හදිසි ඡන්දයකට රහස් කතාබහ


පවතින උණුසුම් දේශපාලන වාතාවරණය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් තම පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ශක්තිමත් කරන්නට මුලපුරා ඇත. මෙම කටයුත්තට අදාළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජුලි 20 වැනිදා ඉරිදා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිවසේ දී පැවැත්විණි. පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික්ක සහ ආසන සංවිධායකවරු ද මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.


රැස්වීමේ අරමුණ පැහැදිළි කරමින් අදහස් දැක් වූ පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු රට පුරාම එක ලෙසින් ආරම්භ කර ඇති බවත් එම වැඩපිළිවෙළ විධිමත් අයුරින් ඉදිරියට මෙහෙයවීමට සෑම දෙනාගේම කැපවීම සහ දායකත්වය අවශ්‍ය බවත්ය. දිස්ත්‍රික්කයේ සංවිධාන කටයුතු මෙහෙයවීමේ දී තමන් මුහුණ දී සිටින ගැටලු ගැන අදහස් කරමින් සහභාගි වූ පිරිස කතා කරන්නට පටන් ගත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කතා කරන අතරතුරමය. එහෙයින් එම අවස්ථාවේ තරමක විවාදාත්මක වාතාවරණයක් ද ඉස්මතු විය. කෙසේ වූවද, පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් තමන්ගේ උපරිම ධෛර්යයෙන් කටයුතු කරන්නට සහභාගි වී සිටි සෑම දෙනාම එකඟ වූහ.


රැස්වීමෙන් අනතුරුව සියලු දෙනාම ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගැනීමට පිටත්ව ගියහ.


ඉදිරියේ එන ජනාධිපතිවරණය වෙනුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ ලහි ලහියේ සූදානම් වෙමින් සිටී. ඒ අතර ප්‍රධාන පක්ෂවල ජනාධිපති අපේක්ෂකයින්ද ගණනාවක් කරළියට පැමිණ සිටින බව පෙනේ. ඒ සියල්ල අතරේ පළාත් සභා මැතිවරණයක සේයාවක්ද දකින්නට ලැබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දැඩි උනන්දුවක සිටින්නේ ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම වෙනුවෙනි.   


පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධ අර්බුදය ගිය සතියේද විසඳී තිබුණේ නැත. ජනාධිපතිවරයා ඉකුත් සතියේ නීතිපතිවරයාට ද දන්වා තිබුණේ පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි ආකාරය කෙසේ දැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා දැන ගන්නා ලෙසය. නීතිපතිවරයා ඒ ගැන පැහැදිලි කරමින් ඉකුත් බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයා වෙත ලිපියක්ද යොමුකර තිබූ බව වාර්තා විය. දැන ගන්නට ඇති පරිදි එයින් කියා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමක් අවශ්‍ය නොවන බවය. මේ අතර පළාත් සභා මැතිවරණය කැඳවීම සඳහා ජනාධිපතිවරයා මේ සතියේදී විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන්නට යන බවටද ගිය සතියේ ආරංචි පැතිර ගියේය. එය කෙසේ නිකුත් කරන්නේ දැයි පැහැදිලි කර ගැනීම සඳහා ජනාධිපතිවරයා පෙරේදා (26) රාත්‍රියේ නීතිපති දප්පුලද ලිවේරා සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය යන මහත්වරුන්ද කැඳවා සාකච්ඡා කර තිබිණි. සැලසුම් කර ඇති පරිදි ගැසට් නිවේදනය නිකුත් වුවහොත් පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙනු ඇත. එය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වීමටද බොහෝ දුරට ඉඩ ඇත.   


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවද ගිය බදාදා රාත්‍රියේ මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසේදී රැස්වූයේ මේ සියලු කරුණු කාරණා අතරවාරයේය. වත්මන් දේශපාලන තත්ත්වය ශ්‍රීලනිප පොහොට්ටු සාකච්ඡා පළාත් සභා මැතිවරණය, පක්ෂයේ 68 වන සංවත්සරය ආදී මෙකී නොකී කරුණු කාරණා සියල්ල එහිදී කතාබහට ලක්වුවද කතාබහ නොවූ එකම මාතෘකාව වූයේ ජනාධිපතිවරණය සහ ජනාධිපති අපේක්ෂකයාය. රැස්වීම රාත්‍රි 7.00ට පමණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය මධ්‍යම කාරක සභාවට එදින සහභාගි නොවන බව දන්වා තිබුණේ පක්ෂ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමිනි. මීට පෙර පැවැති මධ්‍යම කාරක සභා රැස්වීම් කිහිපයකටම සහභාගි නොවූ දුමින්ද දිසානායක හිටපු මහලේකම්වරයා මෙවර පැමිණ සිටියේය. 16 කණ්ඩායමේ එස්.බී. දිසානායක සහ තිලංග සුමතිපාල යන මන්ත්‍රීවරු දෙදෙනා පමණක් සහභාගිවී සිටියහ.   


