ඇමැතිවරු දහයක් නිරෝධායනයේ


  • පවිත්‍රාගේ අතේදුරින් හිටිය නිසා අපි බේරුණා - බන්දුල

 

රටම බලා සිටි කොවිඩ් මර්දන එන්නත ගිය බ්‍රහස්පතින්දා දිවයිනට පැමිණියේ ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙසිනි. එය කොවිඩ් අර්බුදයට මුහුණ දී සිටින ලාංකික ප්‍රජාවට අලුත් බලාපොරොත්තුවක් ඇතිකරවන්නක් බව අමුතුවෙන් කිව යුතු නැත.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස කොවිඩ් එන්නත් ලක්ෂ 5 ක තොගය මෙරටට ලැබිණි. එය ඉන්දීය රජය මෙරට කෙරෙහි දක්වන හිතෛෂීභාවය පෙන්වනකි. එන්නත් තොගය රැගත් විශේ‍ෂ ගුවන් යානය බ්‍රහස්පතින්දා දහවල් කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අතර එය බාරගන්නට ජනාධිපතිවරයාද ගුවන්තොටුපොළට ගියේය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ​කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඉන්දීය රජය වෙනුවෙන් එම පරිත්‍යාගය ජනාධිපතිවරයාට බාරදුන්නේ අසල්වැසියා ලෙස ඉන්දියාව හැමදාමත් ශ්‍රී ලංකාව සමග සිටින බව ප්‍රකාශ කරමිනි. එන්නත් තොගය භාර ගැනීමේ අවස්ථාවට ඇමැති ප්‍රසන්න රණතුංග සහ රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන දෙදෙනාත් එන්නත් ගෙන්වීමේ වැඩපිළිවෙළේදී සම්බන්ධීකරණ කටයුතු කරමින් විශාල මෙහෙවරක් කළ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා විදෙස් රටවල් සමග සාකච්ඡා කරමින් පසුගිය සති කිහිපය පුරාම දැඩි වෙහෙසක් ගෙන කටයුතු කළේය. එන්නත් බාරදීමේ අවස්ථාවට සෞඛ්‍ය ඇමැතිනිය ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද සහභාගි විය යුතු වුවද ඇය කොරෝනා ආසාදනය වීම නිසා ඒ වන විටත් සිටියේ හික්කඩුව ප්‍රතිකාර මධ්‍යස්ථානයේය.


කොළඹ වරායේ නැගෙනහිර ජැටිය බදු දීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන ආන්දෝලනය ගිය සතියේ දේශපාලන කරළියද ගිනියම් කළේය. වරායේ නැගෙනහිර ජැටියේ කොටස්වලින් සියයට 51 ක් වරාය අධිකාරිය සතුව තබාගෙන ඉතිරි සියයට 49 ​ඉන්දීය හා ජපාන ආයෝජන සමාගම්වලට දීම රජයේ අපේක්ෂාව වී ඇත. එහෙත් වරාය වෘත්තීය සමිති දැඩි ස්ථාවරයක සිටිමින් වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට බදු දීමට ඉඩනොදෙන බව කියා සිටී. එම ගැටලුව වඩාත් සංකීර්ණ වී ඇත්තේ ආණ්ඩුව බලයට ගෙන ඒමට ප්‍රබල කාර්යභාරයක් ඉටුකළ භික්ෂුන් වහන්සේ පිරිසක් හා ආණ්ඩුවට සම්බන්ධ වරාය වෘත්තීය සමිතිද නැගෙනහිර ජැටිය බදු දීමට එරෙහි සටනට එක්ව සිටීම හේතුවෙනි. ඉන්දියාවත් ජපානයත් නැගෙනහිර ජැටියේ සියයට 49 ක කොටස සිය ආයෝජකයන් දෙදෙනකුට ලබාගැනීමට දැඩි උනන්දුවක සිටින බව පෙනේ.


නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීමට ශ්‍රීලනිපය එරෙහි වෙයි


මේ අතර ඉකුත් සති අන්තයේ වාද්දුවේ පන්සලක පැවැති උත්සවයකට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ​ෙය් නායකයා වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට බදු දීමට ශ්‍රීලනිප විරුද්ධව බවය. තමාත් පක්ෂයත් සිටින්නේ එම ස්ථාවරයේ බව කී හෙතෙම තමා ජනාධිපතිව සිටියදීද නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීමට විරුද්ධ වූ බවද කීවේය. හිටපු ජනාධිපතිවරයා ඒ බව කීවේ කළුතර වාද්දුවේදීය.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ගිය සතියේ කළුතර වලල්ලාවිට ප්‍රදේශයට ගියේ ගම සමග පිළිසඳරක් වෙනුවෙනි. එහිදී ජනාධිපතිවරයා කීවේ වරායේ නැගෙනහිර ජැටියේ කොටස්වලින් සියයට 51 ක් වරාය අධිකාරිය යටතේ තබාගෙන සියයට 49 ක් ඉන්දීය සමාගමකට ආයෝජනයට දෙන බවය. වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට හා ජපානයට බදුදීමට ගිවිසුම් අත්සන් කළේ ඉකුත් යහපාලන ආණ්ඩුව සමයේ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.


කොරෝනා අර්බුදය හේතුවෙන් පසුගිය සඳුදා හැන්දෑවේ කැබිනට් රැස්වීම පැවැත්වුණේද ඔන්ලයින් තාක්ෂණයෙනි. ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ සිටද අගමැතිවරයා විජේරාම නිල නිවසේ සිටද කැබිනට් රැස්වීමට සම්බන්ධ වූහ. අගමැති මහින්ද කැබිනට් රැස්වීමට ඔන්ලයින් ඔස්සේ කලින්ම සම්බන්ධ වී සිටියේය.


ඔබ දැකුමෙන් මා පින්කළ බව දැණුනි


කොවිඩ් ආසාදිතව සිට සුව වූ වාසුදේව නානායක්කාර ඇමැතිවරයාද මෙවර කැබිනට් රැස්වීමට සම්බන්ධ වූයේ සති දෙකකට පමණ පසුවය. වාසු ඔන්ලයින් ඔස්සේ සම්බන්ධ වී සිටිනු දුටු අගමැති මහින්ද ‘කොහොමද වාසු’ යැයි විමසුවේ ඔවුන් දෙදෙනා කලක පටන් හොඳ මිත්‍රයින්ද වන බැවිනි. ‘හොඳයි අගමැතිතුමා’ කියමින් වාසු උත්තර දුන්නේය. අනෙකුත් ඇමැතිවරුන්ද වාසුට සුබ පැතුවේ ‘කොහොමද ඇමැතිතුමා’ යයි විස්තරද පවසමිනි. ‘ඔබ දැකුමෙන් මා පින්කළ බව දැනුණි’ යැයි ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා වාසුට කීවේය. වාසුද පෙරළා උත්තර දුන්නේ ‘ඔබෙ මුහුණින් මට ඒ බව පෙනුණි’ යැයි කියමිනි. වාසුගෙත් ඩලස්ගෙත් සංවාදය ඇසූ ඇමැතිවරු හයියෙන් හිනා වූහ.


