ලංකාවේ වනපෙතේ ඉපැරණි වෘක්ෂලතා


 

 

... පසුගිය සතියෙන්


නොයෙක් කලාපවල වැවෙන මිල්ල ගස ද තද අරටුවක් ඇති පසට ඔරොත්තු දෙන මිල වැඩි දැව විශේෂයකි. හල්මිල්ල බොහෝ උසැති ලස්සන දැව විශේෂයකි. කියත්වලින් කපන විට ‘කහමිල්ල’ කහ පාටය. මේ සියල්ලටම වඩා ශක්තිමත් බව අතින් ප්‍රමුඛස්ථානය ගන්නේ නියන් මිල්ලය.   


මිල්ල තරමටම ශක්තියක් නැතත් පැලෙන සුළු දැවයකින් යුත් මහතට විශාලව වැවෙන කිරි බහුල තවත් වෘක්ෂ විශේෂයකි, කිරි ඇඹිලිය (මේ ගසේ පොතු කබර කබර සේ ගැලවේ).   


දියතාලිය මෙන්ම කිසිදු ප්‍රයෝජනයකට නොගැනෙන මළබඩ ගස් කැලෑවේ ඕනෑ තරම් ඇත. මේවා ඉහළට උසට ගියත් අරටුවක් නැති බැවිනුත්, ලීය දුර්වල බැවිනුත් සුළි සුළඟක් ආ විට ප්‍රථමයෙන්ම වාගේ ඇද වැටෙන්නේ මළබඩ ගස්ය (ඊළඟට ඇතැම්විට ගැඬිබ ගස්ය). ඉක්මනින් දිරන මේ ගස්වලින් තුවාල කළ විට නිතරම මැලියම් වෑස්සේ.   
කීන පවුලේ ද අයිය-මලෝ තුන් හතරදෙනකුම සිටිති. ලොකු දිග දොඹ කොළයක් හා සමාන පත්‍ර ඇති වර්ගයට දොඹකීන යැයි කියනු ලැබේ. දෙහි කොළයට සමාන පත්‍ර ඇති වර්ගය දෙහිකීන යැයි කියනු ලැබේ. මේ සියල්ල ඉතා උසට වැවෙන දැවැන්ත වෘක්ෂයෝය. නා දල්ලේ මෙන් පහතට වෑස්සෙන කොළවලින් පිරුණු වලුකීන ගස් ද නෙතට ප්‍රිය දසුනකි. දෙහිකීන ගසක කොළවලට වඩා හීනි කොළයක් ඇති ගුරුකීන ගස් අරණ්‍යවාසී ස්වාමීන්වහන්සේලාට බොහෝ ප්‍රයෝජනවත්ය. උන්වහන්සේලා දහවල් දානයට මීකිරි වැළඳීමට හැන්දක් වෙනුවට බොහෝ විට යොදා ගන්නේ ගුරුකීන කොළයකි. මෙය, ජන්මලාභයෙන්ම ඉතා ශක්තිමත් දිග හැන්දක් සේ සකස් වූ පත්‍ර ඇත්තෙකි.   
මල් රතු පාටින් යුත් තාල වර්ගයේ දෝතලු, විටට ගන්නා පුවක් විශේෂයකි. මෙහි ද පුවක් මලට අනුරූප මලක් දක්නට ලැබේ. දෝතලු ගසෙන්, පුවක් ගසෙන් ගන්නා සෑම ප්‍රයෝජනයක්ම ලැබේ.   
වැඩි ඇසුරකින් තොර හුදෙකලා වූ බොහෝ ගස් නොඅනුමානවම මිනිසාට පමණක් නොව, මුළු මහත් සත්ව සංහතියටම විෂය. මාසක්කා එවැනි විෂ ගස් වර්ගයකි. මිනිසාටත් සතුන්ටත් විෂ වූ මේ ගෙඩි, යම් වතුරකට දමා නෑවහොත් සියොළඟ පළු නගී.   


