තරුණ ඝාතනයකට ඇල්ලූ සැකකරුවන් අහිංසකයින්


 

“මගේ මහත්තයයි මගේ මල්ලියි පොලිසියෙන් අත්අඩංගුවට ගත්තාම මගේ පපුව හෝස් ගාලා පත්තු උණා.


සදිල් ගේ මරණය ගැන අපි ඔක්කොම දුක් උණා.


පොලිසිය අපට එන්න කියල කට උත්තර ගත්තා.


මහත්තයයි මල්ලියි පොලිසියට එන්න කිව්වාම ගිහින් කට උත්තර දුන්නා. එහේදී තමයි අත්අඩංගුවට ගත්තේ.


නිරපරාදේ මේ දෙන්නා අත්අඩංගුවට ගැනීම නිසා අපි නොවිඳපු දුකක් නැහැ. දන්න කියන හැම දේවාලයකට ගිහින් දුක කිව්වා. ලංකාව පුරා දේවාල 50 කට විතර ගියා” යැයි  ඇල්ල - නාවෙලගම පදිංචි ආර්.ඩී. සුරේකා  දමයන්ති (38) මහත්මිය පැවසුවේ  දෑසින්  කඩා වැටුණ කඳුර්‍ළු පිස දමමිනි.


ඇගේ සැමියා වන එදිරිමුනිගේ ගුණරත්න හා ඇගේ මල්ලී වන රම්බණ්ඩා දේවයලාගේ සුගත් දයාරත්න යන දෙදෙනා ඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණේ  එම ගම්මානයේම පදිංචිව සිටි කොන්ගොඩගේ සදිල් විශ්මික බණ්ඩාර නමැති විසි හැවිරිදි තරුණයාගේ මරණය සම්බන්ධයෙනි.


මේ සිද්ධියෙන් පස්සේ මටත් දූලා දෙන්නටත් පුතාටත් පාරෙ  බැහැල යන්න බැරි උනා.


අපි ජීවත්වුනේ පණ බයේ....... මල්ලිගේ ගෙදරටත් ගැහුවා. අපේ ගෙදරත් කුඩු කරන්න එනවා කියල පණිවිඩ ලැබුණා. අපි බය උනා. අපි පොලිසියට ගිහින් කිව්වම මල්ලිගේ ගෙදරට පොලිසියෙන් දින කීපයක් පොලිස් ආරක්ෂාවත් දුන්නා. 


මල්ලියි එයාගෙ තුන්වැනි වසරේ ඉගෙන ගන්න දුවයි අම්මයි විතරයි ඒ ගෙදර ඉන්නේ.


අනේ දෙයයිනේ මේ මොකද උනේ කියල මුර්‍ළු දවසෙම  හැඬූ කඳුළින් හිටියේ.


මියගිය සදිල් අපේ දුවගේ ඉස්කෝලෙම ඉගෙන ගෙන පස්සේ බේකරියක වැඩ කළා.


දුවත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියල දවසක් මගේ මහත්තයයි ඒ ළමයයි රණ්ඩුවක් වෙලා තියෙනවා. ඇල්ල පොලිසියට ගියාට පස්සේ මැරිච්ච දරුවයි මගේ දුවයි අපි ඔක්කොම ගෙන්වුවාම දුවයි ඒ දරුවයි තිබුණු සම්බන්ධය නතර කරන බවට පොරොන්දු වෙලා සමථයකට පත් වෙලා ගෙදර ආවා.


මිනිය හම්බවෙන්න දිනකට කලින් අපි නඩයක් එක්ක පුංචි දඹදිව වන්දනාවේ ගියා.


මගේ දූල දෙන්නයි පුතයි අක්කගේ ළමයි ඔක්කොම අපිත් එක්ක ඒ චාරිකාවට ගියා. මගේ මහත්තයයි මල්ලියි ගියේ නැහැ.
ඒ ඔක්තෝබර් 15 වැනිදා.


මල්ලිගේ මිදුලේ තිබුණ මිනිස් අඩි පාරවල් කීපයක් නිසා සැක හිතිලා තියෙනවා.


