දකුණු අප්‍රිකානු ජනපති හමුවෙන්න අගමැති කටුනායක ගුවන්තොටට


පසුගිය බ්‍රහස්පතින්දා අගමැතිවරයාට වැඩ අධිකම දිනයක් විය. එදින උදෑසනම නාරාහේන්පිට - ශාලිකා පිටියට ඔහු ගියේ චීනයෙන් ආනයනය කළ සුඛෝපභෝගී බස් රථ ඩිපෝවලට බෙදා දීමේ උත්සවයට එක්වීමටය.


ඇමැති අර්ජුන හා නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ ඇතුළු පිරිස සමග නව බස් රථයක කෙටි චාරිකාවක් යාමටද අගමැතිවරයා ක්‍රියා කළේය.


දකුණු අප්‍රිකානු ජනපති සිරිල් රම්පෝසා මහතා ජපානයේ ඔසාකා නුවර බලා පිටත්ව යන අතරමගදී කෙටි කාලයක් කටුනායක ගුවන්තොටුපළේ සුවිශේෂ ආරාධිතයන්ගේ පරිශ්‍රයේ ගත කරන හෙයින් ඔහු වෙනුවෙන් උදෑසන ආහාරය එදින අගමැතිවරයා විසින් සූදානම් කර තිබෙන නිසා වහාම කටුනායක බලා යාමට අවශ්‍යව තිබිණ. එහෙත් අත්‍යවශ්‍ය මාධ්‍ය කටයුත්ත සඳහා වහාම අරලියගහ මැදුරට පැමිණ එය නිමකළ අගමැතිවරයා කටුනායක බලා පිටත් විය.


‘‘කිරිබත්, ආප්ප, ඉඳිආප්ප, පිට්ටු, කැවුම්, කොකිස් ඇතුළු දේශීය ආහාරද ජනපති රම්පෝසාට පිරිනමන ආහාර වේලට ඇතුළත් කරන්න කියා මා උපදෙස් දුන්නා. එයාට හුරු පුරුදු දකුණු අප්‍රිකානු සහ බටහිර ආහාරත් එතෙන තියේවි. කැමති දෙයක් කන්නෙ නැතැයි” අගමැති කීවේ මාධ්‍යකරුවන් දෙදෙනකු අමතාය.


අනතුරුව යළිත් අරලියගහ මැදුරට පැමිණි අගමැතිවරයා සුපුරුදු පරිදි බ්‍රහස්පතින්දා හමුවන මැති - ඇමතිවරුන් සමග ගෙවුණු සතියේ වැදගත් සිදුවීම් පිළිබඳ සමාලෝචනයටද එක්විය.


ඊයේ (26) ජනාධිපතිතුමා ආපහු අමුතු කතා වගයක් මාධ්‍යකරුවන් ඉස්සරහ කියා ගෙන ගියා. මෙහෙම හිතන - හිතන දේ කතා කරන්න ගියොත් රට තවත් අවුල් වෙනවා. එජාප වැඩි දෙනෙක් ඩීල් දානවා මිසක් මේවට ප්‍රතිඋත්තර බඳින්නෙත් නැහැ. මිනිස්සු අපිටයි, බණින්නේ, ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ නෝක්කාඩුවෙනි.
ජනාධිපතිට හිතෙන දේ කියන්න අවශ්‍ය නම් කියාපුදෙන්. ඕවාට උත්තර බැඳ කලබල වෙන්න ඕනෑ නැහැ. ජනතාවට හැම දෙයක් ගැනම අවබෝධය තිබෙනවා. අප ගැටෙන්න යා යුතු නැහැ. අප අපේ සංවර්ධන වැඩ පිළිවෙළ, ජනතා සහන, රටේ යටිතල පහසුකම් නැංවීම ආදී අපේ වගකීම්වලට කැපවෙමු’. අගමැතිවරයා කීවේය.
19 වැනි සංශෝධනය ගේන්න අච්චර කැපවෙලා ඒක වර්ණනා කළ එතුමා දැන් ඒකට විරුද්ධව කතා කරන එකෙන් හෑල්ලු වෙන්නෙ එතුමාමයි. මේ ලියවිල්ල හැදුවේ කවුද කියා හා ඒකේ තිබෙන්නෙ මොනවද කියා හොඳටම දැනගෙන ඉඳලා දැන් ඒකට පහර දීම ගැන ජනමාධ්‍යවල ප්‍රධානීනුත් පුදුම වෙනව කියලයි ඔවුන් කියන්නේ, නවීන් දිසානායක කීවේ එවැන්නකි.


