පළාත් සභා ඡන්දෙ ගන්න නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට


  • ජනපතිගෙන් නීතිපතිට උපදෙස්
  • ජනපති-මැතිවරණ කොමසාරිස් අතරත් සාකච්ඡාවක්

 

 

(අජන්ත කුමාර අගලකඩ)  

පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි ආකාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසීමක් ලබාගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිපති දප්පුල ද ලිවේරා මහතාට දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  


ජනාධිපතිවරයා ඉකුත් බ්‍රහස්පතින්දා (18) නීතිපතිවරයා වෙත ලිඛිතව මෙම දැනුම් දීම කර ඇතැයි එම ආරංචි මාර්ග කියයි.  


පළාත් සභා මැතිවරණය පැවැත්වීම බොහෝ කාලයක් තිස්සේ ප්‍රමාදවීමත්, මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන් ව්‍යාකූලත්වයක් ඇති වී තිබීමත් සැලකිල්ලට ගෙන, මෙම මත විමසීම සිදුකෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.  

 

ඒ අනුව, ශ්‍රේ‍ෂ්‍ඨාධිකරණයෙන් මේ පිළිබඳව මතය විමසිය හැකිද යන්න, නීතිපතිවරයා ශ්‍රේෂ්‍ඨාධිකරණයේ මතය විමසීමට පෙර, ජනාධිපතිවරයා වෙත දැනුම්දීමක් කෙරෙනු ඇති බවද වාර්තා වේ. නීතිපතිවරයා මේ සති අන්තයේදී ජනාධිපතිවරයා වෙත ඒ පිළිබඳව දැනුම්දීමට නියමිත බවද එම ආරංචි මාර්ගවලින් පැවසේ.  


පළාත් සභා 9න් 8කම නිල කාලය මේ වනවිට අවසන් වී ඇති අතර ඌව පළාත් සභාවේ නිල කාලය ලබන ඔක්තෝබර් මාසයෙන් අවසන්වීමට නියමිතය. පළාත් සභා මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයට පැවැත්වීම සඳහා පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කර ඇතත්, පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ අනුමත කර නොගැනීම නිසා, මැතිවරණය පැවැත්වීම දීර්ඝ කාලයක් තිස්සේ කල් ගොස් තිබේ.  


ඒ අනුව පළාත් සභා මැතිවරණය පරණ ක්‍රමයට පවත්වන්නේ ද නැතිනම් අලුත් ක්‍රමයට පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් ද දැඩි ව්‍යාකූලත්වයක් ඇති වී තිබේ.  


සීමා නිර්ණ වාර්තාව ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරන්නේ නම්, හෝ පැරැණි ඡන්ද ක්‍රමය වලංගු බවට ශ්‍රේ‍ෂ්‍ඨාධිකරණයෙන් තීන්දුවක් ලබාදුනහොත් හෝ ලබන ඔක්තෝබර් 15 වැනිදාට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ගිය සතියේ පුවත්පත් කතුවරුන් සමග පැවැති සාකච්ඡාවක දී ද ප්‍රකාශ කර තිබිණි.  


මේ අතර, මැතිවරණය පැවැත්විය හැකි ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පසුගිය සඳුදා රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කර ඇති බව ද වාර්තා විය.