ශ්‍රීලනිපයත් පොදුජන පෙරමුණත් එක්ව පිහිටුවන්නට යන නව දේශපාලන සන්ධානය පිළිබඳ සාකච්ඡාවල ප්‍රගතිය කුමක්දැයි මධ්‍යම කාරක සභිකයෝ කිහිප දෙනෙක් විමසන්නට වූහ. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නැයි ජනපති මෛත්‍රී, දයාසිරි ජයසේකරටත්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසටත් කීවේය. ඒ අනුව දයාසිරිත් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසත්, ඒ ගැන පැහැදිලි කළේ එය පුළුල් සන්ධානයක් ලෙස ගොඩනැගිය යුතු බව කියමිනි. අනතුරුව අදහස් දැක්වූ නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා කීවේ මේ සාකච්ඡා දෙපාර්ශ්වයේ නායක මට්ටමින් සිදුවිය යුතු බවය. ඒ අතර ජනාධිපතිවරයාද කීවේ සාකච්ඡා කඩිනමින් නිම කළ යුතුව ඇති බවය.   


ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවේ ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක විසිනි. දැනට නිල කාලය අවසන්ව නැති එකම පළාත් සභාවද ඌව පමණි. චාමරගේ යෝජනාව ස්ථිර කළේ බදුල්ලේම මන්ත්‍රීවරයකු වන නිමල් සිරිපාල මන්ත්‍රීවරයාය. ඊට මධ්‍යම කාරක සභාවේ ඒකමතික අනුමැතිය හිමිවිය.   


ශ්‍රීලනිපයේ 68 වන සංවත්සරයද ලබන සැප්තැම්බර් 2 වැනිදාට යෙදී ඇත. මෙවර සංවත්සර සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර ඇති අතර විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එය පැවැත්වීමටද අපේක්ෂිතය. පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ගැනද සාකච්ඡා වූ අතර එහිදී තීරණය වූයේ දුර්වල සංවිධායකයින් හා බල මණ්ඩල සාමාජිකයින් සිටිත් නම් ඔවුන් ඉවත්කර අලුතින් අය පත් කිරීමටය.   


ඉකුත් සතියේ අඟහරුවාදා පොහොය දිනය නිසා ඒ සතියේ කැබිනට් රැස්වීම පැවැත්වූයේ සිකුරාදා හැන්දෑවේය. එදින මුදල් අමාත්‍යංශයේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේ අනුරාධපුරයේ පවත්වන්නට යන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ ප්‍රචාරක කටයුතු සඳහා දැන්වීම් සමාගමකට රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. එදින මංගල ද නොසිටියේය. මංගලගේ කැබිනට් පත්‍රිකාවට රවි කරුණානායක විරෝධය පළ කළේය. ඔහු කියා තිබුණේ ඊට පෙරද මිලියන 492.5ක් වෙන්කරගෙන ඇති බවය. මේ අතර තවත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේ ප්‍රදර්ශනයට රුපියල් මිලියන 1500ක් වෙන් කිරීම වෙනුවෙනි. ඊටද රවී විරෝධය පළ කළේය. ඔහු කියා තිබුණේ කැබිනට් අනුමැතිය ලැබෙන්නටත් පෙර එහි වැඩ කටයුතු ආරම්භ කර ඇති බවය. කෙසේ හෝ රවිට උත්තර දෙන්නට මංගල නොසිටියේය.   


