විවාහ මංගල්‍යයේදී නායකයන් රැසක් සතුටු සාමීචියේ


 

කලකට පසු හිටපු ජනාධිපතිවරයාට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා හමුවූයේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදීය. ඒ ‘ඉරිදා දිවයින’ කර්තෘ අනුර සොලමන්ස් මහතාගේ දියණිය යශෝධරා හා කසුන්ගේ විවාහ මංගල උත්සවයේදීය. විවාහයේ සාක්ෂිකරුවන් ලෙස ජනපති හා හිටපු ජනපති අත්සන් තැබූහ. අත්සන් තැබීමෙන් පසු ආයුබෝවන් කී දෙදෙනා වෙන වෙනම මේස දෙකක අසුන් ගත්හ. සුළු වේලාවකින් ඡායාරූප ගැනීම සඳහා කතා කරනු ලැබූ අතර දෙදෙනාම මනාල යුවළ සමඟ ඡායාරූපවලට පෙනී සිටියහ. ඉන්පසුව දෙදෙනාම කලින් සිටි ආසනවලට නොගොස් හිටගෙනම කතා බහ කළහ.


මේ දෙදෙනාට අමතරව අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, පාඨලී චම්පික රණවක, දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු දේශපාලන ප්‍රබලයෝ රැසක්ම මංගල උළෙලට ඇරියුම් ලැබ සිටියහ. ජනපති මෛත්‍රී, අගමැති රනිල්, ගෝඨාභය රාජපක්ෂ යන තිදෙනා එකම මේසයක වාඩිවී විහිළු තහළු කරමින් දිගු වේලාවක් කාතබහ කරමින් සිටියහ.


පාඨලී චම්පික රණවක ඇමැතිවරයාත් වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරුත් මෙම කතා බහට එක්වී සිටියහ. ඔවුන්ගේ කතාබහේ මාතෘකාව වී තිබුණේ අධික වර්ෂාවයි.

 

 

‘මුළු ලංකාවම වතුරෙන් යටවෙලා.’ ජනාධිපති මෛත්‍රි කීවේය.


‘මේ මාසෙ අන්තිම වෙනතුරු වැස්ස තියෙනව කියල කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියල තියෙනවනේ’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කීවේය.


ටික වේලාවක් කතා කරමින් සිටි මහින්ද රාජපක්ෂ මහතා ආපසු යාමට සූදානම් විය. බ්‍රහස්ප්‍රතින්දා දිනයේ තමාට විවාහ උත්සව 13 කට ආරාධනා ලැබී තිබූ බවත් එයින් 6 කට සහභාගි වීම ප්‍රතික්ෂේප කළ අතර මේ පැමිණියේ දෙවැනි මංගල උත්සවයට බවත් කීවේය. තවත් මංගල උත්සවයකට සහභාගි වීමට ඇති නිසා යන බව කියමින් මහින්ද රාජපක්ෂ මහතා පිටත්ව ගියේය.