ඇතැම්විට දොළ පාරවල් දෙපස ඇති කිතුල් ගස්වල ඇට, දොළ දියට වැටීමෙන් ද ඒ දිය නාන මිනිසුන්ගේ ඇඟ කසන්නට පටන් ගනී. ඇතැම්විට ගැට අන්නාසි පෙඟුණු වතුරෙන් ද මේ සිදුවීම ඒකාකාරයෙන්ම බලපායි. ගැට අන්නාසි වතුරට හෙලන්නේ ඉත්තෑවා විසිනි.   
ඉත්තෑවාගේ වටිනා ජීවිතය නපුරු මස්වැද්දන්ගේ නොමිනිස් අත්වල තෙරපෙන කැති පහරකින් කෙළවර වෙතත්, පැරැන්නෝ ඉත්තෑවකු මළවිට උගෙන් මිනිස් ජීවිත බේරා ගත හැකි තරම් ප්‍රබල වන ඔසු තැනුවෝය. “ඉත්තෑගල” නමැති බෙහෙත් පංතියෙන් එය හෙළි වේ. ‘සල්ලකී පාෂාණ’ නමැති ගල් වර්ගයක් ගැන යෝගරත්නාකරය සඳහන් කරන්නේ ද මෙයමය. එබැවින් ‘ඉත්තෑගල’ යනු ඉත්තෑවාගේ ශරීරයෙහි සෑදෙන ගල් වැනි ද්‍රව්‍යයකි.   
ගැමියන් අතර ගස් වශයෙන් බොහෝ මතක හිටින්නේ ඔවුන්ගේ ගෙදොර-දොර වුවමනා එපාකම්වලට පිරිමැසෙන දැව වර්ගයන්ය. මේ අතරින් රීප්ප, පරාල, බාල්කවලට නිතර ගැනෙන දැව දඬු කෙරෙහි යොමු වීම ප්‍රධානය.   
උළුවහුවලට වැඩිපුරම තෝරා ගැනෙන්නේ කොස්, මිල්ල වැනි වර්ගයන්ය. මේ අතර උළුවහුවලට කිසි විටෙකත් ගනු නොලබන එහෙත් බර ලීයකින් යුත් වැලිපියන්න ගැමියන් අතර ඉතා ප්‍රසිද්ධය. මේ ගසේ දලු එනවිට මුළු වෘක්ෂයම ලස්සන රෝස පැහැයකින් අලංකාර වේ. ලීය දැවෙන විට රතු පාට ගිනි අඟුරක් නොපෙනේ. රශ්මිය නැතත් අඟුරු කළු පාටය. කඳ කිරි ගතියට ඇති බැවින් ඈත අතීතයේ පටන්ම වැලිපියන්න ගන්නා ලද්දේ ගෙවල් සෙවිලි කිරීමටය.   


ගලිස් නොහොත් පාඬරා නොහොත් ගල්පේර දකින්නට ලැබුණේ අඩි තුන්දහසක් පමණ ඉහළ කඳුවැටියකදීය. මෙය ද අමුතු පෙනුමකින් යුත් පලතුරු ගස් විශේෂයකි. කපා මාස හයක් ගියත් එහි ලීය තෙතට ද සවිමත්ව ද පැවැතීම ගලිස් කඳේ විශේෂ ලක්ෂණයකි. මේ ශක්තිමත්භාවය නිසා ඇත්දළවලින් කරනු ලබන ඇතැම් කැටයම් වැඩවලට ගලිස් ලීය ද තෝරා ගැනේ. (ගෙරි ඇට ලීය ද කෑගල්ල පළාතේ මේ සඳහාම යොදා ගැනේ.)   
යකඩ මෙන් ශක්තිමත් දැව දඬුවලට තවත් ප්‍රසිද්ධ වන වෘක්ෂ වනයේ එමට ඇත.   
ඒවා අතරින් කොර-කහ හෙවත් වැලි-කහවලින් කැති මිටි, පොරෝ මිටි යනාදිය තනා ගනු ලැබේ. වර්ධනයට බොහෝ කාලයක් ‘අයකරන’ ගල්කූර ගස ද විශේෂ රතු පාටකින් අසමාන ප්‍රතිරූපයක් මවාපාන පිනිබරු ගස ද කැලෑවේ ‘යෝධයින්’ සේ යෝධබල, යෝධ සවිය ඇති වෘක්ෂ වේ.   
ශක්තිමත් බව අතින් ඉහළ යන දැව පැලීමටත්, යතු ගෑමටත් නොහැකි නිසා, සියුම් වැඩවලට යොදා ගැනීමේ බාධාවක් පවතී. එහෙත් උබ්බේරිය ගසේ ලීය තද වුවත්, දිග-අතට පැලෙන ලීයකි. පෙනුමෙන් ගොරක ගසක් වැනි වූත්, රවුම්ව පිහිටන කොළ ‘දවට’ මෙනි. උලකින් ගස තුවාල කළ විට කහ පැහැති කිරි විශේෂයකි. වට ප්‍රමාණයෙන් කුඩා වුවත් මැංගුස් වැනි ගෙඩි ද හටගනී. අනෙකුත් සියලුම දරවලට වඩා උබ්බේරිය ගස් කොන්ද කෙළින් තබාගෙන තනි කෙළින් ඉහළ යන වර්ගයකි. නමුත්, පොරෝකාරයා ප්‍රථමයෙන් තෝරා ගන්නේ ද තනි කෙළින් යන ගස්ය.   


