එදා කොළඹ නගරේ බයිසිකලෙන් බත් ඇද්ද කාලේ


 

 

හැට හැත්තෑව දශකවල කොළඹ නගරය හෝ වෙනත් ප්‍රධාන නගරයක දහවල් දර්ශනය පිළිබඳව මතකය ඇත්තෙකුට, දහවල් දහයට එකොළහට පමණ නගරයේ වීදි ඔස්සේ ඊයක වේගයෙන් බයිසිකල් පැදගිය පිරිසක් ගැන මතක තිබෙන්නට පුළුවන.   


සාමාන්‍ය බයිසිකලයක පිටුපස සවිකළ ශක්තිමත් පුළුල් ලැගේජයක අඟල් දෙකෙන් දෙකට පරතරය ඇතිව ලෑලි පටි ගැසූ උස පෙට්ටියක් එහි සවිකර තිබුණි.   
සමහරුන් ඔවුන් හැඳින්වූයේ බයිසිකල් බත්කාරයා යනුවෙනි. තවත් නම් කීපයක් ඔවුනට පටබැඳී තිබුණි.   


බොහෝවිට ඔවුන්ගේ උඩුකය වැසුනේ අත්දිග සුදු මේස් බැනියමකිනි. සමහරු සුදු හෝ පාට හෝ සරමක් ඇන්දාහ. සමහරුන්ගේ ඇඳුම වූයේ කොට කලිසමකිනි.   
සමහරු තනි තනිව මෙම වෘත්තියහි නිරත විය. සමහර මුදලාලිලා යටතේ බයිසිකල්කරුවන් හත්අටදෙනෙක් සේවය කළහ.   


එකල මෙම බත්කාරයන්ගේ සේවය ආරම්භවෙන්නේ දහවල් දහයට, දහයමාරට පමණය. තම සේවා වපසරියේ අවසානම නිවස වෙත යන ඔහු නිවසේ ගේට්ටුව අසල නතර වී බයිසිකලයේ සීනුව හඬවයි.   


ඒ වෙනවිට නිවසේ බිරිඳ තම සැමියා පුතා හෝ සහෝදරයා වෙනුවෙන් දවල් බත උයා අවසන්ය. බොකුටු බෙලෙක් පිඟානකට බත් සහ ව්‍යාංජන බෙදා එම බෙලෙක් පිඟාන තවත් බොකුටු බෙලෙක් පිඟානකින් වසා, පිරිසිදු සුදුපැහැ රෙදි කඩකින් ඔතා එහි කොන් සතර කොන් දෙක බැගින් එකට අල්ලා තදින් ගැට ගසනු ලැබේ.   
ඒ සමගම ආහාර බඳුන ලැබිය යුත්තාගේ නම සහ සේවා ස්ථානය ලියූ ඝන කඩදාසි කැබැල්ලක් ආයාකටුවකින් රෙදි කඩෙහි රඳවනු ලැබේ. මෙසේ නිවෙස් වලින් ලැබෙන ආහාර බඳුන්, බයිසිකලයේ ලෑලි පෙට්ටියේ පරිස්සමට රඳවනු ලැබේ. එහිදී ආහාර බඳුන් පෙට්ටියේ මුලින්ම බාරදිය යුතු කෑම බඳුන් උඩට පිහිටනසේ තබාගැනීමට බයිසිකල් කරුවෝ පරිස්සම් වෙති.   


එකල මෙම බයිසිකල් කරුවන්ගේ දක්නට ලැබුණ අපූරු සහයෝගීත්වයක්ද විය. කොටහේන අලුත් මාවත, මෝදර ප්‍රදේශයේ බත් පිඟන් එකතුකරගෙන එන බයිසිකල්කරුවන්ගෙන් බත් පිඟන් වැඩිපුර බෙදීමට ඇත්තේ කොල්ලුපිටිය ප්‍රදේශයේ නම් බොරැල්ල, මරදාන ප්‍රදේශයේ බෙදාදීමට ඔහු ළඟ ඇති බත් පිඟන්, එම ප්‍රදේශයට යන බයිසිකල්කරුවෙකුට භාරදෙයි. අනිත් බයිසිකල්කරුවා ළඟ ඇති කොල්ලුපිටිය ප්‍රදේශයේ භාරදීමට ඇති ආහාර භාජන ඔහු ලබාගනී. මෙසේ බත් පිඟන් හුවමාරු ස්ථානයක් ලෙස එකල තර්ස්ටන් පාරේ විශ්වවිද්‍යාලය අසල මාර්ගයේ සෙවන ප්‍රසිද්ධ විය. එකල වැඩි වාහන තදබදයක් තිබුණේද නැත.   


