අනුරපුරේ හැටදාහක ජනයා නියඟයෙන් අසරණයි


අනුරාධපුර දිස්ත්‍රික්කයට වසර එකහමාරකින් නිසි කලට නිසි ලෙසින් වැසි නොලැබීම නිසා බලපා තිබෙන නියඟයෙන් මේ වන විට දිස්ත්‍රික්කයේ පවුල් විසිපන්දහසකට අයත් පුද්ගලයන් හැට දහසකට අධික පිරිසක් ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටිති.  


නියඟයේ බලපෑම හේතුවෙන් අනුරාධපුර නගරයේ හා ඒ අවට ප්‍රදේශවල ජනතාවට පානීය ජලය සැපයෙන නුවර වැවේ සහ තිසා වැවේ ජල මට්ටම ද මේ වන විට සීඝ්‍රලෙස පහත බැස තිබෙන නිසා, වැසි නොලැබුණහොත් ඉදිරි සති කිහිපය තුළ ජනතාවට පානීය ජල ගැටලුවට ද මුහුණ පෑමට සිදුවන තත්ත්වයක් උද්ගත වෙමින් පවතී.  


අනුරාධපුර දිස්ත්‍රික්කයට බලපා තිබෙන නියඟය කොතරම් උග්‍ර තත්ත්වයකට පත්ව තිබේ දැයි යන්න දිස්ත්‍රික්කයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන වැව් 14හිම ජල මට්ටම සියයට පහළොවකටත් වඩා අඩුමට්ටමකට මේ වන විට පහත බැස තිබීමෙන්ම පැහැදිලිවෙයි.  

 

 

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම් වන්නිනායක මහතා ප්‍රකාශ කළේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22න් 14කටම මේ වන විට නියඟයේ බලපෑම තදින්ම එල්ලවී තිබෙන බවයි.  


දිස්ත්‍රික්කය තුළ පදිංචි පවුල් විසිපන්දහසකට අයත් හැට දහසකට අධික පුද්ගලයන් පිරිසක් මේ වන විට පානීය ජල හිඟයෙන් පීඩා විඳින බවට ප්‍රාදේශීය ලේකම්වරුන් තමන්ට දැනුම් දී ඇතැයි කී අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා එම ජනතාවට බවුසර් මගින් ජලය සැපයීමට පියවර ගෙන ඇතැයි ද පැවසීය.

 
ඊට අමතරව නියඟයෙන් පීඩාවට පත්ව සිටින පවුල් සඳහා නියං ආධාර ලබාදීමට ද රජය පියවර ​ෙගන තිබෙන බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.  

 

 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන වැව් 14කම ජලමට්ටම ශීඝ්‍ර ලෙස පහත බැස තිබීම ගැන කරුණු පැහැදිලි කළ අනුරාධපුර වාරිමාර්ග අධ්‍යක්ෂ ප්‍රසන්න ද සිල්වා මහතා, සමහර මහ වැව් වලට මහවැලි ජලය ලබා ගැනීම පවා මේ වන විට ප්‍රශ්නයක් වී ඇතැයි කීය.  


සමස්තයක් වශයෙන් ගත් කල දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් 14 ලෙස සැලකෙන නුවරවැව, තිසාවැව, අභයවැව (බසවක්කුලම), නාච්චාදූව, මහකනදරාව, මහ විලච්චිය, කුරුවිල, රාජාංගණය, අංගමුව, හුරුලුවැව, මානංකට්ටිය, සේරුවැව, වාහල්කඩ සහ පදවිය යන වැව්වල මේ වන විට පවතින ජල ප්‍රමාණය සියයට පහ​ෙළාවකටත් අඩු මට්ටමකට පහත බැස ඇතැයි ඒ මහතා පැවසීය.  


නුවරවැවේ මේ වන විට පවතින්නේ වැවේ මුළු ජලධාරිතාවෙන් සියයට 16ක ජල ධාරිතාවක් බව සංඛ්‍යා ලේඛන ගෙන හැර දක්වමින් පැවසූ ප්‍රසන්න ද සිල්වා මහතා, සෙසු මහ වැව්වල දැනට පවතින ජලධාරිතාව එම වැව්වල මුළු ජලධාරිතාවන් අනුව සැසදූ ආකාරය අනුව මෙසේය.  


තිසාවැව - 16%, අභයවැව - 5%, නාච්චාදූව - 15%, මහකනදරාව - 7%, මහවිලච්චිය - 8%, කුරුවිල - 57%, රාජාංගණය - 28%, අංගමුව - 9%, හුරුළුවැව - 17%, මානංකට්ටිය - 15%, සේරුවැව - 6%, වාහල්කඩ - 6% සහ පදවිය - 6%   


 

මේ අතරින් මේ වන විට ප්‍රශස්ත මට්ටමක ජලධාරිතාවක් පවතින්​ෙන් කුරුවිල වැවේ පමණක් බව කී ඒ මහතා ඊට හේතුව කලාවැව ඔස්සේ කුරුවිල වැවට මහවැලි ජලය ලැබෙන නිසා යැයි පැවසීය.  