මේ අතර නාමල් රාජපක්ෂ ඇමැතිවරයාද නිරෝධායනය වෙමින් සිටින අතරේ කැබිනට් රැස්වීමට සම්බන්ධ වූයේ ඔන්ලයින් හරහාය. ඔහු නිරෝධායනය වූයේ පියල් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයාගේ ආශ්‍රිතයකු වීම හේතුවෙනි. කොරෝනා ආසාදිතයකු වූ පියල් නිශාන්ත ගිය සතියේ සුවවී නිවෙස බලා ගියේය. ‘මේ දවස්වල නාමල් කොටහළු වෙලා’ යැයි විමල් කීවේ නාමල්ට විහිළුවක් කරමිනි. ‘තව දවස් කීයක් තියෙනවා දැයි’ බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා අහද්‍්දී නාමල් කීවේ ‘‘අදින් ඉවරයි. පී.සී.ආර්. එකත් ගත්තා’ යනුවෙනි.
​‘ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්ගෙ වාහනේ ගිහින් චමල් ඇමැතිතුමත් බේරුණේ අනූනවයෙන්’ යැයි මහින්දානන්ද කීවේය. ඒ සමගම ඔහු කීවේ ‘අපිත් පුදුම බේරිල්ලක් බේරෙන්නෙ. පවිත්‍රා ඇමැතිතුමිය නෙළුම් මාවතේ ඉඳලා ගියා විතරයි අපිත් තව පොඩ්ඩෙන් අහුවෙනවා’ යනුවෙනි. සී.බී. රත්නායක කීවේ තමාද ඊට පසුව එතනට ගිය බවය. එසේ වුවද සීබීට ගිය සතියේද නිරෝධායනය වෙන්නට සිදුවුණේ අරුන්දික ප්‍රනාන්දු සහභාගිවූ රැස්වීමකට ඔහු ගොස් සිටි බැවිනි. මේ අතර ‘පවිත්‍රාගේ අතේ දුරින් හිටපු හින්දා අපිත් බේරුණා’ යැයි බන්දුල විහළුවට කීවේ කැබිනට් මණ්‍ඩලයම හිනස්සවමිනි.


කැබිනට් රැස්වීම පටන් ගන්න තෙක් ඇමැතිවරු කොවිඩ් ගැන, කොරන්ටයින් ගැන, ප්‍රතිකාර ගැන විවිධ දේ කතාබහ කරමින් සිටියහ. දිනේෂ් වාසුගෙන් කෑම ගැන අහද්දී විමල් ඇසුවේ ‘බෙහෙත් දෙනවද’ යනුවෙනි. එකම බෙහෙත නිරෝධායනය බව වාසු කීවේය. ‘එහෙම නම් ඉතින් ගෙදරම හිටිය නම් ඉවරයිනේ’ යැයි විමල් කියද්දී වාසු කීවේ නීතියෙන් බැරි නිසා ප්‍රතිකාර මධ්‍යස්ථානයකටම යා යුතු බවය. ඇමැතිවරුන් කී දෙනකු කොරන්ටයින් දැයි අගමැති අහද්දී පිළිතුරු දුන්නේ මහින්දානන්ද ය. ඔහු කීවේ දහ දෙනකු පමණ කොරන්ටයින් වන බවය. ඔහු කීවේ මම නම් කියන්නෙ අපිට පොසිටිව් නොවුණට පස්පාරක්වත් හැදිල සනීප වෙලත් ඇතැයි කියාය. විමල්ද මහින්දානන්දගේ අදහස අනුමත කරමින් ‘ඔව් ඒක නම් ඇත්ත’ යැයි කීවේය.
වතු කම්කරුවන්ට රුපියල් 1000 ක දෛනික වැටුපක් ලබාදීම ආණ්ඩුව අයවැයෙන් දුන් පොරොන්දුවකි. එහෙත් වතු හාම්පුතුන්ගේ සංගමය යෝජනා කර ඇත්තේ පැමිණීමේ දිරි දීමනාව, නිෂ්පාදන දිරි දීමනාව ආදිය ඇතුළුව රුපියල් 920 ක දෛනික දිමනාවක් දීමටය. එහෙත් හාම්පුතුන්ගේ යෝජනාවට රජය එකඟ නැත. වතු කම්කරු වැටුප් වැඩි කෙරෙන්නේ හාම්පුතුන් සහ වෘත්තීය සමිති අත්සන් කර ඇති සාමුහික ගිවිසුමකට අනුවය. රජය දිගින් දිගටම යෝජනා කරන්නේ වතු කම්කරු දෛනික වැටුප 1000 කරන්නටය. හාම්පුතුන් හා වෘත්තීය සමිති අතර අත්සන් කර ඇති සාමුහික ගිවිසුම නිසා මෙය කළ නොහැකි බැවින් එම ගිවිසුම අහෝසි කර පඩි පාලක සභා යටතේ රුපියල් 1000 දීමනාව ලබාදීමට අද‌ාළ යෝජනාවක් කම්කරු ඇමැති නිමල් සිරිපාල විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. ඒ යෝජනාව වෙනුවෙන් වැවිලි ඇමැති රමේෂ් පතිරණ ද අදහස් දැක්විය. ඔහු කීවේ වතු කම්කරු වැටුප රුපියල් 1000 ක් කිරීම රජයේ අයවැය යෝජනාවක් බවය. ජනාධිපතිවරයාද කීවේ අයවැයෙන් පොරොන්දු වූ පරිදි වතු කම්කරුවන්ගේ වැටුප 1000 දක්වා වැඩිකළ යුතු බවය. ඊට සාමුහික ගිවිසුම බාධාවක් නම් එය අහෝසිකර, පඩිපාලක සභා යටතේ හෝ 1000 දිය යුතු බවය. ඒ ගැන මහා භාණ්ඩාගාරයද සමග සාකච්ඡා කර පියවරක් ගන්නැයි ජනාධිපතිවරයා නිමල් සිරිපාලට හා රමේෂ් පතිරණටද උපදෙස් දුන්නේය.