බොහෝවිට ඔවුන් මෙම හුවමාරුව සඳහා තෝරාගත්තේ වැඩිපුර වාහන තදබදයක් නැති ගස් හෙවනක් ඇති පාර අද්දරය. මෙලෙස ලබාගන්නා ආහාර බඳුන් එහි සඳහන් කර ඇති සේවා ස්ථානයේ, කෑම ගන්නා ස්ථානයේ තැන්පත් කිරීම ඔවුන්ගේ සිරිතය. දහවල් කෑම වේලාව එළඹිවිට එක් එක් පුද්ගලයා පැමිණ තමන්ට නියමිත ආහාර බඳුන ගෙන ලිහා අනුභව කර හිස් පිඟන් නැවත ගැට ගසා කෑම කාමරයේම තැන්පත් කරති. දහවල් දෙක පමණ වන විට නැවත එන බයිසිකල්කරුවෝ හිස් බඳුන්ගෙන උදෑසන සිදුවූ ආකාරයටම නැවත ඒ ඒ නිවෙස්වලට භාරදෙති. සමහරවිට බත් භාජනය අයිති පුද්ගලයාට බයිසිකල්කරුවා ආපසු එන වෙලාවට ආහාර ගැනීමට නොහැකිවී නම් පසුව ආහාර ගෙන කාර්යාලයේ වැඩකටයුතු අවසන්වී ආපසු යනවිට හිස් භාජනය නිවස වෙත ගෙනයෑම සිදුකරයි.   


මෙලෙස නිවසේ සිට කාර්යාලය දක්වා කෑම භාජන ගෙනයෑම සහ ආපසු නිවාස දක්වා ගෙන ඒමට එක් ආහාර බඳුනක් සඳහා අයකරන ලද්දේ රුපියල් පහක් වැනි මුදලකි. ඒ යුගයේ රුපියල් පහක් යනු සැලකිය යුතු මුදලක් විය.   


කාර්යාල ආපනශාලා මෙන්ම, කාර්යාල සමීපයෙහි හෝටල් නොතිබූ සමයක, බයිසිකල් බත්කාරයන්ගෙන් සුවිශේෂ සේවාවක් සිදුවිය. මේ නිසා නිවසේම පිළියෙළ කළ ආහාරය, තරමක් උණුසුමක්ද ඇතිව භුක්ති විඳීමේ වාසනාව කාර්යාලවල ලිපිකරු පංතියේ අයට හිමිවිය.   
සමහර කාර්යාලවල කෑම කාමරය වෙත ගොස් බත් භාජන තැබීමේ අවස්ථාව බයිසිකල්කරුවන්ට තිබුණත් සමහර ආයතනවලට ඇතුලුවීමට බයිසිකල්කරුවන්ට ​ඉඩ නොලැබුණි.   
සම්මානනීය නවකථාකරුවකු සහ අති දක්ෂ රූපවාහිනී තිරකතා රචකයකුවූ මියගිය සෝමවීර සේනානායක ඒ පිළිබඳව මෙසේ විස්තර කළේය.   
ඒ කාලෙ ලේක්හවුසියටත් ඔය වගේ බයිසිකල්කාරයො ආවා. ලේක් හවුසියේ සුබසාධන අංශයෙන් පුංචි කාර්ඩ් එකක් දීල තිබුණ. ඒකෙ සේවකයා සේවය කරන අංශයයි, සේවකයාගේ නමයි සටහන් කරලා තිබුණා. ඒ කාඩ් එක තමයි ගෙදරින් එහෙම නැතිනම් බෝඩිමෙන්, එහෙමත් නැතිනම් බත් අම්මගෙ ගෙදරින් කෑම පිඟාන ඔතල එවන රෙද්දෙ දවටන්නෙ. එලෙසින් සෝමවීර සේනානායක මහතා පැවසුවේ ලේක් හවුසියේ සුබසාධන අංශය සේවකයින්ගේ ආහාර බඳුන් මාරු නොවීමට කටයුතු කළ ආකාරය පිළිබඳවය.   
දවල් දහයට එකොළහට ගෙවල් වලින් කෑම භාජන ඉල්ලාගෙන ඔවුන් එක එක පාරවල් වලින් ඇවිල්ල නියමිත එක තැනකදි එකතුවෙනවා. එතැන හරියට මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානය වගේ. මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානය විවිධ ප්‍රදේශවලින් එන ලියුම් නැවත එක් එක් ප්‍රදේශයකට තෝරල යවනව වගේ මෙතැනදි එක එක පාරට බෙදන්න තියෙන කෑම භාජන හුවමාරු කරගන්නවා. මේ වගේ බත් භාජන හුවමාරු ස්ථාන කොළඹ නගරයේ කීප තැනකම තිබුනා. දශක කීපයකට එහා බයිසිකල් බත්කරුවන්ගේ බෙදාහැරීමේ යාන්ත්‍රණය සෝමවීර සේනානායක මහතා වරක් මට එසේ විස්තර කළේය.  


