සහන මල්ල ගැන එජාපය පහදයි


 

පසුගිය සති අන්තයේ අගමැතිවරයා මඩකළපුව ගියේ මෑතක පත්වූ නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම සංවිධානය කළ උත්සවයක් සඳහාය.   


‘ලැගූන්’ හෝටලයේදී ආණ්ඩුකාර බෝගොල්ලාගම නැගෙනහිර මහඇමැති හා පළතේ ප්‍රධාන නිලධාරීන් සියල්ල හමුවූ අගමැතිවරයා ප්‍රදේශයේ දියුණුවට අදාළ තීන්දු රැසක් ගත්තේය. නැගෙනහිර සංවර්ධනයට අදාළ සැළැස්මද එළිදැක්විණ.  

 

 ‘නව ආණ්ඩුකාර බෝගොල්ලාගමගේ අත්දැකීම් හා ලෝක සබඳතාවලින් නැගෙනහිරට වැඩ ගන්න. විදෙස් ආයෝජන රැසක් ගෙන ඒමේ හැකියාව ඔහුට තිබෙනවා. මේ පළාත විදෙස් හා දේශීය මුදල්වලින් වෙන පළාත් හා තරගකාරීව දියුණු කරනවා.’ අගමැති කීය.  
මඩකළපු පෞරාණික ඕලන්ද කොටුව නැරඹූ අගමැතිවරයා ඊට අදාළ උපදෙස් දීමෙන් පසුව එරාවුර්හි පිහිටි මහ ඇමැතිවරයාගේ නිවසට ගියේය. එහිදී ප්‍රාදේශීය මුස්ලිම් නායකයන් සමග ඔවුන්​ෙග් ප්‍රශ්න රැසක්ම සාකච්ඡා කළේය. අනතුරුව ආණ්ඩුකාර බෝගොල්ලාගම සමග පාසිකුඩා වෙරළේ හෝටලයකට ගිය අගමැතිවරයා එදින රාත්‍රිය ගත කළේ එහිය.  


මේ සතියේ මුල් දින කිහිපය තුළ විවිධ රාජකාරි නිම කළ අගමැතිවරයා බ්‍රහස්පතින්දා උදේ අරලියගහ මැදුරට පැමිණියේ මැති ඇමැතිවරුන් හමු වීමටය.  


‘ඔබතුමාගේ පාර්ලිමේන්තු දේශපාලනයට වසර 40 ක් පිරීම ගැන විවාදය ඒකාබද්ධ අයයි, ජවිපෙයි මග අරින්න වගෙයි හදන්නේ. චමල්ලා, දිනේෂ්ලා වගේ අය විවාදයට එන්න කැමැතියි. ඒත් වීරවංශ ගම්මන්පිල වගේ අය ඒක වළක්වනවා කියල ආරංචියි.  
ඒකාබද්ධයේ හුඟ දෙනෙකු මට කතා කර ​ෙම් අවස්ථාවට එන්න බැරිවීම ගැන කනගාටුව ප්‍රකාශ කළා.’ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ අගමැතිටය.  


’ඒකාබද්ධයේ හුඟ දෙනෙකු මටත් කතා කර ඔය කතාවම කිව්වා. වෙනත් පක්ෂවල දෙතුන් දෙනෙකු තමයි ඒකාබද්ධයේ ශ්‍රිලනිප කොටස මෙහෙයවන්​ෙන් කියා මෙතනදීත් ඔප්පු වෙනවා.’ අගමැති කීවේ සිනාසෙමිනි.  


හතරවැනිදා එන්න බැරි නම් 08 වැනිදාට විවාදය දාමු.’ දයා ගමගේ යෝජනා කළේය.  


දිනය වෙනස් කරලත් ආවේ නැත්නම් ඒ අය දිනුවා වෙනවා. මේ විවාදය මඟ ඇරීම එයාලටයි හොඳ නැත්තේ. යටින් වැඩ කරන අය උඩින් වැඩ කරන්න බයයි. ඇත්ත ඒකයි.’ විජයදාස රාජපක්ෂ කීවේය.  


‘චම්පික රණවක එදාට පිංකමේ ඉන්න නිසා එන්න අමාරුයි කියා මට කතා කළා. සුභ පැතුවා’ අගමැති කීය.  


‘ජවිපෙ හැම එකකටම විරුද්ධ වෙනවා වගෙ මෙවැනි දේකටත් විරුද්ධ වීම පුදුමයි. ඔවුන් හැම අතින්ම හිරවෙලා ඉන්නේ.’ ලක්ෂ්මන් කිරිඇල්ල කීය.  


