ආණ්ඩුවට ගහලා රාජපක්ෂලා ගේන්න ​මාධ්‍ය දඟලනවා - අගමැති


අගමැතිවරයා බ්‍රහස්පතින්දා උදේ තිබූ විශේෂ කැබිනට් හමුව නිමකර අරලියගහ මැදුරට පැමිණියේ නිවාස අමාත්‍යංශයේ විශේෂ රැස්වීමටය.  


‘‘අද මගුල් ගෙවල් කීපයකුත් තිබෙනවා. පාර්ලිමේන්තු යන්නත් අවශ්‍යයි. රැස්වීම් ද ගොඩයි. දවසකට පැය 48 ක් වත් තිබුණා නම් හොඳයි’’ අරලියගහ මැදුරට ඇතුළු වන ගමන් අගමැතිවරයා කීවේ එහි පැමිණ සිටි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල හා සෙසු මැති ඇමැතිවරුන් ඔහු පිළිගැනීමට පෙරට එද්දීය.  


අද බ්‍රහස්පතින්දා විශේෂ කැබිනට් එක මොකක්ද? රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක ඇසුවේ කෝ ඉතිං ඔබතුමා අපව කැබිනට් එකට ගත්තේ නෑනේ යයි අගමැතිවරයාට විහිළුවක් ද කරමිනි.  


හම්බන්තොට වරාය හෙට චීන සමාගමට පැවරෙනවා. ඒ ගැනයි, කතා කළේ. නීතිය අනුව කැබිනට් එක අනුමත කර දින කීපයකට පසුවයි ගැසට් එක ගහන්න ඕනෑ. ඒත් අද කැබිනට් එක සම්මත කළ නිසා හෙට පාර්ලිමේන්තුවට දාලා සම්මත කළාම හරි. පාර්ලිමේන්තුවට දාලා සම්මත කරන එක ගැසට් ගහනවටත් වඩා විවෘත ක්‍රියාවක් බව ලක්ෂ්මන් කිරිඇල්ල කීය.  


හාල් මිල ඉහළ යාම නවත්වන්න ඕනෑ කෙනෙකුට තාවකාලිකව හාල් ගේන්න අවසර දීමත් වටිනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයකට පාලන මිල දැමීමත් හොඳයි. ජනතාවට ඒවා යනවාද කියා සොයා බැලීම වටිනවා දයා ගමගේ කීවේය.  


නාමල්ලා වරායේ වැඩට දාලා ස්ථිර නොකළ තරුණ පිරිස කුලප්පු කරන්න තාම ඒ අය දඟලනවා. ඔවුන්ට ලොකු වන්දියක්, මාස 5 1/2ක පඩි හා අවශ්‍ය නම් නව සමාගමේ රැකියාව දී තිබෙද්දී ඔවුන් දේශපාලන ගේම්වලට කොටුවීම කනගාටුවක් වජිර අබේවර්ධන කීය.  


2008 සිට 2014 දක්වා අතීත බැඳුම්කර ගැන අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී රටට පැහැදිලි කිරීම වටිනවා. ඒ යුගයේ දී වූ රුපියල් බිලියන 5100ක මහා ධනස්කන්ධයක බැඳුම්කර වලින් 90%ක් පෞද්ගලික මිලදී ගැනීම් විදියට හිතවතුන්ට දීලා. පිරමීඩ සූදුවක් කරලා.  


කබ්රාල් හා පර්​ෙපචුවෙල් සමාගමේ අධ්‍යක්ෂ එයාගේ නංගිත් මේවට උදවු කළ බව අගමැතිතුමාගේ කතාවෙන් තහවුරු වුණා ලක්ෂ්මන් කිරිඇල්ල කීය.  


අපේ කා​ෙල බැඳුම්කර වගේම ඒ අතීතය ගැනත් ජනාධිපති කොමිසන් දාලා හොයන්න ඕනෑ රන්ජන් රාමනායක කීවේය.  
බැඳුම්කර කොමිෂන් වාර්තාව 08 වැනිදා එනවාද? පී. හැරිසන් ඇසුවේ අගමැති ගෙනි.  