වෙනත් කාර්යාලවල ඇතුළට ගොස් කෑම භාජන තබා ආපසු පැමිණියත් ලේක්හවුසියේ එවැනි ඉඩකඩක් නොවීය.  


බත්කාරයන්ට ලේක්හවුසියේ ඇතුළට එන්න ඉඩක් තිබුණේ නැහැ. ලේක් හවුසිය පිටිපස්සෙ වාහන නවත්වන පැත්තෙන් ඇවිල්ල නතරවෙන්න ඕනෑ. එතකොට පියන්ල දෙන්නෙක් ඇවිල්ල කෑම භාජන බයිසිකල්කාරයාගෙන් අරගෙන ගිහිල්ලා කෑම කාමරයේ තියෙන රාක්කවල තියෙනවා. කෑම අයිතිකාරයො කෑම කාලා ආපහු රාක්කෙම හිස් භාජන තියනවා. හවස බයිසිකල්කාරයො ආවම ආපසු අර භාජන ගිහින් දෙනවා. බයිසිකල්කාරයා ඒ හිස් භාජන, ලියුම් බෙදනව වගේ ආපහු නියමිත ගෙවල්වලට භාර දෙනවා. බත්කාරයින්ගේ ක්‍රියාපිළිවෙත එසේ සවිස්තරව දනිතත්, සෝමවීර සේනානායක එවැනි බයිසිකල් බත්කරුවන් ගෙනා බත් අනුභවකල අයෙකු නොවීය.  


ඔය කියන කාලවල මම තනිකඩයිනේ. ඒක නිසා මට බත් එවන්න කෙනෙක් හිටියේ නැහැ. ශත පනහෙ බත් එක තමයි ලේක්හවුස් කැන්ටිමෙන් කෑවෙ. සෝමවීර සේනානායක මහතා පැවසුවේ සිනහසෙමිනි.  


කොළඹ නගරයේ නිවෙස්වල නේවාසිකව සිටි කාර්යාල ලිපිකාර මහත්තුරුන්ට එලෙස බත් සැපයූ බත් අම්මා කෙනෙකු පිළිබඳව භවතු සබ්බ මංගලම් යන කෙටිකතාවක් සෝමවීර සේනානායක ගේ සුද්දා පරාදයි කෙටිකතා සංග්‍රහයට ඇතුළත්ව ඇත.  


වැඩිවියට පත්වූ දියණිවරුන් ලවා නේවාසිකයන්ගේ කාමරවලට ආහාර බඳුන් යවා ඔවුන්ට මිත්‍රවීමට ඉඩ සලස්වා ඔවුන් කාර්යාල ලිපිකරුවෙකුට විවාහකරදීමට දරන උත්සාහයක් පිළිබඳව එම කෙටිකතාවෙහි විස්තරවෙයි.  


එවකට කොළඹ නගරයේ බෙහෙවින් ව්‍යාප්තව පැවතුන මෙම බයිසිකල් බත්කරුවන් පිළිබඳව එම කාලයේ අපූරු චිත්‍රපටයක්ද ප්‍රදර්ශනය විය.  


ඒ බයිසිකල් හොරාය  


චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ එවකට බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට කීපයක්ම අධ්‍යක්ෂණය කල කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාය. ඔස්වල්ඩ් ජයසිංහ, ජීවරාණි කුරුකුලසූරිය, ඩී.ආර්. නානායක්කාර, ඩේවිඩ් ධර්මකීර්ති, දොන් සිරිසේන වැනි නළු නිළියන් රාශියක් බයිසිකල් හොරා චිත්‍රපටයේ රඟපෑහ.  


විවිධ වංචා වැඩකර ජීවත්වෙන පියෙකුගේ චරිතය රඟපෑ ඩී.ආර්. නානායක්කාර එම චිත්‍රපටයේ රඟපෑවේය. එම චිත්‍රපටයේ ඔහුගේ දියණිය ලෙස රඟපෑ ජීවරාණිගේ උපදෙස් අනුව එම ජීවිතය අත්හැර බයිසිකලයකින් බත් බෙදාදෙන පුද්ගලයකු ලෙස ජීවිතය ගොඩනගා ගන්නා අන්දම බයිසිකල් හොරා චිත්‍රපටයේ විස්තර වෙයි.  


