පළාත් සභා ඡන්දය මනාප ක්‍රමයට


(අජන්ත කුමාර අගලකඩ)   

පළාත් සභා මැතිවරණය කලින් පැවැති මනාප ඡන්ද ක්‍රමය යටතේම පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.   


පළාත් සභා මැතිවරණය මනාප ක්‍රමයට පැවැත්වීමට හැකිවන සේ නව පනතක් පාර්ලිමේන්තුවට ගෙනඒමට ද ආණ්ඩුවේ පක්ෂ නායකයන් සාකච්ඡා කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.   


පළාත් සභා ඡන්දය පනහට පනහ වශයෙන් කොට්ඨාස හා අනුපාත ක්‍රමයට පැවැත්වීම සඳහා ආණ්ඩුව 2017 අංක 17 දරන පළාත් සභා මැතිවරණ පනත සම්මත කළේ ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදීය.   

 

ඒ අනුව පළාත් පාලන හා පළාත් සභා ඇමැතිවරයා විසින් සීමා නිර්ණ කමිටුවක් ද පත් කරනු ලැබූ අතර එම කමිටු වාර්තාව ඇමැතිවරයාට බාරදීමෙන් අනතුරුව, ඇමැතිවරයා එය ඉකුත් මාර්තු මස 6 වැනිදා පාර්ලිමේන්තුවේ සභාගත කළේය.   


පළාත් සභා මැතිවරණ පනත අනුව සීමා නිර්ණ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත කරගත යුතුයි.   


එහෙත් එම සීමා නිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඉකුත් 6 වැනිදාට මාසයක් ගත වූවද එය විවාදයට ගෙන සම්මත කිරීමක් සිදු නොවූ බැවින්, පනත අනුව එම වාර්තාව අහෝසි වන බව දේශපාලන විශ්ලේෂකයෝ ප්‍රකාශ කරති.   


පළාත් පාලන මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයට පැවැත්වීම මගින්, පළාත් පාලන ආයතනවල දැනට ඇතිව තිබෙන දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ පළාත් සභා මැතිවරණය ද නව ක්‍රමයට නොපවත්වන්නැයි දේශපාලන පක්ෂ ගණනාවක් රජයට යෝජනා කර තිබිණි.   


ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් ඉකුත් බදාදා පැවැති අතර එහිදීද දේශපාලන පක්ෂ ගණනාවක් පළාත් සභා මැතිවරණය කලින් පැවැති මනාප ක්‍රමයටම පවත්වන්නැයි ඉල්ලා ඇත.  


මේ තත්ත්වය තුළ ඉදිරි පළාත් සභා මැතිවරණය මනාප ඡන්ද ක්‍රමය යටතේම පැවැත්වීමට බොහෝදුරට ඉඩ අතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.  


උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර යන පළාත් සභා තුනේ නිලකාලය ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් වූ අතර, පළාත් සභා මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්විය යුතු බව කියමින් ඒවායේ මැතිවරණය ද රජය විසින් කල් දමනු ලැබීය.  


වයඹ, මධ්‍යම හා උතුරු යන පළාත් සභා තුනේ නිලකාලය ලබන සැප්තැම්බර් මාසයේදී අවසන්වීමට නියමිතව ඇති අතර, බස්නාහිර, දකුණු හා ඌව යන පළාත් සභා තුනේ නිලකාලය ලබන වසරේ අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිතව ඇත.