රටක් හැඬවූ බෝට්ටු ඛේදවාචකය


 

ඔක්කෝම කුණු බේරුවල බොක්කට යැයි ගැමි කියමනකි. සිරිලක් දෙරණේ මතුවන මිණි කැට නිජබිම බේරුවල යැයිද විරුදාවලියකි. බේරුවල ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන, කතෝලික හා ඉස්ලාම් සිද්ධස්ථානවලින් ගහණ ප්‍රදේශයකි. බේරුවල ධීවර වරාය ආසන්නයේම පිහිටා ඇති මනරම් කඳු ගැටිවල ආසන්නයේ මුස්ලිම් බැතිමතුන්ගේ ගෞරවයට පාත්‍ර වූ කේච්චිමලේ දේවස්ථානය හා කතෝලික බැතිමතුන්ගේ මහත් ගෞරවයට පාත්‍ර වූ සාන්ත ලාසරස් දේවස්ථානයද පිහිටා ඇත. 


සාන්ත ලාසරස් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සාම්ප්‍රදායික ලෙස පැවැත්වෙන බෝට්ටු පෙරහරට වසර හතළිහක දීර්ඝ ඉතිහාසයක් තිබේ. මෙම මංගල්‍යයට ආගම් භේදයකින් තොරව ජනයා සහභාගි වෙති. වසරක් පාසා පවත්වන බෝට්ටු පෙරහරේ දේව ප්‍රතිමාව වැඩමවාගෙන යෑම සඳහා ධීවර වරායේ බෝට්ටුවක් තෝරා ගනු ලබන්නේ තුණ්ඩු ඇදීමකිනි. මෙවරද එලෙස තුණ්ඩු ඇදීම සිදුකෙරිණි. පෙරහරට බහුදින යාත්‍රා 21ක් සූදානම් කර තිබුණි. මෙම ආගමික උත්සවයට කතෝලික, බෞද්ධ, මුස්ලිම්, දමිළ, බැතිමතුන් විශාල පිරිසක් සහභාගිවී සිටියහ. නමුත් එය අවසන් වූයේ පෙරහරේ ගමන්ගත් -ලිට්ල් මූන්ෂයින්” නමැති බහුදින ධීවර යාත්‍රාව පෙරළී එහි ගමන් ගත් 12 දෙනෙකුට ඒ මොහොතේම මරු කැඳවමින් හා තවත් සිව් දෙනෙකු අතුරුදන් කරමිනි. එම අතුරුදන් වූවන්ගේ මළ සිරුරුද පසුව හමුවිය.


මෙම ලිපිය ලියන අවස්ථාව වන විටත් බෝට්ටුවල සිටි පිරිස ගණනය කර නොතිබුණි.  මෙම හදිසි අනතුරින් මිය ගිය අයගේ තොරතුරු සොයා අපි බේරුවලට ගියෙමු.


එහිදී අපට මුලින්ම හමුවූයේ කේ.ඩී. අනුෂා දමයන්ති මහත්මියයි. 


-මේ අනතුරින් මගේ අක්කාගේ පුතයි එයාගේ බිරිඳයි මිය ගිහින්. අක්කගේ පුතා ඔය ගමන යන්න කැමැති වෙලා නැහැ හරියට ඇඳගෙන යන්න ඇඳුමක් නැහැ කියලා. ඒ පාර එයාගේ බිරිඳ ක්‍රිස්නා දුව තමයි බලෙන් යමු කියලා තියෙන්නේ. අපි තියෙන ඇඳුම් එකක් ඇඳගෙන යමු කියලා එයා කියලා. ඒ පාර තමයි ඒ දෙන්නයි, දරුවයි, අම්මායි ගිහින් තියෙන්නේ. අනේ දෙවියනේ මොන අපරාධයක්ද මේ වුණේ. අපේ අක්කාට හොඳටම අමාරුයි. අනේ අපට ඉතිරි වුණේ පුංචි දරු පැටියා විතරයි. එයාගේ අම්මායි තාත්තයි දෙන්නාම නැතිවුණානේ” ඇය කීවාය.


පී.එම්. කරලයින් නෝනා කී කතාව මෙසේය : -අනේ අපේ කොල්ලාට මොකද වුණේ. වහලය හදන්න බඩුත් ගෙනත් දමලා තිබුණේ. දැන් වහලවල් හදලා මොකටද? අපේ දරුවෝ දෙන්නා නැති වෙලා. ඇයි මේ වගේ අපරාධයක් වුණේ. මොකක්ද කළ කරුමය දෙවියනේ.


