හමුදා නඩු ගැන ජනපති විමසිල්ලෙන්


 

(අජන්ත කුමාර අගලකඩ)  

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් ඉකුත් සතියේ ක්‍රියාත්මක වූ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් එම උත්සාහය වැළකී ගිය බව වාර්තා වේ.  


ආරක්ෂක ඇමැතිවරයාද වන ජනාධිපතිවරයා දැනුම්වත් නොකර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වූ බව රජයේ ආරංචිමාර්ගවලින් පැවසේ.   

කොටහේන ප්‍රදේශයේ තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියකට සම්බන්ධ බව කියන නාවික හමුදාවේ හිටපු නිලධාරියකුට රටින් පලායාමට අනුබල දුන්නේ යැයි කියමින් අද්මිරාල්වරයා අත්අඩංගුවට ගැනීමේ සැලැස්මක් ක්‍රියාත්මක වී තිබිණි.   


මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය අඟහරුවාදා රාත්‍රියේ පොලිසිය ඇතුළු අදාළ අංශවල ප්‍රධානීන් සිය නිල නිවසට කැඳවා මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර ආරක්ෂක හමුදාවල ප්‍රධානීන් අපහසුතාවට පත්වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙස උපදෙස් දී තිබූ බව පැවසේ.   


අද්මිරාල් විජේගුණරත්න මහතාගේ සිද්ධිය ඉකුත් බ්‍රහස්පතින්දා (13) විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා සාකච්ඡා කරන මට්ටමටම දුරදිග ගොස් තිබිණි.  


ඉකුත් බ්‍රහස්පතින්දා විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවූ ජනාධිපතිවරයා ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව චෝදනා තිබේනම් ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරනවා මිස අත්අඩංගුවට ගෙන පීඩාවට පත් නොකරන්නැයි ප්‍රකාශ කර තිබිණි.  


රජය නියෝජනය කරමින් මෙක්සිකෝවේ උත්සවයකට සහභාගිවීමට ගොස් සිටින අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන බදාදා (19) දිවයිනට පැමිණීමෙන් පසුව රහස් පොලිසිය හමුවේ ප්‍රකාශයක් දීමට සූදානමින් සිටින බවද පැවසේ.  


මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (14) පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානින් සමඟ පැවැති සාකච්ඡාවේදීද ආරක්ෂක හමුදා ප්‍රධානින් අත්අඩංගුවට ගෙන දිගින් දිගටම අපහසුතාවට පත් කිරීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් ඉදිරිපත් කර ඇත.  


සිද්ධීන් ගණනාවකට සම්බන්ධ බව කියමින් ආරක්ෂක හමුදාවල ඉහළ නිලධාරින් පසුගිය කාලයේ අත්අඩංගුවට ගෙන මාස 5ක් 6ක් රිමාන්ඩ් භාරයේ තබා ගැනීමෙන් පසුව නිදහස් කර ඇති බවත් ඔවුන්ට එරෙහිව නඩු පැවැරීමක් කර නැති බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ. තරුණයින් 11 දෙනකු පැහැර ගැනීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයකුට රටින් පැන යාමට අනුබල දුන් බව කියමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාද අත්අඩංගුවට ගැනීමට සූදානම් වන නමුත් ඔහුට එරෙහිව නඩුවක් හෝ චෝදනා පත්‍රයක් පවා ඉදිරිපත් කර නැතැයිද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.