ගිය අඟහරුවාදා උදේ 7.30 ට ජනාධිපති කාර්යාලයේදී මෙම සතියේ කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි පැවැත්විණි. ජනපති මෛත්‍රී එහි මුලසුන ගත්තේය. කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ, තොණ්ඩමන් පදනමේ කුලී ගොඩනැගිල්ලක පවත්වාගෙන යන විදුලිබල අමාත්‍යංශය නවම් මාවතේ කුලී ගොඩනැගිල්ලකට ගෙනයාමට රුපියල් මිලියන 364ක් ඉල්ලා රවී කරුණානායක ඇමැතිවරයා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවක්ද එදින සාකච්ඡාවට ගැනුණි. මෙම කැබිනට් පත්‍රිකාව මීට පෙරද ඉදිරිපත් කර තිබූ නමුත් අනුමත නොවූයේ මංගල සමරවීර ඇමැතිවරයා ඊට දැඩි විරෝධය පළකර තිබුණි. ගිය අඟහරුවාදා එම පත්‍රිකාව නැවත සාකච්ඡාවට ගත් අවස්ථාවේදීද මංගල ඊට විරෝධය පළ කළේ අදාළ මුදල මහා භාණ්ඩාගාරයෙන් ලබාදිය නොහැකි බව ප්‍රකාශ කරමිනි.   


“අමාත්‍යාංශ කාර්යාලවලට මහා භාණ්ඩාගාරයෙන් මුදල් දෙන්නෙ නැහැ කියල අපි ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තියෙනවා. ඒ අනුව මේකට අනුමැතිය දෙන්න බැහැ මංගල කීවේය. රවි කීවේ තම අමාත්‍යාංශය දැනට තිබෙන ස්ථානයේ පවත්වාගෙන යාමට පහසුකම් ප්‍රමාණවත් නොවන නිසා අලුතින් තැනක් ගන්නා බවය. එහෙත් මංගල රවිගේ යෝජනාවට දිගින් දිගටම විරෝධය පළ කළේය. අවසානයේ තීරණය වූයේ විදුලිබල අමාත්‍යංශය යටතේ ඇති ලෙකෝ ආයතනයෙන් මුදල් වෙන්කර විදුලිබල අමාත්‍යංශය නවම් මාවතේ ගොඩනැගිල්ලට රැගෙන යාමට අවසර දීමටය.   


තිස්ස අත්තනායක හිටපු ඇමැතිවරයා කලක් එජාපයේ මහලේකම්වරයා ලෙස කටයුතු කළේය. ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී මහින්දගේ ආණ්ඩුවට එක්ව මහින්දට සහාය පළ කළේය. ඒ නිසා ඔහු කරළියේ ආන්දෝලනාත්මක කතාබහට ලක්වූ දේශපාලන චරිතයක් විය. තිස්සගේ දුව දුල්මිණි අත්තනායක ඕස්ට්‍රේලියාවේ මහකොමසාරිස් කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කිරීමට අනුමැතිය ඉල්ලා විදේශ ඇමැති තිලක් මාරපන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි. ජනාධිපතිවරයා විමසා සිටියේ ඒ සඳහා කාඩර් කොමිෂන් එකේ අනුමැතිය ලැබී ඇත්ද කියාය. කාඩර් කොමිෂන් එකේ අනුමැතිය ලැබුණ බව මාරපන කීවේය. ඒ අනුව දුල්මිණිගේ පත්වීම කැබිනට් මණ්ඩලය අනුමත කළේය.
​පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ද නියාමනය වන සේ නව නීති රාමුවක් සැකසීම සඳහා විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ අගමැතිවරයා විසිනි. ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. මේ අතර අගමැතිවරයා තවත් වැදගත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි. ඒ ත්‍රස්තවාදය මැඬ පැවැත්වීම සඳහා අලුතින් නීති රාමුවක් සැකසීම වෙනුවෙනි.   


ඒ සඳහා ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.   


විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ගිය අඟහරුවාදා පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට මන්ත්‍රීවරුන් නොවන විශේෂ පුද්ගලයෝ දෙදෙනෙක්ද කැඳවනු ලැබ සිටියහ. ඒ හිටපු විදේශ ලේකම් පාලිත කොහොන සහ ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක යන මහත්වරුන්ය. ඇමෙරිකාව සමඟ අස්සන් කිරීමට යෝජිත සෝෆා සහ ඇක්සා යන ගිවිසුම් ගැන මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා එම දෙදෙනා කැඳවා තිබිණි. මුලින්ම අදහස පැහැදිලි කළේ මොහාන්ය. මේ ගිවිසුම් හරහා ඇමරිකාව හදන්නේ අපේ රට යටත් කරගන්නයි. ඉදිරියේදී ලෝක බලවතුන් අතර යුද්ධයක් හට ගත්තොත් ඇමරිකාව ඒකෙ වාසිය ගන්නවා. ඒකට තමයි මේ ගිවිසුම් අත්සන් කරල එන්න හදන්නේ යැයි මොහාන් කීවේ ගිවිසුමේ ඇති භයානක වගන්ති කිහිපයක්ද ගෙනහැර දක්වමිනි. අනතුරුව පැහැදිලි කළේ පාලිත කොහොනය. මේ වගේ ගිවිසුමක් අත්සන් කරන්න කලින් ඕනෑම රටක් ඒ ගැන දෙපාරක් නෙමෙයි සිය පාරක් කල්පනා කරන්න ඕන. මේ වගේ සැඟවුණ අරමුණු තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕන කොහොන කීවේය. අනතුරුව කතා කළේ මහින්දය. ඔහු කීවේ මේවා සුළුකොට තකන්න හොඳ දේවල් නොවන බවය. ‘මේ අය ගිවිසුම් ගහල යයි විඳවන්න වෙන්නෙ පස්සෙ එන අයටයි’ මහින්ද කීවේය.   