ජනාධිපතිතුමා පොහොට්ටු අපේක්ෂකයා කියා දයාසිරි ජයසේකර දිගටම නානවා. දයාසිරි පරද්දන්න ජනාධිපතිතුමා උත්සාහ කරනවද කියා දන්නේ නැහැ කියන ජනමාධ්‍යකරුවන් ඉන්නවා, චමින්ද විජේසිරි කීවේ සිනා මැදය.


රටේ අගමැතිට ප්‍රසිද්ධියේ ‘හාදයා” කියා අමතන ජනාධිපති කෙනෙකු මේ ලෝකෙම නැතුව ඇති. එතුමා එන්න එන්නම වැරදි හදාගන්නවා වෙනුවට තවත් අනවශ්‍ය දේවල් කියන එක රටේ ගෞරවයටත් හරි නැහැ, හේෂා විතානගේ කීවේය.


ඔය හාදයම තමයි ලක්ෂ 62ක් ඡන්ද ගෙනදීලා එතුමාව ජනාධිපති කළේ. ඒක ජනතාවට නම් තාම මතකයි, මහාචාර්ය ආශු මාරසිංහ කී විට අගමැතිවරයා මද සිනහව පා ඉවත බලා ගත්තේය.


මධ්‍යම අධිවේගය සල්ලි කනවා මිසක් තාම පාර හද‌ා නැහැ කියා ජනමාධ්‍යවල ලොකු සද්දය යනවා. ජනමාධ්‍ය කියන්නේ අලි බොරුයි. මධ්‍යම අධිවේගයේ ප්‍රශ්න තියනවා නම් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්න ඕනෑ. කවුරු හරි ඒව අරගෙන අල්ලස් කොමිසමට නොයන්නේ ඇයි? ඔය අධිවේගෙට මුල් වෙච්ච කෙනා හැටියටයි මා මේ අභියෝගය කරන්නේ. ‘මහින්දගෙ කාළේ මේ අධිවේගෙට අදාළ කිසිම දෙයක් කළේ නැහැ උඩරට මිනිස්සු එයාලට ඇළජික්. මා ඉඩම් කට්ටි 20,000 ක් මැන පවරාගෙන වන්දිත් ගෙවා අදියර තුනකින් පාර සැලසුම් කළා. මීරිගම ඉඳන් කුරුණෑගල කොටස ටික කාලෙකින් විවෘත කරනවා. එතකොට පස්යාලෙ ඉඳලා අදට වඩා පැය එකහමාරක් අඩුවෙන් නුවර යන්න අළුත් පාර බිහිවෙනවා., ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


‘එතකොට ඔය අධිවේගයේ මුලයි - අගයි නැති එකක්ද?’, නවීන් දිසානායක ප්‍රශ්න කළේ සිනාසෙමිනි.


‘නෑ නෑ. මැද කොටස කඩිනම් වුණේ මගේ තීන්දුව මත ඒ කොටස දේශීය කොන්ත්‍රාත්කරුවන්ට ලබාදීම නිසයි. කඩවත, මීරිගම පාරේ මුල් කොටස කරන්නෙ චීන්නුයි. ඒ අදියරත් ලබන අවුරුද්දේ මුල විවෘත කරන්න පුළුවන්. එයාල හරි ස්ලෝ. මේකෙ මහනුවර දක්වා වූ තුන්වැනි අදියර ජපානෙත් එක්කයි කරන්නේ. ඒකේ නීති ප්‍රශ්න වගයක් ආවා. ඒවයිත් 95% දැන් විසඳිලා. ගාල්ල අධිවේගෙට අවුරුදු 09ක් ගියා. ඒත් ලංකාවෙ අසීරුම අධිවේගෙට තාම අවුරුදු 3 1/3 යි ගත වුණේ. ලක්ෂ්මන් කිරිඇල්ලගේ පිළිතුර අගමැතිවරයා ඇතුළු කාගේත් අවධානයට යොමු විය.


‘දැන් එල්ලා මරණ එකයි, අඩුව තිබුණේ. ඒකත් කරන්නයි යන්නේ, චමින්ද විජේසිරි කතාව වෙනතකට යොමු කළේය.


‘මේ වැඩේට ජාත්‍යන්තරය වගේම ලංකාව ඇතුළෙනුත් හොඳ ප්‍රතිචාර නැහැ. මරණ දඬුවම ගේනවා කියා මේ ආණ්ඩුව රටට කියා තිබුණෙත් නැහැ. ජේ.ආර්. මැතිතුමා නවත්තපු එක චන්ද්‍රිකා හා මහින්ද යුගවලත් ඒ විදියට ගෙනිච්චා.’ පාප්තුමා හා සියලුම කතෝලික පල්ලිත් මරණ දඬුවමට විරුද්ධයි. පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම නිසා අවිශ්වාසයට ලක්වූ ජනාධිපතිතුමා මේ වැඩෙන් කතෝලිකයන් අතර තවත් අපහසුතාවයට පත් වෙන්නත් බැරි නැහැ.” එජාප නීති අංශ නිලධාරියෙක් කීවේය.


