එජාපය මවිත කළ ජනපතිගේ කතාව


ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රෙෂ්ඨාධිකරණය තීරණය කළේ ඉකුත් සතියේ සිකුරාද‌ාය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද කලින් සිටම කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ඕනෑම තීන්දුවක් තමා පිළිගන්නා බවය. ඒ අනුව ඉදිරි දේශපාලන තීන්දු ගන්නා බව ද ජනාධිපතිවරයා කීවේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරද්දී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමට සහාය පළකරමින් පාර්ලිමේන්තුවේ යෝජනාවක් ද ඡන්ද 117 කින් සම්මත විය. පාර්ලිමේන්තුවේ තීරණය කතානායක කරු ජයසූරිය මහතා එදින පස්වරුවේ ජනාධිපතිවරයා වෙත යවා තිබුණේ ද මේ අර්බුදය ඉක්මනින්ම විසඳ‌ා ගත යුතු බැවිනි.


එදිනම රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ මහතාත් කතානායක කරු ජයසූරිය මහතාත් මහගමසේකර මාවතේ ජනාධිපති නිල නිවසට ගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූයේ මේ අතරවාරයේය. රනිල් වික්‍රමසිංහ මහතාට කිසිම හේතුවක් මත නැවත අගමැති ධුරය නොදෙන බව කී ජනපති මෛත්‍රීට තීරණය වෙනස් කරන්නට සිදුවූයේ මේ අර්බුදය තවදුරටත් පැවැතුණහොත් රට තුළ දැඩි අස්ථාවරත්වයක් නිර්මාණය වන බැවිනි. පාර්ලිමේන්තු සම්ප්‍රද‌ායට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් අවසානයේ රනිල්ට අගමැතිකම දෙන්නට මෛත්‍රී තීරණය කළේය.


කරු, රනිල් බ්‍රහස්පතින්ද‌ා රෑ මෛත්‍රී හමුවෙද්දී හිටපු ජනපති මහින්ද සිකුරාද‌ා දහවල 1.00 ට පමණ ජනාධිපතිවරයා හමුවිය. ජනාධිපතිවරයා අපහසුතාවට පත් නොකර අගමැති ධුරයෙන් අස්වීමට මහින්ද ඒ වන විටත් තීරණය කර තිබිණි. වාසුදේව, විමල් ඇතුළු කිහිප දෙනෙකු මහින්දගේ ඉල්ලා අස්විමේ තීරණයට එක්වරම එකඟ නොවූයේ මෙය අවසන් මොහොත වන තෙක්ම අල්ලා ගෙන සිටිය යුතු බව කියමිනි. එහෙත් මහින්ද තීරණය කළේ තවදුරටත් අර්බුදය දිග්ගැසෙන්නට ඉඩ නොදී ඉල්ලා අස්වීමටය. මහින්ද සිකුරාද‌ා හවස ජනාධිපති නිල නිවසට ගොස් සිය තීරණය ජනාධිපතිවරයාට දන්වා සිටියේ ජනාධිපතිවරයා අපහසුතාවට පත් නොකර තමා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව කියමිනි. ඒ අනුව තමා සෙනසුරාද‌ා පෙරවරුවේ ප්‍රකාශයක් කර අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව ද මහින්ද ජනාධිපතිවරයාට කීවේය.


මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සෙනසුරාද‌ා උදේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාට විජේරාම මාවතේ පිහිටි නිල නිවසට එන්නැයි දන්වා තිබිණි. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය, 15 කණ්ඩායම සහ 21 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරුන් සියලු දෙනාම පාහේ විජේරාම මාවතේ නිල නිවසට පැමිණ සිටියහ. එජාප ආණ්ඩුවට එකතු වූ විජිත් විජිතමුණි සොයිසා සහ ඉන්දික බණ්ඩාරනායක යන මන්ත්‍රීවරුන් දෙදෙනා සහභාගි නොවූ අතර ලක්ෂ්මන් සෙනෙවිරත්න ද පැමිණ සිටියේය. මහින්ද විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමා අගමැති ධුරය බාර ගත්තේ දිගට කටයුතු කිරීමට නොව භාරකාර ආණ්ඩුවක් පිහිටුවා මහ ඡන්දයකට යාමේ අදහසින් බවය. සිය ප්‍රකාශය කිරීමෙන් අනතුරුව මහින්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබා එය ජනාධිපතිවරයා වෙත බාර දීමට කටයුතු කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ගිය ඉරිද‌ා යළි දිවුරුම් දුන්නේ මහින්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් එය පුරප්පාඩු වී තිබූ බැවිනි, රනිල් මෛත්‍රී ඉදිරියේ දිවුරුම් දීමෙන් පසුව විනාඩි තුනක් පමණ මෛත්‍රී රනිල් සහ සජිත් තිදෙනා සාකච්ඡාවක යෙදුණහ. අනතුරුව ජනාධිපතිවරයා පැමිණ සිටි එජාප මන්ත්‍රීවරුන්ට ද වාඩිවන්නැයි කියමින් කෙටියෙන් වුවද ආන්දෝලනාත්මක කතාවක් කළේ කිසිවකුත් අපේක්ෂා නොකළ පරිද්දෙනි. රනිල් යළි අගමැති කිරීමේ සටනට උර දී සිටි චම්පික, හකීම්, මනෝ ගනේෂන්, සජිත්, රවි ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි වී සිටි අතර රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පැමිණ සිටියේ නැත. ජනපති මෛත්‍රී, රනිල් වික්‍රමසිංහගේ සහ යහපාලන ආණ්ඩුවේ වසර තුන හමාරක ක්‍රියාකලාපය දැඩි විවේචනයකට ලක් කළේ හැමෝගෙම ඇස් උඩ ඉන්දවමිනි.


ශ්‍රීලනිප 21 දෙනාගේ කණ්ඩායම සඳුද‌ා හැන්දෑවේ ජනාධිපති කාර්යාලයේදී ජනපති මෛත්‍රී හමුවිය. මෙම සාකච්ඡාව අවශ්‍ය බව කියා තිබුණේද එම මන්ත්‍රී කණ්ඩායමය. ජනාධිපතිවරයා හමුවීමට පෙර එම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් කිහිප දෙනා බැගින් වරින් වර හමු වී ඉදිරි දේශපාලන කටයුතු ගැන සාකච්ඡා කර තිබිණි. එහිදී පිරිසකගේ අදහස වී තිබුණේ කණ්ඩායමක් ලෙස එජාප ආණ්ඩුවට එක්විය යුතු බවය. විජිතමුණි සොයිසා, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඉන්දික බණ්ඩාරනායක ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම එම සාකච්ඡාවලදී කියා තිබුණේ ආණ්ඩුවට එක්වීම හැර වෙන විකල්පයක් නැති බවය. තවත් පිරිසක් එජාප ආණ්ඩුවට එකතු වීම හැර තමන්ට වෙන විකල්පයක් නැති බවය. සියලු දෙනාගේම අදහස් දැක්වීම් වලින් අනතුරුව ජනාධිපතිවරයා කීවේ ආණ්ඩුවට යන කිසිම ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකුට තමාගෙන් තනතුරු නොලැබෙන බවය. කලින් එජාපය සමග එක්වූ පියසේන ගමගේ, ෆවුසි සහ මනූෂට ද ඇමැති තනතුරු නොදෙන බව ජනාධිපතිවරයා කියා තිබුණේ ද මේ රැස්වීමේදීය. කියා තිබුණේ ගන්න තීන්දුවක් කණ්ඩායමක් ලෙස ගන්නවා මිස පෞද්ගලිකව තීන්දු ගැනීම නුසුදුසු බවය. ඒ අනුව 21 දෙනාගේ කණ්ඩායම සඳුද‌ා හැන්දෑවේ ජනාධිපති කාර්යාලයට ගොස් ජනාධිපතිවරයා හමු විය. ජනාධිපතිවරයා ඔවුන්ගේ පෞද්ගලිකව අදහස් විමසා ඇති අතර ලක්ෂ්මන් සෙනෙවිරත්න හා ඉන්දිකත් කියා තිබුණත් විජිතමුණි සොයිසා එම රැස්වීමට පැමිණ සිටියේ ද නැත. කෙසේ හෝ ජනාධිපතිවරයා කියා තිබුණේ එජාප ආණ්ඩුවට එරෙහිව ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගිය යුතු බවය. සාකච්ඡාව පැය දෙකකට පමණ ආසන්න කාලයක් තිස්සේ පැවතිණි.
මාසයකුත් දවස් 22 කට ඉහතදී අගමැති ධුරයේ දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා ගිය අඟහරුවාද‌ා දෙවන වරටත් විපක්ෂනායක ධුරයට පත්වූයේ කිසිවකුත් අපේක්ෂා නොකළ පරිද්දෙනි. 2002 සිට 2004 දක්වා වසර දෙකක් විපක්ෂනායක පුටුවේ සිටි මහින්ද 2004 අගමැති පුටුවට පත් විය. 2005 නොවැම්බර් 18 වැනිද‌ා ජනාධිපති ධුරයට පත් වූ මහින්ද 2015 වන තෙක් ජනාධිපති ධුරයේ කටයුතු කළේය. 2015 අගෝස්තුවේ සිට විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස සිටි මහින්ද පසුගිය ඔක්තෝබර් 26 වැනිද‌ා යළි අගමැති ධුරයට පත්වූයේ ද අනපේක්ෂිත සිදුවීම් මාලාවක ප්‍රතිඵලයක් වශයෙනි. ඔහුගේ මෙවර අගමැතිකම සීමා වූයේ මාසයකුත් දින 22 කට පමණි. මහින්ද ගිය බද‌ාද‌ා දෙවන වරටත් විපක්ෂ නායක ධුරයට පත්වූයේ දේශපාලනයේ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්නට තමා සූද‌ානම් බව පෙන්වමිනි.


එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම අඟහරුවාදා උදේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සන්ධානයේ සියලුම මන්ත්‍රීවරු පාහේ ඊට සහභාගි වී සිටියහ. එදින පස්වරුවේ ආණ්ඩුවට එකතු වූ ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඉන්දික බණ්ඩාරනායක යන මන්ත්‍රීවරුන් දෙදෙනාද ඊට සහභාගි වූ නමුත් විජිතමුණි සොයිසා මන්ත්‍රීවරයා සහභාගි වී සිටියේ නැත. එම රැස්වීම කැඳවීමේ මූලික අරමුණ වූයේ මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස නම් කිරීමය. එදින සවස පාර්ලිමේන්තුව රැස්වන නිසා මහින්දගේ නම විපක්ෂ නායක ධුරයට යෝජනා කර කතානායකවරයා වෙත දැනුම්දීමට නියමිතව තිබිණි. ඒ අනුව මහින්ද විපක්ෂ නායක ධුරයට යෝජනා කරන්නට සන්ධාන මන්ත්‍රි කණ්ඩායම ඒකමතිකව තීරණය කළේ අත් ඔසවමිනි. එහි විශේෂත්වය වූයේ නැවත ආණ්ඩුවට ගිය ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඉන්දික බණ්ඩාරනායක යන මන්ත්‍රීවරුන් දෙදෙනා ද මහින්ද විපක්ෂ නායක කරන්නට අත් ඔසවා කැමැත්ත පළ කිරීමය.
සන්ධාන මන්ත්‍රී කණ්ඩායම හමුවේ ජනාධිපතිවරයා වැදගත් දේශපාලන කතාවක්ද කළේ විපක්ෂයේ එකමුතුව වැදගත් බව සඳහන් කරමිනි. එජාපයට එරෙහි පුළුල් ජනතා බලයක් ගොඩනැගීම සඳහා සියලු පාර්ශ්ව එකතු කර සන්ධානයක් ගොඩනගන බව ජනාධිපතිවරයා කීවේ මහින්දගේ ද සහාය ලබාගන්නා බව කියමිනි. සන්ධාන ගොඩනැගීමේ අමාරුකම ගැන මෙන්ම සන්ධාන කැඩුන පසුව ඇතිවන තත්ත්වය ගැනද මෛත්‍රී පැහැදිලි කළේ 1956 සිට පසුගිය දශක ගණනාව පුරාම බිහිවූ සන්ධානවල ඉතිහාසයද සිහිපත් කරමිනි. 2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ගොඩනඟන්නට තමා පක්ෂ ලේකම්වරයා ලෙස ගත් උත්සාහය ගැනද මෛත්‍රී කීවේය. එජාපයට එරෙහි සටනක් දෙන්න ශක්තිමත් විපක්ෂයක් ​ෙගාඩනැගිය යුතු බවද මෛත්‍රී කීවේය.


