ඇමැති මාරුව හරියට වැස්සක් වැහැල පෑව්ව වගේලු


 

ආණ්ඩුව

සති අන්තයේ ඇමරිකාවේ සති දෙකක පෞද්ගලික චාරිකාවක නිරතවීමට සැලසුම් කර තිබූ නිසා කැබිනට් මාරුවෙන් පසුවද අගමැතිවරයාට වැඩවල නිමක් නොතිබිණ. බ්‍රහස්පතින්දා උදයේම ඔහු අරලියගහමැදුරට පැමිණියේ ඒ නිසාය.


 “ඇමැති මාරුව ලොකු වැස්සක් වැහැල පෑව්වා වගෙයි. හැමදේම අවුල් නැතුව සිදුවුණා. ආණ්ඩුව වැටේවි. රවි ගිහින් පිටිපස්සෙන් වාඩි වේවි කියලයි, විපක්‍ෂය බලා හිටියේ” ලක්‍ෂ්මන් කිරිඇල්ල කතාවට මුල පිරුවේය.


 “අපට තිබුණු වරාය ශ්‍රීලනිපයට යාමයි, ඒ පැත්තෙන් කිහිප දෙනෙකුටම අලුත් වගකීම් ලැබීමයි. එජාප පසුපෙළට මොකුත් නොලැබීමයි. රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ සාධාරණ කණපිණ්දම් ගැනයි දැන් පොඩි පොඩි කතා යන්නේ. ඒ සුළු ගැටලුවත් විසඳන්න පුළුවන් නම් වටිනවා” විජයදාස රාජපක්‍ෂ කීවේය. 


“හැමදේම විසඳන්න  ඕනෑ. කැබිනට් සංශෝධනය යුද්ධයක් වේවි හිතුවත් දැන් ඒ ලොකු ප්‍රශ්නය ඉවරයි. අපට දැන් ලොකු ගමනක් යන්න පුළුවනි. මේ සංශෝධනය කරන්න බෑ. කළොත් බෙදේවි. ආණ්ඩුව දෙදරාවි කියලනේ පිට අය වගේම අපේම සමහරුන් හිතුවේ” අගමැතිවරයා කීය.


 “අගමැතිතුමා සති දෙකකට ඇමරිකාවෙ යන්නේ කවදාද?“ දයා ගමගේ විමසීය. “මම සිකුරාදා යන්නේ. මට නාගන්න බාත්රූම් එකට යන්නත් නෑ. වැදගත් ඇමතුම් එනවා. ඇමරිකාවේ ගිහින් දින 02-03ක වැඩ ටික සම්පූර්ණ කළාම සති එක හමාරක් නිදා ගන්නවා” අගමැති කීවේ සිනා මැදය. 


“පසුපෙළ මන්ත්‍රීලා ගැන අප මීට වඩා බලන්න ඕනෑ. මා හැමදෙනාටම රුපියල් දශ ලක්‍ෂ 60ක පාරවල් හා රැකියා හතර පහ බැගින් දුන්නා.” ලක්‍ෂ්මන් කිරිඇල්ල කීය.


 “අනිත් ඇමැතිවරුන්ද මන්ත්‍රීවරුන්ද ගැන බලන්න ඕනෑ. මාව හමුවෙන්න පාර්ලිමේන්තු කාර්යාලයට එන්නේ දෙතුන් දෙනයි. සමහරුන් ලේකම්ලාගෙන්ම වැඩ කරගෙන යනවා” අගමැති කීය. 


“තිලක් මාරපනට ඇමතිකම ආපහු දීම වටිනවා. එතුමා ඒ වෙලාවේ ගෞරවනීයව ඉල්ලා අස්වුණා.” විජයදාස රාජපක්ෂ කීවේ අගමැතිවරයාට ප්‍රශංසා කරමිනි.


 “මාරපන මගේ වැඩවලට හවුල් කරගන්නවා.” අගමැති කීය.