‘නැගෙනහිර විශ්වවිද්‍යාලය ගැන පාර්ලිමේන්තු කාරක සභාව හදපු වාර්තාවේ නිර්දේශ ගැන ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද?, නවීන් දිසානායක විමසුවේ අගමැතිගෙනි.


‘ඒක රජයට පවරාගත යුතු බව සියලු ජාතීන් අතර තිබෙන මතයයි. සියයට 50-50 ක්‍රමේට ආණ්ඩුවකට රට ඇතුළේ මේ වගේ අධ්‍යාපන වැඩ කරන්න අමාරුයි. සියලු සිසුන්ට සම අයිතිය ලැබෙන සරසවි අධ්‍යාපනයකුයි රටේ තිබෙන්නේ. ඒක නැගෙනහිර එකටත් අදාළ විය යුතුයි. ඒ ගැන හදපු වාර්තාව ගැන ආශු මාරසිංහගෙන් අහන්න එයා ඒ කමිටුවේ සභාපතියි. අගමැතිවරයා සිය ස්ථාවරය පැහැදිලි කළේය.


‘අපේ කාරක සභාවට ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20ක් ඇතුළත් වූවා. අප ඔය ආයතනයේ ඉතිහාසය හදාරා ඒ ස්ථානයට ගිහින් අධීක්ෂණය කළා. ඊට පසු මහවැලියේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ, ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් වගේම දිසාපති, ප්‍රාදේශීය ලේකම්, මහ බැංකුවේ, ලංකා බැංකුවේ වගකිවයුතු සියලු නිලධාරීන් එක්කත් සාකච්ඡා කරලයි වාර්තාව හැදුවේ.


ඒකේ තිබෙන්නේ බොරු කියා හිස්බුල්ලා කියනවා නම් ඒක ඒ රාජ්‍ය නිලධාරීන්ට හා පාර්ලිමේන්තුවටත් කරන අපහාසයක්. එතුමා ඒ කාලේ ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමතියි. ඒත් පිටරටකින් ණයක් හෝ මුදලක් ලංකාවට එද්දි ගතයුතු ක්‍රියා මාර්ග දන්නේ නැහැ කියන එකත් ප්‍රහේලිකාවක්.


‘ඉඩම් අවභාවිතය, මේ අධ්‍යාපන ආයතනයට නිසි අවසරය නොගැනීම, ණය මුදල බව නොකියා ලංකා බැංකුව නොමඟ යැවීම මහ බැංකුව දැනුවත් නොකිරීම වගේම ළමයින්ගේ මොළ හෝදන ෂරියා අධ්‍යාපනයට මේ අය උත්සාහ කළ බවත් අපට තහවුරු වෙලා තිබෙනවා. මේක රජයට පවරා ගත යුතු බවයි අපේ කාරක සභාවේ මන්ත්‍රීවරුන් සියලු දෙනාගේම නිර්දේශය වෙන්නේ.” මහාචාර්ය ආශු මාරසිංහගේ විග්‍රහය එහි සිටි සියලු දෙනා අගය කළා පමණක් නොව මෙවැනි ජාතික කටයුත්තකට උරදීම ගැන අගමැති ඇතුළු එහි සිටි සියලු දෙනාගේ ප්‍රසංශාවද හිමිවිය.


මාඳුළුවාවේ සෝභිත හිමියන් සිහිකරනු වස් පාර්ලිමේන්තුවට නුදුරෙන් ස්ථාපිත කරන ලද උන්වහන්සේගේ පිළිරුව සහිත ස්මාරකය විවෘත කෙරුණේ පසුගිය අඟහරුවාද‌ාය.
තඹ, පිත්තල මිශ්‍ර ලෝහයෙන් නිර්මාණය කළ මෙම පිළිරුව වඩාත් විශිෂ්ට නිමාවකින් යුතුව නිම කිරීම සඳහා අවස්ථා ගණනාවකදීම එය වාත්තු​ කළ වයික්කාල ප්‍රදේශයේ කලාගාරය වෙත ගොස් කටයුතු සොයා බැලුවේ සෝභිත නාහිමියන්ගේ අරගලයේ සමීපතම ගමන් සඟයා වූ කරු ජයසූරිය මහතාය.

