කුණු කන්දල් පිරිසුදුකර රත්තරනින් පිදුම් ලැබූ හැටි


 

වරිපනම් බල ප්‍රදේශයේ එකතුවෙන කැළි කසළ ජනජීවිතවලට, ප්‍රදේශයට හානියක් නොවන අන්දමින් කළමනාකරණය කර එමගින් කොම්පෝස්ට් පොහොර නිපදවා රටටම ආදර්ශයක් සපයා රන් සම්මානය හිමිකර ගැනීමට ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය සමත් වී ඇත. ජනජීවිතවලට හානිදායක වූ කැළි කසළ එකතුකර පොහොර නිපදවීමෙන් පරිසරය පිරිසිදුවීම පිළිබඳව නගර වැසියන්ගේ ප්‍රසාදයට ලක්වන අතර පොහොර අලෙවියෙන් විශාල මුදලක් ලබා ගැනීමට හැකිවීම ද මෙහිදී ලබන විශේෂ වාසියකි.


“අපේ ප්‍රාදේශීය සභාවේ වරිපනම් බල ප්‍රදේශයේ කැළි කසළ එකතු කරගෙන නගරයෙන් ටික දුරක් එපිට කණහංකොටුව ප්‍රදේශයට ගෙනිහින් දැම්මා. ඒ 2013 වසරේ. ඒ ටික දිනකින් ඒ අවට පිහිටා තිබූ පොලිසිය, රෝහල හා ප්‍රදේශවාසීන් එම ස්ථානයෙන් කසළ ඉවත්කර ගන්නා ලෙස බල කළා. පණුවො, මැස්සො නිසා පරිසරය දූෂණය වෙනවා කියලා තමයි එහෙම කීවේ. මේකට විසඳුම පිළිබඳව කල්පනාකර කර ඉන්න වෙලාවෙ තමයි කොම්පෝස්ට් පොහොර නිපදවීමේ අදහස ආවෙ. ඒ අදහස සරු කරගන්න අපි 2016 පරණ අපද්‍රව්‍ය කළමනාකරණයෙන් මෙරට හොඳම ප්‍රාදේශීය සභාව ලෙසින් රන් හරිත සම්මානය හිමිකරගත්තා.” යනුවෙන් අප සමග පැවසුවේ ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම් ඒ.බී. නිමල් රත්නායක මහතායි.


2016 වසරේ රන් සම්මානය හිමිකරගත් මේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය 2015 වසරේ රිදී සම්මානයත්, 2014 වසරේ ලෝකඩ සම්මානයත් එම තරගාවලියේදීම හිමිකරගෙන තිබේ. විදේශීකයන් පවා නැරඹීමට පැමිණෙන මෙම මධ්‍යස්ථානය පාසල් සිසුන් මෙන්ම මෙරට බොහෝ ප්‍රාදේශීය සභාවල පිරිස් නරඹා අවබෝධයක් ලබා ගන්නා ස්ථානයක් බවට පත්ව ඇත.
ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම් ඒ.බී. නිමල් රත්නායක මහතා මෙසේද පැවසුවේය.


“මුලින් මුලින් දිරන කසළ වෙන්කරගෙන පොහොර හැදුවා. හරි දැනුමක් තිබුණෙ නෑ. මුලින් මුලින් මල්වලට වගේම ඒ භූමියේම එළවළු, පලතුරුවලට තමයි මේ පොහොර යෙදුවෙ. මධ්‍යම පරිසර අධිකාරියේ පිළිසරු ව්‍යාපෘතිය අපට ලැබුණා. පසුභාවිත අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය අපට සහාය ලබා දුන්නා.

 


“මේ වන විට කසළ කළමනාකරණ පාසලක් බවට පත්කරගෙන යනවා. පාසල් සිසුන්ට, වෙනත් ප්‍රාදේශීය සභාවල කම්කරුවන්ට මෙන්ම ඕනෑම පිරිසකට ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව දින 50 ක පුහුණුවක් මෙහිදී ලබා දෙනවා. අවසානයේ සහතික පත්‍රයක් පවා අපි නිකුත් කරනවා. මේ සියල්ල අපි දෙන්නෙ නොමිලේ.”


