නඩු ලක්ෂ හතහමාරක් උසාවියේ


ලක්‍ෂ පහක්ම මහේස්ත්‍රාත් උසාවිවල  

(අජන්ත කුමාර අගලකඩ)  

මෙරට අධිකරණ පද්ධතිය තුළ, විසඳීමට ඇති නඩු සංඛ්‍යාව 7,81,361 ක් පමණ වන බව අධිකරණ අමාත්‍යාංශය රජයට දැනුම් දී ඇත.   


ඉන් නඩු 7,77,029 ක් ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ, වාණිජ මහාධිකරණ, විශේෂ මහාධිකරණ, මහාධිකරණ, දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ සහ ළමා මහේස්ත්‍රාත් අධිකරණවල පවතින නඩු වන අතර, නඩු 4,332 ක් කම්කරු විනිශ්චය සභාවල පවතින බව ද අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා විශේෂ වාර්තාවක් මගින් කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.   

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු 4,767 ක්ද, අභියාචනාධිකරණ හමුවේ නඩු 4,065 ක්ද, පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ හමුවේ නඩු 7,256 ක්ද, වාණිජ මහාධිකරණ හමුවේ නඩු 6,813 ක්ද, විශේෂ මහාධිකරණවල නඩු 4 ක්ද, මහාධිකරණ හමුවේ නඩු 25,095 ක්ද, දිසා අධිකරණ හමුවේ නඩු 2,34,058 ක්ද, මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු 4,93,813 ක්ද, ළමා මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු 1,158 ක්ද ඇති බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.   


මෙම නඩු කඩිනමින් විසඳීම සඳහා වන යෝජනාවලියක් ද ඇමැතිවරයා සිය වාර්තාව මගින් රජයට යෝජනා කර ඇත.   


යල් පැනගිය නීති යාවත්කාලීන කිරීමට නීති ප්‍රතිසංස්කරණය කිරීම, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සහ රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාව වැඩි කිරීම, සමස්ත ක්‍රියාවලිය ශක්තිමත් කිරීම එම යෝජනා අතර වේ.   


මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාව 11 සිට 17 දක්වාත්, අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාව 12 සිට 20 දක්වාත්, රජය විසින් දැනටමත් වැඩි කරනු ලැබ ඇත.   


මෙරට අධිකරණ පද්ධතිය තුළ දිනපතා වාර්තාවන නඩු ප්‍රමාණය, දැනට සිටින විනිශ්චයකාරවරුන් සංඛ්‍යාවට දරාගත නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ද ඇමැතිවරයා පෙන්වා දී ඇත.