ඡන්දෙන් පසු උතුරේ මොකද වෙන්නේ ?


 

ජනාධිපතිවරණයක හා මහ මැතිවරණයක උණුසුම ගත් අවසන් වූ පුංචි ඡන්දය නොහොත් පළාත් පාලන මැතිවරණයේදී නම් සියලුම ඡන්දදායකයින් කතිරය නියම ආයුධයක් කොට සිය මතය ප්‍රකාශ කර ඇති අයුරු කාටත් දකින්නට ලැබුණි.   


වත්මන් ආණ්ඩුව බලයට පත් වී වසර 3 ක් වැනි කාලයක් තුළදී මෙවැනි පසුබෑමක් කිසිවෙකුත් බලාපොරොත්තු නොවුණත් ජනතාවගේ බහුතර කැමත්තත් සමග සියල්ල උඩු යටිකුරු වී ඇත.   
වත්මන් ආණ්ඩුවට සිදු වූ අකරතැබ්බයම උතුරේ දේශපාලන බලා අධිකාරියටද සිදු වී හමාරය. ඡන්දයට පසු උතුර සේම ඡන්දයට පෙර උතුර ගැනද අප පුවත්පතෙන් පෙන්වා දුන් දේවල් සක් සුදක් සේ ඔප්පු වී හමාරය.   
ඡන්දයෙන් පසු උතුරට පෙර ඡන්දයෙන් පසු රටට වූ දෙය ගැන උතුරේ වැසියකු කියා සිටි දේ සෑම අයෙකුටම දැනෙනු ඇතැයි සිතමි.   


‘අපේ මේ ගම්වල ඉන්න මිනිස්සුන්ට ඔය බැඳුම්කරය ගැනවත්, මිග් යානා ගනුදෙනු ගැනවත්, රුපියල් කෝටි ගනන් බිලියන ගණන් වලින් කිව්වට අපිට එහෙමයි කියල කන්න බොන්න ලැබුණ දෙයක් තියනවද? ඒ අය ඒදේවල් එක කනකින් අහලා කිසි ගාණක් නැතිව අනෙක් කනෙන් පිට කරන්නේ, ගෙදර ගිහින් කන්නේ කොහොමද කියල හිතන නිසයි. අද අපේ මිනිස්සුන්ට කන්න හාල් පොල් ටික ගොවිතැනක් කරගන්න පොහොර ටික කලට වෙලාවට උහුලන්න පුළුවන් මිලකට ලැබුණනම් ඒ ටිකම ඇතිනේ. රට හදන්නට පෙර මේ ගම් දිහා බලන්න කියලයි අපි ඕනැම නායකයෙකුට කියන්නෙ’   


ඡන්දයට පෙර උතුරේ පළමු වෙඩිමුරය වුණේද එතෙක් බලය තිබූ දෙමළ ජාතික සන්ධානය දෙකඩ වීමය. ඉන් සෙසු දේශපාලන පක්ෂවලට වාසි සහගත විය. අවසන් ප්‍රතිඵලය වුණේ දෙමළ ජාතික සන්ධානය උතුරෙන් ජය ගත්තේ යන්තමින් වීමය. ඇතැම් පළාත් පාලන ආයතන දෙමළ ජාතික සන්ධානයට අහිමිව ගියේය. දැන් දැන් දෙමළ ජාතික සන්ධානය තවත් පක්ෂවල සහය පතමින් සිටියි.   


කී පරිදිම උතුරේ සියලුම සිංහල ජනතාවකගේ වැඩි ගෞරවාදරයට ලක් වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි ඒ වගේම උතුරේ බහුතර බලය තිබුණු දෙමළ ජාතික සන්ධානයේ බලය බෙදී ගොස් ඇති අයුරු පෙනෙන්නට ඇත. වෙනත් පක්ෂ කෙරෙහි ජනතා නැඹුරු වීම වැඩිවෙමින් පවතියි.   


ඡන්දෙන් පසු උතුරට මොකද වෙන්නේ සොයා බැලිය යුතුය. මෙවර පැවති පළාත් පාලන මැතිවරණයේදී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලන්ගේ පක්ෂය වූ සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසය යාපනය පේදුරුතුඩුව හා චාවකච්චේරි නගර සභාවන් ජයග්‍රහණය කොට තිබුණි. ඊට අමතරව ඩග්ලස් දේවානන්ද මහතාගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ඩී.පී. පක්ෂයද ඩෙල්ෆ් හා කයිට්ස් ප්‍රාදේශීය සභා ජයගෙන ඇත. ඊට අමතරව දෙමළ ජාතික සන්ධනයෙන් ඉවත්ව සාදා ගත් නව පක්ෂය වූ දෙමළ විමුක්ති සන්ධානයද පළාත් පාලන ආයතනයක් ජයග්‍රහණය නොකළද සෑම ආයතනයකම මන්ත්‍රී ධුර කිහිපයක් ජයගෙන තිබුණි.   