මේ අතර, දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ මත යැයි කියමන් පොලිස් උසස්වීම් කරන්නට යන බවට ඉකුත් සතියේ ආන්දෝලනයක් ඇතිවිය. මේ ගැන කැබිනට් රැස්වීමේදීද කතාබහට ලක්වුණේ මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මතු කළ ප්‍රශ්නයකිනි. ඔහු කීවේ දේශපාලන පලිගැනීම් යැයි කියමින් පොලිස් උසස්වීම් දීමෙන් අර්බුදයක් නිර්මාණය විය හැකි බවය ජනාධිපතිවරයාද කීවේ දේශපාලන පලිගැනීම් යැයි කියමින් කරන්නට යන පොලිස් උසස්විම් වහා නතර කළ යුතු බවය.


බස්නාහිර පළාතේ පාසල් ලබන මස 15 වැනිද‌ා පමණවන විට ආරම්භ කිරීම රජයේ අපේක්ෂාවය. ඒ ඒ ප්‍රදේශවල පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ඇති හැකියාව පිළිබඳව සොයාබලා දැනුම් දෙන්නැයි අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් බස්නාහිර පළාතේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවලට උපදෙස් දී ඇත. එහි සභාපතිවරුන්ට ගිය සතියේ ලිපියක් යවා ඇති අධ්‍යාපන ඇමැතිවරයා සිය අදහස හා යෝජනා මේ සති අන්තය වනවිට ලබාදෙන්නැයි දන්වා ඇත. ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල නිර්දේශ ලැබුණු පසුව මේ සතියේ ඒ ගැන සෞඛ්‍ය බලධාරින් සමගද සාකච්ඡා කර පාසල් විවෘත කිරීම ගැන තින්දුවක් ගැනීමට නියමිතය.
කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ගේත්, මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේත් ජන්ම දිනය ගිය බද‌ාද‌ාට යෙදී තිබුණ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් අවස්ථා දෙකක පන්සල් දෙකටම ගොස් උන්වහන්සේලා බැහැදැක ආශිර්වාද කළහ. ජනාධිපතිවරයා බද‌ාද‌ා දහවල් කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් වැඩවසන ගල්කිස්ස ධර්මපාලාරාමයට ගොස් මහා සංඝරත්නයට ද‌ානය පිළිගන්වන්නටද අමතක නොකළේය. ඒ එන ගමන් අභයාරාමයටද ගොස් මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් බැහැදැක උපන් දිනය වෙනුවෙන් සුබපැතුවේය. අගමැති මහින්ද බද‌ාද‌ාත් කලින් දවසේත් අභයාරාමයට ගොස් මුරුත්තෙට්ටුවේ නාහිමියන් බැහැදැක උපන් දිනයට සුබ පැතුවේය. අගමැති මහින්ද බද‌ා‌ද‌ා දහවල් කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ද බැහැදැක, උන්වහන්සේගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතුවේ, ඔහුට අභයාරාමය මෙන්ම, ධර්මපාලාරාමයද අමුතු තැනක් නොවන බැවිනි. ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීම ගිය සතියේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ මැති ඇමැතිවරුන් රැසකගේ සහභාගිත්වයෙනි. ප්‍රසන්න රණතුංග, සී.බී. රත්නායක, මහින්ද‌ානන්ද ඇතුළු ඇමැතිවරු කිහිප දෙනෙක්ද එහි වූහ. රැස්වීම අවසානයෙ දිවා ආහාරය සූද‌ානම් කර තිබුණේ ආණ්ඩුකාර නිල නිවසේය. දැන්නම් ළඟ ළඟම කැරකෙනවා. කොයි වෙලේ ආයෙත් කොරන්ටයින් වෙන්න වෙයිද දන්නෙ නැහැ යැයි සී.බී. කීවේ පිරිස සමග දවල් කෑම ගනිමිනි. තමාත් අවස්ථා දෙක තුනකදීම බේරුනේ නූලෙන් බව ප්‍රසන්න රණතුංගද හිනාවෙමින් කීවේය. මහින්ද‌ානන්ද කීවේ කරන්න දෙයක් නෑ. දැන් මේකත් එක්ක ජීවත් වෙනවා හැරෙන්න විකල්පයක් නැති බවය. එදා කීවා මෙන් සී.බී. ට පසුවද‌ාම නැවත කොරන්ටයින් වීමට සිදුවිය. ඒ අරුන්දික ප්‍රනාන්දු පැමිණි රැස්වීමකට සී.බී.ද සහභාගි වූ බැවිනි.


පුතා නළුවා - මම සහාය නළුවා


හිටපු මන්ත්‍රීවරයකු වන දඹුල්ලේ ටී.බී. තෙන්නකෝන් හතළිස් එක්වැනි ගුණ සමරුව යෙදී තිබුණේ ඉකුත් සතියටය. ඒ වෙනුවෙන් ඔහුගේ මුණුබුරකු වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා ගලේවෙල රෝහලේ වාට්ටු හතරක් අලුත්වැඩියා කළේය.


කොළඹ පෞද්ගලික රෝහලක මට්ටමට පහසුකම් ලබා දුන්නේය. අලුත් කළ රෝහල් වාට්ටු විවෘත කළේ ප්‍රමිතගේ පියා වන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාය. එහිදී ජනක ඇමැතිවරයා හැඟීම්බර කතාවක් කළේය.


‘මගේ අප්පච්චි නැතිවූ දවස ගැන මට දුකයි. එදා දවස මට අද වගේ මතකයි. ඒත් ඒ දුක අස්සෙන් මට සන්තෝෂයක් දැනෙනවා. මගේ පුතා ලොකු වැඩක් කළා කියන එක තමයි ඒ සන්තෝෂය. අද මට තේරෙන්නේ පුතා නළුවා. මම සහාය නළුවා කියලයි’ ජනක ඇමැතිවරයා කීවේ එහි සිටි හැමෝම හිනස්සවමිනි.


විපක්ෂ නායක ජංගම සේවය දිගටම


විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ‘සත්කාරය’ විපක්ෂ නායක ජංගම සේවය සමගින් සෑම සතියකම රට වටා ගමන් කරයි. පසුගිය සතියේ දී ජංගම සේවය පැවැත්වුණේ ගම්පහ දොම්පේ ය.