‘77 මාත් එක්ක පාර්ලිමේන්තු ආව අය අතරින් අදත් ඉන්​ෙන් ජයවික්‍රම පෙරේරයි සම්පන්දනුයි විතරයි. ජයවික්‍රම අතරමඟ පළාත් සභාවට ගියා. සම්පන්දන් මගදී පැරදුණා. එයා ජාතික සමගිය හා සංහිඳියාව වෙනුවෙන් මුළු දේශපාලනයම කැප කළා.’  


ජයවික්‍රම 13 වැනි සංශෝධනය හරහා එකම රටක් තුළ රටට වැඩ කළ හැකි අයුරු පෙන්නුවා.’ අගමැතිවරයා කීවේ අතීතය සිහිපත් කරමිනි.  


‘89 දී මෛත්‍රීපාල ජනාධිපතිතුමාට පවා පාර්ලිමේන්තු එන්න පසුබිම හැදුනේ එජාපය ඇති කළ සමානුපාතික ක්‍රමය නිසයි.’ විජයදාස රාජපක්ෂ කීය.  


‘රවි කොමිසමට යන්න කළින් හුඟ දෙනෙකු හිතුවේ ඔහු වැටේවි කියලයි. හුඟ දෙනෙකු හිතුවට වඩා රවි ගොඩගියා. ඒක පක්ෂයටත් වැදගත්.’ ලක්ෂ්මන් කිරිඇල්ල කී දේ අගමැතිවරයා ද අනුමත කළේය.  


‘රවීටයි, එජාපයටයි, ආණ්ඩුවටයි මඩගහන්න ගිහින් මෙතනදී හුඟ දෙනෙකු නා ගත්තා කියලයි නීතිඥයන් පිරිසක් මටත් කිව්වේ’ ලක්ෂ්මන් කිරිඇල්ල කීය.  


‘අත්‍යවශ්‍ය සේවා පනත සම්මත වුණේ නැති බව විපක්ෂය කියන කතාව මොකක්ද? රන්ජන් රාමනායක ඇසුවේ අගමැතිගෙනි.  
’පාර්ලිමේන්තුවේදී විපක්ෂය ජෝගි නැටුවා. ඒ අතරේ පනත සම්මත වුණා.’ අගමැති කීවේය.  


‘හම්බන්තොට වරාය චීන සමාගමට බදු දීමේ වැඩේ හරියට කළ මහින්ද සමරසිංහ රටට තිබූ ලොකු බරක් සැහැල්ලු කරන්න ක්‍රියා කිරීම අගය කළ යුතුයි.’ ලක්ෂ්මන් කිරිඇල්ල කී දේ අගමැතිවරයා ද අනුමත කළේය.  


 ‘හම්බන්තොට වරාය පාඩුයි. කොළඹ වරාය උපයපු රුපියල් දස ලක්ෂ 47,000 ක් හම්බන්තොට ණය ගෙවන්න යොදවලා වරාය අධිකාරියත් ළඟදි බංකොලොත් වෙන එකයි මේ ගිවිසුමෙන් බේරා ගත්තේ.’ දයා ගමගේ කීවේය.  


‘හම්බන්තොට වරාය බදු ගත්ත චීන සමාගම තවත් රටවල් 15 ක ප්‍රධාන වරාය 55 ක් මෙහෙයවනවා කියා මහින්ද සමරසිංහ වැදගත් කරුණක් රටට එළි කළා.’ වජිර අබේවර්ධන කීවේ එවැන්නකි.  


‘බොරු විරෝධතා දැක්වූවාට මහින්ද රාජපක්ෂට මේ ගිවිසුමට විරුද්ධ වෙන්න බැහැ. මීට වඩා අවාසි කොන්දේසි යටතේයි එයා මේ වරාය චීනයට දෙන්න උත්සාහ කළේ. අප දීපු විවාදයෙන් පැනලත් ගියේ එයාලා මේ වැඩේට විරුද්ධ නැති නිසයි.’ අගමැතිවරයා කීවේය.  


‘මේ ව්‍යාපෘතියට සම්බන්ධ එක්තරා රටක තානාපතිගේ ඇමතුමෙන් පස්සෙ බොරු පාට් එකක් දාලා එයාලා පැනල ගියා. ආපහු විවාදයක් දෙනවද’ විජයදාස රාජපක්ෂ ඇසුවේය.  


‘දීපු විවාද එපා කියපු අයට තව විවාද දෙන්නේ මොකටද? එයාල වරාය ගිවිසුමට පක්ෂයි.’ අගමැති කීවේය.  


‘අර තානාපති මහින්ද රාජපක්ෂව බ්ලැක් මේල් කරලා’ වජිර අබේවර්ධන කීවේය.  


‘හම්බන්තොට ගැන විවාද ඉල්ලලා දිනේෂ් හා බන්දුල ජනාධිපතිට ලියුමක් යවලා නේද? පී. හැරිසන් මෙන්ම රන්ජන් රාමනායක අගමැතිගෙන් ඇසුවේ එකම කතාවකි.  


