පුංචි ඡන්දය ලබන වසර මුල


(අජන්ත කුමාර අගලකඩ)   

මහ නගර සභා, නගර සහා සහ ප්‍රාදේශීය සභාවලට මහජන නියෝජිතයන් ​තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට රජය සූදානම් වෙන බව වාර්තා වේ.   


ඉකුත් 2018 වසරේ පෙබරවාරි මස පැවැති පළාත් පාලන මැතිවරණයේ දී තේරී පත් වූ සභිකයන්ගේ ධුර කාලය ලබන වසරේ පෙබරවාරි මාසයෙන් අවසන් වීමට නියමිතව ඇත. 

 
ඒ අනුව මීළඟ පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අප්‍රේල් මාසයට ප්‍රථමයෙන් පවත්වන්නට සිදුවෙනු ඇත.   

ඉකුත් 2018 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයකට පවත්වනු ලැබූ අතර, සිභිකයන් පත්වීම හෝ ආයතන පවත්වාගෙන යාමේ දී එමගින් ගැටලු රැසක් පැන නැගී ඇත.   
මෙම ප්‍රායෝගික ගැටලු මඟ හරවා ගැනීම සඳහා ඡන්ද ක්‍රමයේ සිදුවිය යුතු සංශෝධන සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් මේ වෙන විට කමිටුවක් ද පත්කරනු ලැබ ඇත. 

 
මේ අතර පළාත් පාලන ආයතන අලුතින් පිහිටුවීමට හා තිබෙන පළාත් පාලන ආයතන උත්ශ්‍රේණිගත කිරීමට අදාළ යෝජනා 85 ක් පමණ මේ වෙන විට ඉදිරිපත්ව ඇතැයි එම අමාත්‍යාංශ ආරංචිමාර්ග කියයි.   
පළාත් පාලන මැතිවරණය ලබන වසර මුල දී පැවැත්වීමට නියමිත බැවින්, අලුතින් පළාත් පාලන ආයතන පිහිටුවීම හා උත්ශ්‍රේණිගත කිරීමේ කටයුතු ද මේ වසර නිමා වීමට පෙර අවසන් කිරීමට නියමිතව ඇත.