මන්ත්‍රීන්ට නවතින්න කුලී ගෙවල් සොයයි


හිටපු මන්ත්‍රීන් 30 ක් නිල නිවාස භාරදී නෑ

(අජන්ත කුමාර අගලකඩ) 

පිට පළාත්වලින් තේරී පත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීම සඳහා පාර්ලිමේන්තුව ආසන්නයෙන් කුලී නිවාස ලබාගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.

මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු නිල නිවාසවල පදිංචි හිටපු මන්ත්‍රීවරුන් එම නිවාස මෙතෙක් බාර නොදීමත් මන්ත්‍රී නිල නිවාස සංකීර්ණය අලු‍ත්වැඩියා කළයුතු බවත් හේතුවෙන් මෙම නිවාස කුලී පදනම මත තාවකාලිකව ලබාගැනීමට සූදානම්වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 


නාගරික සංවර්ධන අධිකාරිය විසින් පාර්ලිමේන්තු සංකීර්ණයට නුදුරින් ඉදිකරන ලද නිවාස සංකීර්ණයක් ද මේ සඳහා කුලීපදනම මත ලබාගැනීමට සොයා බලන ලෙස නිලධාරීන්ට දැනුම් දී ඇති බව ද වාර්තා වේ. 
මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු නිල නිවාසවල පදිංචි හිටපු මන්ත්‍රීවරුන් 30 දෙනකු පමණ තවමත් ඒවායේ පදිංචිව සිටින බැවින් එම නිවාස නව මන්ත්‍රීවරුන්ට ලබාදීමට නොහැකි වී ඇති බව පැවසේ. 


මේ අතර මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස බොහෝ කාලයකින් අලු‍ත්වැඩියා කර නැති බැවින් අබලන්ව ඇති නිසා ඒවා අලු‍ත්වැඩියා කිරීමට කලක් ගතවනු ඇතැයි ද දැනගන්නට ඇත. 


තමන්ට කොළඹ නිවාස නැති බැවින් නිල නිවෙසක් ලබාදෙන්නැයි ඉල්ලා පිටපළාත්වලින් පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් පාර්ලිමේන්තුවට අයදුම්පත් ද බාරදී ඇතැයි වාර්තා වේ. 


පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉකුත්දා පැවැති ආණ්ඩුපක්ෂ රැස්වීමේදී මන්ත්‍රීවරුන් පිරිසක් මෙම ඉල්ලීම කර ඇත. 


පිටපළාත්වලින් ආ තමන්ට කොළඹ ගෙවල් නැති බැවින් පාර්ලිමේන්තු සතිවලදී සිය ඥාතින්ගේ නිවෙස්වල හෝ හෝටල්වල නතරවන්නට සිදුව ඇති බවත් මේ නිසා මහජන නියෝජිතයන් වශයෙන් තමන් දැඩි අපහසුතාවන්වලට පත්ව සිටින බවත් එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.