ඒ වාර්තාවේ ප්‍රකාශ ඇමුණුම් ලියවිලි වගේ දේවල් මුලින් සහතික කළ යුතුයි. තාම මගෙන් වත් සහතික කිරීම් ගෙන නැහැ. ප්‍රින්ටින් මිස්ටේක් කියා බොරු දාන්න බැහැ. ඒ නිසා වාර්තාව දින කීපයක් පරක්කු වේවි. ඒත් වාර්තාවේ හරයට ඒකෙන් බලපෑමක් නැහැ අගමැතිවරයා පැහැදිලි කළේය.  


ලංකාවේ දිගම හා හොඳම බස් නැවතුම්පොළ තිබුණේ‍ ගාල්ලේයි. ඔබතුමා ඒ වාර්තාවට තට්ටු කළා නේද? වජිර අබේවර්ධන ඇසුවේ දයා ගමගේ ගෙනි.  


මා අම්පාරේ වුණාට මගේත් මුල ගාල්ලේයි. අම්පාර බස් නැවතුමට රුපියල් ලක්ෂ 280ක් වැය කළා. ඒක නවීනතම එකක්. ඕස්ට්‍රේලියාව උදවු කළා දයා ගමගේ කීවේ උජාරුවෙනි.  


මහනුවර සුදුහුම්පොළදී අපත් රුපියල් ලක්ෂ 230ක් වැය කර විශාල ගෘහස්ථ ක්‍රීඩාංගණය හැදුවා. 2000 කට තරග නරඹන්නත් පුළුවනි ලක්ෂ්මන් කිරිඇල්ල කීවේද උජාරුවෙනි.  


හැමෝම තම තමන්ගේ ප්‍රදේශවලට කරපු සේවය ඡන්දයෙනුයි, මනින්න වෙන්නේ යයි කී අගමැතිවරයා ඉවත බලා ගත්තේය.  
2020 දී ජනපතිවරණයෙදී ගෝ්‍ඨා දිනන බව රටට අඟවන්න කොළඹ විශ්වවිද්‍යාලයේ නම විකුණා කවුද මහාචාර්යවරියකුයි තව කිහිපදෙනෙකුයි බොරු සමීක්ෂණය කරලලු නේද? ගයන්ත කරුණාතිලක ඇසුවේ අගමැතිවරයාගෙනි.  


2020 දී ජනපතිවරණයක් පවත්වනවාද, නැද්ද කියලවත් තාම කවුරුවත් දන්නේ නැහැ. කඩේ යන එකත් ලැජ්ජ නොවී කරන්න ඕනෑ නේද? අගමැතිවරයා කීවේය.  


ඕනෑ කෙනෙකුට ඡන්ද ඉල්ලන්න පුළුවනි. රාජපක්ෂලාගේ නෑයෙකුත් ගෝඨා දිනනවා කියා තිබුණා. අනික ගෝඨා එනවට මහින්දලා, බැසිල්ලා විශේෂයෙන් නාමල් කැමති ද කියා ගෝඨාභය හා ඒ ගෝල බාලයෝ මුලින්ම බලන්න ඕනෑ රන්ජන් රාමනායක කීවේය.  


පළාත් පාලන ඡන්දය ෂුවර් එකටම තියනවද කියා මිනිස්සු තාම අපෙන් අහනවා. සිරීපාදේ ගැන තවත් පෙත්සමක් ගිහින් නේද? ගයන්ත කරුණාතිලක විමසීය.  


කලින් වගේම සිරීපාදේ රත්නපුර දිස්ත්‍රික්කයට බව ෆයිසර් කිව්වා. ඒ නිසා ඒක ගැටලුවක් වෙන එකක් නැහැ. ලක්ෂ්මන් කිරිඇල්ල කීය.  


ගෝඨා අත්අඩංගුවට ගැනීමේ අතුරු තහනම ආපහු කල් ගියා රන්ජන් කීය.  


නීතිපති දෙපාර්තමේන්තුව ඒකට විරුද්ධ වෙලා. නීතිපතිගේ උපදෙස් අනුව රටේ නීතිය ක්‍රියාත්මක වීම අවශ්‍ය බව ආණ්ඩුවේ ස්ථාවරයයි අගමැතිවරයා කීවේ නළල රැලි ගන්වමිනි.  