‘පාර්ලිමේන්තුව මෙහෙය වන්නේ කතානායක, අගමැති, සභානායක හා පක්ෂ නායකයන් මිසක් ජනාධිපතිතුමා නොවෙයි. රටට පේන්නයි ජනාධිපතිතුමාට බොරු ලියුමක් යවන්න ඇත්තේ’. ඊට පිළිතුරු ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.  


 ‘වරායේ ජේ.වී.පී. සමිතිය තනි වෙලා. ජේ.වී.පී. එකයි, පෙරටුගාමිනුයි ශිෂ්‍යයෝ එක්ක හැමදාම මහ පාරේ තමයි. කඩන්න බැරි සයිටම් මිදිවල්ලට උඩපනිනවා.’ දයා ගමගේ කීවේය.  


‘හාල්, පිටි, මාළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 47 බදු අඩු කර මිල අඩු කිරීම වටිනවා. නියඟයෙන් පීඩා විඳින අයට මාසෙකට රු. 5000 ක බඩු මල්ල දීමේ තීන්දුවත් වටිනවා.’ පී. හැරිසන් කීවේ අගමැතිවරයාට ස්තූති කරමිනි.  


‘නියඟයෙන් පීඩා විඳින අයට බඩු මල්ල දෙන්න ජනාධිපතිතුමායි තීන්දුව ගත්තේ. මා ගල්නෑවට ගියාම දුමින්ද දිසානායක එක්ක කතා කර ඒකට මුදල් වෙන් කරන්න තීන්දු කළා. තවත් අවශ්‍ය නම් නියඟයෙන් පීඩා විඳින අයට උපකාර කරන්න මුදල් සොයා දෙනවා.’ අගමැති කීවේය.


 

 

කතානායක වීඩියෝ පිරික්සයි  


 මේ වසරේ 70 විය සපුරන පාර්ලිමේන්තු ඉතිහාසය කවදත් උණුසුම් වාද විවාද සහ ක්‍රියාවන්ගෙන් අඩුවක් නැත. එහෙත් සභා ගර්භයේ කටයුතු නිමා කර කථානායකවරයා නැගී සිටි සැනින්ම වහාම උණුසුම නිවී යන්නේ ඉන්පසු සිදුවන කිසිදු කටයුත්තක් වලංගු නොවන බව කවුරු කවුරුත් දැන සිටින නිසාය.  


 එහෙත් පසුගිය සිකුරාදා ස්ථාවර නියෝගවලට අනුව නිසි පරිදි සභාව කල් තබා කථානායකවරයා පිටව ගිය පසු සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. සභාවේ කටයුතු නිමව සියල්ලන් පිටව යත්දී ඒකාබද්ධයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු සභාව තුළ රැඳී සිටි බැවින් එහි දොරටු වැසීම භාරව සිටි සේවකයෝද විපිලිසර වූහ.  


රැඳී සිටි මන්ත්‍රීවරුන්​ෙග් අරමුණ වූයේ නාට්‍යයක ආකාරයෙන් පාර්ලිමේන්තු රැස්වීමක් රඟ දැක්වීමය.  


 ඒ අනුව පළමු කටයුත්ත කැඳවීම් සීනුව නාද කිරීම වුවත් කිසිවකුට එය ක්‍රියාත්මක කිරීමේ බොත්තම තිබෙන ස්ථානය සොයාගත නොහැකි වූයේ එය පාර්ලිමේන්තු මහලේකම්වරයා අසුන් ගන්නා ස්ථානයේ ඔහුගේ අසුනට පහළින් තිබෙන නිසාය.  


කෙසේ වෙතත් මහත් පරිශ්‍රමයක් දරා එතැනට බඩගා ගියේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේය. ඔහු කැඳවීම් සීනුව නාද කළේය.  
මෙහි ජනාධිපතිවරයාගේ චරිතය රඟපෑවේ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාය. ඔහු ජනාධිපතිවරයාට වෙන් කර ඇති අසුනේ අසුන්ගත් පසු මුලින්ම ඔහුට අත්පොළසන් දෙමින් දිනෙෂ් ගුණවර්ධන මහතා සුභ පැතූ අතර ඒකාබද්ධ විපක්ෂයේ සියල්ලෝම ඊට එක් වූහ.  


 ඉන්පසුව ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීවරයා කථානායකවරයා ලෙස රඟපාමින් කථානායක අසුනේ රැඳී සිටියදී පාර්ලිමේන්තු මහලේකම් ලෙස මාරුවෙන් මාරුවට මහින්දානන්ද අලුත්ගමගේ සහ කුමාර වෙල්ගම මන්ත්‍රීවරු රඟපෑහ. නියෝජ්‍ය මහලේකම් සහ සහකාර මහලේකම් චරිත හිමි වූයේ පිළිවෙලින් ගාමිණී ලොකුගේ සහ රංජිත් සොයිසා මන්ත්‍රීවරුන්ටය.  


 ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රසන්න රණවීර සහ රත්නපුරයේ රංජිත් සොයිසා මන්ත්‍රීවරු උද්වේගකර කතා පැවැත්වූහ.  
පාර්ලිමේන්තුවේ තමන්ට අයත් නොවන අසුන්වල අසුන් ගනිමින් මෙම රංගනයට දායක වූවන්ට විරුද්ධව විනය පියවර ගත යුතු බව කථානායකවරයාට විවිධ පාර්ශ්වයන් විසින් පෙන්වා දෙනු ලැබීය. යම් කිසිවෙකු තමන්ට හිමි නැති අසුන්වල අසුන්ගෙන තාවකාලික වින්දනයක් ලැබීම බොළඳ ක්‍රියාවක් බවත් එය මුළු රටේම ධූරාවලියට රට හදන තැනින් එල්ල වූ කනේ පහරක් බවත්, වියත් භික්ෂූන් වහන්සේලා මෙන්ම දේශපාලන ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙකු ද කථානායකවරයාට කියා සිටි අතර බොහෝ දෙනා කීවේ කනගාටුව නම් මෙවැනි දේට ජනතා මුදල් නාස්ති කිරීම බවය. මෙම සිද්ධිය කථානායකවරයාට ද මහත් මානසික පීඩාවක් වූයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු දෙදෙනකු තමා සම්බන්ධව කී අපහාසාත්මක දේ නොව කථානායක අසුනට පැමිණි පළමු දින​ෙය් සිටම පාර්ලිමේන්තු මන්ත්‍රීන් තුළ උසස් විනයක් ඇති කිරීම සඳහා දැරූ මහත් පරිශ්‍රමය ගඟට කැපූ ඉනි මෙන් නිෂ්ඵලව තිබීම ගැනය. අවසානයේදී සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තු කැමරා පද්ධතියේ පටිගතව ඇති දර්ශන සෑම කෝණයකින්ම නරඹා ඉදිරි පියවර ගැනීමට තීන්දු කෙරිණි. ඒ අනුව ගෙවුණු සතියේ හෝරා ගණනාවක් ඒ වෙනුවෙන් යෙදවීමට කථානායකවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ අදාළ නිලධාරීන්ට සිදුව තිබිණි.  


 

පොලිස් ගම්මානයක්

 

ප්‍රථම වරට පොලිස් නිලධාරීන් වෙනුවෙන් ඉදිවන උදා ගම්මානය සඳහා මුල්ගල් තැබීමට ඉකුත් සති අන්තයේ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා යුහුසුළුව සිටියදී ඒ ගැන විමසමින් දුරකථන ඇමතුමක් දුන්නේ ගයන්ත කරුණාතිලක ඇමැතිවරයාය. ඒ වන විටත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ඉඩම නිදහස් කර තිබුණත් ගයන්ත ඒ ගැන වැඩි යමක් දැන සිටියේ නැත. ‘පොලිසියේ අය වෙනුවෙන් තිස්සමහාරාමයේ තිස්සපුර ගෙවල් 40 ක ගම්මානයක්’ සජිත් කියද්දී ගයන්ත ඇසුවේ. ‘ගමේ නම මොකක්ද?’ කියාය. ‘පොලිස් විශේෂ කාර්ය බළකායට කුඩා කණ්ඩායම් ප්‍රහාර ක්‍රමය හඳුන්වා දීලා ඒ වර්ගයේ සාර්ථක ප්‍රහාර 60 ක්ම දියත් කරලා නැගෙනහිර කොටින්ට ලොකු තර්ජනයක් වුණු දිවංගත උපාලි සහබන්දු නියෝජ්‍ය පොලිස්පතිතුමා නමින් අපි ඒ ගම්මානය නම් කළා. අපේ 429 වැනි උදා ගම්මානය ‘සදාවීර සෙන්පති උපාලි සහබන්දු ගම’ යි. පසුගිය කාලයේ රණවිරු ලැයිස්තුවලින් පොලිසිය ඉවත් කළා. ඒ අතරම සමහරු රණවිරුවන්ගේ නම් විකුණලා රජවෙන්න බැලුවා. අපි ඒ ඉතිහාසය නිවැරැදි කරන පියවරක් මේ ‘සජිත් කියද්දී ගයන්ත කීවේ ‘උදා ගම්මාන හදන්න ඉඩම් නැති නම් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව තිබෙන ඉඩම් ලබාදෙනන පුළුවන්. අපි උදව් කරන්නම්’ කියාය.