රැස්වීම අවසන්වූ වහාම මහින්දගේ නම විපක්ෂ නායක ධුරයට පත් කරන්නට යෝජනා වූ බව සඳහන් කරමින් වහාම කතානායකවරයා වෙත ලිඛිතව දන්වන්නැයි ජනාධිපතිවරයා සන්ධාන මහලේකම් මහින්ද අමරවීරට කීවේය. ඒ අනුව අමරවීර වහාම කතානායකවරයා වෙත ලිපියක් යවමින් මහින්ද විපක්ෂ නායක කිරීමේ යෝජනාව දැනුම් දුන්නේය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අඟහරුවාදා හැන්දෑවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. කලින් දින රාත්‍රියේ මධ්‍යම කාරක සභිකයින්ට දුරකතනයෙන් දැනුම්දී තිබුණේ රැස්වීම හවස 4.00ට පැවැත්වෙන බවය. පසුව එය හවස 5.00ට පැවැත්වෙන බව දැනුම් දී තිබිණි. රැස්වීම ආරම්භයේදී ශ්‍රීලනිප මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා යෝජනාවක් ඉදිරිපත් කරමින් සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයෙ දිවුරුම් දුන් අවස්ථාවේ ජනාධිපතිවරයා කළ ආන්දෝලනාත්මක කතාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ස්තුතිය පළ කළ යුතු බව කියමිනි. ‘‘ජනාධිපතිවරයා කළ කතාව විද්වතුන් රැසක්ම අගය කරමින් කතා කළ බව’’ රෝහණ ලක්ෂ්මන් කීවේය. යෝජනාව ස්ථිර කරන බව ඉසුර දේවප්‍රිය මහඇමැතිවරයා කීවේය. අනතුරුව නැගී සිටියේ සරත් ඒකනායක හිටපු මහඇමැතිවරයාය. ‘‘එක්කෙනෙක් නෙවෙයි අපි මධ්‍යම කාරක සභාව විදියට සියලු දෙනා අත් ඔසවලා මේ යෝජනාව ස්ථිර කළ යුතුයි. ඒ තරමටම මේක වැදගත් කතාවක්’’ යැයි ඔහු කීවේය.   


අනතුරුව කතාබහට ලක්වුණේ ඉදිරි දේශපාලන කටයුතු හා පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ගැනය. ජනවාරි 8 වැනිදාට යෙදෙන බණ්ඩාරනායක දිනයේදී පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙළ ආරම්භ කිරීමට තීරණය විය. දයාසිරි ජයසේකර යෝජනා කළේ ‘‘ගමට ගිහින් ගමේ ශාඛා සංවිධානවලින් පටන් ගනිමු’’ යනුවෙනි. දුමින්ද දිසානායක ද ඒ අදහසම කීවේය. ‘‘මෙම වැඩපිළිවෙළ ආසන සංවිධායකවරුන් හරහා කළ යුතු වැඩක්. ආසන සංවිධායක ධුර පුරප්පාඩු රැසක් තිබෙන බව’’ සරත් ඒකනායක කීවේය. ජනාධිපතිවරයා කීවේ ජනවාරි මුලදී අලුතින් සංවිධායකවරුන් පත් කරන බවය. මේ අතර පක්ෂයෙ දැනට තාවකාලිකව පත්කර ඇති නිලධාරී මණ්ඩලය වෙනුවට ස්ථිර නිලධාරී මණ්ඩලයක් ද ඒ සමඟ පත් කරන බව ජනාධිපතිවරයා කීවේය. එමෙන්ම 15 දෙනකුගෙන් යුත් දේශපාපලන මණ්ඩලයද ජනවාරියේ පත් කරන බව ජනාධිපතිවරයා කියා සිටියේය. 
ඒ සමඟම ජනාධිපතිවරයා කීවේ ආණ්ඩුකාරවරුන් නව දෙනාද ඉවත්කර ජනවාරි මුලදී අලුතින් පත්කරන බවය. එහිදී දැනට සිටින ආණ්ඩුකාරවරුන් කිහිප දෙනකුට අමතරව අලුතින් කිහිප දෙනකු ද පත්විය හැකි බව ජනාධිපතිවරයා කියද්දී සියලු දෙනා අත්පුඩි ගසමින් සතුට පළ කළහ. දුමින්ද දිසානායක කීවේ රෙජිනෝල්ඩ් කුරේ නම් වැඩේ හොඳට කරන බවය. 