“වනාන්තරයේ තිබෙන ගහ කොළ මල් ඵල හා ජීවත්වන සතුන් සිව්පාවුන්ගෙන් තොරව මිනිසාගේ ජීවිතයේ අරුත කුමක් ද? ඒවා සියල්ල වැනසී ගියහොත් මිනිසා හදවතේ මහා පාළුවකින් මිය යන්නේය. මක්නිසාදයත් ගහ කොළවලට සතුන් සිව්පාවුන්ට සිදුවන දේ නොබෝ කලකින්ම මිනිසාටත් සිදුවන හෙයිනි.” වර්ෂ 1854 දී රතු ඉන්දියානු ජනතාවගේ නායක සියැටල්, සියරට මුදලට ගන්නට සූදානම්ව පැමිණි විදේශික නායකයකුට සිය දේශයේ සම්පත් ගැන, ජනතාව ගැන හැඟීම්බරව කළ කතාවේ එසේ ද සඳහන් කළේය.   
මානව ශිෂ්ටාචාරයේ මුල් අවස්ථාවලදී වනාන්තරවල තිබූ ශාක හා සත්ව සම්පත් පරිභෝජනය කොට මිනිසා සිය ජීවිතය පවත්වා ගත් බව සැබැවි. ඒ නිසාම මිනිසා ඒ යුගවලදී වනාන්තරයට ආදරය කළේය.   
මිනිසාට බිලිඳෙකු වශයෙන් බිහිවීමට, මිනිසකු වශයෙන් ජීවත් වීමට හා මියගිය පසු අළු දූවිලි බවට පත්වීමට ඉවහල් වන සමස්ත පරිසරයටම සියැටල් කී හැම දෙයක්ම අයිති වෙයි. පිරිසිදු වායුව, පිරිසිදු ජලය, භූමිය, වන සම්පත්, ධීවර සම්පත්, ඉන්ධන, ලෝහ වර්ග, බල ශක්තීන්, සෞන්දර්යය ආදිය පරිසරයේ ප්‍රබල කොටස් ලෙස දැක්විය හැකිය.   
අද මේ සියලු ශක්තීන්ගේ පරම හතුරා මිනිසා යැයි කියැවෙන තරමට මිනිසා සිය පැවැත්මට එරෙහිව අත්තනෝමතික ලෙස කටයුතු කර ඇත. එතෙක් මෙතෙක් කල් වනයේ ගුණාත්මක පැත්ත රැක ගත්තේ එහි සිටිනා වන සතුන් විසිනි. මේ වන සතුන් වුව ද කැලෑවේ ඉදෙන පලතුරුවලින් දිවි ගෙවා මිනිසාගේ දඩ මස් සාගතයෙන් පණ බේරා ගත්තේ සීරුවෙනි.   
ඒ අතින් සලකා බලන විට කැලෑවේ ඇති වන පලතුරුවලින් වන සිව්පාවුන්ට සැලැසෙන සෙත ඉමහත්ය. මේවායින් බොහෝ වර්ග සිංහරාජය අවට සිටින ඇතැම් මිනිසුන්ගේ ද රස නහර පිනවා ඇත.   
තෙත් කලාපීය වනාන්තරවල තවමත් දක්නට ලැබෙන ඉතා වැදගත් කැලෑ පලතුරු පිළිබඳව අපි දැන් විමසා බලමු.   
බිංකුණ්ඩා නමැති සතාගේ හැඩයට සමාන තකුල් ඇටය අඩංගු කකුල් ගෙඩිය, කැලෑවේ බොහෝ පක්‍ෂීන් සුලබ ලෙස ආහාර කොට ගනී. (නාරං පොතු, කපුරු, ළමග, කරාබු නැටි, ඉඟුරු ආදියෙන් මිශ්‍ර කරගත් විට තකුල්, බුලත් විටට ද එහි සිටින මිනිසුන් විසින් ගනු ලැබේ. මේ බැව් ථූපවංශයේ ද සඳහන් වෙයි. (සාදික්කා, තකුල්, හීන් එනසාල්, අරළු හා පුවක්වලින් පෙර යුගයේ බුලත් විටක් සකස් වෙයි.)   