 

 


මෙහිදී සෝභිත නාහිමියන් සමඟ කල්‍යාණ මිත්‍රත්වයෙන් යුතුව උන්වහන්සේගේ කටයුතු සඳහා ආශිර්වාද කළ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සමාග්‍රී ධර්ම මහ සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපානේ ධර්මාලංකාර මහා නාහිමියෝ කතානායකවරයාටත් සෝභිත හිමි ගුණානුස්මරණ පදනමටත් මග පෙන්වූහ.


මහා නාහිමියන් මෙන්ම කතානායකවරයා ද පිළිරුව විවෘත කිරීමෙන් පසුව ‘සිංහ නාදය ඇති සංඝ සේනාපති - හෙළ සඟ සසුනේ වනස්පති’ ගීතය පසුබිමෙන් ඇසෙද්දී පිළිරුවට පුෂ්ප උපහාර දක්වා බොහෝ වේලාවක් හිටිවනම ඒ දෙස බලා සිටියේ බොහෝ හැඟීම්බර මුහුණෙන් යුතුවය.


කෙසේ වෙතත් කතානායකවරයා මාධ්‍යවේදීන් සමඟ පැවසුවේ සෝභිත හිමි පිළිරුව මෙලෙස අභිමානවත් අන්දමින් ස්ථාපිත කිරීමට ද‌ායක වීමෙන් තමා විශාල අස්වැසිල්ලක් ලැබූ බවය.


එවකට පැවැති නිවාස දෙපාර්තමේන්තුව හරහා සමකාලීන නිවාස ගැටලු විසඳීමට අපහසු බව වටහා ගත් රණසිංහ ප්‍රේමද‌ාස අගමැතිවරයා 1979 අංක 17 දරන පාර්ලිමේන්තු පනතින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පිහිටු වීය. එම අධිකාරියට වසර 40 ක් පිරීමේ මහෝත්සවය පසුගිය ද‌ා උත්කර්ෂවත් ලෙස පැවැතියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදීය. ඊට ඇරයුම් ලැබූ ජනාධිපතිවරයා පොළොන්නරුවේ සිට ද, අග්‍රාමාත්‍යවරයා ගාල්ලේ සිට ද එහි පැමිණ සිටීම විශේෂයක් විය. ජනාධිපතිවරයාගේ ලිඛිත අනුමැතිය සහිතව ප්‍රවීණ මාධ්‍යවේදී, කලා කීර්ති එඩ්වින් ආරියද‌ාස මහතා නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත් කළ බව තහවුරු කෙරෙන ලිපිය ඒ මහතා වෙත පිරිනැමීම ද එහිදී සිදු විය. ජනාධිපතිවරයා සජිත් සමඟ පිළිසඳරේ යෙදී සිටියදී කීවේ අපූරු කතාවකි. ‘සමහරු මගෙන් අහනවා ඇයි සජිත්ව මෙච්චර උස්සන්නේ? ඇයි එයාට මෙහෙම ප්‍රමුඛත්වය දෙන්නේ කියලා.’ සජිත් කුතුහලයෙන් බලා සිටියේ ජනාධිපතිවරයා ඊළඟට කුමක් කියනු ඇත්දැයි කියාය. ‘මම ඒ අයට කිව්වා සජිත් කියන්නේ දූෂණ, වංචා, හොරකම් නැති ඇමැතිවරයෙක්. ඒ වගේම ජනතාව වෙනුවෙන් වැඩකරන කාර්යශූර ඇමැතිවරයෙක් කියලා.’ ජනාධිපතිවරයා සිය කතාවේදී මෙය නැවත ප්‍රකාශ කරද්දී සභාවෙන් නැඟුණේ විශාල අත්පොළොසන් හඬකි. අගමැතිවරයා කීවේ ‘සජිත් දැන් නිවාස වැඩපිළිවෙළ බොහොම හොඳයි නේ. භූමිය සීමා සහිත නිසා ඉදිරියේදී තනි තට්ටුවේ ගෙවල් වෙනුවට තට්ටු නිවාසවලට යන්න වෙයි නේද?’ කියාය. සජිත් කීවේ ‘දෙවැනි වටයේ ගම්මාන 5000 ත්, 3 වන වටයේ ගම්මාන 10,000 ත්, හතරවැනි වටයේ ගම්මාන 2500 ත් හදනකොට තිරස් අතට ගෙවල් තැනීම ගැන අවධානය යොමු කරන්න වෙනවා. ගෘහමූලික පවුල්වලට සහ අනු පවුල්වලට උචිත වන ආකාරයටයි. ඒ ගෙවල් තැනෙන්නේ. ගෙවතු වගා, පරිසර සංරක්ෂණ සහ හරිත ගම්මාන වැඩපිළිවෙළ යටතේ භූමියත් කොටස් තුනකට බෙදනවා.’ කියාය. ‘බොහොම හොඳයි. බොහොම හොඳයි.’ අගමැතිවරයා ද ඊට සිය ප්‍රසාදය පළ කළේය. පසුව විශේෂ හේතුවක් සඳහා ජනාධිපතිවරයා හමුවීමට පෞද්ගලිකවම ගිය සජිත් කීවේ ‘සර් උද‌ා ගම්මාන හරිත ගම්මාන බවට පත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ රෝපණය කරන්නට පැළ සපයා ගැනීම බරපතළ ගැටලුවක් වෙලා තිබෙනවා.’ කියාය. එහිදී ජනාධිපතිවරයා සිය අතිරේක ලේකම්වරයෙකු වන ඇසල වීරකෝන් මහතා මගින් ජනාධිපති ලේකම් කාර්යාලය සම්බන්ධ කර කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික, මහවැලි සහ වන සංරක්ෂණ යන අංශවලින් අවශ්‍ය පහසුකම් ලබා දීමට පියවර ගත්තේය.


