුණොත් වෙන්නේ ව්‍යාපාරිකයන්ගෙන් ගුටිකන්න. පාරිභෝගිකයන් වෙනුවෙන් පෙනී හිටිය කිව්වට කවුද පෙනී හිටින්නේ.   


අද හාල් කිලෝ එකක් පාලන මිලකට නීති මිලට ආණ්ඩුවෙන් මිලට පුළුවන්නම් අරන් එන්න කියලා අපි අභියෝග කරනවා පාරිභෝගික අධිකාරිය මහතෙකුට හරි පාරිභෝගිකයන් භාරව ඉන්න ඇමැතිවරයාට හරි ඇත්තටම විහිළු ඒ නිසා මේවා ගැන කතා කරන්න කාලය මිඩංගු කරන එකත් අපරාධයක් කියලා තමයි අපි හිතන්නේ. හැමදාම රැවටුණු අපි හෙටත් රැවටෙයි අපට දුක මේ රටේ නීතිය පොඩි මිනිහට එකකුත් සල්ලිකාරයාට එකකුත් විදිහට ක්‍රියාත්මක වෙන එක ගැන විතරයි. ඔය ගැසට් එක ජනතාව රවට්ටන්න ගහපු ගැසට් එකක් හැමදාම කරන්නේ ඕක ඒ නිසා අපි මේ ගැන කතා කරලා වැඩක් නෑ.”   


සිවිල් සංවිධාන වෙනුවෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා : ‘‘වී අස්වැන්න නෙළන කාලයට තුට්ටු දෙකට වී ටික මහා මෝල්ලු ටික අරගන්නවා රජය මැදිහත්වෙලා වී ටික අරගන්නවා මාසයක් දෙකක් රජයේ ගබඩාවල තියාගෙන ඒවා පරිභෝජනයට නුසුදුසු ඒවා කියලා තුට්ටු දෙකට නැවතත් මේ මහා මෝල්ලුන්ට විකුණනවා සත්ව ආහාරවලට කියලා හැබැයි ඒ සත්වයා වෙන කවුරුත් නෙවෙයි මනුසතාට කවන්න තමයි දෙන්නේ පස්සේ තුට්ටු දෙකට ගත්ත වී ටික සුද්ද කරලා මේ මෝල්ලු ටික වැඩි මිලකට විකුණනවා.   


රජය මේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් බොරුවට ගැසට් පත්‍රයක් නිකුත් කරනවා. ඒ ජනතාව රවට්ටන්න එහෙම නැතුව රටේ හාල් මිල පාලනය කරන්න නෙවෙයි. ඔය කියන පාරිභෝගික අධිකාරියේ විෂය භාර ඇමැතිවරු මේවා දන්නවා වසර ගණනාවක් තිස්සේ මේ විෂය භාරව පවතින ඇමැතිවරයා හොඳට හම්බ කරගන්න එක කරන්නේ පවතින හෝ පැවති ආණ්ඩුවකට මේ ක්‍රියාවලිය පාලනය කරන්න බැරි වෙලා තියෙනවා මේක තමයි තිත්ත වුණත් ඇත්ත.”   


‘‘ හැබැයි හැමදාම අපි මේ මහජනතාව වෙනුවෙන් අරගල කරනවා බීරි අලින්ට වීණා වයනවා වගේ කෑ ගහපු ගමන් අහිංසක හාල් විකුණන වෙළෙන්දෝ කීපදෙනෙකුට පාරිභෝගික අධිකාරියේ අප්පලා ඇවිල්ලා නඩුවක් දෙකක් දාලා මහා විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලබා දෙනවා වැඩි මිලට සහල් විකුණු වෙළෙන්දෝ අල්ලයි කියලා හැබැයි සිද්ධිය එහෙම්මම හිඟන්නගෙ තුවාලෙ වගෙ පවතිනවා.”   


රජයේ පාලන මිල සහ පාරිභෝගික අයිතීන් වෙනුවෙන් නිතර නිතර මාධ්‍ය ඉදිරියේ පෙනීසිටින පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගෙන් ද අප මෙම සහල් අර්බුදය ගැන විමසීමක් කළෙමු.   


