ජනපති ඥානසාර හිමි සමඟ කතා කළ දේ


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් සතියේ සිකුරාදා ගාල්ලට ගියේය. ඒ තොටගමුව රාජමහා විහාරයේ පැවැති ජාතික වෙසක් උළෙල විවෘත කිරීමට හා සීනිගම ශ්‍රී දෙවොල් මහා විහාරයේ නව ධාතු මන්දිරය විවෘත කිරීමේ උත්සවවලට සහභාගිවීම වෙනුවෙනි. කොළඹ සිට හෙලිකොප්ටරයෙන් හික්කඩුව නගර සභා ක්‍රීඩාංගණයට පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ හිටපු මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා විසිනි. ෂාන්ද සිය මෝටර් රථයට නංවාගත් ජනාධිපතිවරයා සීනිගම ශ්‍රී දෙවොල් මහා විහාරයට ගියේය.


ජනාධිපතිවරයා යනවිටත් වජිර අබේවර්ධන, ජයවික්‍රම පෙරේරා යන ඇමැතිවරුද කීර්ති තෙන්නකෝන් ආණ්ඩු කාරවරයාද විහාර භූමියට පැමිණ සිටියහ.


ධාතු මන්දිරය විවෘත කර ජනාධිපතිවරයා ෂාන් ද සමඟ හපුගල රෝස්වුඩ්වත්ත චන්දිම වීරක්කොඩිගේ නිවසට ගියේ චන්දිමගේ පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහාය. ජනාධිපතිවරයාත් ෂානුත් යනවිට ඒකාබද්ධ විපක්ෂයේ මොහාන් සිල්වා මන්ත්‍රීවරයා සහ පළාතේ දේශපාලනඥයෝ පිරිසක්ද මළ ගෙදරට පැමිණ සිටියහ. චන්දිමගේ මව සමඟත් පැමිණ සිටි පිරිස සමඟත් කතාබහ කර ජනාධිපතිවරයා ආණඩුකාර නිල නිවසට ගියේය. ජනාධිපතිවරයා වෙනුවෙන් දිවා ආහාරය කීර්ති තෙන්නකෝන් ආණ්ඩුකාරවරයාගේ නිල නිවසේ සූදානම් කර තිබිණි. වජිර අබේවර්ධන ඇමැතිවරයාද හිටපු මහ ඇමැති ෂාන්ද ගාලු දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප සංවිධායකවරුන් පිරිසක්ද ආණ්ඩුකාර නිලනිවසට පැමිණි අතර දිවා ආහාරය වේලාසන වැඩියැයි කියමින් ජනාධිපතිවරයා ඔවුන් සමඟ අතීත දේශපාලන සිදුවීම් ගැන සිහිපත් කරමින් සිටියේය. 89 දී පාර්ලිමේන්තුවට ආ මන්ත්‍රීවරුන්ට ජවිපෙ භීෂණය නිසා කොළඹ නගරයේ හෝටලයක නවාතැන් ගැනීමට රජයෙන් කටයුතු සලස්වා තිබූ බව කී ජනපති මෛත්‍රී යසරත්න තෙන්නකෝන් මන්ත්‍රීවරයාගේ රිදී හවඩිය හංගා වෙච්ච සිදුවීමක්ද සිහිපත් කළේ හැමෝම සිනහ ගන්වමිනි.


අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු පිරිස තොටගමුව රජමහා විහාරයේ ජාතික වෙසක් උත්සවය විවෘත කරන්නට ගිය අතර එහිදී ගාමිණි ජයවික්‍රම, ගයන්ත කරුණාතිලක හා වජිර අබේවර්ධන පැමිණ ජනාධිපතිවරයා පිළිගත්හ. උත්සවයට පැමිණ සිටි බළපිටිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රී බලපිටියේ ධම්මික හිමියන් වේදිකාවට ගොඩවී අනාරාධිතව කළ කතාවක් හේතුවෙන් මුළු සභාවම අන්දමන්ද විය. මංගල සමරවීර ඇමැතිවරයා කර තිබූ ප්‍රකාශයකට විරෝධය පළ කළ උන්වහන්සේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දිය යුතු බව කීවේය. පසුව උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයාත් ජයවික්‍රම පෙරේරා ඇමැතිවරයාත් උන්වහන්සේගේ කතාව ගැන කිසිදු අවධානයක් යොමු කළ බවක් නොපෙනුණි.


වෙසක් පොහොය නිමිත්තෙන්, ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙනකු නිදහස් කිරීම ගිය සෙනසුරාදා සිදුවිය. සිරකරුවන් විශාල පිරිසක් මෙවර නිදහස් කෙරුණ අතර මෙවර විශේෂත්වයක් වූයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී ඔවුන් නිදහස් කිරීමය. වැලිකඩ බන්ධනාගාරයේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මියද එක්වූවාය. 71 කැරැල්ලට කිසිදු සම්බන්ධයක් නැතිව තමා දීර්ඝ කාලයක් නිරපරාදේ සිරගතවීම පිළිබඳව සිහිපත් කරමින් සංවේදී කතාවක්ද කළ ජනාධිපතිවරයා එදින නිදහස ලැබූ සිරකරුවන්ගෙන් ඉල්ලීමක්ද කළේ ඉදිරියට යහපත් ජීවිතයක් ගෙවන ලෙසය.


උත්සවය හමාරවී තලතා ඇමැතිවරිය පිටත්ව ගිය අතර ජනාධිපතිවරයා රහසිගතව වෙනත් ගමනක් ගියේය. ඒ බන්ධනාගාර රෝහලේ උපස්ථායක පාටි රාජකාරිවල සිටි බොදු බලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බැහැ දකින්නටය. එය බන්ධනාගාර නිලධාරීන් පමණක් නොව ඥානසාර හිමියන්ද කිසිසේත් අපේක්ෂා නොකළ සිදුවීමකි.