අපි වන්දනාවේ ගිහින් ආවේ 16 වැනිදා රෑ 9 ට විතර, මේ වෙලාවේ මල්ලී දුවගෙන් ඇහුවම මියගිය ළමයා 14 වැනිදා ගෙදර ආව බව පිළිගත්තා. ඊට පස්සේ දුවට තරවටු කළා. ඇය මේ සම්බන්ධය නතර කරන බවට නැවත පොරොන්දුවීමෙන් පසු අපි ගෙදර ආවා.
ඊට දින තුනකට පස්සේ තමයි සදිල්ගේ මිනිය ඔයේ තිබිලා හම්බවෙලා තිබුණේ.


මමත් දුවත් මල්ලිත් මේ තොරතුරු සියල්ලම පොලිසියට  කිව්වා.


අපිට කිසිම බියක් තිබුණේ නැහැ. අපි කිසිම දෙයක්  හැංගුවෙත් නැහැ. අපිටත් ඕනැ කරල තිබුණේ මේ මිනීමරුවා අල්ලන්න උදව් කරන්න.


කොහෙම හරි මහත්තයයි මල්ලියි ඇල්ල පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා.  මියගිය ළමයාගේ යාළුවා මිලිනත් අත්අඩංගුවට ගෙන තිබුණා. බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පස්සේ රක්ෂිත බන්ධනාගාර ගත කළා.


එතැන් පටන් අපි දේවාල කෝවිල් ගානේ දුක කිව්වා යැයිද සුරේකා කීවාය.


මෙම මරණය පිළිබදව ඇල්ල පොලිසියට වාර්තා වී තිබුණේ 2016-10-19  වැනි දින සවස 2.00 ට පමණය. ඒ පැමිණිල්ල ලැබුණේ ගම්වැසියෙකු වන ඩික්සන්ගෙනි.


කුඹුරේ වැඩට ගිය මොහු නාඳුනන මළ සිරුරක් ඔයේ ඇතැයි දුරකථයෙන් පොලිසියට දන්වා තිබිණ.


මිනිය තිබුණේ මෙම ගම්මානය මැදින් ගලා යන දිය පහරකය.


මිනියට උඩින් කළුගලක් ද තබා තිබිණ.


මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් නියමවූ පරිදි පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇත්තේ බදුල්ල මහ රෝහලේදීය. ඉන්පසු මෘත දේහය සදිල්ගේ පවුලේ අයට බාරදී තිබේ.


මිනිය භූමදානය කරන ලද්දේ කබරගල පොදු සුසාන භූමියේය. සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නැයි මේ වන විටත් ගම්වැසියන් පොලිසියට බලපෑම් කරමින් සිටියහ.


ගම්වැසියන් බල්ලකෙටුව නගරයේදී උද්ඝෝෂණයක් පවත්වමින් පොලිසියෙන් ඉල්ලා සිටියේ වහාම සදිල්ගේ මිනීමරුවන්  අත්අඩංගුවට ගන්නා ලෙස ය.


ඉන්පසු පොලිසිය සිදුකළ විමර්ශන හා සැකකරුවන් හා තවත් කීප දෙනෙකුගේ කටඋත්තර අනුව මරණකරුගේ පෙම්වතියගේ ගේ පියා, මාමා සහ යාළුවා අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.


තත්ත්වය මෙසේ පවතිද්දී පොලිස්පති මහජන සහන මැදිරිය වෙත ඉකුත් දෙසැම්බර් මස 09 වැනිදා ලැබුණ පැමිණිල්ලක් නිසා මේ සිද්ධිය උඩුයටිකුරු විය.


ෂඨඡ රැඡ්ක්‍රැ0රැ1231රැ2016  යටතේ  මේ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ මරණකරුගේ සහෝදරයෙක් වන මෙම ගම්මානයේම පදිංචි එස්.කේ. අශෝක බණ්ඩාර නමැත්තා වීම විශේෂත්වයකි. ඔහු පැමිණිල්ලේ ඉල්ලා තිබුණේ තම සොයුරාගේ මරණය පිළිබඳව ඇල්ල පොලිසිය විසින් සිදුකළ විමර්ශන සම්බන්ධයෙන් අතෘප්තියට පත්ව ඇති බවය.


පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත  මේ පැමිණිල්ල පිළිබඳව අවධානය යොමු කළ පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මේ මරණය පිළිබඳව නැවත විමර්ශනයක් සිදුකළ යුතු බවට තීරණය කළේය.
ඒ අනුව එම භාරදූර කටයුත්ත බාරදෙන ලද්දේ අපරාධ විමර්ශනයන් පිළිබඳව ලොකු අත්දැකීමක් ඇති බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාටය.


මාසිංහ මහතා මේ විමර්ශනය සඳහා ඇල්ල පොලිස්  ස්ථානාධිපති ඩී.එන්.එල්. කරුණාරත්න, උපපොලිස් පරීක්ෂක වයි.එම්.පී.බී. කුලරත්න, පොලිස් සැරයන්වරුන් වන 50539 ගුණවර්ධන, 26254 අමරසේන, කොස්තාපල්වරුන් වන 56360  රංජිත්, 36794 බන්දුල, 40760 අමරසේන, 84945 සඳරුවන්, 44219 රත්නායක, 70871 තරංග, 82599 චානක, 31868 රාජගුරු, 2164 රණතුංග,  පො.කො.රි. 80556 සහ කා.පො.කො. 5659 ගයනි යන නිලධාරින්ගේ සහාය ලබාගත්තේය.


වඩාත් වැදගත් වී ඇත්තේ බුද්ධි අංශ සහ පුද්ගලික ඔත්තුකරුවන් යොදා ලබාගන්නා ලද තොරතුරුය.


ඒ අනුව සදිල්ගේ මරණයට වගකිවයුත්තේ එම ගම්මානයේම පදිංචි මාරවිල දේවයලාගේ විමලදාස නොහොත් මංකුමාර නමැත්තා යැයි සැක පහළ වී තිබේ.


සැකකරුගේ බිරිඳ ගේ හා මවගේ ප්‍රකාශවලින් මෙම  මරණයේ සුලමුල හෙළිවූ බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා පැවැසීය.


ඉන්පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ පාපොච්චාරණයට අනුව පොලිසිය පවසන සිද්ධිය මෙසේය.


සැකකරු බඩඉරිඟු වගාකළ ඉඩම ඒ අසළින් දිවෙන විදුලි රැහැන්වලින් අනවසරයෙන් විදුලිය ලබාගෙන තිබේ. සිද්ධිය වූ රාත්‍රි ශබ්දයක් ඇසී බලන විට සදිල් විදුලි සැර වැදී සිටි බව දැක ඇත. එය දැක බියට පත්වී පරීක්ෂණ නොමඟ යැවීම සඳහා උල් පිහියකින් උදරයට හා බෙල්ලට ඇන මිනිය ඔසවාගෙන ගොස් අසල තිබූ ඇළට දමා සැඟවූ බවද ඔහු පැවැසූ බව පොලිසිය කියයි.
අනින ලද උල්පිහිය, අනවසරයෙන් විදුලිය ඇටවූ කම්බි, අපරාධය සිදුකළ අවස්ථාවේ ඇඳ සිටි ටී ෂර්ට් එක සොයා ගත් නමුත් ඇඳ සිටි සරම පුර්‍ළුස්සා දැමූ බව සැකකරු පැවසුයේ යැයි පොලිසිය සඳහන් කළේය.


මෙම සිද්ධියෙන් පසු බියපත්ව සිටි සැකකරුගේ හැසිරීමේ වෙනස දුටු මව සහ බිරිඳ විමසූ විට ඔවුනට මේ සිදුවීම කියා ඇති බව ද පොලිසිය පවසයි.


බදුල්ලේදී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ විදුලි සැර වැදීම සම්බන්ධයෙන් වාර්තා කර නොතිබූ බැවින් ඒ සම්බන්ධයෙන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ බව  පොලිස් අධිකාරි මාසිංහ මහතා පැවැසීය.
ඒ අනුව නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට  මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.


බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්තුමා හා දියතලාව මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ඉදිරියේදී මිනිය ගොඩගන්නා ලද්දේ ඉකුත් 16 වැනිදාය.


ගොඩගත් මිනිය  දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගාල්ල කරාපිටිය අධිකරණ _විශේෂඥ වෛද්‍ය පී. රොහාන් රුවන්පුර මහතා වෙත යොමුකෙරිණ.


ඔහුගේ උපදෙස් මත මෘත දේහයේ කොටස් කීපයක් රස පරීක්ෂකකවරයා වෙත යොමු  කිරීමට තීරණය විය.


මේ අනුව පොලිස්පති සහන මැදිරිය නිසා උඩු යටි කුරුවී කලින් සැකපිට අත්අඩංගුවට ගෙන මාස ගණනාවක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගුණරත්න හා සුගත් යන දෙදෙනා නිදහස් කෙරිණ.


අලු_ත් සැකකරු ලෙස මාරවිල දේවයලාගේ විමලදාස අත්අඩංගුවට පත්විය. ඔහු මෙන්ම මුලින් අත් අඩංගුවට ගත් සැකකරුවෙක් වන මරණකරුගේ මිතුරා වන මිලින්ද ද  අප්‍රේල් මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.


පොලිසිය අධිකරණයට කියා සිටියේ මිලින්ද තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළ යුත්තේ සැකකරු ඔහු සමග සමීප සබඳතාවක් ඇත්තෙක් බැවින් ඔහු අපරාධය වසන් කළේ දැයි තව දුරටත් විමර්ශන කිරීම සඳහා  බවය.


නිරපරාදේ හිරගෙට ගිය දෙදෙනාගෙන් ගුණරත්න නිදහස ලබා යළි සුපුරුදු රැකියාවට ගොස් ඇති නමුත්  සුගත්ට තවමත් රැකියාව ලැබී නැත.


රජයේ බැංකුවක සේවකයෙක් වන ඔහු දැඩි සංවේගයෙන් කතා කළේය.


“ඇත්තටම අපි ඔක්කොම සදිල්ගේ මරණය ගැන තවමත් දුක්වෙනවා. මේ මරණයත් එක්ක අපට ලැබුණ නින්දාව වචනවලින් කියන්න බැරි තරම්. 


අපි අත්අඩංගුවට ගත් පසු  ගමේ සමහර අය එකතු වෙලා අපේ ගෙදරට ගල් ගැහුවා. අපට පාරට බහින්න බැරි තත්ත්වයක්. තවමත් අපි හරියට තැනකට යන්නේ නැහැ.


ෆේස්බුක්වල මම මිනීමරුවෙක් කියල මගේ ෆොටෝ එක්ක දාපුව තාම තියෙනවා. ඒවා දාපු කමෙන්ට්ස් දැක්කම වස බීලා මැරෙන්න හිතෙනවා” යැයි ඔහු  පැවසුවේ ජංගම දුරකථනයෙන්  එම දර්ශන පෙන්වමිනි.


“මට තවම මගේ රැකියාව නැහැ. තුන්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දුවත් එක්ක මගේ අම්මයි මමයි මේ ගෙදර ජීවත්වෙන්නේ.
ඉක්මනින් රැකියාව ලබාදෙන ලෙස මම වගකිව යුතු අයගෙන් ඉල්ලා සිටිනවා” යැයිද පැවැසුවේ ඇස් දෙක වසාගනිමිනි.


අත්අඩංගුවේ පසුවන (මරණකරු විශ්මිත ගේ මිතුරා) වන මිලින්දගේ දෙමාපියන්ද පවසන්නේ තම දරුවා මෙම මරණයට වග කිවයුත්තෙක් නොවන බැවින්  නිදහස් කරන මෙන් අයදින බවය.


මෙවැනි සිද්ධියකදී ඉවක් බවක් නැතිව කලබල කරන මිනිසුන්ටද මේ සිදුවීම කදිම පාඩමකි.


සටහන හා ජායාරූප
බදුල්ලේ පාලිත ආරියවංශ