 ”අද පාරිභෝගික අධිකාරිය රූකඩයක් වෙලා තියෙන්නේ අපි නිතර නිතර අයිතීන් වෙනුවෙන් පෙනී හිටිනවා හැබැයි මේවට නිසි විසඳුම් දෙන්න මේ අයට බැරි වෙලා තියෙනවා අද පාරිභෝගික අධිකාරියේ අය මිල පාලනය කරනවා වෙනුවට උසස්වීම් හොයමින් යන කාලයක් මේකේ විවිධ තනතුරුවලට පත් කරන පුද්ගලයෝ තනිකරම දේශපාලනය කරන්නේ. ක්‍රියාත්මක වන අති විශේෂ ගැසට් පත්‍රය මොකක්ද ඒකේ ඇති බලය මොකක්ද කියන එක මේ අය නොදන්නවා නෙවෙයි කීපදෙනෙකුට නඩු දාන්න බලය පැවරෙනවා. මේක රටේ නීතියක් බවට පත්වෙලා තියෙන්නේ.   

 

හැබැයි මේ නීතිය ක්‍රියාත්මක කරන්න ක්‍රමවේදයක් නෑ. පාරිභෝගික ජනතාවට දැන් ගැසට් පත්‍ර සියල්ල බොරුව බවට පත්වෙලා තියෙන්නෙ නීතියක් නැති රටක් බවට පත්වෙලා පාලන මිලට එක හාල් කිලෝ එකක් හරි විකුණගන්න අද ආණ්ඩුවට බැරිවෙලා තියෙනවා. ඒ නිසා පාරිභෝගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින අපි ඉදිරියේදී පාරිභෝගික අධිකාරියට විරුද්ධව නීතියේ පිහිට පතන්න සුදානමින් ඉන්නේ. ඒ සඳහා අපි රට පුරා පාරිභෝගික ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් පවතිනවා.”   
 ”සහල් නිෂ්පාදනය කරන වී මෝල් හිමි ව්‍යාපාරිකයකු වන එන්. කේ. ඒකනායක මහතා : ‘‘ මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් මෙම තත්ත්වය උදාකොට තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්කරුවන්ට වර්තමානයේ වෙළෙඳපොළේ සහල් අවශ්‍යතාව හෝ මිල පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් පවතිනවා. අපි කොච්චර කිව්වත් මේක ක්‍රියාත්මක වෙන්නෙ නෑ. අතේ ඇඟිලි ගානට ඉන්න හාල්වල අයිතිය පවත්වාගෙන යන පිරිස තමයි අද රටේ මිල පාලනය කරන්නේ. එහෙම නැතුව පාරිභෝගික අධිකාරිය නෙවෙයි අපි පාරිභෝගික අධිකාරියට අභියෝග කරනවා අපිට නෙවෙයි නඩු දාන්න ඕන පුළුවන්නම් ගිහිල්ලා ඔය කියන මහා පරිමාණ රටේම හාල් විකුණන ප්‍රසිද්ධියේ නම දාලා හාල් විකුණන අයට නඩු දාන්න සාක්ෂි හොයන්න ඕනේ නැහැනේ. කඩවල ප්‍රදර්ශනය කරන දැන්වීම් පුවරුව දැක්කහම ඇති ඒවායේ වෙ​ෙළඳ නාමය දාලම පාරිභෝගික අධිකාරියේ ඔය කියන ගැසට් පත්‍රය උල්ලංඝනය කරමින් මිල ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඉතින් ඒ සාක්ෂිය මදිද? පාරිභෝගික අධිකාරියට නඩු දාන්න මේවා විහිළු කතා කරලා වැඩක් නෑ මහත්තයෝ.”   


බොහෝ ජනතාවගේ ව්‍යාපාරිකයන්ගේ මෙම අදහස් සත්‍යක් බව අපටද වැටහී ගියේ රටපුරා වෙ​ෙළඳසල්වල සහල් අලෙවි කරන ආකාරය දෙස ඉතා ඕනෑකමින් විපරම් කර බලන අවස්ථාවේදීය. මෙම මහා පරිමාණ මිල ඉහළ යෑම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියේ සභාපති ආචාර්ය ලලිත් එන්. සෙනවිරත්ත මහතාගෙන් විමසීමේදී කියා සිටියේ වැටලීම් රැසක් සිදුකොට එවැනි වෙ​ෙළඳුන්ට නීතිය ක්‍රියාත්මකකොට තිබෙන බවය.   


දැනට නිකුත් කර ඇති ගැසට් පත්‍රයේ සඳහන් මිල ගණන් යටතේ වෙළෙන්දන් සහල් අ​ෙලවි කළ යුතු බවද කීවේය. තවදුරටත් වැටලීම් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද එවැනි ස්ථාන ගැන දැනුම් දෙන්නයි ඉල්ලීමක්ද කළේය. 

 

 

 

 

සටහන : කාංචන කුමාර ආරියදාස