මේ අතර ඌව මහඇමැති චාමර සම්පත් දසනායක දුක් ගැනවිල්ලක් කීවේය. “අද මගේ ජීවිතයේ කණගාටුම දවසක්. මේ වෙච්ච දේට මට හරිම දුකක් තියෙනවා. මම අවුරුදු 23 දී ඡන්දය ඉල්ලලා ප්‍රාදේශීය සභාවට ඇවිත් ගිය මහ ඡන්දෙදි ඡන්දය ඉල්ලා නිමල් සිරිපාල ඇමැතිතුමාගේ ළඟට මනාප අරගත්තා. මම මන්ත්‍රීකම පූජා කරලයි පළාත් සභාවේ මහ ඇමැතිකමට ගියේ. හැබැයි මම මන්ත්‍රීකම දීලා ගියපු එකා යූඑන්පීයට ගියා. මම ඒ වෙලාවෙ කිව්වෙ දොස්තර පුෂ්පකුමාරට මන්ත්‍රීකම දෙන්න කියලයි’’. චාමර සම්පත් කීවේ ලක්ෂ්මන් සෙනෙවිරත්න එජාප ආණ්ඩුවට එක්වීම ගැන දෝෂාරෝපණයක් ද එල්ල කරමිනි. ජනාධිපතිවරයා කීවේ ‘‘මන්ත්‍රීකම දෙන්න වෙන්නෙ ලැයිස්තුවේ ඊළඟට ඉන්න කෙනාටනෙ” කියාය. 


‘‘අපෙන් යූඑන්පියට යන අයට ඔබතුමා ඇමැතිකම් දෙන්න එපා. ඒ අය ගැන විනය ක්‍රියාමාර්ග ගන්න.” චාමර යෝජනා කළේය. මේ කියපු කතාවට හැමෝම එකඟදැයි ජනාධිපතිවරයා විමසද්දී මධ්‍යම කාරක සභාවේ හැමෝම පාහේ කීවේ එකඟයි කියාය. එහෙත් කේසරලාල් ගුණසේකර කීවේ හදිසිවෙන්න එපා කියාය. එතකොට අපි කලින් ගිය අයට එරෙහිවත් විනය පරීක්ෂණ කරනවාදැයි දුමින්ද විමසීය. ‘‘ඇයි අවුරුදු තුන හමාරක් තිස්සේ විනය පරීක්ෂණ හරියට කළාද? ඒවා හරියට කළේ නැහැ. ඒවට පත් කරපු අයත් හරියට වැඩේ කළේ නැහැ යැයි’’ ජනපති මෛත්‍රී කීවේය. ෆයිසර් මුස්තාපා කීවේ “අපි අලුතින් විනය පරීක්ෂණ මණ්ඩලයක් පත්කළත් පොහොට්ටුවත් එක්ක සන්ධාන ගත වුණ නිසා ඒ කමිටුව නැවැත්තුවා” කියාය. 