ඉඩෝර කාලයේදී වුවත් ඇති තරම් වතුර අඩංගු ගසකි, දියකාලිය. නමුත් මේ ගසෙන් කිසිවකුටවත් කිසි ප්‍රයෝජනයක් නැත. නමුත් විශාල ගස් ලෙස වැවී යයි. කැලෑවේ කොතැනක වුවත් හැදීමට බාධාවක් නැති දියතාලිය ද කුරුල්ලන්ගේ ප්‍රිය වන පලතුරකි. වෙරළු ඇටයක් තරම් වූ කොළ පාට ගෙඩිය ඉදුණු විට අලිපේර ඉදුණු විට මෙනි.   
කහට ගස වැඩියෙන් උස යන ගසක් නොවේ. නමුත් එය ඉතා දර්ශනීයව අතු-පතර යන්නීය. ළා කොළ පාටින් යුත් ගෙඩිය කරවිල ඇටයට සමානය. දොඩම් මෙන් කහට ගෙඩිය ද රවුම්ය. නමුත් ඇට ඇත්තේ ඇපල්වල මෙන් ගෙඩියේ මැද කොටසේය. වන පලතුරක් වශයෙන් සතා සිව්පාවාටත්, ගෙඩිය කුඩා අවදියේදී නම් වෑංජනයක් වශයෙන් ගැනීමට මිනිසාටත් එකසේ ප්‍රයෝජනවත් වේ.   
 වවුලන්ගේ ආහාරයක් වූ තොළොල් ගෙඩියේ ඇටය මැද්දෙන් බේරී තිබීම විශේෂ සිදුවීමකි. තරමක මත් ගතියක් දනවන මේ ගෙඩියේ ඇටය, විකා ගැනීමට බැරිම තැන වවුලා එය බිම හෙලා යයි. මේවා ඇතැම් ගැමියන් විසින් දියේ බැඳීමෙන් එහි අඩංගු තිත්ත ගතියත්, මත් ගතියත් පහකරනු ලැබේ. ඉන්පසු තම්බා ගත්විට තොළොල් ඇට, කොස් ඇට මෙන් රසවත්ය.   