මාධ්‍යවේදීන්ට එල්ලවන ප්‍රචණ්‍ඩත්වයට එරෙහි සමුළුවේදී අගමැතිතුමාගේ සැර කතාව මුළු රටම අගය කරනවා ගයන්ත කරුණාතිලක කීය.  


මරපු මාධ්‍යවේදීන් ගැන, ගිනි තියපු ජනමාධ්‍ය ආයතන ගැන බොහෝ මාධ්‍ය ප්‍රධානීන්ට හා කර්තෘලට හැඟීමක් නැහැ. මාධ්‍යකරුවන් මැරුවත් කමක් නැහැ. රාජපක්ෂලා එක්ක ආපහු බිස්නස් කර හම්බ කරන්න වෙන්නැති එයාලට ඕනෑ. ආණ්ඩුවලට ගහලා රාජපක්ෂලා ගේන්න මේ අය දඟලන්නෙ ඒකයි අගමැතිවරයා කීය.  


මංගල ඇමැතිතුමාත් ඊට දින දෙකකට පසු හොරුන්ට කඩේ යන මාධ්‍යවලට හොඳට දුන්නා වජිර අබේවර්ධන කීය.  


ආණ්ඩුවට ගැහුවත් බොහෝ මාධ්‍ය මගේ කතාවට මුල් තැන දුන්නා. අගමැතිවරයා කීවේ නළල රැලි ගන්වමිනි.  


රාජපක්ෂලා එක්ක ඒ අය එහෙම නම් බිස්නස් කරලා ද දන්නේ නැහැ රන්ජන් රාමනායක කීවේය.  


පුහුල් හොරා කරෙන් දැනේ අගමැති කීය.  


කඩේ යන හාමුදුරුවන් හා කඩේ යන මාධ්‍ය ප්‍රධානීන්ට බොහෝ හිමිවරුන් හා මාධ්‍යකරුවන් කැමති නැහැ. සමබර අය එකතු කර සංඝ හා මාධ්‍ය සංගායනා පවත්වන්න ඕනෑ. රන්ජන් කීවෙ කාගේත් සිනා මැදය. ඒ අදහස අගමැතිවරයා ද අනුමත කිරීම විශේෂත්වයක් විය.  
මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් හා කර්තෘලගේ තනි මතයට මාධ්‍ය අද ක්‍රියා කරන්නේ. අප දීපු මාධ්‍ය නිදහස භූක්ති විදීමට හා කාගේත් සමබර අදහස් මත මාධ්‍ය ක්‍රියා කිරීම අවශ්‍ය බව ඒ ක්ෂේ‍ත්‍රයේ 95%ක් අද කියනවා, අගමැති කීය.  


ඒ අතරේ නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම ගෙන් අගමැතිවරයාට ඇමතුමක් ලැබිණ.  


නැගෙනහිර පළාතේ උපාධිධාරීන් 1500 කට ගුරු පත්වීම් දීපු උත්සවවලට ජනාධිපතිතුමාට හා අගමැතිතුමාට එන්න බැරි වුණත් මා විශාල උත්සව 02ක් තියලා ඡන්දයට කලින් ඒ වැඩේ හොඳට කළා. මා ජනාධිපතිතුමාටත් කතා කළා බෝගොල්ලාගම කීවේය.  
පළාත් සභාව විසුරුවා තිබියදීත් නැගෙනහිර කටයුතු ද ඉතා හොඳින් ඉදිරියට ගෙන යාම ගැන අගමැතිවරයා බෝගොල්ලාගමට ස්තුති කළේය.  


ඒකාබද්ධදේ බදුලු රැලියට හොඳට සෙනඟ ඇද තිබුණා. ඒත් දිනේෂ්, වීරවංශ, ගම්මන්පිල ගියේ නැහැ. ඒකාබද්දේ දෙදරලා. දැන් කෑලි ගැලවෙනවා. අගමැතිතුමා ගේම සෙට් කළා කියලයි මිනිස්සු කියන්නේ වජිර අබේවර්ධන කීවේය.  


මිනිස්සු එහෙම හිතනව නම් මා මොකක් කරන්නද? රටට වැඩ කර ජනතාවට සහන දෙන්නත් මහා ණය කන්ද ඉවර කරන්නත් මා දඟලන්නේ. රාජපක්ෂලා​ වගේ පක්ෂ කඩන්න දිවා රෑ මා වෙහෙසෙන්නේ නැහැ. අගමැතිවරයා කීය.  