මහින්ද අමරවීර කීවේ ‘‘අපි විනය ක්‍රියාමාර්ග ගන්නවා නම් අතීතයේ ගිය අයටත් විරුද්ධව පියවර ගන්න ඕන. පොහොට්ටුවට ගිය අය සම්බන්ධයෙන් විනය පියවර ගන්න ඕන” කියාය. අමරවීරගේ කතාවට දයාසිරි දැඩි විරෝධය පළ කළේය. “ඔය හදන්නෙ ඔක්කොම නැති කරගන්නද?” දයාසිරි කීවේය. අමරවීර කීවේ ‘සමහරුන් කතා යවනවා අපි යූඑන්පී යනවා කියලා. අපි යූඑන්පී යන්නෙ නැහැ. ඔය වීරයො වගේ කතාකරන සමහර අය තමයි ඒ වගේ කතා යවන්නෙ’’ කියාය. එහිදී අමරවීර හා දයාසිරි අතර උණුසුම් වාදයක් ද ඇතිවිය. ‘‘දැන් මෙතන පොහොට්ටු කතා නැහැ. අපි දැන් සන්ධාන ගත වෙලා ඉන්නෙ. මම කියන්නෙ පොහොට්ටුවට ගිය අය ගැන නෙවෙයි. යූඑන්පීයට මුක්කු ගහන එවුන්ට මොනව හරි කරන්න කියලයි’’ දයාසිරි කීවේය. දෙදෙනා අතර වාදය උණුසුම් වෙද්දී ජනාධිපතිවරයා එය නතර කළේ දැන් ඔය කතාව නවත්වන්න කියමිනි. ‘‘යූඇන්පීය කතා කරල තියෙන්නෙ ශ්‍රී ලංකා එකේ අය ඉන්ටවිව් කරල ගන්නවා කියලයි. ගෝල්ෆේස් එකේදී යූඑන්පීයේ අය කතා කරපු ඒවා ඔයාලා අහන් ඉන්න ඇතිනෙ. මට කොච්චර බැන්නද? මුජිබර් රහුමාන් තමයි වැඩියෙන්ම මට බැන්නෙ. ඊළඟට මට බැන්නෙ සරත් ෆොන්සේකා. මගේ ළඟ ඒ කතා ඔක්කොම තියනවා. ඔයාලා හොඳට අහල බලන්න. ඔය කට්ටිය ඇමැතිකම් ගන්න එන්නෙ මගේ ළඟටනෙ. මම ඔය සරත් ෆොන්සේකට ඇමැතිකම් දෙන්නෙත් නැහැ. ඔය මිනිහගේ ෆීල්ඩ් මාර්ෂල්කමත් අයින් කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා එකෙන් ගියපු අයට ඇමැතිකම් දෙන්නෙත් නැහැ. මම එයාලට නොදෙන්න තීරණය කළා” යැයි ජනාධිපතිවරයා කීවේ දීර්ඝ විස්තරයක් කරමිනි. ඒ සමඟම ජනාධිපතිවරයා කීවේ ඔය ගියපු අයට විනය පරීක්ෂණ තියනවාද නැද්ද කියල අද තීරණය කරන්නෙ නැහැ. මොකද නැත්නම් හෙට උදේ මාධ්‍යවල යයි මහින්ද රාජපක්ෂ මහත්තයට විරුද්ධව විනය පරීක්ෂණ තියන්න හදනවා කියලා’’ යනුවෙනි. ​  