“ෆොන්සේකාට විරෝධතාවලදී රටේ දෛනික ජන ජීවිතය පවත්වාගෙන යන්න වගකීම් දෙන්න යනකොට හුඟ දෙනෙකු බය වුණා. ඒ වගේ මංගලට ජනමාධ්‍ය දීමෙනුත් ජනමාධ්‍ය දැන් අන්තවාදයෙන් මිදී සාධාරණව හා කාර්යක්ෂමව වැඩ කරාවි කියලයි මා හිතන්නේ.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ එවැන්නකි.


 “මංගල දමා ජනමාධ්‍ය මර්දනය කරන්නයි ආණ්ඩුව හදන්නේ කියලත් සමහරුන් වැරදි පණිවිඩ පතුරනවා.” දයා ගමගේ කීය.
“මහින්දලාට වගේ මේ ආණ්ඩුවට මර්දන ලේබල් අලවන්න බැහැ. ඒත් ජනමාධ්‍යවලට දැන් තියෙන නිදහස වැරදි විදියට භාවිතා කරන කෙනෙකු ඉන්නවා නම් රට ඇතුළේ ආගම්වාදය, ජාතිවාදය පතුරුවන්න හදනවා නම් ඒවා නිවැරැදි කිරීම රජයේ වගකීමයි.” අගමැති කීය.


 “පාදෙණිය උසාවියට අපහාස කළා කියල උසාවියට පෙත්සමක් ආවා. ඒක විභාග කළා කියලයි පසුගියදා දොස්තරලා වර්ජනයක් කළේ. මේ රටේ නීතියත් දොස්තරලාට ඕනෑ විදියට හසුරුවන්න දෙන්න කියලද මේ කියන්නේ.” ලක්ෂ්මන් කිරිඇල්ල විමසීය.
ලංකාවට බාල බඩු රටින් ගෙන්වීම නවත්තන්න ඇන්ටි ඩම්පින් පනත ගේන බව ඔබතුමා ළඟදිත් කිව්වා. ඒක ඉක්මන් කරමු. බාල බඩු නිසා රටේ නොදිරන කුණු කඳුත් උස යනවා.” විජයදාස රාජපක්ෂ කීය.


“මලික්ගේ තාත්තා අන්තරා වෙලා. ඒකටත් යන්න ඕනෑ. පාර්ලිමේන්තු යන්නයි, අධ්‍යාපන හා තවත් රාජකාරි ගොඩක් අද තිබෙනවා. හවසට වෛද්‍ය සභාව එක්කත් සාකච්ඡාවක් තියෙනවා. රට යන්න බෑග් බලන්නත් තිබෙනවා.” යි කියමින් සිනාසුණු අගමැතිවරයා අරලියගහ මැදුරෙන් පිටව යාමට සැරසුණේය.


 “වෛද්‍ය විද්‍යාල පෞද්ගලික වුණත් ඒවා ප්‍රමිතිගත නම් වෛද්‍ය සභාවට කිසිසේත්ම ඒවාට විරුද්ධ විය නොහැකි බවට මහාචාර්ය කාලෝ සමබර ප්‍රකාශයක් කළා.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ වාහනයට නගිමින් සිටි අගමැතිවරයාටය.


පසුගියදා පොලිසියට අදාළ සම්මන්ත්‍රණයකදී එය බාර ඇමැති සාගල පොලිස්පති ඇතුළු ප්‍රධානීන් ඉදිරියේ දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.


 “ජනවාරි 08 වෙනසකට පොලිසිය සාධාරණව උපරිමය කළා. ඒත් දැන් රටේ මිනීමැරුම් ඇතුළු ප්‍රශ්න රැසක් ඔළුව උස්සලා. පොලිසිය භාවනා කර කර ඉඳලා විතරක්ම බැහැ. තම රාජකාරි මීට වඩා ඉටු කරන්න පොලිසිය ඉක්මනින් වගබලා ගැනීම අත්‍යවශ්‍යයි.” ඇමති සාගල දැඩි ප්‍රහාරයක් දියත් කළේය.