දිග නටුවකින් යුත් අඟන ගෙඩියේ, ලොකුවට ඉදුණු ජෑම් ගෙඩියක් යැයි වරදවා තේරුම් ගිය හැකි වුවත්, අඟන ගෙඩිය එහි ගතිගුණ අතින් ඊට බොහෝ වෙනස්ය. මේ ගසේ ලීය පහසුවෙන් පැලෙන මුත් ලීය තද සුදු පාටය. (ලොකු ගස්වල අතු හැඳි මිටිවලට ද පාවිච්චි කෙරේ) අඟන ගෙඩි කැලෑවේ දුම්මල කැඩීමේ යන්නන්ට ද වන පක්ෂීන්ට ද බඩගින්න නිවන පලතුරකි. අඟන ගස අමුවෙන් වුවත් ගිනි ගන්නා, ඉතා සැර ගිනි රෂ්මියක් දෙන දැව විශේෂයකි.   
ගන්දෙල් නමැති විශේෂ ගෙඩි වර්ගයට අමුවෙන් මෙන්ම ඉදුණු විටත් තද ආශාවක් දක්වන දඬුලේනා, මඩොල් ගෙඩියට ද රැවටෙන්නේ ගන්දෙල් යැයි සිතාගෙනය. මඩොල් ගසක ගෙඩියක බාහිර දර්ශනයම වුවත් සිතට කුතුහලය ගෙන දෙයි. මේ ගසේ කොළය තරමක් කළු පාටට හුරු වුවත්, හැඩයෙන් කොස් කොළයට සමානය. ගසේත්, කඳේත්, කොළවලත් බෙහෙවින් කිරි අඩංගුය. මුළු ගසම සලකන විට මඩොල් ගස තදින්ම සමාන වන්නේ ගන්දෙල් ගසට නොව, ගොරක ගසකටය. ලීය සවි ශක්තිය අතින් බෙහෙවින් අනර්ඝය. ගෙඩියේ හැඩය අහු ගෙඩියක් මෙනි. කටු කටු ඇති කොස් දෙල් ඇට මෙන් මෙහි ද ඇට දෙකක් ඇත. මදය නොහොත් ඇට තම්බා පැහැයේ දමා (පෙරහන් කඩක් වැනි දෙයකින්) මෝල්ගස් දෙකක් එකට දමා උඩට අදින විට තෙල් බේරේ. මඩොල් ගෙඩි ඇසුරින් ලබා ගන්නා තෙල්වලින් පහන් පත්තු කරනු ලැබේ. දැල්වෙන විට සුවඳක් ද දෙන අතර, දැඩි ශීතල ඇති කාලයේදී ඒවා ඝනව මිදේ. එවිට මඩොල් තෙල් කහ පාටය.   


වල් ඌරන්ට අභියෝගයක් වූ කැකුණ ගෙඩි ඇසුරින් සිංහල සාහිත්‍යයට ද ප්‍රස්ථාව පිරුළු එක් වී තිබේ. වල් ඌරන් විසින් කැකුණ ඇට විකන විට, ඇටයේ මදය ඈතට විසිවෙන බැවින් ඌට ආහාර පිණිස ඒවා සොයාගත නොහැකි වේ. හබන් කුකුළා මේ සිදුවීම ගැන දන්නා බැවින් වල් ඌරන් කැකුණ ඇට තලන තැන් අවට සිටීමෙන් උන්ට නොමිලේම කැකුණ මද කෑ හැකි වේ. කැකුණ ගස් ඉති වශයෙන් හටගන්නා මල් හැඩයෙන් සමාන වන්නේ කරාබු නැටිවලටය. පාටින් කහ පැහැතිය. කැකුණ ඇටවලින් ගැමියන් තෙල් වර්ග ද සිඳිනු ලැබේ. මේ ඉටි මෙන් මිදේ.   
ඔමරිල්ලා නමැති කුඩා පක්‍ෂියා වල් ඌරාගේ පරම සතුරෙකි. ඔමරිල්ලා යනු කැලෑ දඩයමේ යන දඩයම්කරුවන්ට දඩයම් ඉව පෙන්වන කුරුල්ලෙකි. උගේ ඔත්තු සේවයෙන් බොහෝ ද්වේශයෙන් සිටින්නේ ද යත් ඌ සිටින ගස්වලට පවා අනී.   
තැඹිලි පැහැයෙන් අලංකාර වූ තරමක් දිගැටි හැඩයක් ගන්නා ඊරිය ගෙඩි, මිනිසුන්ට එතරම් ප්‍රකට වන පලතුරක් නොවුණත් සැළලිහිනියා සොය සොයා යන වන පලතුරකි. කැලෑ රටේ සිටින සර්ප වෙදුනට ඊරිය බෙහෙතට ඕනෑ වේ.   
ළමුන් අතර ඊරිය ගෙඩි ඇසුරින් කියැවෙන විකට කවි පදයකි. මේ,   
ඊරිය ගෙඩි අරගන්නේ - වීරිය කර අඹරන්නේ   
අනික් ඇහෙත් ගාගන්නේ - පොට්ට ඇහැක් කරගන්නේ   