මේ අතර මධ්‍යම කාරක සභාවේ ආචාර්ය මහාචාර්යවරු අතරද මතගැටුමක් ඇතිවිය. ආචාර්ය සරත් අමුණුගම සහ මහාචාර්ය ගාමිණී සමරනායක අතරය. උතුරු නැගෙනහිර දෙමළ ඡන්ද ගැන කියද්දී දෙමළ මුස්ලිම් ඡන්දවල අවාසියක් ශ්‍රීලනිපයට තියෙන බව ගාමිණී සමරනායක කීවේය. ඔහු ඒ ගැන විග්‍රහ කරන්න යද්දි අමුණුගම කීවේ දැන් ඒ කතා වැඩක් නැති බවය. මොනවද මේ මහාචාර්යවරු ඇවිත් කරන්​නේ’’ යැයි අමුණුගම කීවේය. ආචාර්ය මහාචාර්ය ගැටුම දුරදිග යද්දි ජනාධිපති මෛත්‍රී මැදිහත්ව එය නතර කළේය.   
ඇමැති මණ්ඩලය සඳහා ​යෝජිත මන්ත්‍රීවරුන් 36 දෙනකුගේ නම් ලැයිස්තුවක් එජාපය විසින් බදාදා පස්වරුවේ ජනාධිපතිවරයා වෙත යවා තිබිණි. ඊට ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට ගිය ලක්ෂ්මන් සෙනෙවිරත්න, විජිතමුණි සොයිසා, පවුසි සහ පියසේන ගමගේ යන මහත්වරුන් සිවු දෙනෙකුගෙත් සරත් ෆොන්සේකා, පාලිත රංග බණ්ඩාර සහ වසන්ත සේනානායක යන මන්ත්‍රීවරුන් සිවුදෙනාගෙත් නම් ඊට ඇතුළත්ව තිබිණි. එදින රාත්‍රි 8.00ට පමණ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් රාජිත, රංජිත් මද්දුම බණ්ඩාර සහ නවීන් දිසානායක යන මන්ත්‍රීවරු තිදෙනාත් මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසට ගොස් ජනාධිපතිවරයා හමුවී ඇමැති ලැයිස්තුව ගැන අවසන් තීරණයක් ගැනීමේ අපේක්ෂාවෙනි. එහිදී මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගේ නම් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළේ ඔවුන් පත්කිරීම ගැන නීතිමය ගැටලු ඇතුළු ප්‍රශ්න කිහිපයක් තිබෙන බව කියමිනි. ඒ සමඟම අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා යළිත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති ලෙස පත්කිරීමට කර තිබූ යෝජනාවට ද ජනාධිපතිවරයා එකඟ නොවූයේ ඔහුට වෙන අමාත්‍යාංශයක් දෙන ලෙස යෝජනා කරමිනි. ඒ අනුව පහුවදා උදේ 8.30ට නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට එහිදී තීරණය විය.   


මෙවර නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන්නේද අපූරු ආකාරයටය. වෙනදා කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම සිදුවූයේ ජනාධිපති කාර්යාලයේ පැරැණි පාර්ලිමේන්තු රැස්වීම් පැවැති රැස්වීම් ශාලාවේය. එමෙන්ම ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක්ද සූදානම් කෙරේ. එහෙත් මෙවර දිවුරුම් දීම සිදුවූයේ ජනාධිපතිවරයාගේ නිල කාමරයේය. කිසිදු උත්සවයක්ද ඒ වෙනුවෙන් සංවිධානය කර නොතිබූ අතර එක් එක් මන්ත්‍රීවරයා බැගින් ජනාධිපතිවරයාගේ කාර්යාලයට කැඳවා දිවුරුම් දීම සිදුවිය. පී. හැරිසන් ඇමැතිවරයා දිවුරුම් දෙන අතර ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ ‘‘සර් අද අනුරාධපුරේ උත්සවයකට යනව නේද කියාය.’‘ ‘‘ඔව් යනවා. ඔයත් යනවා නම් මාත් එක්කම ​චොපර් එකේ යන්න පුළුවන්’’ ජනාධිපතිවරයා කීවේය. ඒ අනුව කැබිනට් රැස්වීම් අවසන් වීමෙන් පසුව ජනාධිපතිවරයා හැරිසන් ඇමැතිවරයා ද සමඟ හෙලිකොප්ටරයෙන් අනුරාධපුරේ උත්සවයට ගියේය.   
නත්තල් උත්සවය වෙනුවෙන් සංවිධානය කෙරෙනු විශේෂ නත්තල් සැමරුම් උත්සවයක් ගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ජනපති මැදුරේදී පැවැත්වුණේ ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙනි. මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන්ද සහභාගි වූ එම උත්සවයට විපක්ෂ නායක මහින්ද පැමිණ සිටියේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද සමඟය. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෑතදී පැවැති උත්සවයකට මහින්ද ශිරන්ති සමඟ පැමිණි පළමු අවස්ථාව ද එය විය. කතානායක කරු ජයසූරිය මෙන්ම රවි, ජෝන් අමතුංග, එරාන් වික්‍රමරත්න ඇතුළු එජාප මැති ඇමැතිවරු කිහිප දෙනෙක්ද එම උත්සවයට පැමිණ සිටියහ.