එංගලන්තයෙන් ගෙනා කුණු කන්ටේනර් කතාවද විපක්ෂ මන්ත්‍රීන්ගේ හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්විය. මේ ආණ්ඩුවට කෝකටත් තෛලය වෙලා තියෙන්නෙ විපක්ෂයේ අපියි. ඒ හින්ද තමයි ආණ්ඩුව එංගලන්තයෙන් කුණු ගෙනල්ලා ඒකත් අපට පටවන්න හදන්නෙ යැයි ප්‍රසන්න රණතුංග කීවේ කතාවට මුල පුරමිනි. අනතුරුව කතා කළේ මහින්දය. ඔහු කීවේ දැන් ආණ්ඩුවට විකල්පයක් නැහැ. හැම පැත්තෙන්ම ආණ්ඩුවට විරෝධය එල්ල වෙනවා. ඒ හින්දා ආණ්ඩුව හදන්නෙ කාගෙ හරි ඇඟේ ගහල ජාමේ බේරා ගන්නයි. ඒ හින්ද තමයි හැම කුණු ගොඩක්ම මගේ ඇඟේ ගහන්න හදන්නෙ යනුවෙනි. 

 
අනතුරුව ආචාර්ය බන්දුල ගුණවර්ධන කතා කළේය. ඔහු කීවේ කුණු ගෙන්වීම ගැන ආණ්ඩුව කියන කතා සත්‍ය නොවන බවය. 2013 ගැහුවයි කියන ගැසට් එකෙයි කුණු ගෙන්වීමෙයි සම්බන්ධයක් නැහැ. යැයි බන්දුල කීවේය.   


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් කමිටුව ගිය සති අන්තයේදී ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාගේ මිනුවන්ගොඩ නිවසේදී රැස්වූයේ වත්මන් දේශපාලන තත්ත්වය හා ඉදිරි සැලසුම් ගැන සාකච්ඡා කිරීමේ අපේක්ෂාවෙනි. සිසිර ජයකොඩි නිමල් ලන්සා සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ඉන්දික අනුරුද්ධ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරු හා පළාත් පාලන ආයතන නියෝජිතයෝ පිරිසක්ද ඊට සහභාගි වූහ. තව මාස තුනකින් ජනාධිපතිවරණ කැඳවන්න මැතිවරණ කොමිසමට සිදුවෙනවා. ඒ නිසා දැන් සිටම ඡන්දයට සූදානම් විය යුතු බව ප්‍රසන්න කීවේය. ඊළඟට කතා බහට ලක්වුණේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගැනය. සියලු දෙනාගේ අදහස වූයේ ඒ සඳහා සුදුස්සා ගෝඨාභය රාජපක්ෂ මහතා බවය.   