 

කතානායක

ආංශික කාරක සභා ක්‍රියාවලිය මගින් කවර අමාත්‍යාංශයකට අයත් විෂය පරාසයක් කෙරෙහි වුවද පුළුල් අවබෝධයකින් යුතුව තීන්දු ගැනීමට ඇති හැකියාව මෙන්ම විවිධ පාර්ශ්වයන්ගේ අදහස් පිළිබඳ සැලකිල්ලට ලක් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බව කතානායක කරු ජයසූරිය මහතා පෙන්වා දුන්නේ ගෙවී ගිය සතියේ පාර්ලිමේන්තුවේදී පැවැති කාන්තා කටයුතු පිළිබඳ ආංශික කාරක සභාවේ විශේෂ සම්මන්ත්‍රණ වැඩමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි. 


මෙහිදී පාසල් සිසුන්ට ප්‍රජනන අධ්‍යාපනය ලබාදීමේ ප්‍රතිපත්ති සම්පාදනය ගැන පුළුල් විද්වත් කතිකාවක් සිදු වූ අතර එම ආංශික කාරක සභාවේ සභාපතිනි වෛද්‍ය තුසිතා විජේමාන්න, කාන්තා කටයුතු විෂය භාර ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර, සුමේධා ජී. ජයසේන, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන ඇමතිවරියන් මෙන්ම උතුරු මැද ප්‍රධාන ඇමැති පේශල ජයරත්න, බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමැති රංජිත් සෝමවංශ යන මැති ඇමැතිවරුද මෙහිදී අදහස් පළ කළහ. 


පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර අවබෝධතා පිළිබඳ චීන සංගමයේ උප සභාපති ලියූ හොන්ග්ශැයි මහතා  ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් පාර්ලිමේන්තුවේදී කතානායක කරු ජයසූරිය මහතා මුණ ගැසුනහ. මහජන චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ නියමුවෙකු වන හොන්ග්ශැයි මහතා චීනය නියෝජනය කරමින් ලොව රටවල් ගණනාවක රාජ්‍යතාන්ත්‍රික සේවයේ යෙදී ඇති කීර්තිමත් රාජ්‍යතාන්ත්‍රිකයෙකි.

 

ඇමැති අකිලට උපන්දින සාදයක්

පසුගිය 23 වැනි දිනට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපන් දිනය යෙදී තිබුණ අතර එදින උදෑසනම අමාත්‍යංශයට පැමිණි විට අකිලට දැක ගන්නට ලැබුණේ අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය තමන් වෙනුවෙන් උපන්දින සාදයක් සූදානම් කර ඇති ආකාරයයි. ඔවුන් සමග එකතුවී සිය උපන්දිනය සැමරූ අකිල සුභ පැතුම් එක් කළ සෑම කෙනකුටම ස්තුති කරන්නටද අමතක නොකළේය. අද මගේ ටෙලිෆෝන් එකට සැනහීමක් නෑ. උදේ ඉඳන් සුභ පැතුම් එනවා. ජනාධිපතිතුමා, අගමැතිතුමා, හිටපු ජනාධිපතිතුමා මේ හැමෝම සුභ පැතුවා.


ගිය අඟහරුවාදා අමාත්‍යාංශ නිලධාරින් පිරිසක් සමග පැවැති සාකච්ඡාවේදී ඊට පෙර දින සිදුවූ කැබිනට් මණ්ඩල සංශෝධනය ගැන කතාබහක් ඇති වූ අතර අකිල කීවේ සමහර අය කැබිනට් සංශෝධනයට බයවෙලා හිටියට අපි වැඩ කරපු නිසා විශ්වාසයෙන් හිටියා. කැබිනට් සංශෝධනය වුණ දවසට කලින් දවසෙත් අපි අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් තිබ්බා කියාය. 