මෙලෙසින් සෙසු දේශපාලන පක්ෂයන්හි ජයග්‍රහණයත් සමග දෙමළ ජාතික සන්ධානයේ පැහැදිලි පසුබැසීමක් දක්නට ඇත. ඇතැම් පළාත් පාලන ආයතනවල බලය පැතිරීමට තවත් පක්ෂවල සහය ලබා ගැනීමට සිදුව ඇත.   
පැවති ඡන්දයේදී දෙමළ ජාතික සන්ධානය කඩන් පැමිණි ආනන්ද සංගරීගේ සූර්යා පක්ෂයට වඩා බලවත් වී ඇත්තේ ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ බයිසිකලේ ලකුණින් යුතු සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රස් පක්ෂය වී​ෙම්ද විශේෂත්වයක් ඇත. ගජේන්ද්‍රකුමාර් යනු දැඩි ආගම්වාදියකු වශයෙන් උතුරේ ජනතාව හඳුන්වනු ලබයි. ඔහු දැඩි හින්දු භක්තිකයෙකි. ඡන්දයට පෙර සියලුම හින්දු භක්තිකයින් ආගමට මුල් තැන දිය යුතු බව පවසා පක්ෂයේ ප්‍රවර්ධන කටයුතුද සිදු කෙරුණි. එමෙන්ම ඔහු විසින් දෙමළ ජාතික සන්ධානය පතුරු ගසමින් ජනතාවට කා වැද්දුවේ කිසිවෙකුත් දෙමළ ජනතාව වෙනුවෙන් හඬ නොනගන බව පවසමිනි. මේ කිනම් හේතුවක් නිසාදෝ උතුරේ සෑම පළාත් පාලන ආයතනයකම වාගේ සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසයට මෙවර මන්ත්‍රී ධූර ලැබී තිබුණි.   


එමෙන්ම ඩග්ලස් දේවානන්දගේ වීණාව ලකුණින් යුත් ඊ.පී.ඩී.පී පක්ෂයද නැවත මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයෙන් හිස ඔසවා ඇත නැතිනම් මෙතෙක් පැවති මැතිවරණයෙන් ඩග්ලස්ට බලය හිමි වුණේ ඩෙල්ෆ් දූපතෙන් පමණකි. මෙවර එම බලය කයිට්ස් දූපතට ව්‍යාප්ත වී ඇත. ඊට අමතරව ගජේන්ද්‍රගේ පක්ෂයට පසුව උතුරේ බොහෝ පළාත් පාලන ආයතනවල මන්ත්‍රී ආසන ජයගෙන තිබුණේ උතුරේ ඒකාධිපති දේශපාලන බලාධිකාරියට අභියෝගයක් එල්ල කරමින්ය.   


මේ පක්ෂ දෙකේ හිස එසවීමත් සමගම පක්ෂ දෙකෙන්ම පළමු වෙඩි මුරයන් තැබීය. එනම් ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා කියා සිටියේ යාපනය මහ නගරාධිපති වශයෙන් දැනට නම් කොට ඇති එම්මානුවේල් ආර්නොල්ඩ් වෙනස් විය යතු බවටත් උප නගරාධිපති වශයෙන් තම පක්ෂයේ අයකු නම් කළ යුතු බවටත්ය. ඔහුගේ එම ප්‍රකාශය අනුවද යාපනයේ වැසියන් කියා සිටියේ එම ප්‍රකාශයද ආගම්වාදී ප්‍රකාශයක් බවටත් මහ නගරාධිපති හෝ උප නගරාධිපති හින්දු භක්තිකයෙකු විය යුතු යන සිතුවිල්ලෙන් යුතුව යැයි කියාය.   