දැන් මට බෙහෙත් ගෙනත් දෙන්නේ කවුද අනේ. මේ පුංචි කුරුලු පැටියා අද උදේ ඉඳලා හොයනවා අපේ මුනුපුරා. අපි කොහොමද මේක කියන්නේ” ඇය කීවාය.


ලියනගේ සීලවතී : අනේ හිමායා දුව අපට නැතිවුණා. දහම් පාසල් යන්න ගිය කෙල්ලව තමයි ඇදගෙන ගිහින් තිබෙන්නේ. මම දැක්කා දුව දහම් පාසල් යන්න සූදානම් වී එළියට බැහැලා හිටියා. දුවගේ අම්මා බලෙන් අල්ලාගෙන තමයි ඔය බෝට්ටු පෙරහරට ගියේ. අන්තිමේදී අපේ කෙල්ල අපට නැති වුණා.


දුවගේ තාත්තා නැති වෙලා මාස හතරයි. මේ ගමන යන්න බැහැ කියපු දුව අරගෙන ගිහින් මොනවද කළේ. 


මෙහිදී මිය ගිය ජිනාත් දම්සෙත් දරුවාගේ ආච්චි අප සමග මෙසේ කීවාය. : පත්මා දිසානායක : “මගේ දුවගේ පුතා තමයි මේ අනතුරට පත්වෙලා තියෙන්නේ. එයාට මොනවාත් කරදරයක් නැහැ. එයා කොහේ හරි ඉන්නවා. එයාව දෙවියෝ බලාගන්න ඕනෑ.” ඇය කීවේ හඬමිනි.


බේරුවල පරණකඬේ එස්.පී. යුනාල් යුද්ධික සිල්වා දරුවාගේ නිවසට අප ගිය අවස්ථාවේ අපට ඇසුණේ එකම විලාපයකි. “අනේ මගේ පුතේ උඹ මොනවාද මේ කරගත්තේ. මගේ පුතේ” යැයි ළතෝනි දෙන්නට විය.


අප මීළඟට බේරුවල එගොඩවත්තේ රන්දි කල්පනී පෙරේරා මෙනවියගේ නිවසට ගියෙමු. ඇයගේ වැඩිමහල් සොහොයුරු වන ඇන්ටන් සුරේෂ් මහතා අප සමග කියා සිටියේ මගේ එකම නංගි නැති වුණා. මට තිබුණු බලාපොරොත්තු සියල්ල සුණු විසුණු වෙලා ගියා. එම්.ඩී. ජගත් මහින්ද පීරිස් මහතා ද බෝට්ටු ගමනට එක්වී පණ බේරාගත් අයෙකි. මේ ඔහු කියන කතාවයි. 19 වැනිදා උදේ 10.30ට විතර අපි බේරුවල ධීවර වරායට ගියේ බෝට්ටු පෙරහරට යන්න. මම මගේ නෝනායි, දුවයි අපේ බෝට්ටුවට නැග පසුව නැවත බැස වෙනත් බෝට්ටුවකට නැග්ගා. අපි බේරුවල ධීවර වරායෙන් පිටත් වුණා. හරිම ලස්සන පෙරහරක් මුහුදේ ගියේ. අපේ නෝනා දරුවෝ මේ පෙරහර දැකලා නැහැ. ඒ නිසා මම ගියේ ඒ ගොල්ලන්ට පෙන්නන්න. කළුතර පෙනි පෙනී එක පාරටම කෑ ගැසීමක් ඇසුණා. පෙරහරේ ගිය එක බෝට්ටුවක් පිරිස සමගම පෙරළුණා. එහි හිටපු පිරිස සීසීකඩ ගියා. අපේ බෝට්ටුවේ හිටපු පීනන්න පුළුවන් අය වතුරට පැන්නා. පුළුවන් පුළුවන් අය බේරගත්තා. අපේ බෝට්ටුවේ තිබුණු බෝයාවල්, දැල්, බැරල් සියල්ල වතුරට දැම්මා. ඒවා අල්ලාගෙන කට්ටිය ඉන්නවා මම දැක්කා. අපි පැය ගාණක් එතන මහ මුහුදට වෙලා හිටියා, අපේ පෙරළුණ බෝට්ටුවේ කට්ටිය සොයා ගන්නකම්. මට කියන්න තිබෙන්නේ ආරක්ෂිත කබා තිබුණානම් මේ වගේ විනාශයක් වෙන්නේ නැහැ. අනික පෙරළුණ බෝට්ටුවට නැග්ග කට්ටිය වැඩියි කියලා මට හිතෙනවා. මින් ඉදිරියටත් මේ වගේ ගමන්වලට මම සහභාගි වෙන්නේ නැහැ කියලා හිතාගත්තා.