ජනාධිපතිවරයා සමඟ බන්ධනාගාර රෝහලට තවත් දෙදෙනෙක් ගියහ. එක් කෙනෙක් තිලංග සුමතිපාල මන්ත්‍රීවරයාය. අනෙක්කෙනා උතුරු ආණ්ඩුකාර සුරේන් රාඝවන්ය. එහෙත් ඔවුන් දෙදෙනා ජනාධිපතිවරයා සහ ඥානසාර හිමියන් අතර වූ කතාබහට සම්බන්ධ නොවූ බව වාර්තා විය.


පසුගිය පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැනත් අන්තවාදී මුස්ලිම් සංවිධාන ගැනත් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව පැවසේ. අන්තවාදී සංවිධාන ගණනාවක නම් ලැයිස්තුවක්ද ඥානසාර හිමියන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති අතර තමා මේ ආණ්ඩුවට පමණක් නොව පසුගිය ආණ්ඩුව සමයේද මේවා ගැන කීවත් ගණන් නොගත් බව උන්වහන්සේ පවසා ඇත. පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරය ගැන සෙවීමට පත්කළ ජනාධිපති කොමිසම හමුවට ගොස් තමාට මේවා ගැන කිව හැකිදැයි ඥානසාර හිමියන් ජනාධිපතිවරයාගෙන් විමසා ඇති බවද පැවසේ.


මේ අතර ඥානසාර හිමියන්ගේ සිර දඬුවම් කාලය දැනට ගත කර ඇති කාලය ආදිය ගැනද විමසා ඇති ජනාධිපතිවරයා ‘‘මම ඔබ වහන්සේ ගැන බලන්නම්’’ කියමින් පිටව ගිය බවද දැන ගන්නට ඇත. ජනාධිපතිවරයා ඥානසාර හිමියන් බැහැ දකින්නට වැලිකඩ බන්ධනාගාරයට ගිය ගමන රහසක්සේ තබා ගන්නට සූදානම් වුවද එය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. ඒ සමඟම රට පුරා පැතිර ගිය මතය වූයේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව යටතේ ඉක්මනින්ම නිදහස ලැබෙනු ඇති බවය. ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරයෙන් පසුව දැඩි ඉල්ලීම් තිබුණද ජනාධිපතිවරයා උන්වහන්සේ බැහැ දකින්නට බන්ධනාගාර රෝහලට යාමත් සමඟ එම ඉල්ලීම දසතින්ම නැගෙන්නට විය. ඒ අනුව ජනාධිපතිවරයා ගිය අඟහරුවාදා බන්ධනාගාරයෙන් ලිපි ලේඛන ගෙන්වාගෙන ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමේ නියෝගය බදාදා හැන්දෑවේම අධිකරණ අමාත්‍යාංශය වෙත යවා තිබිණි.


සතියේ කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි අඟහරුවාදා උදේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී සාකච්ඡාවට ලක්වූ ප්‍රධාන කාරණා දෙකකි. එකක් මද්‍රසා පාසල් ය. දෙවැන්න රිෂාද් බදියුදින් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ය. මද්‍රසා පාසල් මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේ පිහිටුවන මුස්ලිම් කවුන්සිලයකින් පාලනය විය යුතු බවට යෝජනා කරමින් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබුණේ මුස්ලිම් ආගමික කටයුතු ඇමැති හලීම් විසිනි. එහෙත් හලීම්ගේ යෝජනාවට චම්පික රණවක ඇමැතිවරයා එකහෙළා විරෝධය පළ කළේය. මුස්ලිම් කවුන්සිලයක් හදලා මද්‍රසා පාසල් පාලනය කිරීම තවත් අවුලක් හැදීමක්. පිරිවෙන් පාලනය වෙන්නෙ බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් නෙවෙයි. අධ්‍යාපන අමාත්‍යාංශයෙන්. ඒ නිසා මද්‍රසා පාසලුත් පාලනය වෙන්න ඕන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විතරයි. විෂය නිර්දේශ හැදෙන්න ඕන ජාතික අධ්‍යාපන ආයතනයෙන් යැයි චම්පික කීවේ දීර්ඝ විස්තරයක් කරමිනි. අනතුරුව කතා කළේ රාවුෆ් හකීම් ඇමැතිවරයාය. ඔහු කතා කළේ චම්පිකගේ අදහස අනුමත කරමිනි. ඒ අනුව හලිම්ගේ යෝජනාව කැබිනට් මණ්ඩලයෙන් ප්‍රතික්ෂේප වූයේ මද්‍රසා පාසල් පාලනය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීමට තීරණය කිරීම හේතුවෙනි.  


තමාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවෙන් නගා ඇති චෝදනා සියල්ල අසත්‍ය බව රිෂාද් කීවේය. ඔහු කීවේ එක එක්කෙනා කියන පළියට තමා ඉල්ලා අස්වීමට සූදානම් නැති බවය. ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා කියන්නේ නම් තමා ඇමති ධුරයෙන් ඉවත්වීමට සූදානම් බව රිෂාද් කීවේය. තමා පමණක් නොව තම කණ්ඩායම ද අවශ්‍ය නම් ඉවත්වීමට සූදානම් බව ඔහු කීවේය. රිෂාද්ගේ සහායට රවි කරුණානායක ඇමැතිවරයා ද කතා කළේය. ඔහු කීවේ රිෂාද් ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවක් නැති බවය.