නමුත් ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ අදාළ ප්‍රකාශය බල රහිත කරමින් ඩග්ලස් දේවානන්ද නැගී සිටියේය. එනම් දෙමළ ජාතික සන්ධානයට ඊ.පී.ඩී.පී. පක්ෂය සහය ලබා දීමෙන්ය. දෙමළ ජාතික සන්ධනයට ඩග්ලස් දේවානන්ද සහය ලබා දෙන්නේ නම් උතුරේ පළාත් පාලන ආයතනයන්හි බලය පැතිරීමට එය ප්‍රමාණවත් වෙයි. නමුත් ඩග්ලස් දේවානන්ද යාපනයේ මාධ්‍ය හමුවක් තියමින් කියා සිටියේ, තම පක්ෂය දෙමළ ජාතික සන්ධානයට සහය ලබා දෙන්නේ මාස 6 ක කාලයක් සඳහා පමණක් බවටත් එම කාලය අතරතුර දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාවගේ අනාගතය වෙනුවෙන් කටයුතු නොකරන්නේ නම් තම පක්ෂය ඉවත් කරගන්නා බවටත්ය.   


උතුරේ ජනතාවගේ ඇති තවත් මතයක් වන්නේ ඩග්ලස් දේවානන්ද ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ නැගිටීම වලක්වාලීමට දෙමළ ජාතික සන්ධානයට සහය ලබා දෙන බවටත් දෙමළ ජනතාව කෙරෙහි දෙමළ ජාතික සන්ධානයෙන් පසුව ඊ.පී.ඩී.පී. පක්ෂය දෙවන තැන සිටිනවා යන සිතුවිල්ල එ්ත්තු ගැන්වීමට සිදු කළ ක්‍රියාවක් බවටයි.   

 

 

එමෙන්ම හීන් සීරුවේ හිස ඔසවා ඇත්තේ සූර්යා ලකුණින් යුත් ආනන්ද සංගරීගේ දෙමළ විමුක්ති සන්ධානය අමතක නොකළ යුත්තේ උතුරු පළාතේ මදක් පසුබෑවද නැගෙනහිර පළාතේ දෙමළ විමුක්ති සන්ධානය පළාත්පාලන ආයතන පවා මෙවර පළාත් පාලන මැතිවරණයේදී සමත්ව ඇත. මේ ඕනෑම පක්ෂයක් හිනිපෙත්තටම නැඟී සිටීමට එක මැතිවරණයක් හොඳාකාරවම ඇති බව පෙනී යන්නේ මෙවර රට පුරා පැවති මැතිවරණයේ අවසන් ප්‍රතිඵලයත් සමගය.

පොහොට්ටුවේ නායකත්වය හා බොහෝ සාමාජිකයින් පරණ වුවත් පක්ෂය අලුත්ය ජනතාව අතරට යෑමට එතරම් කාලයක් නොතිබුණද එය ජනතාවගේඅවසන් තේරීම විය. ඒ ආකාරයටම දෙමළ ජාතික සන්ධානයට සිදුවීමට ඉඩ ඇති බවට ආර්. සම්බන්ධන් ද හොඳාකාරවම අවබෝධ කරගෙන නැතුවාම නොවේ.


මේ කාරණා අස්සේ උතුරේ පාලන බලය පැතිරවීමට සිටින දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් යාපනයේ පිහිටි ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ කාර්යාලයේදී රැස් වී ජාතික ආණ්ඩුව ගැන සාකච්ඡා වෙමින් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් කියා සිටියේ මෙවැන්නකි.   


‘‘ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන තෙක් රජයකට එකතු නොවීම දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය වුවත් වත්මන් දේශපාලන තත්ත්වය ගැන සිතා තීන්දුවක් ගන්නා ගන්න පුළුවන්.”   


“විපක්ෂ නායකතුමා ප්‍රකාශ කරලා තියෙනවා ජාතික ආණ්ඩුව ඉදිරියට යෑම පිළිබඳව කිසිදු ගැටලුවක් පේන්න නෑ කියලා. මොකද මෙම මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය අනුව එහෙම කියන්න පුළුවන්. ජාතික ආණ්ඩුව ඉදිරියට යා යුතුයි කියන එකයි අපේ මතය. නමුත් එහි වෙනස්කම් සිදුවිය හැකියි. එලෙස වෙනසක් ඇති වුණොත් විශේෂයෙන් විපක්ෂ නායකතුමාගෙන් සිංහල මාධ්‍ය​ෙයන් ප්‍රශ්න කරලා තියෙනවා සහය දක්වනවාද කියලා. කවුරුන් හෝ එලෙස යෝජනාවක් ඉදිරිපත් කළොත් එය සලකා බලන්න කලින් තීරණයක් ප්‍රකාශ කිරීම වැරදියි.   