‘දේශීය සම්පත් ආරක්ෂා කරනවා කියලා. කිසිම දෙයක් විකුණන්නේ නෑ කියලා බලයට ආපු ආණ්ඩුව අද හැම දේම විකුණාගෙන යනවා. මේවා ගැන ගම් මට්ටමින් ජනතාව දැනුවත් කරන්න’ සජිත්, මෙයට එක්ව සිටි හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයාට උපදෙස් දුන්නේය.


‘අපි ගමට යනවිට මේවා ගැන ජනතාව දැනුවත් කරනවා. දැන් හැට නව ලක්ෂයකට කටඋත්තර නැතිවයි ඉන්නේ සර්’ හර්ෂණ රාජකරුණා කීවේය.


මොනරාගල මාලිගාවිල පැවති ජංගම සේවයට ඊට පෙර සතියේ වගුරුවෙල ජංගම සේවයට පැමිණ සිටි පවුල් කිහිපයක් ද පැමිණ සිටියහ. ඔවුන් පැමිණ තිබුණේ ඔවුන්ගේ ඉල්ලීම වී තිබුණ නිවසට සෙවිලි තහඩු ලබාදීමේ ඉල්ලීම දින කිහපයක් තුළ ඉටු කිරීමට විපක්ෂ නායකවරයා කටයුතු කර තිබීම නිසාය. වගුරුවෙල ජංගම සේවයේ දී එක්තරා දියණියක් නැගී සිටියාය.


‘විපක්ෂ නායකතුමනි, ඔබතුමාට අනේක වාරයක් පිං. අපි ජීවත් වෙන්නේ පැලක. තාත්තාට රස්සාවක් නෑ. මම ඉගෙන ගන්න ආසයි. අනේ අපිට ගේ හදා ගන්න උදව් කරන්න’


මේ ඉල්ලීම ඉදිරියේ වඩාත් සංවේදී වූ සජිත් වහාම ඇයගේ ඉල්ලීම ඉටු කරන්නට කටයුතු කළේය. දින කිහිපයක් තුළ සිමෙන්ති කොට්ට 50ක් ලැබුණ අතර නිවසෙහි වැඩ ආරම්භ විය.


“ඔබතුමාට අප්‍රමාණ ස්තූතියි. දැන් හිතට දැනෙන සැනසිල්ල වචනෙන් කියලා නිම කරන්න බෑ”‍ දියණිය කීවාය.
එවැනි ඉල්ලීම් රැසකට විසඳුම් දීමට සජිත් කටයුතු කළේය.


“මේවා කරන්න තමයි ආණ්ඩු තියෙන්නේ. හැබැයි ආණ්ඩුවට ඒවා පේන්නෙ නෑ. ඔබතුමා ගැරහුම්, අවලාද මැද පුදුම සේවයක් කරනවා. ඔබතුමාට වරදින්නේ නෑ මහත්තයෝ”‍ වයෝවෘද්ධ මවක් කීවාය.


සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වේ.


සමගි ජන බලවේගයේ පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පක්ෂ කාර්යාලයේ දී පළමු වතාවට රැස්වූයේ පසුගිය සතියේ දීය. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආරම්භවීමට පෙර පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා ද පැමිණ සිටියේය. ඔහු පැමිණ සිටියේ ආරාධිත නායකයෙක් ලෙසය.


‘‘මම තවම සමගි ජන බලවේගයේ සාමාජිකත්වය අරගෙන නැහැනේ. ඒ නිසා ආරාධිත නායකයෙක් විදියට මම මේකට සහභාගි වෙනවා’’ පාඨලී චම්පික රණවක කීවේය. ඔහු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වන තෙක් සිටියේය.


ඒ අනුව ඉදිරියේ දී පාඨලී චම්පික රණවක පක්ෂ සාමාජිකත්වය ලබාගනු ඇත.


