තාත්තාගේ පොලු ප්‍රහාරයෙන් මියැදුණු කිරිකැටියා


මියගිය සචින්ත

 

දෙ න්න දෙමාල්ලන් අතර අමනාපකම් තිබෙන්නේ බත් මුට්ටිය ඉදෙනතුරු පමණක් යැයි පැරැන්නන් කීවේ නිකම්ම නොවේ. ඒ ඔවුන් සිය ජීවිත තුළින් ලද අත්දැකීම් නිසාය. 


එහෙත් පසුගියදා වියලුව කන්දකැටිය ප්‍රදේශයේ තරුණ යුවලක් අතර ඇතිවූ අමනාපකමක් කෙළවර වූයේ ඔවුන්ට දාව උපන් මාස පහක් වයසැති හයක් හතරක් නොදත් කිරි කැටියෙකුට මරු කැඳවමිනි. 


ඒ, තමුන් මෙලොවට ජාතක කළ තම පියාගේම පොලු පහරකට ගොදුරුවීමෙනි. 


පසුගිය 12 වැනිදා කන්දකැටිය, මුඩගමුව වැවතැන්න, උඩගම ගම්මානයෙන් වාර්තාවූ මෙම සිද්ධියෙන් මියගියේ ආර්. ඩී. සචින්ත සඳරුවන් සම්පත් නම්වූ මාස පහක් වයසැති දරු සිඟිත්තෙකි.  
දරු සිඟිත්තාගේ මරණයෙන් පසුව අතුරුදන්ව සිටි සැකකාර පියා දරුවාගේ අවසන් කටයුතු සිදුකළදා එම නිවස අසලට පැමිණ සිටියදී කන්දකැටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වනවිට ඔහු සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේය. 


දරුවාගේ මරණයත් ඉන් අනතුරුව මුහුණ දීමට සිදුවූ සිද්ධීන් දාමයත් අදහාගත නොහැකි වූ මිය ගිය දරුවාගේ මව වන රේණුකා දමයන්ති (18) මේ වන විටත් සිටින්නේ හැඬූ කඳුළිනි. 


දරුවාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රදේශය පුරා විවිධ කටකතා පැතිර යද්දී සැබැවින්ම සිදුවූයේ කුමක්දැයි සොයන්නට අපි මුඩගමුව වැවතැන්න උඩගම පිහිටි ආර්. ඩී. සචින්ත සඳරුවන් සම්පත් සිඟිත්තා ජීවත් වූ නිවසට ගොඩවුනෙමු.


මහත්තයෝ, මොනවා කරන්නද, කවුරුත් හිතපු නැති දෙයක් තමා වුණේ. අපි ගෙදර නොහිටිය ටිකට තමයි මේ හැමදේම සිද්ධ වුණේ කියමින් මිය ගිය සිඟිත්තාගේ ආත්තම්මා වන ආර්. ඩී. අනුලාවතී මහත්මිය කඳුළු වගුරවමින් හඬා වැටුණේ බලා සිටි පිරිසගේද දෙනෙත් කඳුළින් තෙත් කරමිනි. 


බොහෝ අගහිඟකම් ඇති පවුල් දෙකක සාමාජිකයින් වූවත් මියගිය සිඟිත්තාගේ මව වන රේණුකා දමයන්තිගේත් (18) සැකකාර පියා වූ ආර්. ඩී. විජේරත්නගේත් (26) විවාහය සිදු වන්නේ රේණුකා දමයන්තිගේ විවාහයට නිසි වයස එළඹෙන්නටත් පෙර පාසල් ගමනට ද තිත තබමිනි. 

 

සිද්ධිය වූ නිවස

 

 

එවිට ඇගේ වයස අවුරුදු 15 කි. 


එහෙත් විවාහ ජීවිතය පිළිබඳ මෙලෝ හසරක් නොදත් රේණුකාගේත් විජේරත්නගේත් ආදර ලෝකයට වසර තුනක් ගතවෙන්නටත් මත්තෙන් කණකොකා හඬන්නට පටන් ගත්තේ රේණුකාට පමණක් නොව දෙපාර්ශ්වයේ ඥාති වැඩිහිටියන්ගේද දෙනෙත්වලට නිතැතින්ම කඳුළු කැට එක්කරමිනි. 