එජාපෙන් නාම යෝජනා ගන්න 24,000ක් ඉල්ලුම් පත් එවලා. ඒක අපේක්ෂකයෝ වගේ තුන් ගුණයක් නේ? දයා ගමගේ කීය.  


පළාත් පාලන වගේ ඡන්දවලට මිනිස්සු දඟලන්නේ නැහැ. පවතින ආණ්ඩුව දිනවලා ගමේ වැඩ ටික කර ගන්නවා. බදුල්ලට බස් දාලා ඒකාබද්දෙට සෙනඟ ගේන්න වුණේ ඒකයි.  


තීරණාත්මක ඡන්දයකදීයි මිනිසුන් තමන්ම හිතලා බහින්නේ. ඒනිසා මේ ඡන්දයෙදී ගෙයින් ගෙට යාම එජාපෙ කළ යුතු එකම ක්‍රමවේදයයි. ලක්ෂ්මන් කිරිඇල්ල කී දේ අගමැතිවරයා ද එක හෙළා අනුමත කළේය.


 

කතානායක

පසුගිය සතියේ ඕමානයේ කතානායක ආචාර්ය යහ්යා මහ්ෆුට් අල් මන්ත්‍රී මහතා (Dr. Yahya Mahfoot Al Manthri) ප්‍රමුඛ පාලක සභිකවරු පස්දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණියේ කතානායක කරු ජයසූරිය මහතාගේ ඇරයුමිනි. මෙරට කතානායකවරයාට හිමි තැන ඕමානයේ හිමි වන්නේ මෙකී රාජ්‍ය සභා සභාපතිවරයාටය.  


මෙලෙස පැමිණි දූත පිරිස ඕමානයේ පිළිගත් ඉතා ඉහළ පෙළේ බුද්ධිමතුන් පිරිසක් වූ අතර ඔවුන් මෙරට පිළිබඳව පළ කළේ ඉතා ප්‍රියජනක හැඟීමකි.  


ජනපති, අගමැති මෙන්ම විදෙස් අමාත්‍යවරයා ද හමුවූ ඔවුහු කතානායක කරු ජයසූරිය මහතා සමග පාර්ලිමේන්තුවේ දී පැවැති කතා බහේදී සඳහන් කළ වැදගත්ම කරුණක් වූයේ තවදුරටත් ශ්‍රී ලංකාවෙන් ගෘහසේවිකාවන් ගෙන්වා ගැනීමට වඩා තමන් අපේක්ෂා කරන්නේ වෘත්තීය නිපුණත්වයක් සහිත පිරිසට රැකියා අවස්ථා සැලසීමට බවය.  


මෑතක සිට මැද පෙරදිග වැසියන් සංචාරය කිරීමට ඉතා උනන්දුවක් දක්වන රටක් වන ශ්‍රී ලංකාව සමග සංචාරක කර්මාන්තයෙහි සබඳතා ප්‍රවර්ධනය කිරීම ආදිය පිළිබඳව සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු වූ අතර, දෙරට අතර ආරම්භ වී ඇති අන්තර් පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.


 

500 වැනි උදාගම්මානය

ඉකුත් සති අන්තයේ දිනක උදෑසන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇමතූ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා කීවේ ‘‘අද මගේ ජීවිතේ ආඩම්බරම දවස’’යි කියාය.  


ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ‘‘ඒ ඇයි’’ කියා කුතුහලයෙන් අසද්දී සජීත් කීවේ ‘‘අද මම 500 වැනි උදා ගම්මානයට මුල්ගල් තියලා වැඩ ආරම්භ කරනවා’’ කියාය.  


‘‘මම දන්නවනේ ඔයා දක්ෂයා කියලා. බොහොම හොඳයි. මටත් ආඩම්බරයි’’ ජනාධිපතිවරයාගේ පිළිතුර විය.  
අගමැතිවරයා කීවේ ‘‘ඔයා හොඳට වැඩ කරන නිසා නේ, මේ පාර වැඩිපුර සල්ලි වෙන් කරලා දීලා තියෙන්නේ’’ කියාය.