වනබද කොබෝලීල මල් මෙන් දිනෙන් දින පැහැය වෙනස් කරගන්නා පලතුරු වර්ග කීපයක්ම වනාන්තරය තුළ දක්නට ලැබේ. ඉන් ඔලෝදියට හිමිවිය යුත්තේ ප්‍රමුඛ ස්ථානයකි. මුල් දිනවල තද කොළ පැහැයකින් පෙනෙන ඔලෝදිය ගෙඩි පොකුර කල් ගොස් ඉදුණු විට තද තැඹිලි පැහැයකට හැරේ. නොයෙක් විට ගෙඩි එකම වේලාවක නොඉදෙන බැවින් මිදි පොකුරක් අනෙක් අතට හැරවූ කලෙක මෙන් පිහිටන ඔලෝදිය ගෙඩි පොකුරක වර්ණ සංකලනය අපූරුය.   
ඔලෝදිය දුර්වල ළවල් කැලෑවල නොව, මහ මූකළාන්වලම වැවෙන්නකි. බොහෝ සතුන්ට ප්‍රියජනක වූ පලතුරකි. (මිනිසාට නම් එය ප්‍රයෝජනයක් වී ඇත්තේ විශේෂයෙන් කිතුල් මල්වලට කෝටු ගැසීමටය.)   
ඊට අමතරව මෙහි ඇති විශේෂත්වය නම් කිරිගරුඬ මෙන් ශක්තිමත් තද ඇටයක් ගෙඩියේ පිහිටීමය. පොත්ත තරමක් පලා බැලූවිට ගෙඩියේ ප්‍රමාණයෙන් වැඩිපුරම වෙන් කරගෙන ඇත්තේ ඇටය විසින් බව පෙනී යයි. වනාන්තරබදව ජීවත්වන තාපසවරුට ගෙලෙහිලන නවගුණ වැල් තැනීමට මේ ඇට භාවිත වේ යැයි පැවැසේ. මාලයක් තැනීමට ඉතා සුදුසු අන්දමේ සිදුරක් ද ඇටය හරහා පෙනෙන්නට තිබේ.   


භේදයකින් තොරව කැලෑව පාරාදීසිය කරගත් සියලුම වර්ගයේ කුරුල්ලන්ට විවෘත පලතුරක් වූ කැලෑ ඉඳි, කැලෑවේ ඇවිදෙන්නකුට වරෙක දකින්නට ලැබෙන ඉතාම ලස්සන දර්ශනයක් ලෙස හැඳින්විය හැකිය. ගෙඩි පිරුණු ඉඳි ගස ඉතා ඈත සිටම ප්‍රකටව දිස්වේ. කුරුල්ලන්ට කෑම නැතිවෙන බැවින් ඉඳිවළු කැපීමෙන් පව් සිද්ධ වේ යැයි ගැමියන් අතර දැඩි හැඟීමක් ඇත. නමුත් ඇතැම් අවස්ථාවලදී ගම්මු විසින් ද ඉඳිවළු කපාගෙන යන අවස්ථාවන් නැත්තේ නොවේ. ඉරිදා පොළට යමක් කමක් සපයා, මිරිස් තුනපහ ටික ගෙනෙන්නට සිදුවන අම්මණ්ඩිලාට වට්ටි පෙට්ටි විවීමට පිහිට වන්නේ ඉඳි ගසේ කොළයයි. ඉඳි ගහ අාරණ්‍ය සේනාසනවල ‘පීලි’ තනන්නටත්, (ආරණ්‍ය සේනාසනවල) ‘ගෙඩිය’ හදන්නටත් ප්‍රයෝජනවත් වේ. ඒ හැරෙන්නට ඉඳිමල් පූජා කරන්නට ද ගනු ලැබේ. අමුවෙන් කඩා ගෙනෙන ඉඳි පොකුරු ඉක්මනින් ඉදවා ගන්න වුවමනා වනවිට ළමෝ ඊට ලුණු වතුර ඉසති.   
ඉඳි ගසේ-බඩ පිත් අමාරුවටත්, සෙංගමාලයටත් හොඳ බැවින් ඉඳිබඩ කඳට ද සාදනු ලැබේ. (කිතුල් බඩත් මේ අන්දමින්, මේ ලෙඩවලටම ප්‍රයෝජනවත් වේ.) ඒ හැරෙන්නට තොවිල් කිරීමේදී “සූනියම් විදිය” සැරසීමටත් “ඉඳි පිළි” ගනු ලැබේ. පැලීමක් සිදුවන්නේ නොමැති බැවින් ඉඳි ගසේ කඳ ‘සමුද්‍රඝෝෂා’ නමැති වෙඩිල්ල බැඳීමට ද වුවමනා වේ. පුරාණ සම්ප්‍රදායට අනුව වෙඩි ළුෑණු කොටස් හතයි, ගෙන්දගම් කොටස් එකයි, අඟුරු කොටස් එකයි එකට අඹරා සිනිදු කොට ඉංග්‍රීසි ක්‍රමයට පුරවනු ලැබේ.   