 

ජවිපෙ

පාර්ලිමේන්තුවේ ගිණුම්කාරක සභාව පසුගිය විසිහතර වෙනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණේ සභාපති ලසන්ත අලගියවන්න මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙනි. මේ සඳහා ජවිපෙ නියෝජනය කරමින් සහභාගි වූයේ බිමල් රත්නායක මන්ත්‍රීවරයාය. එදින උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විමර්ශනය සඳහා කැඳවා තිබිණි. සිසුන් මුහුණ දී සිටින දැඩි නේවාසිකාගාර ප්‍රශ්නයට පිළිතුරක් ලෙස නේවාසිකාගාර හැටක් ඉදිකිරීමට පසුගිය ආණ්ඩු සමයේදීත් යෝජනා සම්මත වී තිබිණි. ඒ අනුව මේ වනවිට එක් නේවාසිකාගාරයක් මිලියන 221 ක වියදමින් ඉදිකොට තිබේ. ඒ හම්බන්තොට වැලිගත්ත ප්‍රදේශයේය. එහි කාමර සියයක් ඇති අතර මේ වනවිට එහි කිසිදු කාමරයක් සිසුන්ගේ පාවිච්චියට ලබාදී නොතිබීම ගිණුම් කාරක සභාවේ විශේෂ අවධානයට යොමුවිය. එයට හේතුව ලෙස හෙළිදරව් වූයේ කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව එහි ඉදිකිරීමට නියමිතව තිබූ පටක රෝපණ පීඨය ඉදිකොට නොතිබීමයි.

“පීඨයක් ඉදිකරන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් හරි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හරි අනුමැතියක් ලබාගෙන තිබෙනවා.” දැයි බිමල් රත්නායක මන්ත්‍රීවරයා නිලධාරින්ගෙන් ප්‍රශ්න කොට සිටියේය. නමුත් නිලධාරින් කියා සිටියේ එවැනි කිසිදු අනුමැතියක් සහිත ලේඛනයක් තමන් සතුව නොමැති බවයි. “මේක පුදුම කතාවක්. පීඨයක් නැතිව හොස්ටල් එකක් හදලා. දැන් කිසිදු ප්‍රයෝජනයක් නැති ගොඩනැගිල්ලක් වෙලා. සිසුන් ඉන්න තැන්වලනේ මුලින්ම හොස්ටල් හදන්න ඕනෑ.” බිමල් රත්නායක කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අනාවරණය වූයේ විශ්වවිද්‍යාල සිසුන් සඳහා නේවාසිකාගාර ඉදිකිරීමට වෙන්කළ මුදලින් රුපියල් මිලියන විසිදෙකකට අධික මුදලක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක වියදම් සඳහා කිසිදු අනුමැතියකින් තොරව වියදම් කොට ඇති බවයි.

 

මේක පිං කැටේ එකතු වන රුපියලටත් බදු ගහන්න හදන ආණ්ඩුවක්

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය බදාදා එහි නායක, විමල් වීරවංශ සහ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී රැස්විය.


එහිදී ශ්‍රී දළදා මාලිගාව භාරකාර අරමුදල ඇතුළු පුණ්‍යායතන අරමුදල් වලින්ද බදු අය කිරීමට නියමිත. මේ රටේ සියලු පුරවැසියන් මත අධික බදු බරක් පටවන, පසුගිය මැයි 02 වැනිදා කැබිනට් අනුමැතිය ද ලබාගෙන ඇති යෝජිත දේශීය ආදායම් පනතෙහි ඇති භයානකකම පිළිබඳව මුලින්ම සාකච්ඡා කෙරිණි.


“මේ යෝජිත දේශීය ආදායම් පනත කොතරම් විසකුරු වුවත් ඒ ගැන රටේ ජනතාව දන්නේ නැහැ. ඒත් ඒකට දැන් කැබිනට් අනුමැතිය ලැබිලත් ඉවරයි. නිල විපක්ෂයත් මේ පිළිබඳව කටක් අරින්නේ නැහැ. අපි මේ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම වහාම පටන් ගන්න ඕනේ.” නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක පෙන්වා දුන්නේය.


ඊළඟ දිනයේදී මාධ්‍ය හමුවක් පවත්වා ඒ පිළිබඳව රට හමුවේ තැබීමටත් ඉදිරියේදී පක්ෂය විසින් “සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව” යන තේමාව යටතේ පවත්වන ජනතා සම්මන්ත්‍රණවලදී මෙම කරුණු තවදුරටත් ජනතාව වෙත රැගෙන යාමටත් ජානිපෙ දේශපාලන මණ්ඩලය තීරණය කළහ.