ඒ සියලු සිදුවීම් රේණුකා එකින් එක මෙසේ විස්තර කළේ විටින් විට සිය නෙතු අගින් ගලා හැළෙන කඳුළු කැට පිසදමමිනි. 


ඥාතිකමින් එයා මගේ මස්සිනා වෙනවා. මම එයත් එක්ක යාළුවුණේ පාසල් යද්දි. මට අවුරුදු 15 ක් වෙද්දි මම එයත් එක්ක පැනල ගියා. අර කන්දෙන් එහා පැත්තේ තමයි අපි ජීවත් වුණේ. එයාලගේ මහ ගෙවලුත් තිබුණේ ඒ ළඟ. 


වයස නැති නිසා අපි කසාද බැන්ඳේ නැහැ. නමුත් අපි එක ගෙදර හිටියා. වයස හරිගියාම කසාද බැන්දා. එයාට රස්සාවක් තිබුණේ නැහැ. කොළඹ ගිහින් මාසයක් විතර වැඩ කරල ගෙදර එනවා. වියදම් දීල ටික දවසක් ඉඳල ආ​ෙය යනවා. මටත් හරි ආදරෙන් හිටියා.


‘දරුව බඩට ආව දවසේ ඉඳල එයා මාත් එක්ක රංඩු වුණා. මගේ බඩට ගැහුව. බබා නැති කරන්න කීවා. එයා කොළඹ ඉඳල එනකොට අරක්කු බෝතල් හතරක් පහක් ගෙනත් ඒව බිබී තමයි මට ගැහුවේ මම ඒකට අකමැති වෙනකොට මට එක එක අය පාවා දෙන්න පටන් ගත්තා. මම බැරිම තැන මගේ අම්මලගේ ගෙදරට ආවා. ඒත් මට ඉන්න දුන්නේ නැහැ. එක්කගෙන ගියා. 


දරුව ලැබුණට පස්සෙත් මට ගහන්න පටන් ගත්තා. පහුගිය සිංහල අවුරුද්දට එයා කොළඹ ඉඳල ඇවිල්ලත් හොඳට අරක්කු බීවා. ඊට පස්සේ දවසක් අලවංගුවක් අරං මට අනින්න ආවා. මම දරුවත් අරං මගේ අම්මගේ ගෙදරට ආවා. මේ සිද්ධිය වෙනකම්ම මම හිටියේ අම්මලගේ දිහාවේ’ 


මේ සිද්ධීන් දාමයෙන් පසුව තවත් බීමට හුරුවූ සැකකරු කොළඹ රැකියාවද අත්හැර දැමුවේය. විටින් විට සිය බිරිය පදිංචිවී සිටින නිවසට පැමිණෙන්ට පුරුදු වූ ඔහු කීප වතාවක්ම එහිදීද සිය බිරියට පහර දුන්නේය. 
‘ගුටි කන්න බැරි තැන මම අම්මල ළඟට ආවා. ඊට පස්සේ එයා මේ ගෙදරටත් ඇවිත් මට කීප දවසක්ම ගැහුවා. දවසක් දරුවා උදුරගෙන අරං ගියා. හවස ගෙනත් දුන්නා. 

පොළව නුහුලනා මෙම අපරාධය සිදුවෙන්නේ මෙම සිද්ධි දාමයේ අවසන් ප්‍රතිඵලය ලෙසින්ය. 


‘එදා 12 වෙනිද දවල් 11.00 ට විතර ඇති ගෙදර හිටියේ නංගියි මමයි විතරයි. එයා හොඳටම බීල ඇවිත් දරුව ඉල්ලුව. මම බෑ කිව්වම මට ගහල දරුව උදුරගෙන ගියා. ටික දුරක් ගිහින් ආපහු හැරිල මම නිකම්ම යන්නේ නැහැ උඹට ගහල යන්න ඕනෑ කියල ආයෙත් හැරිල ආව. දරුව ඇඳේ තියල මට ගහන්න පොල්ලක් ගත්තා. මට ඒකෙන් ගැහුවත් වැදුණේ නැහැ. කකුල විතරක් ටිකක් තුවාල වුණා. මම ඒ අතරේ දරුවා අතට ගත්ත. මම හිතුවේ එයා යන්න ඇති කියල. මම ගෙයි පිටිපස්ස පැත්තට ගියා. එතකොටම එයා ආයෙත් දොර පොල්ලක් අරං මගේ ඉස්සරහට ඇවිත් දෑත බදල මට ගැහුවා. ඒක වැදුනේ මගේ දරුවට. මාව බේරගන්න මගේ නංගිත් මැදට පනිද්දි එයාටත් ගැහුවා. 