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂය සමඟ සිටින එහෙත් පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 10ක් අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම පෙරේදා (26) පෙරවරුවේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී සිදු කෙරුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. ඒ අනුව මව්බිම ජනතා පක්ෂය ලංකා කම්කරු එක්සත් පෙරමුණ තමිල් එක්සත් නිදහස් පෙරමුණ ඊලබර් ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ, මුස්ලිම් උලමා පක්ෂය, ලිබරල් පක්ෂය, නව සිහල උරුමය, ප්‍රජාතන්ත්‍රවාදි ජාතික ව්‍යාපාරය, එක්සත් ලංකා මහා සභාව හා භූමි පුත්‍ර පක්ෂය යන පක්ෂ මෙසේ අවබෝධතා ගිවිසුමකට අත්සන් කළේය. මින් හේමකුමාර නානායක්කාරගේ මව්බිම ජනතා පක්ෂය සහ සරත් මනමේන්ද්‍රගේ නව සිහල උරුමය පහුගිය ජනාධිපතිවරණයේදී මහින්දට විරුද්ධව වැඩකළ පක්ෂ දෙකකි. මේ පක්ෂ සියල්ල පොහොට්ටුව සමඟ එකතු කිරීමේ ක්‍රියාදාමයේ පිටුපස චරිතය හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාය. ඔහු පසුගිය කාලය පුරාම මෙම දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරමින් එකට එකතු කිරීමේ උත්සාහයක යෙදුණේය. එහෙත් අවබෝධතා ගිවිසුම්වලට අත්සන් කිරීමේ අවස්ථාවට බැසිල් පැමිණ සිටියේ නැත. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දිනේෂ්, විමල්, ගම්මන්පිල, වාසු ඇතුළු පිරිස ද එම අවස්ථාවට සහභාගි නොවීම බොහෝ දෙනා අතර කතාබහට ලක්විය.   


මේ අතර පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂය සමඟ සිටින පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ අතර පොදු සන්ධානයක් ගොඩනැගීමේ කටයුතුද මේ වනවිට සිදුවෙමින් පවතී. එය තරමක් ප්‍රමාද වී ඇත්තේ ශ්‍රීලනිපය හා පොහොට්ටුව අතර පැවැත්වෙන සාකච්ඡා තවමත් අවසන් අදියරට නොපැමිණීමය. ශ්‍රීලනිපය හා පොහොට්ටුව අතර සාකච්ඡා ජනපති මෛත්‍රී හා හිටපු ජනපති මහින්ද බැසිල් ඇතුළු ඉහළ මට්ටමේ අය අතර සාකච්ඡා කොට එකඟතා ඇතිකර ගත යුතු බව දෙපාර්ශ්වයේම පහළ මට්ටමේ අයගේ අදහස වී ඇත.


විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා 24 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණියේ උපාධිධාරී රැකියා ප්‍රශ්නය හා රජයේ රැකියා දීමේ දී බාහිර උපාධිධාරීන් නොසලකා හැරීමේ ක්‍රියා පිළිවෙත ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කර රජයේ අවධානය යොමු කිරීමටය. සභාවේ කටයුතු ආරම්භ කිරීමට පෙර විපක්ෂ නායකවරයා විපක්ෂ මන්ත්‍රීවරුන් හා මාධ්‍යවේදීන් සමඟ සුහද කතා බහකට ද එක් විය.


‘යූඑන්පී එක කලබල වෙලා ඉන්නෙ. හේතුව ඒ අයගෙ ගැටුම් කීපයක් හෙට අනිද්දා පුපුරණ නිසා’ ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයා කීවේය. ‘ආණ්ඩුව උත්සාහ කරන්නෙ මේ දවස්වල ගම්මාන ඉලක්ක කර ගෙන සල්ලි වියදම් කරලා මිනිස්සුන්ගෙ කැමැත්ත ගන්න. හැබැයි ඒකට දැන් ප්‍රමාදයි. මිනිස්සු රවට්ටන්න දැන් අමාරුයි. ‘මන්ත්‍රී නිමල් ලන්සා කියද්දී ජනාධිපතිගේත් අගමැතිගේත් පිරිසක් වැඩි දවසක් නැතුව ඒ අය දාල සර් ළඟට එන්න සූදානමින් ඉන්නෙ. තව සති දෙක තුනකින් ඒක වෙනවා. මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ කීවේය. ජනාධිපතිවරණයත් කල් දා ගන්න බැරි වුණා. ඉදිරියේ දී අපිට ගොඩක් පක්ෂ සංවිධාන එකතු වෙනවා. ආණ්ඩුව දෙමළ මුස්ලිම් අය අපෙන් ඈත් කරන්න හැදුවට ඒක මේ ගමන හරියන්නෙ නෑ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කීවේ ඉදිරි ජනාධිපතිවරණය ගැන අදහස් දක්වමිනි.


සර් අපේ ජනාධිපතිවරණ අපේක්ෂකට ප්‍රතිවාදීව එන යහ පාලන කඳවුරේ කිසි කෙනකුට ජනාධිපතිවරණයේදී වාසියක් ගන්න බැරි වෙනවා. රට මේ අවාසනාවන්ත තැනට ගෙන ආ අයට මිනිස්සු ඡන්දය දෙයිද? ඒ අය රට වට්ටලා දැමීමේ සාමූහික වගකීමට බැදිලා නේ. විපක්ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ කීවේය.