කසළ අංගණය අඩක් ඉදිකර තිබියදී තමයි අපි මේ රන් සම්මානය හිමිකර ගත්තෙ. රන් සම්මානය සමගින් ඉතිරි ඉදිකිරීම් නිමකිරීම සඳහා අපට රුපියල් ලක්ෂ අසූවක් (රු.80,00000.00) ලැබුණා. ඒ මුදලින් ඉදිකිරීම් නිමකර ආදර්ශමත් ස්ථානයක් බවට පත්කර ගෙන යනවා. අලංකාර භූමියේ සියලුම වගා කර තිබෙන්නෙ අපි නිපදවන කොම්පෝස්ට් පොහොරම යොදාගෙන තමයි.”
එහි වැඩි බිම් පාලක අනිල් දිනේෂ් මහතා එම ක්‍රියාවලිය පහදා දෙමින් මෙසේ කීය.


“අපේ ප්‍රාදේශීය සභාවේ වරිපනම් බල ප්‍රදේශයේ දිනපතා එකතුවෙන කසළ ටොන් 4ත් 6 ත් (හතරත් හයත්) අතර ප්‍රමාණයත් ට්‍රැක්ටර් දෙකක් මගින් නගරයේ සිට කණහංකොටුවට රැගෙන එනවා. කසළ අංගණයේ සේවකයින් හයදෙනෙක් වැඩ කරනවා. එම කසළ තෝරා නැවත ප්‍රයෝජනයට ගත හැකි කාඞ්බෝඞ්,  යකඩ තහඩු, පොල්කටු, බෝතල් වෙන්කර ගබඩා කරනවා. දිරන කසළ අට්ටිකර දින හතෙන් හතට එම තට්ටු පෙරළීම කරනවා. දින 49 කින් පසුව කොම්පෝස්ට් පොහොර බවට පත්වීමෙන් පසුව පොහොර පාලන යන්ත්‍රයෙන් හලා පොහොර මලුවල අසුරනවා. කිලෝග්‍රෑම් එකක් රුපියල් අට (8/-) බැගින් අලෙවි කරනවා.
පොහොරවලින් පමණක් මාසයකට රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් උපයනවා. තෝරණ ප්‍රතිචක්‍රීයකරණ ද්‍රව්‍යවලිනුත් මසකට රුපියල් 20000.00 ක් පමණ ලැබෙනවා. අද ඉතාම සාර්ථක වැඩ බිමක් බවට පත්වී තිබෙනවා.”


වැඩ බිමේ සේවයේ යෙදී සිටි එස්. රොෂාන් සේමසිංහ මහතා ද තම හඬ අවදි කළේය.


“රසායනික පොහොර වලට වඩා තෙතමනය රඳා සිටින නිසාත් ගුණාත්මක බවින් යුක්ත නිසාත් අපේ පොහොරවලට හොඳ ඉල්ලුමක් තිබෙනවා. ඉවතලන බල්බ වලින් කුප්පි ලාම්පු හදනවා. බැරල්වලින් කබඞ් හදනවා. ටයර් ටින්වලින් ආදර්ශ සෝපා කට්ටල හදලා ප්‍රදර්ශනයට තබා තිබෙනවා. මෙතන ඉන්න පණුවො විනාශ කිරීමට ගම් කුකුල්ළු, කිරිගවයො ඇතිකරනවා. උන්ගෙ නිෂ්පාදන වලිනුත් යම් ආදායමක් ලැබෙනවා. පරිසරයට හිතකර විදිහට, ජනජීවිතවලට සහනය ගෙන දෙමින් යම් යම් දේ නිපදවමින් කසළ රත්තරන් බවට පත්කළ අපේ මේ මධ්‍යස්ථානය අපි ඉතාම සාර්ථකව පවත්වාගෙන යනවා.


කසළ යන වචනයේ ‘ළ’ යන්න ඉවත් කර ‘ක’ යන්නට ඇලපිල්ලක් (ා) ද ‘ස’ යන්නට ඉස්පිල්ලක් (  ි)  ද යොදා කසළ කාසි බවට පත්කරන ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය පුහුණු පාසලක් බවට පත්ව ඇති බව දැන ගත හැක. ඒ තරමටම එහි එන නරඹන්නන් පිරිස අධික බව එහි යන ඕනෑම අයෙකුට දැකගත හැකිය.

සටහන - ඡායාරූප 
අඹන්පොල 
අනිල් ගාමිණී විජේරත්න