‘ඒ එක්කම මම දරුවත් අරං කුඹුර පැත්තට දිව්වා. එයත් ගෙයි තිබුණු පොරව අරගෙන තොපි දෙන්නව මරණව කියල අපි පස්සෙන් එලෙව්ව. එතකොට ශාන්ත අයියා ඇවිත් එයා අල්ල ගත්තා. 


 

ඊට පස්සේ අපි දරුව අරං කන්දකැටිය රෝහලට ආව එතනින් බදුල්ලට යැව්ව. ඒත් ඒ වෙනකොටත් දරුව මිය ගිහිං’’


 කෙසේ වෙතත් පොලු පහර වැදදීමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ සිඟිත්තා බදුල්ල රෝහල වෙත රැගෙන යන විටත් මියගොස් සිටි අතර ඔහුගේ ජීවිතය ගලවා ගැනීම සඳහා රෝහල් කාර්යමණ්ඩලයට කරන්නට යමක් ඉතිරිව නොතිබිණි. සැමියාගේ පහරකෑම්වලට ලක්වූ බිරිය ද ඒ අවස්ථාවේම රෝහල් ගත කෙරිණි. 


සිද්ධිය සැලවීමත් සමගම බදුල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරී ධම්මික වීරසේකර මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ කන්දකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. සිරිවර්ධන මහතා ඇතුළු නිලධාරීහු සිද්ධිය වූ ස්ථානය වෙත ගොස් පරීක්ෂණ ආරම්භ කළ අතර දරුවාට පහරදීමට යොදා ගත් බවට සැක කෙරෙන දොර පොල්ල ඇතුලු භාණ්ඩ කීපයක්ම පොලිස් බාරයට ගැනිණි. 


මේ අතර සිද්ධියෙන් පසුව කොළඹ ප්‍රදේශය වෙත පලාගොස් සැඟව සිටි සැකකරු ඉකුත් 15 වැනි දින ආපසු පැමිණ ඔහුගේ නිවසේ සැඟවී සිටියදී එහි ගිය කන්දකැටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්. එච්. ජී. අශෝක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගැනිණි. අත්අඩංගුවට පත් සැකකරු ඉකුත් 16 දින බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා ඉදිරියට පැමිණ වූ අතර ඔහු මෙම මස 23 වැනි දිනතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් එදිනට මරණය සම්බන්ධ සාක්ෂි විභාගය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා පොලීසිය වෙත නියෝග කෙරිණි. 


මේ කතාව අප කියන්නේ මිය ගිය සචින්ත සදරුවන් සිගිත්තාගේ මව් පාර්ශවයේ පිරිස පවසන අන්දමටය. එහෙත් සැකකරු මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ කුමක්දැයි යන්න මේ සම්බන්ධ පරීක්ෂණ අවසන් වනතෙක් අපට කියන්නට බැරිය. 


කවුරුන් කෙසේ කීවත් මේ වනවිට හයක් හතරක් නොදන්නා සිඟිත්තෙක් දෙමාපියන්ට අහිමිව ගොසිණි. කවුරුන් කෙසේ කීවද මා මුලින් කී පරිද්දෙන්ම මේ අඹුසැමියන් අතර ඇතිවූ ගැටුම බත ඉදෙනතුරු පමණක් තිබුණේ නම් අපට මෙවන් අපරාධයක් ගැන අසන්නට නොලැබෙනු ඇත.

 

 

 

 

 

 

 

සටහන සහ ජායාරූප :
වියලුවේ නිශාන්ත කුමාර