කැලෑව නුහුරු නුපුරුදු කෙනකුට කටුබොඩ ගෙඩියක ගැලවුණු පියනක් තේරුම් යනු ඇත්තේ බුරුසුවක් ලෙසය. ඉතා උස ගස්වල හැදෙන මේ කටුබොඩ ගෙඩි ඉඳි හයට-හතරට පැලී බිමට වැටේ. බුරුසුව මෙන් පෙනෙන කොටසේ ඇත්තේ ඉතා උග්‍ර කටු රාශියකි. බාහිර වැස්ම ඒ තරමට උග්‍ර විෂක් වුව ද මදය ඉතා රසවත් බැවින් කටුබොඩ යනු දඬුලේනන් හා වඳුරන්ගේ ප්‍රධානතම ආහාරයකි. මේ පලතුරු ගස්වලින් ගම්බද ජනතාවට ද ප්‍රයෝජන නැත්තේ නොවේ. කටුබොඩ ගස් පතුරු ගඩා උළු මෙන් සෙවිලි කර වහලවල් සකස් කර ගැනීමටත්, නිදා ගැනීමට මැස්ස තනා ගැනීමටත් බොහෝ වැඩදායී වේ.   
වල් උගුරැස්ස ද ගමේ ගොඩේ අපට දකින්නට ඇති සාමාන්‍ය උගුරැස්සවලට වඩා බෙහෙවින් වෙනස්ය. ගසේ ලීය බෙහෙවින් තදය. ශක්තිමත්ය. ගෙඩි ඉතා පොඩිය. මිනිසුන් විසින් තවමත් කෑමට යොදාගෙන නැතත්, කුරුල්ලන්ගේ කෑමට ලක් වේ.   


මාවිල ගොයා, කෑඳැත්තා, මයිනා, පලා ගිරවා, හබන් කුකුළා වැනි සතුන්ට විශේෂ වූ පලතුරකි ගැඬිබ. මේ ගස් එතරම් ශක්තිමත් නැති බැවින් මහා හුළඟකින් පසු කැලෑවේ බොහෝ විට මුලින්ම ඉදීරී ගොස් වැටී ඇති බව පෙනෙන්නේ ගැඬිබ ගස්ය. අනෙක් අතින් ගැඬිබ ගසේ මුල, පොළොව පුරා දුවන බැවින් බෝවීම ද වැඩිය. ගැඬිබ කොළයේ යටි පැත්තේ නාරටි වින්‍යාසය තද රතු පාටින් පෙනෙන බැවින් සූර්​ෙ‌යා්දයේදී හිරුට පිටුපා ගන්නා ගැඬිබ කොළයක ඡායාරූප ප්‍රකාශ විද්‍යාව අතින් ඉතා චමත්කාර ජනකය.   
තරමක් දුරට දඟ වැරැල්ල පඳුරුවල හටගන්නා කුඩා ගෙඩි මෙන් වූ ගැඬිබ ගෙඩි චූටි-පුංචි පොකුරු වශයෙන් පිහිටයි. එහි පිහිටීමේ විශේෂත්වය නිසාම අතුවල ලගින කුරුල්ලන්ට අත්තක යටි පැත්තේ සිට වුව ද ගැඬිබ ගෙඩි කඩා ගැනීම පහසු වී තිබේ. මිනිසාට මේ ගසින් ඇති ප්‍රයෝජනය නම් ගැඬිබ ගසේ පොතු හෙවත් පට්ටාවලින් කිතුල් මල් වෙලන්න හැකි වී තිබීමයි.   