අපේ ජාතික ප්‍රශ්නය විසඳුමක් ලැබෙන තාක්කාල් අපි රජයට එකතු වෙන්නේ නැහැ කියන එක අපේ අරමුණක්. නමුත් යෝජනාවක් ආවොත් අපි සලකා බලනවා. දකුණේ වෙනසක් සිදුවුණොත් එය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෑදීමට බලපානවා. එවැනි අවස්ථාවකදී සියල්ල ඉවරයි කියලා අපට වහලා තියන්න බැහැ. අපි ඉදිරියටත් ඒකට උත්සාහ කරනවා. 2010 - 2015 රාජපක්ෂ ආණ්ඩු සමයේදීත් අප සාකච්ඡා කළා. මෙය බාධකයක් වුවත් අපි ඒකට මුහුණ දෙනවා.   


පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සදහා මෙම නව මැතිවරණ ක්‍රමයේ ගැටලුවක් ඇති කරලා තියෙනවා. එබැවින් සභාවක බලය පිහිටුවීමට කිසියම් පක්ෂයකට බහුතර මන්ත්‍රීධුර හිමිවෙලා තියෙනවා නම් එම පක්ෂය බලය පිහිටුවීමට අනෙක් පක්ෂ විරුද්ධ නොවිය යුතුයි කියලා අපි ස්ථාවරයේ ඉන්නවා.   


අපි ඒ සම්බන්ධයෙන් කිසිදු පක්ෂයක් එක්කවත් සාකච්ඡා කරලා නැහැ. නමුත් එම මතය පිළිගෙන මධ්‍යස්ථ මතධාරීන් විවිධ පක්ෂ සමග සාකච්ඡා කරලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස විශේෂයෙන් යාපනයේ පක්ෂ දෙකක් තමනුත් එම මතයේ ඉන්නවා කියලා තියෙනවා. මෙම මැතිවරණය ජයගත් සියලු සභිකයින් කුමන පක්ෂයේ හිටියත් ඔවුන් එම මතයේ වැඩ කරයි කියලා අපි හිතනවා යනුවෙනි.   


දෙමළ ජාතික සන්ධානයට නම් දැන් දෙමළ ජනතාව වෙනුවෙන් කැපී පෙනෙන වෙනස්කමකින් යුක්තව වැඩ කරන්න සිදුව ඇත. එසේ නොවන්නට හිස ඔසවා ඇති ප්‍රබල පක්ෂ කිහිපයක් අවස්ථාව එනතුරු මාන බලා සිටින නිසාවෙනි මෙවරට වඩා ඊළඟ මැතිවරණයේදී දැඩි බලපෑමක් තමන්ට එල්ල වනු ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ සියලු අපේක්ෂකයින්ට දැන් දැන් හීන් දාඩිය දමා ඇත.   


මේ සියලු කරුණු කාරණා අස්සේ උතුරේ අළුයට සැඟවුණු ගිනි පුපුරක් ඇත. එනම් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. විග්නේශ්වරන් මහතාය. ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයේදී නිහඬ පිළිවෙතක් අනුගමනය කරනු ලැබුවේ නටන සෙල්ලමක් නටපල්ලා ඊළඟ වෙඩි මුරය මගෙන් යන ඉලක්කය ඇතිව විය හැකිය ඊළඟ වෙඩි මුරය යනු පළාත් සභාද? එසේ නොවන්නට මහ මැතිවරණයක්ද? කියා නොදනී. උතුරේ බොහෝ ඡන්ද පදනමක් ඇති පුද්ගලයකු වශයෙන් උතුරු මහඇමැතිවරයා හඳුන්වන්නේ පසුගිය කාලයේදී එළුග තමිල් වැඩසටහනේදී දෙමළ ජනතාව උතුරු මහඇමැතිවරයා සමග එක් වූ අයුරු පෙන්වා දෙමිනි.   


කෙසේ හෝ දැන් දැන් දෙමළ ජාතික සන්ධානයට සෙසු සියලු දේශපාලන පක්ෂ වෙතට යොමුවීමට අවස්ථාවක් උදා වී ඇත. ජනතාවට වැඩක් කරන නායකයින් අවශ්‍යව ඇත. පුංචි ඡන්දයෙන් උතුරට වූ වෙනස වෙනුවෙන් ඕනෑම නායකයෙකුට දෙපාරක් සිතන්නට සිදුව ඇත. සියල්ල දෙස අවධානයෙන් සිටින කතිරය මීළඟ ඡන්දයේදී ඇති එකම විසඳුමක්ද වනු ඇත.

 

 

 

සටහන 
වන්නි - රොමේෂ් මධුෂංඛ