පසුගිය සිකුරාද‌ා අගමැති සමඟ හිනිදුමට ගිය ඉඩම් ඇමැති ගයන්ත පසුද‌ා අගමැතිත් සමගම මොණරාගලට ගියේ ඉඩම් ඔප්පු පන්දහසකට වැඩි ප්‍රමාණයක් බෙද‌ා දීමටය.
මෙහිදී ඔප්පු වැඩසටහනේ සාර්ථකත්වයටත් මෙවැනි පාර්ලිමේන්තුවක ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් ඉටුකරන කාර්යයටත් අගමැති ප්‍රසිද්ධියේම ඇමැති ගයන්තට ස්තූතිය පළ කළේය.


ඓතිහාසික කූරගල පුදබිමට විදුලිය ලබා දීමට කරන ලද ඉල්ලීමක් මත විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවැත්විණි. ඊට විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු ගිහි පිරිසක් ද එක්ව සිටියහ. එහිදී කඩිනමින් විදුලිය ලබා දීමට පියවර ගන්නා බව ඇමැති රවි කරුණානායක මහතා කීය. ‘මේ රට බෞද්ධ රටක් නෙමෙයි කියන අය සිටින රටක බෞද්ධාගම පෝෂණය කිරීමට මම දෙපාරක් සිතන්නේ නැති බව ද කීවේය. ඉන් අනතුරුව උතුරු කොළඹ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයට ගිය ඇමැති රවි හමුවීමට පැමිණි මාධ්‍යවේදියෙක් ‘ඇමැතිතුමා ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයන් කිහිප​ දෙනෙකුගේ නම මේ දිනවල කියැවෙනවා. ඒ අය කියනවා තමන්ට ලැබුණොත් පක්ෂය දිනලා පෙන්වනවා කියලා. යම් හෙයකින් ඔබතුමාට ජනාධිපති අපේක්ෂකත්වය ලැබුණොත්.’ යැයි විමසුවේය.


‘මට ඔය රජ පිස්සුව හැදිලා නැහැ. රජ පිස්සුව හැදිච්ච අය තමයි ඔය වගේ කතා කිය කියා සිහින මාළිගා හද‌ා ගන්නෙ. ඒ අයට රජ පිස්සුව හදන්න තවත් මැති ඇමැතිවරුන් පිරිසකුත් පිටි පස්සෙන් ඉන්නවා. ඒ අයට පිස්සුව ඩබල් වෙලා අගමැති වෙන්නැයි බලන්නේ. ඕනෑම අසනීපයකට බෙහෙත් තියෙනවා. ඒත් මේ වගේ පිස්සුවක් හැදුණොත් අන්තිමේදී නතරවෙන්නෙ මානසික රෝහලෙයි. ඒ නිසා මට ඔය වගේ පිස්සු නැහැ. මට අධි මානසිකත්වයක් නැහැ. මම කවුද කියලා මම දන්නවා. ඒ නිසා මට යන්න පුළුවන් දුරත් මම දන්නවා. රටක් දිනන්න කලින් අඩු ගානේ තමන්ගේ ආසනයවත් දිනාගත්ත අය තමයි මේ තරගයට ඉදිරිපත් කරන්න ඕනේ රවි ඇමැතිවරයා කීවේය.