‘‘සමගි ජන බලවේගයේ පක්ෂ ව්‍යවස්ථාව ඒකාධිපති ව්‍යවස්ථාවක් නෙමෙයි. ඕනෑම අයෙක්ට පක්ෂයේ ඉහළට පැමිණීමට අවස්ථාව ලබාදී තිබෙනවා. පක්ෂයේ නායකත්වය ඒකාධිපතිත්වයකට පත් කර නැහැ’’ සජිත් කීය.


‘‘තනතුරු අවුරුද්දෙන් අවුරුද්ද තෝරන එකත් හොඳයි. එතකොට හොඳට වැඩ කරන අයට ඉහළට යන්න පුළුවන්’’ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කීය.


‘‘අපි සමගි ජන බලවේගයේ තනතුරුවලට පත් කරනවා. අන්න අරහේ එක්සත් ජාතික පක්ෂයේ තනතුරු තියෙන අය ඉල්ලා අස්වෙනවා. පුරප්පාඩු වෙලා තියෙන තනතුරුවලට පත් කරන්න කවුරුවත් නැතිව ඉන්නවා’’ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කීවේය.


පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසානයේ දී සජිත් කීවේ ඒකීය ස්වෛරී රටක් තුළ සහෝදරත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවය.


වෘත්තීයවේදීන් සහ සජිත් අතර හමුව


පසුගිය මාස කිහිපයක කාලය පුරාම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක කාර්යාලයේ දී හා පක්ෂ කාර්යාලයේ දී වෘත්තීයවේදීන් හමුවුනේය. ඉතා කෙටි කලක් තුළ එහි සාමාජිකත්වය සියය ඉක්මවා ගියේය. ඔවුන් සියලු‍ දෙනාම එක් කරමින් වෘත්තීයවේදීන්ගේ හමුව පසුගිය සතියේ දී පැවැත්විණි. එය හැඳින්වෙන්නේ “නිර්පාක්ෂික බුද්ධි මණ්ඩපය”‍ යනුවෙනි.


“මම මේ වෘත්තීයවේදීන් රම්පේ, කරපිංචා ගානට දාන්නේ නෑ. ඡන්දෙ කාලෙට ළං කරගෙන පත්තරවල දැන්වීම් දාන්න නම් පාවිච්චි කරන්න විතරක් නෙමෙයි ඔබතුමන්ලා ඉන්නේ. අපි ආණ්ඩුවක් හැදුවම ඒකේ ප්‍රතිපත්ති සම්පාදන කටයුතුවලට ඔබතුමන්ලා සෘජුව සම්බන්ධ වෙනවා” සජිත් සහතිකයක් දුන්නේය.
රංජන් ගැන සොයයි


සජිත් පසුගිය සතියේදීත් සිරගතව සිටින රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ තත්ත්වය ගැන සොයා බැලු‍වේය. බන්ධනාගාරයට යන අය අත පණිවුඩ යවමින් අවශ්‍ය දේ ගැන සොයා බැලු‍වා පමණක් නොව මන්ත්‍රීවරු සමග ද ඔහු වෙනුවෙන් කළ හැකි දේ ගැන සාකච්ඡා කළේය.


“අපි රට වටේම විරෝධතාවය කරගෙන යනවා. භාෂණයේ නිදහස ලබාදෙන්න කියලා කරන සටන එක්කම රංජන් වෙනුවෙන් වන සටනත් කරනවා” හරින් පැහැදිළි කළේය.


එය සාර්ථකව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සියලු‍ සහාය ලබාදීමට සජිත් පොරොන්දු විය.


මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතයා හා තවත් තානාපතිවරුන් හමුවූ අවස්ථාවල දී ද රංජන්ගේ ප්‍රශ්නය ගැන අවධානය යොමු කර තිබුණි.