මට තවම හිතට අමාරුයි සමහරු වතුර යටට ගියේ මගේ ඇස් ඉදිරිපිටයි.” ඔහු කීවේය.


බෝට්ටු පෙරහර යන බව පොලිසියට නොදන්වා ගිහින් තිබෙන්නේ. පොලිසිය දැනුම්වත් කරලා ගියානම් පොලිසිය අවශ්‍ය ආරක්ෂාව ලබා දෙනවා යැයි කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න මහතා පැවසීය.


ඒ මහතා කටුකුරුන්ද බෝට්ටු ඛේදවාචකය සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.


අනතුර පිළිබඳව කළ මූලික විමර්ශනවලින් පැහැදිලි වන්නේ බෝට්ටුවේ සමබරතාව පවත්වාගෙන යෑමට නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම නිසා මෙවැනි කනගාටුදායක අනතුරක් වෙන්න ප්‍රධාන හේතුව. අධික ලෙස මගීන් පටවාගෙන ගිය යාත්‍රාව නැවත හැරවීමේදී වේගය ඉහළ මට්ටමක පැවැති බව මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.


බෝට්ටුවට දරාගත නොහැකි අන්දමට මිනිසුන් පැටවීම නිසාත්, නිසි ආරක්ෂිත ක්‍රමවේදයන් පිළි නොපදින හා ආරක්ෂිත ක්‍රියාමාර්ග ක්‍රියා නොකිරීම හා මිනිස් ජීවිත අනතුරේ හෙළන මෙවැනි බෝට්ටු හිමිකරුවන් සහ යාත්‍රා පදවන්නන්ට දැඩි ලෙස නීතිය තදින් ක්‍රියාත්මක කරනවා. ජලයේ කටයුතු කරන සෑම අවස්ථාවකම ජීවිතාරක්ෂක කබා භාවිත කරන ලෙස මහජනතාව නිරන්තරයෙන් දැනුම්වත්කර ඇතත් ජනතාව සිය ජීවිත ගැන සැලකීමක් නොවීම බරපතළ මෙන්ම කණගාටු දායක කරුණක්. අනතුරට පත් යාත්‍රාව පැදවූ තැනැත්තා පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බවත් ඔහුට විරුද්ධව නීතිමය කටයුතු කරන බවත් ඔහු පැවැසීය. 


කටුකුරුන්ද මුහුදු තීරයේදී අනතුරට ලක්වීමෙන් මිය ගිය 16 දෙනා අතරින් 7 දෙනෙකුගේ අවසන් කටයුතු 22 වැනිදා සවස මළ හිරු බැස යන සැඳෑ සමයේ දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් බේරුවල ශාන්ත ආනා දේවස්ථාන සුසාන භූමියේදී සිදු කෙරුණි. මියගිය අය වෙනුවෙන් ආගමික මෙහෙය අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවැත්වූහ. මෙයට පෙර බේරුවල නගරයට කවදත් එක් නොවූ දහස් සංඛ්‍යාත ජනකායක් මෙම අවමංගල්‍යයට සහභාගිවී සිටි අයුරු දක්නට ලැබුණි. මේ අවස්ථාවට සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් මෙහිදී රජය නියෝජනය කරමින් මියගිය අයගේ ඥාතීන්ට රුපියල් ලක්ෂය බැගින් වූ වන්දි මුදල් චෙක්පත් භාරදීම සිදුවූ අතර නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ද පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. 


මෙම අවමඟුල් උළෙලට කොළඹ අගරදගුරු අති උතුම් දේව ධර්මාචාර්ය මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ, පූජකවරු, කන්‍යා සොයුරියන් සමග අතිවිශාල ජනතාවක් ද සහභාගිවූහ.


අවමඟුල් පෙරහරට සහභාගිවූ සියල්ලන්ට ඉස්ලාම් ජනතාව ජල බෝතල් ලබාදීම විශේෂ සිද්ධියක් විය.