දැනට අඩුම ජල මට්ටමක් පවතින්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින මහ වැව් 14 අතරින් අක්කර අඩි 85000 ක වැඩිම ජලධාරිතාවක් රඳවා තබාගත හැකි පදවිය වැවේ බව කී අනුරාධපුර වාරිමාර්ග අධ්‍යක්ෂවරයා, එම වැවේ දැනට පවතින ජලමට්ටම අඩි එකයි අඟල් හතරක් දක්වා පහත බැස ඇතැයි කීය.  
මේ අතර, අනුරාධපුර නගරය හා අවට ප්‍ර​ෙද්ශයන්ට පානීය ජලය සැපයෙන ප්‍රධාන ජල යෝජනා ක්‍රම තුන ලෙස සැලකෙන කුරුවිල, නුවරවැව හා තිසාවැව ජල යෝජනා ක්‍රම යටතේ නිවාස හා ආයතන 48500කට ජල සැපයුම සිදුකෙරෙන බව කි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අනුරාධපුර ප්‍රාදේශීය කළමනාකාර චමින්ද ලොකුබරණ මහතා, ඒ අතරින් වැඩිම ජල සැපයුමක් සිදු කෙරෙන්නේ කුරුවිල වැවෙන් බව පැවසීය.  


කුරුවිල පානීය ජලයෝජනා ක්‍රමය යට​ෙත් නිවාස හා ආයතන 25000කට පමණ ජල සැපයුම සිදු කෙරෙන බව පැවසූ ලොකුබරණ මහතා, නියඟය පැවතුන ද මහවැලි ජලය කුරුවිල වැවට ලබා ගැනීමේ හැකියාව පවතින නිසා ගැටලුවකින් තොරව පාරිභෝගික ජනතාව වෙත කුරුවිල වැවෙන් අඛණ්ඩව ජලය සැපයීමට හැකියාව ඇතැයි ද පැවසීය.  

නමුත්, ඊළගට වැඩිම පාරිභෝගිකයන් පිරිසකට පානීය ජලය සැපයෙන නුවර වැවේ ජලමට්ටමට මේ වන විට අඩි 7යි අඟල් 11ක් දක්වා පහත බැස තිබීම නිසා ඉදිරි සති දෙක තුන තුළ වර්ෂාව නොලැබුණහොත් නුවර වැවෙන් පානීය ජලය සැපයීමේ දී ගැටලු පැන නැගීමට ඉඩ තිබෙන බව ඒ මහතා පෙන්වා දුන්නේය.  


නුවරවැව යටතේ නිවාස හා ආයතන 16500කට පානීය ජලය සැපයීම සිදු කෙරේ. මේ අවස්ථාවේ නාච්චාදූව වැවේ ජල මට්ටමද ශීඝ්‍ර ලෙස පහත බැස තිබෙන නිසා නාච්චාදූව වැව හරහා නුවරවැවට මහවැලි ජලය ලබාගනීම ද අසීරු වී ඇතැයි ලොකුබරණ මහතා පැවසීය.  

 

 

නිවාස හා ආයතන 7000කට පානීය ජලය සැපයෙන තිසාවැවේ ජල මට්මද මේ වන විට අඩි නවය හමාරක් දක්වා පහත බැස තිබේ. මේ නිසා තිසාවැව යටතේ සිදු කෙරෙන පානීය ජල සැපයුම අඛණ්ඩව සිදු කර ගෙන යෑමට මහවැලි ජලය තිසාවැවට ලබා ගැනීමට කටයුතු කර ඇතැයි පැවසූ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අනුරාධපුර ප්‍රාදේශීය කළමනාකාරවරයා, පැන නැගී තිබෙන මේ තත්ත්වය යටතේ හැකිතාක් අරපිරිමැස්මෙන් ජලය පාවිච්චිකරන ලෙස ප්‍ර​ෙද්ශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.  


දැනට සති එක හමාරක කාලයක සිට අනුරාධපුර දිස්ත්‍රික්කයට වරින් වර මඳ වශයෙන් වැසි ලැබුණත් එය අවුරුදු එක හමාරක සිට බලපා තිබෙන නියඟය හමාර කිරීමට තරම් ප්‍රමාණවත් වූ බවක් නම් පෙනෙන්නට නොමැත. ඒ තරමටම නියඟයේ බලපෑම දරුණු වී තිබෙන නිසායි.  

 

 

 

සටහනු හා සේයාරූ  : අතුල බණ්ඩාර