ගිරවුන් මෙන්ම මයිනන් ද වැඩිපුර කෑමට කැමැති තවත් පලතුරකි, මයිල ගෙඩි. මයිල කොළ යටිපැත්තේ කෘමීන් බිත්තර ලන බැවින්, ඇතැම් අවස්ථාවලදී කැලේදී හමුවන මයිල ගස්වල කොළවලට රෝග වැලඳී ඇතැයි සිතී කෙනකු නොමග යන්නට පුළුවන. ගල් අන්නාසි ද කැලයේ දකින්නට ලැබෙන තවත් පලතුරකි. පෙනුමෙන් මෙය අනෙකුත් අන්නාසි වර්ග හා සමාන වුවත්, වැඩියෙන් (අන්නාසි) කුරුල්ලන් සිටී. නොයෙක් අවස්ථාවලදී බඩේ අමාරුවලට මතුරා දෙනු ලබන (ඉස්ම) වෑංජනයක් ලෙසට ද ගල් අන්නාසි ප්‍රයෝජනවත් වේ. “ඇඹුල් පහ” මැතිරීමට වුවමනා කරන ප්‍රධාන ද්‍රව්‍යයක් වන ගල් අන්නාසි ගැමියන් අතර බොහෝ විට යෙදෙන්නේ අනවින, කොඩිවින වැඩවලටය.   


දඬුලේනුන් ප්‍රිය කරන තවත් පලතුරු විශේෂයකි, කන්පොත්ත. වඳුරන් ද දඬුලේනන් ද එකිනෙක දබර කර ගනිමින් තරගෙට මෙන් කන්පෙත්ත ගස්වල කෝලාහල කරගනු සිංහරාජ වනාන්තරයේදී දකින්නට හැකිය.  කලෑවේ හැදෙන රඹුටන් ගසත්, එහි ගෙඩියත් අප සාමාන්‍යයෙන් දැක පුරුදු රඹුටන් ගෙඩියට වඩා සහමුලින්ම වෙනස්ය. ඉදුණු විට එය ද ගඩොල් රතු පාටකින් පෙනුණත්, පිට පොත්ත ළාමක පේර ගෙඩියක මෙන් රළුය. පිට ආවරණය වටා රේණු කවරය පිහිටා නැත. සිංහරාජයේ තැනින් තැන දකින්නට ලැබුණු මේ ගස් එතරම් සරුසාර විශාල ගස් නොවීය. එහි මදය නම් රසයෙන් තද ඇඹුල් ගතියකින් යුත් බැවින්, බොහෝ විට කැලෑ රඹුටන් රසය “සියඹලා” රසයකට සමාන යැයි සිතේ.   
ජීවනෝපාය පිණිස කැලෑවේ නිතර නිතර සැරිසරන මිනිසුන්ට ද ගම්බද ජනතාවට ද වන පලතුරුවලින් ලැබෙන සහනය ඉමහති.  මැද කැලෑවේ නොසිටියත්, කැලෑ මායිමේ රංචු ගැසී සිටින වඳුරන්ගෙන් හේන් ගොවිතැන් කරන ගැමියන්ට විටින් විට අරියාදු කරදර සිදු වුවත්, වන පලතුරු බොහෝ විට හඳුනා ගෙන අනුභවයට ගැනීමට සුදුසු නුසුදුසු බව තේරුම් ගැනීමට වඳුර ද මිනිසාට උපකාර වේ.   මේ කැලෑවල දක්නට ලැබෙන පලතුරු නගරබද ජනතාවට කිසි දිනෙක තම ගෙවත්තේ වවා ගැනීමට නොහැකි වනු ඇත. එසේ වුවත්, අපේ රටේ ඇති වන පලතුරු වශයෙන් කැලෑ පලතුරු පිළිබඳව දැන සිටීම සිංහලයකු වශයෙන් ඔබ සතු යුතුකමකි.

 

 

රවි ප්‍රසාද් හේරත් විසිනි   
colomboletters@gmail.com