දයාබර පුතුන් දෙදෙනාම සම්බුදු සසුනට පූජා කළ අම්මා


සම්බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා තමා දෙනෙත්වන්ව ආරක්ෂා කළ තමාට සිටි එකම සිඟිති පුතුන් දෙදෙනාම සඟ සසුනට පූජා කිරීමට තරම් දානපතිනියක් වීමට වාද්දුවේ මැලෑගම යමුනා කුමුදුනි මහත්මිය සමත් වූවාය.   


ඇය මේ මහා පිංකම අම්බලන්ගොඩ, ඉඩම්තොට සුවිසුද්ධාරාම විහාරස්ථානයේදී බක් පුර පුන් පොහෝදා පෙරවරුවේ හික්කඩුව ශාසනාරක්ෂක බල මණ්ඩලයීය ලේකම් හා විහාරාධිපති ප්‍රවීණාචාර්ය මාදුවේ උපනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.   


මෙලෙස සඟ සසුනට පූජා කෙරුණේ අට හැවිරිදි එස්.එන්.ඩී. මලිත් සහ ඔහුගේ එකම සොහොයුරා වන දස හැවිරිදි එස්.එන්.ඩී. එරන්ද කුල කුමරුවන් දෙදෙනාය.   


මේ අයිය මලෝ කුල කුමරුවන් දෙදෙනා සඟ සසුනට පූජා කෙරුණේ ඔවුන් දෙදෙනාගේ මව වූ යමුනා කුමුදුනීගේ දෙනෙතින් ගලා හැලෙන කඳුළු කැට වරුසා මැදින්ය. ඒ මේ ගෙවීගිය බක් පුන් පොහෝදා හිමිදිරියේ දීය. ඒ අවස්ථාවේදී පරිසරය පවා මේ මහඟු පින් කමට ආශිර්වාද කලේ සිහින් සිරි පොද වැසි බිමට වැස්සීමට ඉඩ සලස්වාලමින්ය.   


එදින අට හැවිරිදි එස්.එන්.ඩී. මලිත් වාද්දුවේ මදුරන්ද යන නමින්ද ඔහුගේ සොහොයුරා වන දස හැවිරිදි එස්.එන්.ඩී. එරන්ද වාද්දුවේ නිමලානන්ද යන නමින්ද සසුන්ගත වූහ.   


සිය දරුවන් දෙදෙනාම සඟසුනට පූජා කළ වාද්දුවේ යමුනා කුමුදුනී මහත්මිය මේ තමා කළ අනභිභවනීය පිංකම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ කීවාය.   


‘‘ඇත්තටම මමත් මගේ මහත්තයත් මේ දරුවන් දෙදෙනා මෙලොවට බිහි කළේ මහණ කරන්න නම් නොවේ. අපිට එවැනි අදහසක් හීනෙකින්වත් තිබුණේ නැහැ. මේ අයියමලෝ දෙදෙනා බහ තෝරලා කතා කරන්න පුළුවන් දවසේ ඉඳලාම හාමුදුරුවන්ට ලොකු ගෞරවයක් දැක්වුවා.

හාමුදුරුවන්ට ගොඩක් ආදරය කළා. ඒ දෙන්නාම කතා කරන්න පුළුවන් දවසේ ඉඳලාම පාරේ හාමුදුරු නමක් ගියොත් අනේ අපි දෙන්නත් මහණ කරන්න කියලා කරදර කරනවා. බස් එකක ගියත් මේ ආකාරයට කරදර කරනවා.  


අපි ඒ දෙන්නා මහණ නොකරන නිසා හාමුදුරු කෙනෙක් දැක්කම ඒ හාමුදුරුවෝ ළඟට දුවගෙන ගිහිල්ලා කියනවා අනේ හාමුදුරවනේ අපි දෙන්නත් පන්සලට එක්කගෙන ගිහිල්ලා මහණ කරන්න කියලා. මේක අපිට ලොකු හිසරදයක් වුණා.  


පස්සේ මමයි මගේ මහත්තයයි මේ දෙන්නාම හොඳ මහණ කරන්න කියලා. මහණ දහමේ හිටියොත් ලොකු තැනකට යන්න පුළුවන් මේ දෙන්නම හරියන්නේ මහණ කමටයි කියලා කිව්වා. අපිට එදා ලොකු දුකක් ඇති වුණා.  


අපි තව ටික කාලයක් හිටියා මේ දෙන්නාට මේක අමතක වේවි කියලා. ඒත් ඒ දෙන්නා වැඩේ අත්හැරියේ නැහැ. එන්න එන්නම කරදරකළා මහණ කරන්න කියලා. අන්තිමට මමයි මගේ මහත්තයයි බොහෝම අමාරුවෙන් හිත හදාගත්තා මේ දෙන්නා සඟසසුනට පූජා කරන්න. අපි මේ කරන පරිත්‍යාගය සඟසසුනට ලොකු හයියක් කියලා මේ දෙන්නා ගැන සිතට එන විට හිත හදා ගන්නවා.

කවදා හරි මා මේ කළ පින්කමෙන් මගේ පුතාලා දෙන්නා නායක හාමුදුරුවරු වෙලා සඟසසුන බැබලෙව්වොත් ඒ පිනම ඇති අපි  ට නිවන් දකින්න.

සඟ සසුනට මහණ කිරීමට දරුවන් නොදෙනා මව්වරුන් සිටින මෙකල මට දැන් ලොකු සතුටක් දැනෙනවා. මම සඟ සසුනට, සඟසසුනේ චිරස්තිථියට ලොකු දානමය පින්කමක් කළා කියලා. මේ අපූරුම පිංකම පිළිබඳව අදහස් දැක්වූ හික්කඩුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි විහාරාධිපති මාදුවේ උපනන්ද හිමියෝ මෙසේ පැවසූහ.  


‘‘එක දරුවෙක් පමණක් බිහි කරලා ජාමේ බේරා ගන්නා මව්වරුන් සිටින මෙවන් වකවානුවක මහණ කරන්න කුලදරුවන් නොමැතිව මෙරට සංඝ ශාසනය දැඩි අර්බුදයකට ලක්ව සිටිනා අවස්ථාවක මේ අම්මා තමන්ට සිටි පිරිමි දරුවන් දෙදෙනාම බුදුසසුනට පූජා කිරීම එසේ මෙසේ සුළුපටු කාරණයක් නම් නොවේ. මේ අම්මා මේ කළ උදාර පිංකම මුළු රටටම මහඟු ආදර්ශයක්.

බුදුසසුනට ලොකු ශක්තියක්. අපි මේ රටේ අනෙක් අම්මලාගෙනුත් ඉල්ලා සිටිනවා බුදුසසුන තවදුරටත් රැක ගැනීමට දරුවන් පූජා කරන්න කියලා.   

 

 

 

 

 

 

කරන්දෙණිය 
සුසිල් එම්. ප්‍රියන්ත