හැටේ දශකයේ කොළඹ නගරයේ කාර්යාලවලට පමණක් නොව ප්‍රධාන පෙළේ පාසල්වලටද මෙම බයිසිකල් බත්කරුවන්ගේ සේවාව සැපයූහ. ප්‍රවීණ ගමන් විස්තර සාහිත්‍ය නිර්මාපකයකුවූ නීල් විජේසිංහ පවසයි.  


ඒ කාලෙ හුඟක් පාසල් උදේ අටේ ඉඳන් සවස තුන වෙනකම් පැවැත්තුවා. දහවල් දොළහෙ ඉඳල එක වෙනකම් කෑම විවේකයත් තිබුණා. මම කොළඹ මරදානේ ශාන්ත ජෝශප් විද්‍යාලයේ ඉගෙනගන්නා කාලයේ මෝදර කොටහේන පැත්තෙ ඉඳල පැමිණෙන ළමයින්ට ඔය බයිසිකල්කරුවො බත් ගෙනත් දුන්නා මතකයි. නීල් විජේරත්න තම පාසල් සමය සිහිපත් කරමින් පැවසීය.  


නීල් පවසන ලෙස මෙලෙස බත් බෙදාදීමේ ක්‍රමය ඉන්දියාවේ ඉතාමත් ප්‍රචලිතය. මෙලෙස බත් බෙදාහැරීමේ සේවයෙහි නිරතවෙන අය ඉන්දියාවේ හැඳින්වෙන්නේ දබ්බවාලා යනුවෙනි.  


ඉන්දියාවේ මෙම දබ්බවාලා සේවය හා සබැඳුන අපූරු හින්දි චිත්‍රපටයක් කලකට ඉහත මට නැරඹීමට හැකිවිය.  


චිත්‍රපටයේ නම ලන්ච් බොක්ස්ය.  


ඉතාමත් දක්ෂ නළුවකු වෙන ඉර්ෆාන් ඛාන් එහි ප්‍රධාන චරිතය රඟපෑවේය. එම චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය රඟපෑවේ නිම්රත් කොවුර්ය. රිනේෂ් බත්‍රා අධ්‍යක්ෂණය කළ ලන්ච් බොක්ස් හින්දි චිත්‍රපටය නිෂ්පාදනය කළේ සභානළු අල්අත්ය.  


ඉර්ෆාන් ඛාන්, බිරිඳ මියගිය විශ්‍රාම යෑමට ආසන්න කාර්යාල නිලධාරියකුගේ චරිතය රඟපෑවේය. සැමියා විසින් ගණන් නොගන්නාවූ බිරිඳගේ චරිතය නිම්රන් කොවුර් රඟපෑවාය.  
දිනක් ඇය රසවත් කෑමක් පිළියෙල කර එම ආහාර බඳුන සමග ලිපියක්ද එකතුකර දබ්බවාලා කෙනෙකුට භාරදෙයි. නමුත් වැරදීමක් නිසා එය ලැබෙන්නේ ඇගේ සැමියාට නොව ඉර්ෆාන් ඛාන්ටය. ඔහු එම ආහාර බඳුන අනුභව කර පිළිතුරු ලිපියක්ද යවයි. මෙලෙස ටික කලක් ආහාර බඳුන් සමග දෙදෙනා ලිපි හුවමාරු කරගනිති. අවසානයේ මෙම ලිපි ලියන්නේ තම සැමියා නොවන බව ඇය වටහාගනී. ඔහුගේ කාර්යාලයේදී දෙදෙනා මුණගැසීමට තීරණය කරති. ඇය ඔහු මුණගැසීමට කාර්යාලයට පැමිණිවිට ඔහු ඇය දෙස බලා සිට මුණ නොගැසී ආපසු යයි.  


ලන්ච් බොක්ස් චිත්‍රපටය නැරඹීමත් සමග මට සිහිපත්වූයේ ටී.බී. ඉලංගරත්නගේ තිලක හා තිලකා නවකතාවය. තිලක විවාහයෙන් පසුව රැකියාවට යන පළමු දිනයේ තිලකා දහවල් එවන බත් බඳුන සමග ආදර ලිපියක් යවන සිද්ධියක් එම නවකතාවේ ඇතුළත්ය.  

 

 

පීටර් කැනියුට් පෙරේරා