වන අලි ගැටලු‍වට මැදිහත් වේ


සජිත් මැතිවරණයට තරග කිරීමට කොළඹ දිස්ත්‍රික්කයට පැමිණියත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු සඳහා අඛණ්ඩව මැදිහත් වෙයි. වන අලි ගැටලු‍වට වහාම විසඳුම් ලබාදෙන ලෙසත්, ඉඩම් කොල්ලය නතර කරන ලෙසත් මහා සංඝරත්නය හා සූරියවැව ජනතාව එක්ව සංවිධානය කළ මාරාන්තික උපවාසය අසලට සජිත් පැමිණියේය.


“වන අලි ගැටලු‍වට විපක්ෂයේ අය විතරක් නෙමෙයි, ආණ්ඩුවේ අයත් මුහුණ දෙනවා. මේකට දේශපාලන පක්ෂ බේදයක් නෑ. මේක ගැන මම පාර්ලිමේන්තුවේදී කතා කරනවා” සජිත් සහතිකයක් දුන්නේය.


පාර්ලිමේන්තුවෙන් පිටත අරගලයකට එජාප නියෝජ්‍ය නායකගෙන් යෝජනා


එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්‍ඩලය පත් කිරීමෙන් පසු නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පසුගිය බ්‍රහස්පතින්දා නිල වශයෙන් සිය තනතුරේ වැඩ බාර ගත්තේය.


සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මේ නිමිත්තෙන් චාම් උත්සවයක් පැවැත්වුණි. මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කරද්දී රුවන් විජයවර්ධන මහතා සුබ මොහොතින් පත්වීම් ලිපියකට අත්සන් තැබුවේය.
ආශු මාරසිංහ, සමන් රත්නප්‍රිය, අනෝමා ගමගේ, ශාන්තිනී කෝන්ගහගේ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.


ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හා පක්ෂයේ ක්‍රියාකාරීහු විශාල පිරිසක්ද මේ අවස්ථාවට සහභාගි වූහ.


පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත්වීමෙන් පසු ඔවුන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවූයේ පසුගිය සඳුදාය. එම අවස්ථාවට නව නිලධාරී මණ්‍ඩලය සහභාගි වූහ.


මෙම සාකච්ඡාවේදී විශේ‍ෂ තීණ්දුවකට එළැඹීමට සියලුම දෙනා එකඟතාවය දැක්වූහ. එම එකඟතාවය වූයේ සෑම සතියකම අඟහරුවාදා හා බදාදා දිනවල මහජන හමුවක් පැවැත්වීමයි. මෙහිදී රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තුවෙන් පිටත පක්ෂයේ ක්‍රියාකාරකම් වඩා ශක්තිමත් විය යුතු බවයි.
පසුදින රුවන් විජයවර්ධන මහතා ඇතුළු පිරිස අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු අටමස්ථාන වැඳ පුදා ගත්හ.


ඉසුරුමුණි විහාරයට ඔබ්බෙන් කැලෑව තුළ පිහිටා ඇති පැරණි පොකුණු නැරඹීමටද රුවන් විජයවර්ධන මහතා ඇතුළු පිරිස ගියහ.


වරාය සේවක සටන පිළිබඳවද්‍ එක්සත් ජාතික පක්ෂ නායකයන්ගේ කතාබහට ලක්වී තිබුණි. මෙහිදී රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ වරාය සටනත් දිගටම කරගෙන යනවා. රජය පත් කිරීමට කටයුතු කළ අයම දැන් ඊට එරෙහිවීම තුළ ගැටළුවක් තියෙනවා. ලබන සතියෙ කැබිනට් මණ්‍ඩලයට මෙය ඉදිරිපත් කළාම ආණ්ඩුවේ දේශප්‍රේමී කණ්‍ඩායම වගේම දේශද්‍රෝහී කණ්ඩායම කියල දෙකක් ඇති වෙන්නයි යන්නේ යනුවෙනි.

 

 

- ගජබා -