මිලේනියම් ගිවිසුමෙන් දේශපාලනය කැළඹෙයි


(අජන්ත කුමාර අගලකඩ)   

ඇමෙරිකාව සමග අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට ආණ්ඩුව තීරණය කිරීමත් සමග මේ වනවිට දේශපාලන ක්​ෙෂ්ත්‍රය දැඩි කැළඹීමකට ලක්ව තිබේ.   


මෙම ගිවිසුම ඇමෙරිකාව සමග අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකඟතාවකින් තොරව, පසුගිය සතියේ තීරණය කර තිබිණි.   

මෙම ගිවිසුම අත්සන් කිරීමට ජනාධිපතිවරයා මීට පෙර අවස්ථාවලදී දිගින් දිගටම විරෝධය පළකළ අතර, පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී ඊට විරෝධය පළකර නැති නමුත් ගිවිසුමට තමා එකඟ නැති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි.   


තමාගේ එකඟතාවකින් තොරව, ගිවිසුමට කැබිනට් අනුමැතිය ලබාගත්ත ද එය ලබන 16 වැනිදාට පෙර අත්සන් නොකරන්නැයි ද ජනාධිපතිවරයා ඇමැති මණ්ඩලය වෙත දැනුම් දුන් බව වාර්තා විය.   


මේ අතර, ඉකුත් අඟහරුවාදා පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ලබන 16 වැනිදාට පෙර අත්සන් කරන බවය.   


ඒ සමගම, ගිවිසුම අත්සන් කිරීමට විවිධ පාර්ශ්වවලින් විරෝධය පළවූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතුරලියේ රතන හිමියන් සහ උදය ගම්මන්පිල, විමල් වීරවංශ යන මහත්වරුන් පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයා ද හදිසියේ හමුවී මෙම ගිවිසුම අත්සන් කිරීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලීමක් ද කර තිබිණි.   


එහිදී මංගල සමරවීර ඇමැතිවරයා දුරකතනයෙන් ඇමතූ ජනාධිපතිවරයා ගිවිසුම ජනාධිපතිවරණයට පෙර අත්සන් නොකරන්නැයි දැනුම් දී තිබිණි.   


ආණ්‍ඩුව ගිවිසුම අත්සන් කිරීමට තීරණය කිරීමත්, ජනාධිපතිවරයා සහ විපක්ෂය එය අත්සන් නොකරන ලෙස ආණ්‍ඩුවට බලකිරීම හා සිවිල් සංවිධානවල විරෝධයත් හමුවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම දේශපාලන ක්​ෙෂ්ත්‍රයේ දැඩි කැළැඹිල්ලක් ඇති කර තිබේ.   


කොළඹ රථවාහන තදබදය කළමනාකරණය කිරීම සහ දිවයිනපුරා ඉඩම් පරිපාලනය ප්‍රතිසංස්කරණය විධිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 485ක් ප්‍රදානයක් ලෙස මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජිතය.   


මෙම ගිවිසුම අත්සන් කරන්නේද නැද්ද යන්න මේ මාසය තුළ දැනුම් දෙන්නැයි ඇමෙරිකාවද ආණ්ඩුවට යෝජනා කර ඇති බව පැවැසේ.