කවුරු දිනුවත් මාර්තුවේ මහ ඡන්දයක්


 

(අජන්ත කුමාර අගලකඩ)   

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් දෙදෙනාගෙන් කවුරුන් ජයග්‍රහණය කළ ද ලබන වසරේ මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.   


පාර්ලිමේන්තුවේ නිල කාලය ලබන වසරේ අගෝස්තු මාසයේදී අවසන්වීමට නියමිතව ඇති අතර 19 වන සංශෝධනය අනුව එය මාස හයකට පෙර විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවැරී ඇත. 

ඒ අනුව අලුතින් පත්වන ජනාධිපතිවරයා කවුරුන් වුවද ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා පාර්ලිමේන්තුව ලබන වසරේ මාර්තු මාසයේදී විසුරුවා හැර මහ මැතිවරණයකට යනු ඇති බව ඔවුහු පෙන්වා දෙති.   


ජනාධිපතිවරණයත් ලබන වසරේ මහ මැතිවරණයත් පැවැත්වීමට නියමිතව ඇති බැවින් ලබන වසර සඳහා අයවැයක් මේ වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.   


ලබන වසරේ මුල් මාස හතරේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය දැනටමත් තීරණය කර ඇත.   
ලබන වසරේ මාර්තුවේදී පමණ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් පත්වන නව ආණ්ඩුව සිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට හැකි අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉඩකඩ ලබාදීම සඳහා මෙසේ අයවැයක් ඉදිරිපත් නොකර අතුරු සම්මත ගිණුමකින් මුදල් වෙන් කෙරෙනු ඇති බව ද පැවැසේ.